ඔක්සිජන් හඬ ශාරු ලී

ජුනි 11, 2020

තුෂාර සුභසිංහ ප්‍රමුඛ ඔක්සිජන් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා ලෙසින් ඔහු ඔබ හමුවට එයි.

ඔබේ නම කියමු?

ශාරු ලී කිව්වාම තමයි හැමෝම දන්නේ.

ඔක්සිජන් කණ්ඩායම සමඟද ඔබ සංගීත ගමන පටන් ගත්තේ?

නැහැ. මං සංගීත ක්ෂේත්‍රයට එන්න හිටපු කෙනෙක් නෙවෙයි. මම ගියා මිත්‍රයකුගේ වෙඩින් එකකට. එහි ප්ලේ කෙරුවේ ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක්. අතරමගදි ඔවුන්ගේ කීබෝඩ් වාදකයාට එතැනින් යන්න සිදු වෙනවා. ඔවුන් අපහසුතාවයකට පත් වෙනවා මං දැක්කා. මට කීබෝඩ් ගහන්න පුළුවන්. මම එතැනට ගිහින් ඔවුනට කීබෝඩ් වාදනයෙන් සහාය වුණා. ඔය විදිහට තමයි මං සංගීත ක්ෂේත්‍රයට එක් වන්නේ. චාමර රණවක අයියගෙ ආයුබෝවන් ශ්‍රී ලංකා බෑන්ඩ් එකේ කාලයක් හිටියා. පසුව ඔක්සිජන් එකට ආවා.

ඔබ ගයන්නේ මොන ශෛලියේ ගීතද?

බෑන්ඩ් එක දෙන ඕනෑම සිංදුවක් කියනවා. එහෙම කියන්න අපි බැඳිලා ඉන්නවනෙ. ඒක නිසා එක ශෛලියකට කොටු වෙලා නැහැ.

ඔබේම ගීතත් කිහිපයක් තියෙනවා නේද?

රත්තරං ඇස්, තියනවා මේ හිතක්, අම්මා වැනි ගීත කිහිපයක් තියෙනවා මගේම කියලා.

සංගීත කණ්ඩායමේ ගෙවෙන ජීවිතය මොන වගේද?

සාමාන්‍ය ජීවිතය හා හාත්පසින්ම වෙනස්. රැයේ තමයි ගමන. විවේකය හරිම අඩුයි. සමහර විට ස්ටේජ් එකේදීම ගීත ප්‍රැක්ටිස් කරන්න වෙලා තියෙනවා. දැන් මං මේ ජීවිතයට හුරු වෙලා ඉන්නෙ. අවුරුදු අටක්නෙ. ගෙවන හැම තත්පරයක්ම තෘප්තිමත්ව ඉන්නවා.

දැන් දැන් සංගීත කණ්ඩායම් අනුන්ගේ ගීත ගයනවා වැඩියි කියලා චෝදනාවක් තියෙනවා?

බෑන්ඩ්වලට අනන්‍යතාවයක් තියෙනවා. අපේ අපේම කියලා ගීත තියෙනවානෙ. නමුත් ෂෝ එකකදි මිනිස්සු ඉල්ලන්නේ වෙනම දෙයක්. අපි ඔවුන්ගේ ඉල්ලීම ඉටු කරනවා. පෞද්ගලිකව මමත් අකැමැතියි නොන්ස්ටොප් ගීත කලාවට. මිනිස්සු ඉල්ලන්නෙම ඒවනෙ.

වෙන සංගීත කණ්ඩායම්වලින් ඔෆර්ස් ඇවිත් නැද්ද?

තියෙනවා. ඒත් මං ඔක්සිජන් එක්ක රැඳිලා ඉන්නවා පුළුවන් තාක් කල්.

 

නිශ්ශංක විජේරත්න