TRAVEL GIRL එක්ක රට වටේ සවාරියක්

නර්මදා ජයමහ
ජුනි 18, 2020

මේ වන විට සෑම ඉරිදා දිනකම සවස 6.00 ට ස්වාධීන රූපවාහිනී සේවයේ ට්‍රැවල් ග(ර්)ල් (TRAVEL GIRL) වැඩසටහන තුළින් නව ඉසව්වක් කරා ඇය අපව රැගෙන යන්නේ සංචාරක සන්නිවේදිකාවක් ලෙසිනි . එපමණක් නොව ඇය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසද මේ දිනවල හිරු නාලිකාවේ අහස් මාලිගා සහ දෙරණ රූපවාහිනී නාලිකාවේ සංගීතේ යන ටෙලිනාට්‍ය වලින් අපේ ආලින්දයට පැමිණෙයි . ඒ රූමත් කටකාර හැඩකාර යොවුන් කලා ශිල්පිණිය නර්මදා ජයමහ නම් වේ.

දැන් පදිංචි වෙලා ඉන්නෙ නුවරද ?

නැහැ. අපි දැන් පදිංචි වෙලා ඉන්නෙ හෝමාගම ප්‍රදේශයේ.

ඔබේ කුඩා අවධිය ගැනත් මතක් කරමු ?

මම ඉපදුණේ හැදුණේ වැඩුණේ නුවරට කිට්ටුව තිබෙන කුඩා ගමක. ඒ ගම හරිම ලස්සනයි. එහි ගහ කොළ, සතා සිව්පාවුන්ගේ අසිරිය උපරිම වින්දා. ඒ ගම ආසන්නයේ ඇලක් තියෙනවා ඒකෙ මාළු අල්ලන්න පවා මං ගියා.

පවුලේ විස්තර කොහොමද ?

අම්මයි, තාත්තයි, නංගියි, මමයි නංගි තවම පාසල් යනවා. තාත්තා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ නිලධාරියෙක් විදිහට වැඩ කරලා දැන් සේවා ගිවිසුම් කාලය අවසන් වෙලා දැන් එයින් ඉවත් වෙලා ඉන්නේ. අම්මා සමෘද්ධි බැංකුවේ නිලධාරිණියක් විදිහට වැඩ කරා. දැන් වැඩ කරන්නේ නෑ. එයා දැන් ගෘහණියක් විදිහට මට නංගිට පවුලට ලොකු සහයෝගයක් දීගෙන වැඩ කටයුතු කරනවා.

ඔබ අධ්‍යාපනය ලැබුවේ ?

නුවර අපේ ගමේ පෙරපාසලට තමයි මුලින්ම ගියේ. ප්‍රාථමික අධ්‍යාපනය මාවතගම ජාතික පාසලෙනුත් පසුව දොම්පේ ප්‍රාථමික විද්‍යාලයෙනුත් හැදෑරුවා. එහිදී ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් අධ්‍යාපනය කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන් හැදෑරීම කරා.

පාසලේදී කලා කටයුතුවලට දායක වුණාද ?

නුවර ගමේ පාසලේදී හා එහි පෙර පාසලේදීත් මම සින්දු කියන්න නටන්න ඉදිරිපත් වුණා. මගේ ආච්චි තමයි මාව ඒවට උනන්දු කරලා යොමු කළේ. ඒ කාලෙ මට හැකියාව තිබුණත් එවැනි දේවල් වලට ඉදිරිපත් වෙන්න බයකුත් තිබුණා. අදටත් මගේ කලා වැඩ වල ගුණ දොස් කියන හොදම ප්‍රේක්ෂිකාව තමයි මගේ ආච්චි. දේවි බාලිකා විදුහලට ආවට පස්සෙ විෂය බාහිර ක්‍රියාකාරකම් වලදී මම පාසලේ ජනමාධ්‍ය ඒකකයට යොමු වුණා . මට එහිදී ක්‍රිකට් විස්තර විචාරයක් කරන්න දුන්නහම ඒ පරීක්ෂණයෙන් මම සමත් වෙලා අවසන් තුන් දෙනා අතරට ආවා. පිරිමි ළමයි දෙන්නෙකුත් එක්ක මම. අනතුරුව පාසල් කාලයේදීම ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනීය හා ස්වර්ණවාහිනිය යන රූපවාහිනී සේවාවල ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්නත් මට  අවස්ථාව ලැබුණා. ඒ පාසලේදී නාලක ස්වර්ණතිලක මහතාගේ නාට්‍ය පරීක්ෂණයකින් මම තේරී පත්වුණා. ඔහු තේරීම් කටයුතු සිදු කරේ අපේ පාසලට ඇවිත්. පසුව ඔහු එම වේදිකා නාට්‍ය රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට ඉදිරිපත් කලා .එහිදී මම මගේ ජීවිතේ පළමුවෙන්ම සහභාගී උනු වේදිකා නාට්‍ය තුළින්ම 2011 වසරේ හොදම සහය නිළිය රාජ්‍ය සම්මානය දිනාගත්තා . ඒක ලොකු ආශිර්වාදයක් .

අධ්‍යාපනයෙන් පස්සෙ ?

උසස් පෙළින් පස්සෙ තමයි ස්වාධීන රූපවාහිනියේ ට්‍රැවල් ග(ර්)ල් වැඩසටහනට නිවේදකයින් තෝරා ගැනීමක් සිදු කරන පරීක්ෂණයක් තියෙනවා කියලා මට පණිවිඩයක් ලැබුණේ. මම ගිහින් ඒකට සහභාගී වුණා . ඒකෙදි මට තිබුණේ දිය ඇල්ලක් අසල සිට ඒ ගැන මේ වැඩසටහනට අනුව ප්‍රේක්ෂකයින්ට විස්තර කියන්න. ඒ අනුව මම ඒක කරලා ගෙදර ආවා. දින කිහිපයකට පස්සෙ මට පණිවිඩයක් ලැබුණා ඒ වැඩසටහන කරන්න මාව තෝර ගත්තා කියලා. ඊට පස්සෙ 2019 අවුරුද්දෙ ඉදලා මේ දක්වාම මම ට්‍රැවල් ග(ර්)ල් වැඩසටහන කර ගෙන යනවා. 

කොහොමද ට්‍රැවල් ග(ර්)ල් ට ලැබෙන ප්‍රතිචාර ?

ගොඩක් හොඳයි . විවිධ තරාතිරමේ පිරිස් බොහොමයක් දෙනා මේ වැඩසටහන බලනවා . මට ගොඩ දෙනෙක් ඒ සදහා මට ප්‍රතිචාර පවා දක්වනවා සමාජ මාධ්‍ය ඔස්සේත් ඉතා සාර්ථකයි කියලා. වැඩිහිටි පිරිස් ළමුන් මෙය නරඹන පිරිස් අතර වැඩියෙන් ඉන්නවා.

වැඩසටහන කරන අතරෙ අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති නේද ?

අමතක නොවෙන සිදුවීම්නම් කිහිපයක්ම තියෙනවා . ඒ අතර දියඇලි බලන්න ගිහින් කකුල පෙරළිලා යන්න බැරි වුණා... මාර වේදනාවක්.. හැබැයි වැඩසටහන නතර කළේ නෑ.. දිගටම එදා වැඩසටහනේ රූගත කිරීම් කළා.

 නිවේදන හා රංගන කලාව ඔබේ වෘත්තියද?

මම දැනට උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වෙලා මේ සැරෙ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කරලා බලාගෙන ඉන්නවා. අනාගතයේදී උපාධිය අරන් විද්‍යා අංශයෙන් වෘත්තීය කටයුතු අරඹාවි.නැත්නම් නීති    ක්ෂේත්‍රයෙන් .

ඒ කියන්නෙ අනාගතයේදී අපිට නර්මදා ජයමහ කලාව තුළින් දැක ගත නොහැකි වෙයිද?

නෑ එහෙම වෙන්නෙ නෑ. මම කලාවේ රැඳිලා ඉන්නවා වෘත්තිමය නොවුණත්.

මේ දවස්වල ඔබව අපිට හමුවන්නේ ?

ස්වාධීන රූපවාහිනී සේවයෙන් ඉරිදා සවස 6.00 ට ට්‍රැවල් ගර්ල් වැඩසටහනෙන් හා ඩේන්ටී රස පැන ළමා වැඩසටහන තුළිනුත් මාව දැක ගන්න පුළුවන්. මීට පෙර ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සෙනවිරත්න මහතා තමා ඒක කළේ. මෑතක සිට ඒ වැඩසටහන මට කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තහම හිරු නාලිකාවේ අහස් මාළිගා හා දෙර‍ණේ සංගීතේ නාට්‍යයේ දසුනිගේ චරිතයෙනුත් මාව ප්‍රේක්ෂකයින්ට දැක ගන්න පුළුවන්. ඒ වගේම මම අලුත්ම ආකාරයේ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයට දායක වුණා. ඉදිරියේදී ඒ නාට්‍යය මොන නාළිකාවෙන් විකාශය වෙයිද දන්නෙ නෑ. ඒ නාට්‍යය ප්‍රේක්ෂකයින්ට නැවුම් අද්දැකීමක් වේවි. හැමෝටම එය බලන්න කියලා මම ආරාධනා කරනවා. අහස් මාලිගා නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රභාත් රොෂාන් මහතාගේ තමයි ඒ අලුත් නාට්‍යයත්. හොද මට්ටමේ ටීම් එකක් මේ නාට්‍යයේ ඉන්නවා. ඒ අය හැමෝම මට හොඳ සහයෝගයක් ලබා දුන්නා මේ නාට්‍යයේ වැඩ කටයුතු වලදී .

දැන් විවාහ වෙන්න අදහසක් නැද්ද ? කවුරු හරි කෙනෙක් හොයා ගෙනද ඉන්නෙ ?

දැන්මනම් විවාහ වෙන්නෙ නෑ. බොහෝ දෙනෙක් මගෙන් ඒ ගැන අහනවා. මම ඒ අහන අයට අම්මා ගැන කියලා ඒ අයට කියනවා දෙමාපියන් කියන දේකට තමා එකඟ වෙන්නේ කියලා මඟ අරිනවා. තවම මමනම් කෙනෙක් හොයාගෙන නෑ. අධ්‍යාපන කටයුතු ඉවර වුණාම ඒ කාලෙ වෙද්දි මට හොද කෙනෙක් ලැබේවි. 

කලා ලොවේ ඔබ මෙතෙක් ආ ගමනේදී මතක් කල යුතු පිරිස් සිටිනවාද ?

නාලක ස්වර්ණතිලක මහතා ,වැඩසටහන් නිෂ්පාදක ලක්ෂ්මන් මද්දුමගලගේ සහ තුෂාරි ගමගේ, විශේෂයෙන්ම විශේෂ ස්තූතියක් සමඟ මගේ ට්‍රැවල් ගර්ල් වැඩසටහනේ නිෂ්පාදක තුමන් මංජුල ඇතුගල මහතා, ඒත් සමගින්ම ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ප්‍රභාත් රෝෂන් මහතා සහ ස්වාධින රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ මහතා සහ පුංචි කාලයේ ඉදන් මට ගුරු හරුකම් ලබා දුන්නු ගුරුභවතුන්ට මාගේ පවුලේ උදවියට හෘදයාංගම ස්තූතිය පුද කරනවා.