පාඨකයා මේ ක්‍රමයට හුරු කිරීමයි වැදගත්

මාධ්‍යවේදි ජීවන පහන් තිලිණ
ජුනි 11, 2020

 

ලොව තාක්ෂණය ක්‍රමක්‍රමයෙන් වැඩිදියුණුවේ. සමස්ත විශ්වීය දැනුම අතේ ඇති ජංගම දුරකතනයට ගත හැකිය. එහෙයින් මේ ගෙවෙන්නේ smart phone යුගය කියා කිවහොත් එය නිවැරැදිය. අතීතයේ පුවත්පතට හිමිවූ තැන අද,සියයට වැඩි ප්‍රතිශතයකින් ජංගම දුරකතනය දිනා සිටියි. නව පරපුරේ උදවිය නව පුවත් එසැණින් දැන ගන්නේ අත රැඳී smart phone  එක හරහාය. ඉකුත් සතිවල නිකුත් වූ සරසවිය e පුවත්පතටද වැඩිවශයෙන් ප්‍රතිචාර ලබාදුන්නේ එකී පිරිවරයි. මේ වනවිට අප රටේ පොත් කියවීමද අන්තර්ජාලය හරහා සිදුකෙරේ.මා මෙම ප්‍රවේශය ගත්තේ එලෙස නිකුත් වූ ග්‍රන්ථයක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නය. එහි නම "ආස්මී"වේ. ගුරුළුගෝමී නැමැති app එක මගින් එය එළිදක්වා තිබේ. ඇතැම් විට ඔබ එම  app  එක ගැන මින් පෙර නොදැන සිටියා වන්නට පුළුවන. ඒ පිළිබඳ ඔබ දැනුම්වත් කරන්නට සහ ආස්මී පොත ගැන ඔබට පවසන්න කතුවරයා සරසවියට ගොඩවිය. ඔහු තරුණ මාධ්‍යවේදියකි. ජාතික නාළිකාව ඔස්සේ නිවේදකයකු ලෙසන්ද ඔහු ඔබට සමීපවිය. නම ජීවන පහන් තිලිණ වේ.

ජීවන,ආස්මි ඔබේ කීවැනි ග්‍රන්ථය ද?

මේක මගේ සිව්වැනි පොත.ගිජුළිහිනි පළමුවැන්න.ඒක නවකතාවක් L.T.T.E  කඳවුරක අවුරුදු පහක් සහ වර්ජින් තමයි අනෙක් පොත් දෙක.

ආස්මි අන්තර්ගතය ගැන කතා කළොත්?

මෙය මා විසින් පුවත්පත් වලට රචනා කළ තීරුලිපි අතරින් තෝරාගත් ලිපි කිහිපයක එකතුවක්.

ආස්මි ඔබ එළිදක්වන්නේ e reading ක්‍රමයට?

ඒක තමා මේ කතාවේ වැදගත්ම දේ. මම මෙහෙම පටන්ගන්නම්කො. ප්‍රකට පොත් ප්‍රකාශන සමාගමක් වන ගුණසේන සමාගම හඳුන්වා දෙනවා app එකක්. ඒකේ නම ගුරුළුගෝමී. ඔබේ අතේ තියන smart දුරකතනයෙන් හැකියාව තියනවා ඒ  app  එක download  කරගෙන මගේ ආස්මී පොත කියවන්න.

මේ ක්‍රමය අපේ පාඨකයින්ට තරමක් නුහුරුයි?

ලෝකේ පොත් කියවන නවතම ක්‍රමය තමයි  e reading කියලා කියන්නේ. මේ  system එකත් එක්ක අපිට අනුගත වෙන්න වෙලා තියනවා.මිනිස්සු පත්තර වලින් එන්න එන්න ඈත් වෙනවා. පත්තරකාරයෝ විදිහට අපි ඒ තත්ත්වය නවත්වන්න උත්සහ කරනවා. ඒත් අමරුයි. හොඳම උදාහරණය බලන්න ඔයාලගේ සරසවිය  e paper  විදිහට කළාම කොච්චර පිරිසක් බැලුවද,අලුත් පාඨකයෝ ටිකකුත් හොයාගන්න පුළුවන් වුණානේ. මේකත් ඒ වගේ තමයි. සමහර විට පොත මුද්‍රණය කළාට වඩා මට අඩු මුදලක් මේ විදිහට නිකුත් කළ නිසා ලැබෙන්න පුළුවන්. නමුත් මේ නව්‍ය ක්‍රමය හුරුකරවීම තමයි මට වැදගත් වුණේ.

කොහොමද ආස්මී සඳහා ලැබෙන ප්‍රතිචාර?

අපේ අය තවමත් මේ ගුරුළුගෝමී  app  එක සමඟ මිත්‍රශීලී නැහැ. මගේ පොත නිසාම  app එක download කරගත්තු අය ඉන්නවා. ඔවුන් ඉන් ගත් පළමු පොත තමයි ආස්මී. සමහරු කඩෙන් එක පොතක් ගන්න මුදලින්  app  එක හරහා පොත් තුනක් මිලදී තිබුණා. කියවන කෙනා මොන මාධ්‍යයෙන් දුන්නත් පොත කියවනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට පෙර පරපුරේ ඇතැම් ලේඛකයෝ අලුත් තාක්ෂණේ එක්ක අනුගත වෙන්න ටිකක් අදිමදි කරන එක. ලෝකේ පිළිගත් ග්‍රන්ථ රචකයෝ  e reading එක්ක ගමන් කරනවා. ඇයි අපි පසුබහින්නේ.

ආස්මි මුද්‍රණය කරන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම මුද්‍රණය කරනවා. මේ වසරේ පොත් ප්‍රදර්ශනය පැවැත්වුවහොත් ඒ කාලේ වගේ ආස්මි මුද්‍රණය කරන්න හිතාගෙන ඉන්නවා.