හැමෝම Bat කරද්දි මං Pitch එකක් හැදුවා අර්ජුන් කමලනාත්

අගෝස්තු 22, 2019

ඔහු දිගටම කතා කරයි. මේ අර්ජුන කමලනාත්ය. නළුවකු වශයෙන් වෘත්තිමය ජීවිතය ආරම්භ කළ අර්ජුන පසුකාලීනව චිත්‍රපට නිෂ්පාදනයටත් අධ්‍යක්ෂණයටත් පිවිසියේය. සිනමා ශාලා හිමිකරුවකු ලෙස ද කාර්යබහුල වී සිටින අර්ජුන කුල්නෙත් මීඩියා නමින් ආයතනයක් ද පවත්වාගෙන යයි. චිත්‍රපට නිෂ්පාදන කටයුතු එමඟින් සිදු කරනු ලබයි. අර්ජුන සරඝරප චිත්‍රපටය නිෂ්පාදනය කරමින් තම කලා ජීවිතයේ නවමු වෙනසක් තැබීය. එය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ජයන්ත චන්ද්‍රසිරි විසිනි. ඉකුත් සිග්නිස් සිනමා සම්මාන උලෙළේ වසරේ හොඳම චිත්‍රපටය වූයේ සරඝරපය. දැන් අපි යළිත් අර්ජුනගේ කතාවට සවන් දෙමු.

අවුරුදු විසි පහක සිනමා ජීවිතය තුළ මං ලබපු අග්‍ර ඵලය තමයි මේ සම්මානය. පෙනෙන නොපෙනෙන ගාණට මොහොතින් මොහොත චිත්‍රපටයේ රඟපාලා ඊළඟ චිත්‍රපට හයම බත් පැකට් එකට විතරක් රඟපාලා තිසරාවි චිත්‍රපටයේ තමයි මට මේන්රෝල් එකක් ලැබුණේ. එතකම් ඉතින් කට්ට තමයි. මගෙත් එක්ක ආපු ගොඩක් දෙනෙක් අද කෝ. ඒ අය හැලිලා. අද මං විතරක් ඉතුරු වුණේ කොහොමද.ඒකත් ඉතින් වාසනාව තමයි මල්ලී. ඔය ජයන්ත අයියව මට හමු වෙන්නේ මහරජ ගැමුණුවලදී. හේමන්ත රන්දුණු කියන මිත්‍රයා තමයි අපි දෙන්ව ජොයින් කළේ. මහ රජ ගැමුණු කරලා හරියටම අවුරුදු හතරකින් දෙදහස් හතරෙනෙ කළේ. ඔව් හතරයි. ජයන්ත අයියා අවුරුදු හතරටම මුකුත් කළේ නැහැ. ඔය වගේ කාලෙකදි තමයි මං චිත්‍රපටයකට කතා කරන්නේ. ඒක එක අතකින් ලොකු රිස්ක් එකක්. ක්ෂේත්‍රයේ අය අහනවා මේ වැඩේ කරන්න පුළුවන් ද කියලා. මගෙන් විතරක් නෙවෙයි ජයන්ත අයියගෙනුත්. අර්ජුනට පුළුවන් ද ඔයත් එක්ක වැඩ කරන්න කියලා කී දෙනෙක් ඇහැව්වද. ජයන්ත අයියත් මේෂ ලග්නෙ. මමත් මේෂ. අපිව මුණගැස්සූ හේමන්තත් මේෂ. ඒ ගැළපීමත් මරුනෙ.

ත ඔබ හොඳම නිෂ්පාදක වුණේ හොඳම අධ්‍යක්ෂ වෙන්න බැරි වූ නිසාද. ඔබට තිබුණනෙ ඝරසරප හෝ ඊට සමාන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නෙ, කුසල් වගේ චිත්‍රපට නොකර?

මං ජයන්ත අයියා තරම් වැඩක් කරන්නට ශිල්ප දන්න කෙනෙක් නෙවෙයිනෙ. මොනවා වුණත් ඇත්ත කියන්න එපායැ. ජයන්ත අයියා ගාව සියයට අනූවක් දක්ෂතාවයක් තියෙනවා නම් මං ගාව තියන්නේ සියයට පණහයි. නමුත් මං පණහෙන් පහළට වැටෙන්නේ නැහැ. මට මුලිකව අවශ්‍ය වුණේ හොඳ ප්‍රඩක්ෂන් එකක් කරන්න. මේකෙ රඟපෑවෙ නැත්තෙත් ඒකයි. මං රඟපාන්නේ නෑ කිව්වාම ආ . . . උඹ රඟපාන්නේ නැහැ? කියලා අර ඔහු කියන විදිහට කිව්වා. ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත, කමල් වගේ අයත් මේකට ගනියි කියලා හිතුවේ නැහැ. පස්සේ දැනගත්තම ඔවුන් ඉන්නව කියලා මට වුවමනා වුණේ හොඳ ප්‍රඩක්ෂන් එකක් කරන්න. මං නිෂ්පාදක. ඔවුන් මගේ නිවසට ආව අමුත්තො. හොඳට සැලකීම මගේ යුතුකමනෙ. හොඳට සැලකුවා.

ත අවුරුදු විස්සක් ක්ෂේත්‍රයේ ඉඳලා ඔබ උපයා නොගත් කීර්ති නාමයක් සරඝරප හරහා ඔබ හිමි කර ගත්තා. මොනවද ඔබ මේ අවුරුදු විස්ස තුළදී කළේ?

කමර්ෂල් චිත්‍රපටනෙ කළේ. අමාරුවෙන් වුණත් පිළිගන්න වෙනවා අපේ රටේ සිනමාව වාණිජ සම්භාව්‍ය කියල කොටස් දෙකකට බෙදාගෙන තියෙන්නේ. අවර ගණයේ එකක් ආවොත් වානිජ. නොතේරෙන මොකක් හරි තියෙනවා නම් ඒක සම්භාව්‍ය, සම්මානත් ලැබෙනවා. වානිජ නළුවන්ව කොයි සම්මාන උලෙළෙදිද ගණන් ගන්නේ. කියන්න බලන්න. මට වුණේ ඕක.

 

ත ඔබට තිබුණනෙ ඒ තත්ත්වයෙන් මිදෙන්න. ඇයි දිගින් දිගටම ඇලී ගැලී සිටියේ?

මං විතරක් නෙවෙයි මල්ලි, විජය කුමාරතුංගත් අන්තිම කාලේ රඟපෑවේ කැමැති නිර්මාණවල නෙවෙයි කියලා මං අහලා තියෙනවා. අපි ගැන කවර කතාද.

 

ත ඔබ දැන් ඝරසරප වගේ චිත්‍රපටයක් කරලා සම්මානිත වෙලා ඉන්නේ. ඊළඟ චිත්‍රපටයත් කරන්න ඕන ඔබේ ඔය තැන බේරාගෙන නේද? ඒ අතරතුර ඔබ තුළ සිටින නළුවා යටපත් වෙලා?

ලෝක ප්‍රශ්න දෙකක්නෙ. හැමදාම ඝරසරප වගේ ඒවා කරන්න බැහැනෙ. පැවැත්ම සඳහා නොයෙක් දේ කරන්න වෙනවා. දැන් බලන්න විජයබා කොල්ලය එනකම් හෝල් වේලි වේලිනෙ තිබුණේ. මෙහෙම වෙනකොට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ. හැබැයි පහළට වැටෙන්නේ නැහැ කිීයටවත්. ඝරසරප වගේ ඒවා මට විතරක් කරන්න බැහැනෙ. ඊට සරිලන නිර්මාණකරුවෙක් ඕන. බලමු ඉදිරිය කොහොම වෙයිද කියලා. ඔබ තවත් ප්‍රශ්නයක් ඇහැව්වනෙ මං තුළ ඉන්න නළුවා කෝ? දැන් ඉතින් රඟපාන්නෙම නැති තරම්නෙ. අපේ ගෙදර චිත්‍රපට පිටපත් හතක් තියෙනවා මට රඟපාන්න එන්න කියපුවා. හැබැයි ඒ හතම මට සෑහීමකට පත් වෙන්නට බැරි නිර්මාණ. ඒවා සේරම තවත් එක චිත්‍රපටයක් විතරයි.

 

ත ඔබට ආරාධනා නැති සම්මාන උලෙළයන් පිළිබඳ ඔබ තුළ ඇත්තේ මොන වගේ මතකයක්ද?

 

නැහැ මට ආරාධනා නැහැ කියනවා නෙවෙයි. ගොඩක් සම්මාන උලෙළයන්වල ඉන්න විනිශ්චය මණ්ඩල ගැන කිසිදු පැහැදීමක් තියා ගන්නේ කොහොමද. සෙක්ස් ඇරියස් එකක් තියෙන අයනෙ ඉන්නේ. ඒකනෙ සමනල් හැඟුමන් තියෙන චිත්‍රපට ඔසවා තබන්නේ. සමලිංගිකයො අපේ රටේ ප්‍රතික්ෂේපිතයිනෙ. අපිට හොඳ සංස්කෘතියක් සදාචාරයක් තියෙනවා. ඇයි අපි ඒවා විනාශ කර ගන්නේ. ඔබ අහපු ප්‍රශ්නයට මං තව අතුරු කතාවක් එකතු කරන්නම්. මං ස්ටුඩියෝ එකක් කරනවානේ. ඒකෙ නම කුල්නෙත් මීඩියා. චිත්‍රපටයක පසු නිෂ්පාදන කටයුතුනෙ ගොඩක් වෙලාවට කරන්නේ. මගේ ගාවට ඔය වගේ චිත්‍රපටයක් ආවොත් බාර ගන්නේ නැහැ. මගේ බිස්නස් එකට පාඩුවක් තමයි. ඒත් මගේ මතය එහෙමමයි. ඕවා කරලා මං සල්ලි උපයයි. ඒවා යාදෙන්නේ නැහැ මල්ලි. කොහෙන් හරි පිට වෙනවා ඒ මුදල්. හරියට අපි අම්මට පහර දෙනවා වගෙ වැඩක්නෙ කරන්නේ ඔය වගේ චිත්‍රපට හදලා. මං ලෝකේ රටවල් ගාණකට ගියපු කෙනෙක්. ඒ බොහෝ රටවල කොල්ලො කෙල්ලො පල්ලිවලට යන්නේ නැහැ. සෙනසුරාදා නයිට් ක්ලබ් ගිහින් ඉරිදා බුදි. වයස අවුරුදු හැටේ විතර අය තමයි පල්ලිවල ඉන්නේ. අපේ රටේ බලන්නකො කොච්චර නම් කොල්ලො කෙල්ලො ඉරිදට පල්ලි යනවද. පෝයට පන්සල් යනවද කියලා.

මේවා එහෙම වුණේ විනයක් ශික්ෂණයක් අපට තියෙන නිසා. කතෝලික අය වුණත් බෞද්ධ රටක හැදුණ විදිහට ඊට අනුගත වෙලා ඉන්නවා.

ත ඔබ බොහොම හිතුවක්කාරයි. හිතුවක්කාරකම බිස්නස්වලට එතරම් හොඳ නැහැ?

 

සල්ලි නම් මොනවද මල්ලි මේ තිබුණා මේ නැහැ. මේ විදිහට ඉඳලා සල්ලි නැතුව හිටියත් මට මැරෙන කොට හිතේවි මං රටට අවැඩක් කළේ නැහැනෙ කියලා.

 

ත සිනමාව ගැන කතාකරන්න, වැඩ කරන්න ගිහින් අන්තිමේ ඔබට ඉතිරි වුණේ කලකිරීම පමණයි. ඒත් ඔබ සිනමාවේ ඉවත් වුණේ නැහැ?

 

කොහොමද මල්ලි මේකෙන් අයින් වෙන්නේ. කරන්න වැඩක් නැති නිසා සිනමාවේ ඉන්නවා නෙවෙයිනෙ. කැක්කුමක් තියෙන නිසයි ඉන්නේ. සිනමාව වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ. මුලින්ම නළුවා වුණා. අද වෙන කොට සිනමා ශාලා හිමිකරුවෙක්. ඒත් ඔයා දන්නවද මං ඒ සමහරක් හෝල්වලට ගිහින් ටොයිලට් පවා හෝදනවා කියලා. මිනිස්සු යන එන තැන්නෙ මල්ලි. මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවල සිනමාව තියෙන්නේ දහවෙනි තැන වගේනෙ. සියලු පළමු අවශ්‍යතාවලට සල්ලි වියදම් කරලා ඉතුරු වුණොත් තමයි මිනිස්සු චිත්‍රපට බලන්න එන්නේ. එහෙම එන උදවියවත් අප චිත්‍රපට නරඹලා ගෙදර යවන්න ඕන හිතේ සතුටින්. ආයෙත් හෝල් එකට ගෙන්න ගන්න බලාගෙන. මං එම් පී අයි මණ්ඩලයේ එම් ඩී වුණානෙ. අවස්ථාවාදියෝ නඩුවක් දැම්මා. මං එතැනට යද්දී අයෝජකයින් ඇවිත් ත්‍රීඩී හෝල්ස් රැසක් හදන්න එකඟ වෙලා හිටියේ. නඩු කේස් එකත් එක්ක ඔවුන් හකුලගෙන ගියා. නඩුව මං දින්නට ආයෝජකයින් අයේ ආවේ නැහැ. මටද දේවල් නැති වුණේ. නැහැ. අපේ සිනමාවට තමයි පාඩු වුණේ. මං හැම තිස්සෙම උත්සාහ කළේ උඩුගං බලා පීනන එක. බෝම්බ කේස් එකෙන් පස්සේ ලංකාවම වැටිලා තියෙන වෙලාවේ කාගෙන්වත් උදවු නැතුව අපේ කලාකාරයෝ නිර්මාණ කරනවා. බලන්න ඔවුන් කොතරම් ශක්තිමක් ද කියලා. මමත් එහෙමනෙ. ලංකාවේ අඩුම මුදලකට ත්‍රීඩී චිත්‍රපට පෙන්වන්නේ මගේ අනූෂා මහරගම හෝල් එකේ විතරයි.

ත චිත්‍රපට බෙදා හැරිම යළිත් පෞද්ගලිකරණය වෙලා තිබෙනවා?

සංස්ථාව මුලදි කිව්වෙ ධාරා තුනක් යටතේ චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා කියලනෙ. ඒත් මොකක්ද කළේ නඩුවෙන් පස්සේ චිත්‍රපට සංස්ථාව වැඩ කළේ පරණ විදිහටමනෙ. මං කියන්නේ මෙච්චරයි ධාරා තුන හොඳයි. ඒවා යටතේ වැඩේ කරගෙන යන්න. බෙදා හැරීම පුද්ගලික අංශයට දෙන්න.

 

ත කුල්නෙත් මීඩියා ආයතනය හැදුවෙත් චිත්‍රපට කලාවට මෙහෙවරක් කරන්නද?

නැත්නම් ඉතින් වෙන මොකටද. රඟපෑවා කියලා චිත්‍රපට ක්ෂේත්‍රයට සේවයක් කළා කියලා කියන්න බැහැනෙ. එහෙනම් නළු නිළියෝ නිකම් රඟපාන්න ඕන. හැමෝම බැට් කරන්න හදද්දි මං කළේ බැට් කරන්න අවශ්‍ය පිච් එක හදපු එක.

 

ප්‍රසාද් සමරතුංග

නිශ්ශංක විජේරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.