මම කිසිදේකින් සැලෙන්නේ නෑ

ප්‍රවීණ රංගවේදිනී ශි‍්‍රයාණි අමරසේන
ජුනි 11, 2020

ඇය ගැන අටුවා ටීකා කුමටද? හෙළ සිනමාවේ අහිංසකාවිය කියූ පමණින් ඇගේ රුව ඔබ මනසේ ඇඳෙනු නිසැකය. කරළිය මත විවිධ වෙස් මුහුණු පැලැඳී ඇය වරෙක පබාවතියද, තවත් වරෙක හිතහොඳ අම්මණ්ඩියකද වූයේ ගමදුව ලෙස නරිබෑනා සමඟ දීග ආ පසුය. ඇහැළ මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සන වූ වේදිකාවට වඩා දේදුනු පායා පාට වැටුණු පුළුල් තිරය ඇයගේ ජීවන අහස් තලේ ආදර පවන් සුසුම් කුසුම් වැලින් මඟ සරසන්නට විය. ගොළු හදවතේ චම්පා ලෙස ඇරඹි ඒ ගමන මහගෙදර අනුලා, කුලගෙය එඩ්නා, දෑස නිසා සුන්දරී, අහසින් පොළවට විනීතා, සරුංගලේ සෝමා, විරාගයේ සරෝජිනී වැනි විවිධ භූමිකා 94ක සටහන් සමඟ රසික සන්තානයේ නොමැකෙන රුවක් මැවූ තරුවක් ලෙස ඇය බබළවාලීය. සිනමා දිවියේ අඩසියවස සපිරි 2018 වසරේදී සරසවිය සිනමා සම්මාන උලෙළේ ජීවිතයේ එක්වරක් පමණක් ලබන රණ තිසර සම්මානය ඇතුළු සරසවි සම්මාන පහකින් මෙන්ම විචාරක, ජනාධිපති, ඕසීඅයිසී උන්ඩා ආදි සම්මාන දහතුනකින් ඇය පිදුම් ලැබුවේ රංගන ශිල්පිනියක ලෙස පමණක් නොව නිෂ්පාදකවරියක ලෙස ද සිනමාවට කළ මෙහෙය වෙනුවෙනි. රිදී තිරය මෙන්ම පුංචි තිරයද ග්‍රහණයට ගත් ඇය ටෙලිකතා අධ්‍යක්ෂවරියක ලෙසද රසික හදවතට සමීප වූවාය. වලාකුළු නැති අගේ ඇති නිල් අහස් තලේ ලස්සනට රැස් විහිදෙන පුරා හඳ බඳු කලාකීර්ති ශ්‍රියාණි අමරසේන රංගවේදිනිය හමුවීමට මා ගියේ තව දින තුනකින් එළැඹෙන ඇගේ උපන්දිනයට සුවහසක් ඔබ වෙනුවෙන් සරසවියේ සුබපැතුම් එක් කිරීමේ අභිලාෂයෙනි.

 

ජ්‍යේෂ්ඨත්වය නොපෙනෙන තරමට සුන්දර වූ 'ශ්‍රියාණි අක්කා' සැබැවින්ම පුරා සඳක් සේ සිනා සී මා එන පෙර මඟට සපැමිණියාය. සරල ඇඳුමකින් සැරසී සිටි ඇය කෙතරම් චාම්දැයි මගේ සිත විමසයි. ඇය මා රැගෙන ගියේ ඇගේ පෞද්ගලික කාර්යාල කාමරයටය. එහි බිත්ති රසිකයකු විසින් එකතු කොට දුන් ඇගේ යුග කීපයකට අයත් සේයා රූ සහ ආලේඛ්‍යවලින් සැරසී තිබේ. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ශ්‍රියාකාන්තාවක් වූ ශ්‍රියානියගේ දයාර්ද ස්වාමි පුරුෂයා, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේනයන් සමඟ මොහොතක් සල්ලාපයේ යෙදී අපි අපේ කතා බහ වෙනුවෙන් සූදානම් වූයෙමු.

 

මුලින්ම අලුත් චිත්‍රපටයේ අන්තර්ජාතික සම්මානවලට සුබපතනවා... මම හදවතින්ම කීවෙමි. සිනාව තවත් බැබළ වූ ඇය කතාව අරඹයි.

ගොඩාක් ස්තූතියි. යාත්‍රා චිත්‍රපටයට මේ තරම් අන්තර්ජාතික සම්මාන ලැබෙයි කියලා නම් හිතුවේ නෑ. මගේ ළඟ තිබුණු පොඩි මුදලින් චිත්‍රපටය කරන්න හිතමින් ඉද්දි සමහරු බොරු පොරොන්දු දුන්නා. ඒවායින් නොසැලී කල් ගත කරද්දි මගේ එංගලන්තේ මිතුරිය ලිලානි පෙරේරා සහ නිරංජලා සරෝජිනි මට උදවු වුණා. ඒත් නේපාලේත් ලංකාවේත් රූපගත කිරීම්වලට මුදල් මදි. ඒ වෙලාවේ රුවන් ජයසිංහ සම්පූර්ණ මුදලින් භාගයක් යොදවන්න ඉදිරිපත් වුණා. නේපාලයේ ප්‍රසිද්ධ පන්සල් ආදියේ අවසර ගන්න කාලය වගේම ලොකු මුදලක් වැය වනවා. අපේ ශ්‍රී ලංකා තානාපතිතුමිය ස්වර්ණා පෙරේරා තමයි කරුණාවන්ත ලෙස මට ඒවා හිතුවාටත් වඩා අඩු මිලකට ලබාගන්න කටයුතු යොදලා දුන්නේ. ක්‍රිෂ්ටි ෂෙල්ටන් අධ්‍යක්ෂණය, අයේෂ්මන්ත හෙට්ටි ආරච්චි කැමරාකරණය දෙන්නම සම්මාන ලැබුවා. හොඳ වැඩක් කරලා ඒකේ ප්‍රතිඵල ලැබෙන කොට මට මහන්සිය දැනෙන්නේ නැහැ. තව දෙයක්. යාත්‍රාවලට හොඳ ඉංග්‍රීසි නමක් හොයමින් ඉද්දි ඒකට ඊඩඥ ඍධරචඨඥ කියලා නම තිබ්බේ මේ මාත් එක්ක කතා කරන කෙනා තමයි.

ඇය සිනාවකින් මට සංග්‍රහ කරමින් සිහි කරයි. එවිටය මට මතක් වූයේ සරසවිය සම්මාන උලෙළ පිළිබඳ ස්වාධීන රූපවාහිනියේ සාකච්ඡාවකට සහභාගී වන අතර ශ්‍රියාණි අක්කා යාත්‍රාවලට ගැළපෙන ඉංග්‍රීසි නමක් මගෙන් විමසූ බව. ඇය කතාව දිගටම කරයි.

ඒ නමට හැමෝම කැමති වුණා. දැන් අපි හැමෝම දෑස් දල්වාගෙන බලාගෙන තිබෙන්නේ යාත්‍රා ප්‍රදර්ශනය වෙනුවෙන්. ඒත් කොරෝනා මුළු ලෝකයටම වුණ දෙයක් නිසා අපට මුකුත් කියන්න බෑ. හැබැයි ලෝකෙ පුරාම මෙහෙම හිර වුණු චිත්‍රපට ඇප් එකකින් හෝ වෙනත් ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයකින් හෝ පෙන්වන්න පුළුවන් නම්, ඒක නිෂ්පාදකයන්ට හොඳයි කියලා මට නිකමට හිතෙනවා.

 

තව ටික කලකින් සිනමාහල් විවෘත වෙයි...

ඇත්තෙන්ම යාත්‍රා මුලින්ම ප්‍රදර්ශනය කළේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඒකට ආව ප්‍රතිචාරවලින් මම හුඟාක් සතුටු වෙලා හිටියේ. ඉස්සර නම් අදහසක් තිබෙනවා අහවල් චිත්‍රපටයෙන් පස්සේ මේක කියලා. දැන් එහෙම නැහැ. ඒ අතර හදිසියෙන් අතර මඟින් පනින චිත්‍රපටත් තිබෙන නිසා අපි හරි අවිනිශ්චිත තත්ත්වයක ඉන්නේ. ඉස්සර නම් චිත්‍රපට තුනකට විතර කලින් දන්න නිසා අපි ප්‍රචාරය එහෙම පටන් ගන්නවානේ. දැන් ඒ ක්‍රමවේද හරි ලිහිල් වෙලා අපට පණිවුඩයක් වත් නැහැ. අපි ගිහින් කූරුගාලා අහන්න යන්නේත් නැහැ ඒක අපේ වැඩක් නොවෙන නිසා. මේ චිත්‍රපටය බෞද්ධ දර්ශනය සම්බන්ධයි. වෙසක් පොසොන්වලට තමයි වඩාත් සුදුසු වෙලා තිබුණේ. ඒ අවස්ථාව ගිලිහුණා. ඒ නිසා දැන් නම් පොඩි හඬක් නඟන්නත් වෙයි කියලා හිතෙනවා. අඬන්න එපැයි කිරි එරෙන්න.

 

ඊළඟට සුබ පතනවා ඉරිදාට (14) ලබන්න තිබෙන උපන්දිනයට...

මම අවුරුදු 7ක් 8ක් වගේ පොඩි කාලේ නම් වයස 10යි 12 යි කියනවා ලොකුයි කියන්න ආසා නිසා. ඒත් දැන් නම් ඇත්ත වයස තමයි කියන්නේ. අඩසියවසකුත් පහුකරලානේ සිනමාවේ.... මට ඇත්තෙන්ම සතුටු වෙන්න පුළුවන් උපන්දිනයකදි. එන්න එන්න වියපත් වීම සමරන්න පුළුවන්. අපේ ජීවිතය දිහා ආපසු හැරිලා බලන්න පුළුවන්.

සමහරු වියපත් වෙනවට බයයි. 'ශ්‍රියාණි අක්කා' හිනාවෙනවා! මම විස්මයෙන් කීමි.

 

වියපත් වෙනවාට බය වෙලා කොහොමද? ඒකනේ යථාර්ථය. කවදාවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන වැඩ කරන්න පුළුවන්ද? එහෙම හිතුවොත් අපට හරි ප්‍රශ්නයක් වෙනවානේ. අපි දන්නේ කොහොමද කවදා කොහොම කොහේදි කොයි ආකාරයෙන් අපට මරණය අත්වෙයි ද කියලා. ඒ ගැන මම නම් දුක්වෙන්නේ නැහැ. මරණය ලෙඩදුක් කියන්නේ සාමාන්‍ය දේවල්. හැබැයි මම විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ අපි කාටවත් කරදරයක් නැතිව හිටියොත් අපට වරදින්නේ නැහැ කියන එක. අපි යථාර්ථය අවබෝධ කරගෙන ඉන්නේ. සුනාමි ආවා වගේ අපට සියල්ලක් නැති වෙලා තනි වුණොත් මොකද කරන්නේ. ඒකට මුහුණ දෙන්න අපට පුළුවන් වෙන්න ඕනේ. ඒතනදි අපට සාමාන්‍ය ජීවිතයක පුරුද්ද තිබිය යුතුයි.

 

තනි ළමයා හින්දද ඔය තරම් හිත ශක්තිමත්?

'ඔයත් ශක්තිමත්... නැද්ද?'

ඇය පෙරළා මගෙන් විමසයි. මම පිළිතුරු ලෙස හිස වනමි.

මම හරියට පොත පත කියවනවා, චිත්‍රපට නරඹනවා, චරිත කතා කියවනවා. ඒවා අධ්‍යයනය කරනවා. චිත්‍රපටවල චරිත දිහා බලලා ප්‍රේක්ෂකයන් හැදෙනවා වගේ අපිටත් හැදෙන්න ක්‍රමයක් ඕනෙනේ. මම කිසි දේකට හඬා වැලපෙන්නේ නැහැ. හඹා යන්නේ නැහැ. සම්මාන නොලැබුණා කියලා හිත නරක් කරගත්තේ නැහැ. අහවල් චිත්‍රපටයේ මට චරිතයකට කතා කරලා තියෙද්දි වෙන අය ගිහින් ඒවා ඉල්ලගත්තා කියලා මම පළිගත්තේ නැහැ, ඒ මත්තේ දුක් වෙවී හිටියේත් නැහැ.

ඇත්ත. මම තනි ළමයා වෙලා හැමදේම ලැබුණ නිසා වෙන්න ඇති. මම කියන්නේ සල්ලි ගොඩාක් තියෙනවා කියලා නෙවෙයි. මට ජීවත් වෙන්න සල්ලි ප්‍රමාණයක් තිබුණාම ඇති. මම ඉස්කෝලේ ඇරුණු ගමන් රඟපාන්න ආවා මිසක වෙන කිසිම රස්සාවක් කරන්න ගිහිල්ලත් නැහැ. දන්නේත් නැහැ. පුංචි කාලේ මම හිතුවේ නර්ස් කෙනෙක් වෙන්න නැත්නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා, විද්‍යාවට හොඳට ලකුණු තිබුණා. ඒත් මම උසස් පෙළට තෝරගත්තේ කලා විෂයයන්. අර විදිහට හිතුණේ පොඩි කාලේ අම්මයි තාත්තයි මාව නාට්‍ය චිත්‍රපට බලන්න ගෙනියනවා. මම ඉතින් ඇස් ඇරගෙන ඉන්න පුළුවන් තරම් වෙලා ආසාවෙන් බලා ඉඳලා මහන්සි හිතුණාම අම්මගෙන් කිරි ටිකක් බීලා නිදා ගන්නවා. අවුරුදු හතක් විතර වෙනකලුත් එහෙමයි. එහෙම මම බලපු චිත්‍රපටයක් තමයි දිල් අප්නා ඔර් ප්‍රීත් පරායේ. මීනා කුමාරි නර්ස් කෙනෙක්. හරිම ලස්සනයි, කිරිබත් කෑල්ලක් වගේ. එයා ලෙඩෙකුට බෙහෙත් දෙනවා. ලෙඩා ඒකෙන් මූණට ගහනවා. ආයෙත් බෙහෙත් දෙනවා. ආයෙත් එහෙම වෙනවා. අන්තිමට ලෙඩාටම දුක හිතිලා බේත්ටික බොනවා. මගේ හිතේ ඇඳුණා ඒ නර්ස්ගේ ඉවසිලිවන්තකම. ඒ නිසා තමයි පුංචි ළමයෙක් හැටියට මම හිතා ගත්‌තේ 'ආ.. මමත් එහෙම වෙන්න ඕනේ' කියලා. ඊට පස්සේ ඩොක්ටර්ස්ලා ලස්සනට නළාව දාගෙන සාරි ඇඳගෙන තාලෙට ඇවිදිනවා දැක්කාම ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා හිතුවා. ඒ අවුරුදු දොළහ විතර කාලේ. එතකොට ඒ සඳහා අධ්‍යාපනය කොහොම විය යුතුද කියලා තේරුමක් නෑ. පෙනුම විතරයි හිතට යන්නේ. එස්එස් සීවලට මම ගණන් ෆේල්. ආයෙ ගත්තා ආයෙත් ෆේල්. තුන්වැනි සැරේ කරන්න හදද්දි තමයි බන්දලා දුන්නේ. ඊට පස්සේ එච්එස්සී ගෙදර.

ඒක යෝජනාවක්...

ඔව්. අමරේ (ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ආතර් යූ අමරසේන) මට හමුවුණේ යෝජනාවකින්. මම එතකොට නරිබෑනා ගමදුව හැටියට රඟපානවා. ලියුම් ගොඩාක් එනවා. පිරිමි ළමයි අහනවා. ඒත් මට යාළුවෙන්න හිතුණේ නැහැ. අම්මගෙයි තාත්තාගෙයි ආදරය උපරිමයටම තිබුණාම ළමයින්ට වෙනත් ආදරයක් හොයන්න හිතෙන්නේ නැහැ. මම ඉල්ලන ඕනෙ දෙයක් අම්මලා අරන් දෙනවා. මම හරි ජොලියේ හිටියේ.

කෑගල්ලේ ඉස්කෝලෙක ගුරුවරයකු එක්ක පොඩි සම්බන්ධකමක් අම්මලාත් දැනගෙනම ඇති වුණා. ඒත් එතකොට මම නරිබෑනා රඟපානවා. ඒ අයගේ පවුල උඩරට දැඩි සම්ප්‍රදායික වගේ. මම කීවා බැන්දාම නතර වෙනවා කියලා. ඒත් තාත්තායි අම්මායි මම රඟපෑම අතහරිනවාට එච්චර කැමැති වුණේ නැහැ.

 

ඒ ඇයි?

අම්මා විමලාවතී වීරකෝන්, ඉස්කෝලේ යන කාලේ ඔය ලෝවැඩ සඟරාවේ එහෙම කවි ගායනා කරන ප්‍රමුඛ ශිෂ්‍යාවලු. එයත් කැමැතියි කලාවට.

තාත්තා පාලම කුඹුර හේරත්මුදියන්සේලාගේ වීරකෝන් බණ්ඩා. මිනර්වා නාට්‍ය කණ්ඩායමේ පොඩි සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා රස්සාවල් හොයන කාලේ කොළඹට ඇවිත්. එතකොට ඩේසි අක්කාව (රුක්මණි දේවි) දැකලා යන්තම් කතාබහ කරලත් තියෙනවා. අම්මා කීවා දවසක් ඩේසි අක්කා ඇඳුම් ඇඳලා සාරි කට්ට ගහ ගන්න විදිහක් නැතුව ඉන්නවාලු. තාත්තා දැකලා 'අනේ මල්ලි මට මේ කටුව ගහගන්න පොඩ්ඩක් උදවු කරන්න' කීවාම ගිහින් සාරි කට්ට ගහලා දුන්නාලු. ඒකත් ඒ කාලේ ලොකු දෙයක්. මොකද රුක්මණි දේවි කියන්නේ සුපිරිම නිළිය. මම පොඩි කාලේ රුක්මණි දේවිට හරි ආසයි. දවසක් මොකක් හරි නාට්‍යයක් බලන්න ගියාම අම්මලාත් එක්ක, ඩේසි අක්කයි එඩි (ජයමාන්න) අය්යයි තමයි ප්‍රධාන අමුත්තෝ. මම පළමුවෙනි වතාවට දැක්කේ අනෙ අම්මෝ දිව්‍යාංගනාවක් වගේ කියලා මට හිතුණා. ලස්සන සාරියක් ඇඳලා. ඉඳ ගත්තෙත් අපට ඉස්සරහ පේළියේ. ලස්සන හිනාවක් මම දැක්කා. මම නාට්‍යය නෙවෙයි බැලුවේ ඩේසි අක්කා දිහා.

පස්සේ කාලෙක මම එයත් එක්ක රඟපෑවා. හිතුවොත් හිතුවාමයි චිත්‍රපටයේ රඟපාන කාලේ වෙද්දි ඩේසි අක්කාට තිබුණා දිග කොණ්ඩයක්. මම මුලින්ම බයේ හිටියේ සීයේ නෝට්ටුවේ රඟපාද්දි එයා හරි අහංකාර ඇති කියලා. පොඩි කාලේ දැක්කාට හමුවෙලා නැහැනේ. මේකප් රූම් එකට ඇවිත් හැමෝ එක්කම හොඳට හිනාවෙලා හැමෝගෙම විස්තර අහලා මගෙනුත් ඇහුවා. ඊට පස්සේ කීවා අපි දැන් යාළුවෝනේ කියලා. ඒ වගේම මට හරියට උදවු කළා රඟපාද්දි. පුදුම නිහතමානීකමක්. එයා දිග කොණ්ඩය කඩාගෙන ඉන්නවා නාලා ඇවිල්ලා. මම ඇහුවා පීරන්න උදවු වෙන්නද කියලා. ඒ අතර මම දැක්කා සුදු කෙස් ගහක්. දෙකක්. මම කීවා ඩේසි අක්කේ ඔයාගේ කෙස් ගහක් දෙකක් ඉදීගෙන එනවා. කියලා. එකක් දෙකක් නෙවෙයි දැන් ගොඩාක් තියෙනවා. ඔයා හිතන්නේ මට වයස කීයයි කියලාද? කියලා ඇහුවා. ඒ පාර මම කීවා තිස්හතරක් පහක් කියලා. අතෙන් කට වහගෙන හයියෙන් හිනාවෙලා මට කීවා අය්යෝ මම දැන් හාෆ් සෙන්චරිවල ඉන්නේ කියලා. ඒකත් මට පාඩමක් වුණා.

 

ගෑනු ළමයින්ගෙන් වයස අහන්නේ නෑනේ. හැබැයි 'ශ්‍රියාණි අක්කා'ගේ වයස පෙන්නෙත් නෑ. මම කියමි.

එකත් ඉතින් ප්‍රවේශම් වීම, හැදියාව, තමන් ගැන තමන් සිතීම, පෙර පින වාසනාව වගේම හිත පිරිසුදුව තිබෙන්න ඕනේ රූපාලංකාරය, පැහැපත් කම, පිරිසුදු ලේ ඇඟේ දුවන්න..

 

කොහොමද ඇඟට පිරිසුදු ලේ ගන්නේ..

කෑමෙන් බීමෙන් පමණක් නෙවෙයි පිරිසුදු ලේ එන්නේ ඇඟට. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය නැති හොඳ සිතිවිලිවලට පයින්ට් ගාණක් ලේ පිරිසුදු වෙනවා. කේන්ති ගියාම මූණ රතු වෙනවානේ. ඒ මොකද? ලේ පිරෙනවා මූණට. කෙනෙක්ට මඟ අහුරන්න, ගහන්න, මරන්න පවා හිතන මිනිසුන්ගේ ලේ කොයිතරම් දූෂ්‍ය වෙනවා කියලද හිතන්නේ. දෙවියන්ගේ පිහිටෙන් ලෙඩදුක් නැහැ කියලා මම අයාලේ කන්න බොන්න යන්නේ නැහැ. නිදි වරන්නේ නැහැ. මට ටික ටික මස් මාළු අඩු කරනවා. එළවළු වැඩියෙන් කනවා. තමන් තමන් ගැන හිතන්න ඕනේ. කවදා හරි එක්තැන් වෙලා දුක් විඳීන්නැතුව අවසන් වෙන්නයි ප්‍රාර්ථනා කරන්නේ.

 

චිත්‍රපට කරද්දි කේන්ති එහෙම එන්නේ නැද්ද හිතට?

චිත්‍රපට නිෂ්පාදනය කරද්දිද? කේන්ති නෙවෙයි දුක හිතෙනවා. මුල් කාලේ අපි රංගනයට හරියට කැප කිරීම් කළා. අපි ලෑස්ති වෙනවා. උදේ පාන්දර නැඟිටගෙන. අපි හරි සන්සුන් මනසින් දේවල් කරන්නේ. එහෙම සෙට් එකට ගියාම හරි ලේසියි. අපි චරිතය සමඟ තමයි ජීවත් වෙන්නෙ. පිටපත කලින් කියවලා දෙබස් පාඩම්. මට මතකයි එක චිත්‍රපටයක තිබුණා පොල් අතු වළක බැහැලා ගන්න. රෙද්ද හැට්ටෙ ඇඳලා. මට දරාගන්න බැරි දුර්ගන්ධයක් ඒ වළේ. ඉතින් මගෙන් ඇහුවා කරන්න පුළුවන්ද කියලත්. ඒත් මම ඉවසගෙන ඒක කළා. පස්සේ බලද්දි මගේ නියපොතු අස්සේ පවා මඩ තලිතලි. හැබැයි ඒ දර්ශනය හරියට කළා කියන සතුට තියෙනවා. ඒක තමයි කැපවීම කියන්නේ. ඒක හරිම අවශ්‍යයි ඕනෙම දේක සාර්ථකත්වය ලබන්න. යමක් අතහැරලා දාන්නේ නැතිව හොඳ පැත්තෙන් හඹාගෙන යන්න කැපවීම අවශ්‍යයි.

එදිනෙදා කරන රස්සාවකට වඩා වෙනස ඒකයි අපේ වෘත්තියේ. දුර පළාත්වල ගිහින්, සති ගණන් නතර වෙලා, විශාල අත්දැකීම් ලබලා, එකමුතුව රූපගත කිරීම් කරලා එද්දි ලොකු වෙනසක් තිබෙනවා.

 

පොඩි කාලේ ඉඳන්ම ඒ කැප වීම තිබුණාද?

එහෙම කියද්දි මට මතක් වෙන්නේ මගේ අම්මයි තාත්තයි. අම්මා මට වෙලාවට වැඩ කරන්න පුරුදු කළා. තාත්තා තමයි මාව ලෑස්ති කරන්නේ පොඩි කාලේ. මගේ මූණ කට හෝදලා යුනිෆෝම් අන්දලා. මට තිබුණු දිග කොණ්ඩෙ පීරලා කරල් දෙක ගොතලා ඒ දේවල් ඔක්කොම කළේ මගේ තාත්තා. මම තනි දරුවානේ. අනෙක අම්මලා අවුරුදු හයහතක් බලාගෙන ඉඳලා ලැබුණු එකම දරුවා. ඉතින් මට ආදරේ හොඳටම ලැබුණා. මාව හරියට විශ්වාස කළා. අම්මා මගේ සැන්විච් එක, බත්එක ලස්සන පෙට්ටියක දාලා කොහොම හරි බිත්තරයක් තම්බලා දානවාමයි. ඒවා යාළුවෝ එක්ක එකතු වෙලා කනවා. ඒ මිත්‍ර සමාගමය, එකමුතුව පොඩි කාලේ ඉඳන්ම අපට පුරුදු වුණා. ඒ වගේම අපි කරන වැඩවලට කැප වීමත් එදා ඉඳන්ම අපට හුරු වුණා. අපි කෑවේ, බීවේ, සෙල්ලම් කළේ කතාබස් කළේ එකට. දශරාජ ධර්මයේ වගේ එකට වැඩ කිරීම අපට හුරු වුණා. දැන් දේශපාලන ලෝකයේ වත් නැත්තේ ඒවානේ.

 

හොඳ මාතෘකාවක්...

මම දැන් අවුරුදු පනස් දෙකක් තිස්සේ මේ කලා ලෝකයේ රැඳීලා ඉන්නවා. මුල් කාලේ මුකුත් නොදැන හිටියාට, දැන් කලාවේ තිබෙන දේවල්, ඇතුළාන්තය, කාර්මික අංශය, අන්තර්ජාතික කලාවන් වගේ දේවල් අධ්‍යයනය කරලා තියෙනවා. ඇත්තෙන්ම කලාවට පස්සේ අපි අවධානය යොමු කරන්න ඕනෙ අපේ රට ගැන. චිත්‍රපට කර්මාන්තයෙන් අපේ රට අන්තර්ජාතික මට්ටමට ගියා. ඒත් අහඹු ලෙස. ඊට වඩා අපට නිර්මාණ තිබුණා. ඒත් ඒ සඳහා අවස්ථාව ලැබුණෙ නහැ. මම දන්නේ නැහැ එක්තරා කාලයක සම්මාන උලෙළ පවා පැවැත්වූයේ නැත්තේ ඇයි කියලා. ඇත්තෙන්ම රංගන හෝ කාර්මික ශිල්පියකුට වැනි ඕනෙම කෙනකුට එයින් ලැබෙන දිරි ගැන්වීම හරිම විශාලයි. තමන්ගේ කාර්යයට ගෞරවයක් ආදරයක් ඇති වෙන්න සම්මාන හේතු වෙනවා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, තිස්ස අබේසේකර, ධර්මසේන පතිරාජ, කේ ඒ ඩබ්ලිව් පෙරේරා, සිරි කුලරත්න, ධර්මශ්‍රී කලිදේරා වගේ නම් කී නොකී අය ඉන්නවා. ඒ තැන ගන්න කවුද අද අපට ඉන්නේ. ඒ වගේම අලුත් අයත් ඉන්නවා. එත් ඒ අයගේ අදහස් තාරුණ්‍යය‌ට කතා කරනවා ඇරෙන්න සමබර නැහැ වගේ මට පේන්නේ. ඒ අයගේ නිර්මාණ බොහෝ වෙලාවට මිනිසුන් අතරට ගියේ නැහැ. ඉතා සුළු පිරිසකගේ චිත්‍රපට කීපයක් ජනතාව අතරට හොඳීන්ම ගියා. ඒ අය හතර පස්දෙනා අපේ කර්මාන්තය ඉහළට ගෙනගියා. අපට බලාපොරොත්තු තබාගත හැකි අය කීපදෙනකු ඉන්නවා. එ අය හරිනම් දිරිගන්වන්න ඕනේ අපේ කර්මාන්තය ඉදිරියට ගෙන යන්න නම්.

 

ඔබ පරම්පරා තුනක සිනමාවට සම්බන්ධයි. පළමු පරම්පරා දෙක අතර තිබුණට වඩා දෙවැනි හා තෙවැනි පරම්පරා අතර වෙනස වැඩියි කියලාද ඔබ කියන්නේ?

ඔව්. පළමු පරම්පරා දෙකෙහි අදහස්වල වෙනසට වඩා දෙවැනි තුන්වැනි පරපුරු දෙක අතර අදහස් බොහොම දුරයි. අපි ඉතින් ඩේසි අක්කා (රුක්මනී දේවී) එක්ක පවා වැඩ කර තිබෙනවානේ. ඊට පස්සේ ඔස්වල්ඩ් ජයසිංහ, සේනාධීර රූපසිංහ, ගාමිණී, ජෝ අය්යා, තිස්ස විජේසුරේන්ද්‍ර, ටෝනි, සනත් ගුණතිලක, විජය, ඩග්ලස් රණසිංහ පස්සේ රංජන් රාමනායක යන සියලු දෙනා ඒකාලේ සිනමාව ආලෝකමත් කළ අය. ඔවුන් ඊට පෙර පරම්පරාවේ අය සමඟ අදහස් අතින් බොහෝ සමාන වුණා. එත් ඊට පසු පරම්පරාව හාත්පසින්ම වෙනස්. ඒකට හේතු විදිහට ටෙලිවිෂනයේ පැමිණීම, මේ කොරෝනා කාලේ වගේම කාලයක් සිනමාවක් නැතුව සිනමාව අමතක වුණ. ඒ ප්‍රශ්න රාශියක් නිසා වෙනම රැල්ලක් ඇති වුණා. ඒක නරක නෙවෙයි. හැබැයි එයින් සිනමාවේ විශිෂ්ටත්වය, ප්‍රෞඩත්වය ගම්භිරත්වය නැති වුණා කියලා හිතෙනවා. සමහරු ඒ දේ ගන්න උත්සාහ කළා ඒත් සමහර නිර්මාණවල ඒ ගතිය තිබුණේ නහැ.

 

ඔබත් නිර්මාණ කීපයක් කළා.. මම බාධා කරමි.

මගේ ජීවිතයත් එක්ක සිනමාව බලද්දි. මට හිතෙනවා සිනමා ශිල්පිනියක්, මේ ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දේවල් කළ කෙනෙකු වීම පෙර වාසනාවක් කිය

ලා. මොකද සාමාන්‍ය රැකියාවක්, සාමාන්‍ය ජීවිතයේ ගැහැනියක් වගේ නැහැ මෙය, නම පවතිනවා. අපේ පැවැත්ම තමයි අපි හදා ගන්නේ. එය නිකම්ම බැහැ. කර්මාන්තයේ ගෞරවය අපි ආරක්ෂා කරන්න ඕනේ විවිධ මාර්ගවලින් ඒ ගෞරවය හානි වුණා. කර්මාන්තයේ නියැළෙන්නේ නැතිව නම කැත කළ කාන්තාවන් කීපදෙනකු නිසාත් ගෞරවයට හානි වුණා. දැන් කාලෙ බොහොම වේගයෙන් සමාජ මාධ්‍ය සමඟ තොරතුරු හුවමාරු වන නිසාත් අප පරෙස්සම් විය යුතුයි. කතාවලට තටු ඇවිත් තමයි ප්‍රචාරය වන්නෙ. ඒවා කර්මාන්තයට හානියක්. හැබැයි හරිම අඩමානයෙන් කරන කර්මාන්තයක්. මොහොතින් ජනප්‍රියත්වය පිරිහෙන්නත් පුළුවන්.

 

ඒ වගේම සුන්දර වෙනම ලෝකයක්.?

අපේ කර්මාන්තයේ අපි ආපු කාර්යයට වඩා බොහොම පහසුවෙන් වෙන වෙන ලෝකවලට යන්නත් පුළුවන්. ඒකට මාර්ග පහසුකම් තිබෙනවා. හැබැයි එහෙම ගියාම හොඳ නිර්මාණ බිහිවන්නේ නැහැ. ඒ නිසා තමයි රංගන ශිල්පී ශිල්පීනීන්ට හොඳ අධ්‍යාපනයක්, ශික්ෂණයක් අවශ්‍යයි කියන්නේ. ෆිනිෂිං ස්කූල් වගේ දේවල් අපේ රටේ හරියට නැහැනේ. අපේ රංගන ක්ෂේත්‍රයේ අයගේ ඇදකුද වගේම හොඳ නරක බලන්න ඇස් දහස් ගණන් තිබෙනවා. මට නම් හරියට එහෙම කියනවා. 'ශ්‍රියානි අක්කේ ඔයා ඔසරියම අඳීන්න. සාරියට වඩා ලස්සනයි. නපුරු චරිත කරන්න එපා. චිත්‍රපටවලදි රෙද්ද හැට්ටෙම ඇඳලා ඉන්න.' ඒ වගේ ඔවදන්, ඉල්ලීම් එමටයි. ඉතින් මම කියනවා මම වෙනසක් කරන්න කැමතියි කියලා. ඒත් ඒ අය කියනවා ඔයාගේ මූණේ එහෙම නෑනේ ඒ නිසා නපුරු චරිත නම් කරන්න එපා කියලා. අහිංසක වෙන්න කියලා. සතර පෙර නිමිති එකේ මම බුදුන් වඳීන අතර 'ඔය කිකිළි කෙකර ගානවා බිත්තරයක් දාලා නම් අරන්තියපන්' කියලා ආයේ බුදුන් වඳීනවා. ඒවාගේ චරිත. කරන්න එපා කියලා මට ප්‍රේක්ෂකයන් හරියට කිව්වා.

ඒක ශිල්පිනියකට සීමාවක් නේ?

අනේ ඔව්. ඒත් මට සමහර වෙලාවට හිතෙනවා මට ලැබුණෙම නපුරු දුෂ්ට, අනෙක් අයට ගිනිදෙන චරිත නැතුව ඒ වගේ අයගෙන් පීඩා විඳලා දුක් විඳීන, අඬන අහිංසක චරිතමයි කියලා. ඒත් අපට චිත්‍රපටවලින් කතාවක් කීවාම ඒක අහන අය ඉන්න නිසා නපුරු චරිතයක් කරලා, ඒකට දඬුවම් ලැබෙන හැටි කරන්නත් ආසයි. තවත් එකක් ඉස්සර දරු නැළවිලි තිබෙනවා, අපිව අපේ අම්මලාත් නැළෙව්වා, අපි අපේ දරුවනුත් එහෙම නැළෙව්වා. දැන් ඒවා නෑනේ. ඒ කාලේ සුජාතා අත්තනායක මහත්මියගේ පුතුනේ මේ අහගන්න පුතුනේ ගීතය ඇහෙද්දි දරුවන් නැළවෙනවා. අපේ ආච්චිලා අම්මලා කොච්චර කතා කියලා දුන්නාද? අද දරුවන්ට කතා අහන්න තියා අම්මා තාත්තා එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ. ඒ තමයි කාලයේ වෙනස.

මම නොකරපු චරිත තිබිලා තියෙනවා. ඒක නම් අහන්නත් එපා. රංගන ශිල්පියකු හෝ ශිල්පිනියකට තවතවත්, තවතවත් කොච්චර චරිත කළත් එපා වෙන්නෙ නැහැ. වෙනස් දේවල් තව හොය හොයා කරන්න හිතෙනවා. ඒ වෙනස විඳලාම බලන්න ඕනේ. සරුංගලේ මම ටිකක් සැර චරිතයක්, අහසෙන් පොළවට, දෑස නිසා, මහගෙදර, කුලගෙය, විරාගය වෙනස් චරිත. රත්තරන් අම්මා අපි හිතුවට වාණිජ චිත්‍රපටයක් කියලා, අදට

ත් තරුණ ළමයි කතාවෙනවා මේ චිත්‍රපටය ගැන, ඒකේ හද සල් ගසේ වගේ ගීත අහනවා. චිත්‍රපටවලට බොහොම ප්‍රයෝජනයි ගීත. දැන් කාලේ නෑනේ එහෙම. ඒත් ඒ කාලේ ආදර ගීත තුනහතරක් තිබුණාමයි, දරුනැළවිලි ගීයක්, ශෝක විරහ ගීයක්, ක්ලබ් ගීයක් වගේ සින්දු එකොළහ දොළහක් විතරත් තිබුණා. ඒ කාලෙ එළියට එද්දි සින්දු පොත තිබුණා ශත පහට විකුණන්න. අපේ ගෙදර හරියට ඒ සින්දු පොත් තිබුණා එකතු කරලා. ඒ තරම් සංගීතය, නර්තනය වගේ අනුශංගික අංග මිනිසුන්ට ඕනේ. අදටත් අපේ අයට ඕනේ හොඳ කතාවක්, නළු නිළි කැලක්, සංගීතය හා නැටුම්... ඒ අපේ සංස්කෘතියනේ. මම මේ කියන්නේ බොලවුඩ් හෝ කඩු උස්සන් එන කොලිවුඩ් චිත්‍රපට නෙවෙයි. මට ගොඩක්ම මෙහෙම මෙහෙම නටන්න තිබුණේ නැ. (ඇය වේගයෙන් ඉඟ වනා පෙන්වයි) මට ලැබුණු ගස්වටේ නැටුම්වල වුණත් එක්තරා විදිහක ලතාවක් තිබුණා. ශාන්ති චිත්‍රපටයේ මමයි ඔස්වල්ඩුයි නැටූ රාණි රුචිරාණි ගීතය වුණත් එක විදිහක්නේ... රූපගත කළ පිළිවෙළත් වෙනස්. ඒ කාලේ හිටියා නැටුම් පුරුදු කරන්න රොනල්ඩ් ෆර්නැන්ඩු, පස්සේ සිරි අමරිසිංහ හිටියා. ඒ අය අපේ ඇඟේ හැඩය වගේම හැකියාව බලලා තමයි නැටුමක් නිර්මාණය කරන්නෙ. මුවමදහාසේ ගීපද රාවේ ගීතය වුණත් එහෙමයි නිර්මාණය වුණේ.

 

හැබැයි ඔබට යුගයක් හැදුණේ නැහැ. මම හරස් කැපුවෙමි.

මට පද පටබැඳුණේ නැහැ. ඒ යුගවල මම හැමෝම එක්ක රඟපෑවා මිස යුගයක් හැදුණේ නෑ. ගාමිණි එක්ක චිත්‍රපට හතරක් විතර, ජෝ අය්යා, ටෝනි එක්ක ගොඩක හිටියා. ඒත් යුගයක් නොහැදුණු එක ගැන මම සතුටුයි. ඔක්කොමත් එක්ක රඟපාලා තියෙනවා. ඒ ඕක්කොමලා මගේ. ඒ මදිද?

ඇය කවට කමට සිනාසී යළිත් කියයි.

ඒකට මගේ විවාහයත් හේතු වුණා. විවාහක කෙනකුට යුග එන්න බෑ. ප්‍රේක්ෂකයන් දන්නවා බැඳලා කියලා. අනෙක යුගයක් වෙන්න යුගලක් වෙන්නත් ඕනේ. රවී (රවීන්ද්‍ර රන්දෙණිය), ටෝනි (රණසිංහ) ඒ අයටත් යුග නැහැ. තව දෙයක්. පුවත්පත්වලිනුත් ඒ යුග බිහි කරනවා. ඒ යුගලත් යුගයක් හැදෙනවාට කැමැතියි ජනප්‍රියත්වයේ එක් අංගයක් නිසා. පිටරටත් එහෙමයි. නර්ගීස් රාජ් කපූර් අතීතයේ, රාජේෂ් කන්නා ෂර්මිලා තාගෝර් මෑත යුගයේ. ඒකත් එක විදිහක් ජනප්‍රියත්වය රැකගන්න. ඒ වගේ තව බොහෝ දේ තිබෙනවා සිනමාවේ. ඒවා බොහොම උපායමාර්ගික දේවල් මිස බරපතළ දේවල් නෙවෙයි. හැබැයි ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු තියාගන්නවා යුගය බිහිකරන දෙදෙනා සැබෑ ජීවිතේත් යුගලක් විය යුතුයි කියලා. නැත්නම් ඒකත් ප්‍රශ්නයක් වෙනවා ප්‍රේක්ෂකයන්ට.

මෑත යුගයේ නම් බැඳලා ඇවිත් වෙන යුග හදාගත් ඒවාත් තිබුණා. හැබැයි එයින් විවාහයේ තිබෙන ගෞරවාන්විත ස්වභාවය නැති වෙනවා. ඒකත් සිනමාවට යම් අවතක්සේරුවක් තමයි. දෙන්නකුට ඉන්න බැරිනම් කාගෙන ඉන්න කියන්නේ නැහැ. හැබැයි විවාහය කියන්නේ ඒක්තරා ගැඹුරු අත්දැකීමක් ජීවිතේ.

 

පනස් දෙවසරක් සපිරෙද්දි ඇතිවන පරිණතබව සමඟ ද ඔහොම අද හිතෙන්නේ?

ඒ කාලේ අපි කළ සමහර දේවල් කොයි තරම් බොළඳද කියලා හරියට හිතෙනවා . පස්සේ හිතෙනවා තම ක්ෂේත්‍රයට උරදීමක් කරන්න ඕනේ කියනලා. ඊට පස්සේ තමයි මම තිර පිටපත් ලියන්න පටන් ගත්තේ. ක්ෂේත්‍රය ඉදිරියට පවත්වා ගන්න තරුණ නළු නිළියන් හඳුන්වා දුන්නා. මම ධනාත්මකව හිතන්නේ. මම වැඩ කරන්න ආසයි තාමත්. හැබැයි සංගම්වලට නැහැ. වැඩි වැඩ පටලගන්නෙත් නැහැ. ඉන්න එකම සංගමය සිනෙස්ටාර් පදනම විතරයි. ඒකත් නළු නිලියන් වෙනුවෙන්ම හැදිච්ච සංගමයක් නිසා. මට කරන්න පුළුවන් දෙයක් තනියම හරි කලාවට කරනවා විනා අවුල්වලට කැමති නැහැ. මනස නිරවුල්ව තියාගන්න මම හරි කැමතියි. ගෙදර ආවාම ගෙදරට අවධානය දෙන්න ඕනා. මම තනි ළමයා නිසා ආධිපත්‍යය තරමක් තිබෙනවා. ගෙදර ආණ්ඩු මට්ටුවක් ඕනේ. නිදහසකුත් ඕනෙ මගේ වැඩ කරගන්න. හැමතිස්සෙම නෙවෙයි වෙලාවකට මට හුදකලාව ඉන්න ඕනේ. සෙනගත් ඕනේ. කඳුකරයේ ඈත දිය ඇල්ලක් දිහා බලාගෙන ඉරබහිනතුරු හිටියාම සුමාන දෙකතුනක් යනකල් ඒ තෘප්තිය තියෙනවා ඇඟේ. හොඳට නින්ද යනවා.

කලා ලෝකෙන් බාහිරව දරු පවුල, වෙනත් ප්‍රශ්න,මුණුපුරන්ගේ දේවල් කොච්චර ආවත් මට එපා වෙන්නේ නැහැ. මගේ අම්මයි තාත්තයි නැති වුණා. ඒ දෙන්නා මට කොච්චර ආදරේද? හැබැයි මට ඉතින් ඒ දේ දරා ගන්න වෙනවානේ. ඒක තමයි ජීවිතේ...අපි ඒකට මුහුණ දෙන්න ඕනේ.

 

අපි සංසාරේ කොච්චර එහෙම අතහැරලා ගිහින් ඇතිද?

ඔව්. තවමත් අපි වෙනුවෙන් අඬන අය කොච්චර ඇතිද? අපි දන්නෙත් නැහැනේ.. ඒක තමයි සසර කියන්නේ. ඒ දේවල් තේරුම් ගත්තාම ජීවිතේට මුහුණ දෙන්න ලේසියි. අනෙක මට නම් දරාගන්න බැරි තරම් ප්‍රශ්න ඇවිල්ලත් නැහැ. මේක චක්‍රයක්. ඇත්තෙන්ම බුදු දහම අපේ ජීවිතය කොයිතරම් පහසුවෙන් තේරුම්ගන්න සලස්වලා දෙනවාද... අනෙක සොබා දහම! අපි සොබා දහමට කොයිතරම් ආදරේද? අපි ඊට විරුද්ධව කිසිම කටයුත්තක් කරන්නේ නැහැ. ඒත් කොච්චර දෙනෙක් මේ සොබා දහම විනාශ කරන්න කටයුතු කරනවාද? මේ මොහොතේ අපි සොබාදහමෙන් පාඩමක් ඉගෙන ගන්නවා වෙලත් දැක්කද අර ගල්කිස්සේ මුහුදු වෙරළේ කුණු ආපු හැටි. මට නම ඇඬුණා ඇයි මෙච්චර ලස්සන රටට මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. වෙනරටවල් වගේ නැතුව කොරෝනාවලිනුත් අපේ රට බේරුණා. ඒකට හේතුවත් මේ සොබාදහම, අපේ වෛද්‍ය ක්‍රම සහ දේශගුණය. අපේ රටේ මිනිස්සු කාර් පවා හදනවා. ඒත් ඒවට ඉඩ දෙන්නේ නැහැ. කොයි තරම් දක්ෂයෝ ඉන්නවාද? ඒවාට ඉඩ නොදෙන්නේ ඇයි. අපේ ක්‍රීඩකයන් කතා කරනවා දැක්කා රූපවාහිනියේ. කොරෝනා ප්‍රශ්න අතර අප කළ යුතු නොකළ යුතු දේවල් ගැනත් හිතන්න ඕනේ කියන දේ කලාකරුවන් හැටියට අපිත් අවධානයෙන් ඉන්නේ. මොකද කලාව කරන්නත් අපට රටක් තියෙන්න එපැයි.

මම ජපානේ ගිය වෙලාවේ එහේ ප්‍රසිද්ධ පන්සලක උද්‍යානය දැක්කා. අපේ ටෙලි නාට්‍යයේ භාගයක් විතරම ෂූට් කළේ ඒ උයනේ. ඒත් අපේත් එහෙම තිබුණු උද්‍යානවල පන්සල් විතරයි ඉතුරු වෙන්නේ. උද්‍යාන ක්‍රමයෙන් අපට අහිමි වෙනවා. මේවා ඇත්තෙන්ම රජවරු හිතාමතා පූජා කළ දේවල් මේ දර්ශනය රැක ගන්න. අනෙක අපේ රටේ සත්ත්ව සම්පත. අලින්ට අයිති කැලෑවල මිනිස්සු වාසස්ථාන, වගාබිම් ඇති කරලා ඊට පස්සේ අලි මිනිස් ගැටුමක් හදාගෙන අලින්ට හිංසා කරනවා. මේ දේවල්වලට ඍජුව සම්බන්ධ වන්නේ දේශපාලනය. මම නම් දේශපාලන පක්ෂ කිසිම එකක ස්ටේජ් නැඟලත් නැහැ. කතා කරලත් නැහැ. ම‌ට දේශපාලන පක්ෂෙකුත් නැහැ. ඒ නිසා මට නිර්භයව කතා කරන්න පුළුවන්.

මේ තරම් දුරක් සිනමාවේ එද්දි සිහි කරන්න බොහෝ දෙනෙක් ඇති?

මගේ අම්මයි තාත්තායි ස්වාමියායි නැත්නම් මට මේ තරම් සහනෙන් රංගනයේ යෙදෙන්න බැහැ. මම දන්නවා මම නැතුවට ගෙදර හැමදේම කෙරෙනවා කියලා. අම්මයි තාත්තයි තමයි මගේ දරුවො දෙන්නාගේ වැඩ ඔක්කොම කරලා මාව රඟපාන්න නිදහස් කළේ.

මට ළමයි දෙන්නයි. මට තව දෙන්නෙක් හිටියා නම් හොඳයි කියලා හිතුණා. ඒ වෙද්දි මම ප්‍රමාද වැඩියි. ඉතින් මම ඒ ගැන තැවෙන්නේ නැහැ. ඒක හිතින් අතෑරියා. ඕනැම දෙයක් එහෙමයි. මගේ දරුවො දෙන්නා ඉනෝකා සහ සම්පත් කවදාවත් කීවේ නෑ, අපට අම්මා ළඟ ඉන්න ඕනේ ඒ නිසා රඟපාන්න යන්න එපා කියලා. පසුකාලීනව මගේ ලේළි දමයන්ති තමයි මගේ කලා ලෝකෙට මාව අන්දලා සාරි කට්ට කොණ්ඩ කට්ට තෝරලා ගහලා දීලා සපත්තු දම්මලා මාව පිටත් කරන්නේ. පුතා සම්පත් මුලින් තේ රස පරීක්ෂකවරයෙක්. දැන් සාමාන්‍යාධිකාරීවරයෙක් ලෙස උසස් රැකියාවක් කරනවා. ඉනෝකා එයාලංකා වැඩ කරනවා. එයාගෙ දුව මනාෂා සිංගප්පූරුවේ ෆැෂන් මාකටින් ගැන ඉගෙන ගෙන ඇවිත් ඒවා කරනවා.

හොඳ විවාහ ජීවිතයක් තිබීම ඇත්තෙන්ම කාට වුණත් හොඳ ධෛර්යයක්. ගමනට ශක්තියක්. එකම දේ තමන් කරන දේ ගැන අවබෝධයක් තිබෙන සහකුරුවකු හෝ සහකාරියක විය යුතුයි. මට ලැබුණ ලොකුම භාග්‍යය තමයි අමරෙ මට වඩා ඒ දේ ගැන කියලා දෙන්න ඔහුට දැනුමක් තිබීම. දෛවෝපගතයි අමරේ හමුවන එක. ඒක මගේ වාසනාවක්.

 

අමරෙ අය්යා සිනමා පුවත්පත් කලාවේදියකු වීම ඔබේ තරුගුණයට බලපෑවෙ කොහොමද?

විසිතුර පත්තරේ මම කියෙව්වේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්. ඒකේ හැම නළු නිළියකගේම විස්තර තිබෙනවා. පත්තරේ කරන කෙනාද මට යෝජනා වුණේ කියලා මට හරි පුදුමත් හිතුණා. සරසවියේ පවා මගේ පින්තූරයක් ගියා කවරේ ඒ කාලේ. හැබැයි විසිතුරේ කවදාවත් මගේ විස්තරයක් ගියේ නැහැ. අඩුම ගානේ මම ලියන කතාවක්වත් විසිතුරේ ඵල වුණේ නැහැ. පස්සේ මම ශ්‍රියා රත්නකාර මහත්මියට යැව්වා ශ්‍රී සඟරාවට. ඇය මට මගේ කතා ඵල කරලා දුන්නා. හැබැයි ආතර් යූ අමරසේන කියන්නේ හොඳ ඍජු මාධ්‍යවේදියෙක්. එයා සෑහෙන පිරිසකට අතහිත දුන්නා, ප්‍රචාරය ලබා දුන්නා, අලුත් මුහුණු ක්ෂේත්‍රයට එක් කළා. සමහරු ඒ ගැන කියනවා. ඒත් සමහරුන්ට නම් මතකවත් නැහැ. ඒ ගැන එයා දුක් වෙන්නෙත් නැහැ මොකද ලෝකෙ හැටිනේ.. ටෝනි රණසිංහ නම් නිරන්තර මතක් කළා එයාව ගෙනාවේ ආතර් යූ අමරසේන කියන මාධ්‍යවේදියා කියලා. මම හිතනවා වාසනාව හා පෙර පින බොහෝ දේවල්වලට අවශ්‍යයි කියා. ඇත්තෙන්ම අපි හැදුණේ මම රංගන ශිල්පිනියක් වෙලා හම්බ කළ මුදලින් සහ අමරේ අය්යා පුවත්පත් කලාවේදියකු ලෙස ඉපයු වැටුපෙන් තමයි. අපි වාහනය ගත්තේ ඒ සියල්ල අපි අරපිරිමැස්මෙන් කළා.

 

ඔබ බෞද්ධ දර්ශනය ගැන බොහෝ කතා කළා. එය පමණමද විශ්වාස කරන්නේ?

මම කේන්දර ඇබ්බැහි වෙලා පසුපස්සේ යන්නේ නැහැ හැබැයි මම විශ්වාස කරනවා ධනු ලග්නේ අය බොහොම කලාවට සම්බන්ධයි කියලා. මොකද ගාමිණි, ජෝ, ඩේසි අක්කා, සතිශ් අයියා වගේම මම හිතනවා වික්ටර් රත්නායකත් ඒ ලග්නේ. අනෙක මිථුන ලග්නේ අය. අමරේ මිථුන. මගේ පොඩි කාලේ කේන්දරේ කියලා තිබුණා මොන අංශයකින් හෝ ජනප්‍රිය වෙනවා කියලා. අපේ අම්මත් කේන්දර බලන්න දන්නවා. මමත් ඔය ඈපා පංචාංග ලිත කියවලා පොඩි දැනුමක් තිබුණා. ඒ කාලේ මම රාහු කාලේ ගැන එහෙම හරියට හිතනවා. පස්සේ පස්සේ මම තේරුම් ගත්තා හොඳ හිතින් යමක් කරනවාට වඩා වෙනස් දෙයක් තවත් නැහැ කියලා. ඒ නිසා දැන් නම් මුකුත් නැහැ. මම හිතන්නේ කාටවත් ඊර්ෂ්‍යා ක්‍රෝධ උගුල් අටවන්නේ නැතුව, හොඳීන් ජීවත් වෙනවා නම් තමන්ටත් කරදයක් නැතුව ඉන්න පුළුවන් වෙයි. කොරෝනා කාලේ වුණත් මම ඒ කියලා දීපු විදිහට හිටියා මිස උකටලී වෙන්න අපට බැහැ. ඒ හැම දෙයක්ම ස්වභාවික දේවල්.

 

ඔබ ඔබව දකින්නේ?

මට බලාපොරොත්තු ගොඩක් තිබෙනවා. හැබැයි ඒවා බිඳුණා කියලා කිසිම විදිහකින් සැලෙන්නේ නැහැ. දවසක් සම්මානයක් ගැන මට කෙනෙක් ගෙදරටම ඇවිත් කියලා ගියා. උලෙළට ගිහින් බලද්දි වෙන කෙනෙක්ට ලැබුණේ. අනේ ඉතින් මම සද්ද නැතුව ගෙදර ආවා. මට ඒවා මහ දේවල් නෙවෙයි. මම මගේ ජීවිතේ ගැන හරි තෘප්තිමත්. මම ජීවිතේට හරි ආදරෙයි. මගේ දරුවන් මට ආදරෙයි. ලේළි ආදරෙයි. සැමියා ආදරෙයි. කලාකාරිනියක් කියන දේට මම හරි ආසයි. මේ වෘත්තිය උනන්දුව සහ ධෛර්යය තියෙන තුරු කරන්න පුළුවන් වයස බලනොපාන එකක්. මට ඒ උනන්දුව ධෛර්යය තිබෙනවා. මට සරලව නිවිහැනේ ගෙවන මධ්‍යස්ථ ජීවිතයක් ලැබිලා තියෙන්නේ. ඉදිරියටත් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ සසරේ යළි උපදිනවා නම් ඒ වගේම මේ රටේ බෞද්ධයකු හැටියට ඉපදෙන්න කියන එකයි මගේ ලොකුම ප්‍රාර්ථනය.

 

ඈ යළිත් මදහසක් පෑවාය. මම කතාව නිම කළෙමි. ඒ ආශා දෑසින් ඈ කී ගීයකින්ම සුබ පැතුම් එක් කරමිනි.

ආරාධනා ඉවසා ආදරේ මල් ගවසා ආසිරි වේවා පතමි වේවා ආසිරි පැතුමේ මල් වරුසාවේ!

 

නිශ්ශංක විජේරත්න