දීප්තගේ අක්කා නිසා දැන් මම හැමෝගෙම අක්කා වෙලා

සුලෝචනා වීරසිංහ
ජුනි 11, 2020

 

වේදිකාව, පුංචි තිරය සහ සිනමාව යන තෙවැදෑරුම් රංග භූමිකා ආවරණය කළ සම්මානනීය තරුණ රංගන ශිල්පිනියක් ලෙස සුලෝචනා වීරසිංහ හැඳීන්විය හැකියි. වර්තමානයේ ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය "තණමල්විල කොල්ලෙක්" ටෙලි නිර්මාණයෙහි "ලොක්කි"ගේ චරිතය නිරූපණය කරන ඇය කා අතරත් ජනප්‍රිය චරිතයක්. "තණමල්විල කොල්ලෙක්" ගැන වගේම වර්තමාන සිනමාව ගැන කතාබහ කරන්න අපි සුලෝචනා වීරසිංහව එකතු කරගත්තා.

ඉතින් කොහොමද සුලෝචනා?

සතුටෙන්, හොඳීන් ඉන්නවා.

මේ දවස්වල මොනාද කලා ක්ෂේත්‍රයේ කෙරෙන වැඩ කටයුතු?

මේ දවස්වල කරන්න තිබුණු වැඩ කොරෝනා වසංගතයත් එක්ක නතර කරන්න වුණා. නිලේන්ද්‍ර දේශප්‍රියගේ අලුත්ම චිත්‍රපටය "ව්ඪදඥ දඪදඥ" හී වැඩකටයුතු මේ මස ආරම්භ කරන්න තිබුණා. මේ තත්ත්වයත් එක්ක ඒ වැඩ කටයුතු තව ටිකක් කල්‍ යයි. රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටයට තේරීපත් වුණු සුදත් අබේසිරිවර්ධනගේ අධ්‍යක්ෂණයක් වෙන "ගිනි ගිනි මාලේ" වේදිකා නාට්‍යයේ වැඩකටයුතු ආරම්භ කරන්න හිටියේ. එහි එක් දර්ශනයක් පෙන්නුවා පමණයි. තවත් වේදිකා නාට්‍යයක පුහුණු වීම් කටයුතු කරමින් හිටියා. ඒ ඔක්කොම අතරමඟ නතර වුණා.

වර්තමානයේ සුලෝචනා වීරසිංහ කා අතරත් කතාබහට ලක්වෙන්නේ "තණමල්විල කොල්ලෙක්" ටෙලිනාට්‍යයේ චරිත නිරූපණය නිසා. කොහොමද දීප්තගේ අක්කාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

ඉතා ඉහළයි. ලංකාවේ විතරක් නෙමෙයි විදේශයන්ගේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් පවා මට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දීප්තගේ අක්කා නිසා මම දැන් හැමෝගෙම අක්කා වෙලා. හැමෝම මට අක්කා කියලා කතා කරන්නේ. මම විතරක් නෙමෙයි ටෙලිනාට්‍යයේ සියලුම රංගන ශිල්පීන්ව හැමෝම ඉතා ඉහළ ඇගයීමකින් වැළඳගෙන තියෙනවා. එවැනි නිර්මාණයකට සම්බන්ධ වීම ගැනත් මම සතුටු වෙනවා.

මීට පෙරත් විවිධ නාළිකාවල විකාශය වුණු ප්‍රශස්ත මට්ටමේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැළඳගත්තා. හැමෝම චෝදනා කරනවා ප්‍රේක්ෂක රසඥතාව හීන වෙලා කියලා. නමුත් මේ වගේ හොඳ නිර්මාණ ප්‍රේක්ෂකයෝ වැළඳගන්නවා. කොතැනද වැරැද්ද තියෙන්නේ?

සමහර නාළිකාම තමයි ප්‍රේක්ෂකයො ඉල්ලන්නේ මේවා කියලා ගුණාත්මකභාවයෙන් අඩු නිර්මාණ කරන්නෙ. ඔවුන් කියන්නේ “මේක තමයි ප්‍රේක්ෂක රසවින්දනය තියෙන තැන ඒ නිසයි අපි මේ නිර්මාණ කරන්නේ” කියලා. එහෙම විය යුතු නෑ. මම විශ්වාස කරන විදිහට කලා නිර්මාණයකින් ප්‍රේක්ෂකයා දකින දෙයට වඩා යමක් සමාජගත කරන්න, ඒ තුළින් සමාජය තියෙනවාට වඩා යහපත් තැනක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කලා නිර්මාණ ප්‍රේක්ෂකයන් ඒක වැළඳගන්න එක මහා ප්‍රාතිහාර්යක් නෙමෙයි. එහෙම නිර්මාණ වෙන්නේ නැති නිසා ඒවත් එක්ක මිනිස්සු බැඳෙනවා. ඒකට හේතු මොනවද කියලා හොයාගෙන යද්දි මට හිතෙන්නේ දේවල් මිනිස්සුන්ට දැනෙනවා, මිනිස්සු රසවිඳීනවා. ඒ උදෙසා හොඳ නිර්මාණ කරන්න ඕනේ.

වර්තමානයේ රංගන ක්ෂේත්‍රයට එන තරුණියන් රංගන හැකියාව වැඩි දියුණු කරනවා වෙනුවට තමන්ගේ බාහිර ස්වරූපය ඔපමට්ටම් කරනවා. ඒ නිසාම ඒ අයගේ රංගන හැකියාව ගැන විවේචන රාශියක් එල්ල වෙනවා. මේ ගැන සුලෝචනාට මොකද හිතෙන්නේ?

කාගෙන් කාගෙන් හරි නියත විවරණ ලබලා නළු නිළියෝ වෙන පිරිසක් ඉන්නවා. ඒ ගැන පුළුල් විදිහට කතා කරන්න වෙනවා. ගොඩක් අය මේ අලුතෙන් සම්බන්ධ වෙන අයට රඟපාන්න බැහැ කියන චෝදනාව කරනවා. නමුත් මේ කියන හොඳ රසඥතාවක් තියෙන ප්‍රේක්ෂකයන්ම රඟපාන්න බැරිකමටත් කැමතියි. ඒක රසවිඳීන ප්‍රේක්ෂකයොත් ගොඩක් ඉන්නවා. රඟපාන්න බැරිකම සහ ලස්සන මුහුණු උලුප්පන පත්තර සහ නාළිකාත් ගොඩක් තියෙනවා. ඒ නිළියන් ප්‍රධාන චරිත විදිහට ගේන අධ්‍යක්ෂවරුන් පවා ඉන්නවා. මම එහෙම කාටහරි ගුරුහරුකම් දෙන තැනක ඉන්න කෙනෙක් නෙමෙයි. මමත් ජීවිතය තුළින් රංගනය හදාරාමින් ඉන්නේ. අපි මුදල් කාලය වැය කරමින් ආර්ථික ප්‍රතිලාභ නැතුව වේදිකා නාට්‍ය කරපු කාලයක් තිබුණා. අලුත් වේදිකා නාට්‍යයක් කියන්නෙ මට රංගන පාඨමාලාවක් වගෙයි. කොච්චර කාලය වැය වුණත් ඒකෙන් අපි ඉගෙනගන්න දේවල් අතිවිශාලයි. ඒත් දැන් අලුත් නළු නිළියන් එක සැරේ නිර්මාණ පහ හයක වැඩ කරනවා. කිසිම විවේකයක් නෑ. සතතාභ්‍යාසයක් නැහැ. හැබැයි මේක ටෙලිනාට්‍යවලට විතරයි සිනමාව තුළ රංගන හැකියාව, ස්වරූපය මේ හැමදේම ඉහළ තැනක තියෙන අය තමයි තේරෙන්නේ. මම නම් පුරුද්දක් විදිහට සාමාන්‍ය ජීවිතයේ මහපොළොවේ ඉන්න චරිත අධ්‍යයනය කරනවා. ප්‍රේක්ෂකයෝ මගෙන් නිතරම අහනවා "කොහොමද ඔයා රඟපාන්නේ නෑ වගේ ඉන්නේ?" කියලා. ඒ රඟපාන්නේ නෑ වගේ ඉන්න එක ඒ තරමට පුහුණු වෙලා තියෙන්නේ. පුහුණුව සතතාභාසය කියන එක රංගන ශිල්පියෙක්ට අත්‍යවශ්‍යයි. අපි එක ක්ෂේත්‍රයේ ඉන්න අය. මම කැමති නෑ මේ අය මෙහෙමයි කියල රේඛා ගහගෙන ඉන්න. මේ හැමෝම එකතුවෙලා ක්ෂේත්‍රය ඉහළ මට්ටමකට ගෙන යන එකයි වෙන්න ඕනේ.

"ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ" ඔබ රඟපෑ අයිරාංගනී විජේවීරගේ චරිතය කා අතරත් කතාබහට ලක් වුණා. ඒ ගැනත් කතා කරමු?

මම වසර තුනකට විතර පසුවයි සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණේ. ඒක ඉතා අභියෝගාත්මක චරිතයක්. මොකද රෝහණ විජේවීර කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝක ඉතිහාසය තුළම කැපී පෙනෙන විප්ලවවාදී නායකයෙක්. ඔහු මියගිහින්. නමුත් ඔහුගේ බිරිඳ තවමත් ජීවතුන් අතර. ජීවත් වෙලා ඉන්න කෙනෙකුගේ චරිතයක් සිනමා නිර්මාණයකින් නැවත ප්‍රතිනිර්මාණය කරද්දි ඒ රංගන ශිල්පීයාට ඉතා අභියෝගයක්. ඇයව ඇසුරු කරපු ඇයව දන්න අය එක්ක මම කතාබහ කරලා තොරතුරු හුවමාරු කරගත්තා. ඇගේ පාපොච්චාරණයක් සහිත පොතක් කියෙව්වා. ඇයට විජේවීර සහෝදරයාව මුනගැසුණු තැන සිට හමුදාවට භාරවෙන තැන දක්වා සිද්ධ වුණු සියල්ල ඇගේ භාෂාවෙන්ම එහි අන්තර්ගතයි. ඒ හරහා මට ඇයව අඳුනගන්න පුළුවන් වුණා.

ලංකාවේ සිනමා කර්මාන්තයේ පවතින ගැටලු රාශියක් තියෙනවා. ඒ සියල්ලටම කොරෝනා වෛරසයත් අභිමුඛ වෙලා තියෙනවා. ඉස්සරහට ලංකාවේ සිනමාවට මොකක් වෙයිද?

ඒක ලංකාවට විතරක් නෙමෙයි ලෝක සිනමාවටම බලපාන ප්‍රශ්නයක් වෙයි. පවතින තත්ත්වයත් එක්ක මේ වසරම සිනමාශාලා වසා තබන්න වේවි. ඒක කලාවට ආර්ථිකයට හැම ක්ෂේත්‍රයකටම බලපානවා. සිනමා කර්මාන්තයක් ලෙස අපිට ගැටලු කන්දරාවක් තිබුණා. හදපු හොඳ චිත්‍රපටි රාශියක් තියෙනවා. ඒවා සිනමාකරුවන්ට ප්‍රදර්ශනය කරගන්න විදිහක් නැහැ. කාලීන මාතෘකා වස්තු විෂය කරගත්ත නිර්මාණ ඒ කාලයේ පෙන්නුවේ නැති නම් වැඩක් නැති වෙනවා. දැන් කොරෝනා තත්ත්වයත් එක්ක ප්‍රශ්න තවත් වැඩි වෙනවා. සෞඛාරක්ෂණ විදිවිධාන් එක්ක ජීවත් වෙන්න වෙනවා. සිනමාශාලා නැවත ඇරියත් ටිකට් එකක් අරන් චිත්‍රපටයක් බලන්න මිනිස්සුන්ට මුදල් තියෙයිද කියලත් ගැටලුවක්. මේ හැමදේමත් එක්ක ලංකාවේ සිනමා කර්මාන්තය ගැන අවිනිශ්චිතයි.