මං ගමේ පොලිසියත් වික්කා

මහේෂ් ජයසිංහ
අගෝස්තු 15, 2019

‘සිනමාවේ කවටයා - ප්‍රසංග වේදිකාවේ කඩියා, චිත්‍රපට 170 යි, කැසට් පට 4 යි’ මහේෂ් ජයසිංහව ප්‍රසංග වේදිකවේදී ඇතැම් නිවේදකයන් හඳුන්වා දෙන්නේ එහෙමයි. සරසවිය අපේ මේ සූදානම කාලෙකින් අප නෙත නොගැටුණු නමුත් සිනමාව - රූපවාහිනිය - වේදිකාව - ප්‍රසංග වේදිකාව ආදී බොහෝ ඉසව් තුළ නොමැකෙන මතක සටහන් තැබූ නිවේදනයටත් හපන්කම් පෙන්වන කලාකරුවකු සමඟ කතාබහකටයි. අපි දැන් ඔහු දෙසට හැරෙමු.

‘කඩියා’ අඹ ගහෙන් බිමට බාලා දැන් සෑහෙන කාලයක්නේ?

ඔව්. දැන් අවුරුදු 20 කටත් වැඩියි. ඒ වෙද්දී මගේ බාල දූට මාස 6 යි. දැන් ඒ ළමිස්සි දීග තල ගිහිල්ලත් ඉවරයි.

ඒ පරණ මතකේ තව ටිකක් අලුත් කරමුකෝ?

කඳානෙදි ඒ රිය අනතුර වුණේ. මං බයික් එකේ ෂූටිං එන ගමන් හිටියේ. ඒ වෙද්දි මං රෝයි ද සිල්වාගේ ‘සංසාර බන්ධන’ ටෙලියේ ඇක්ට් කරනවා.

‘ඩෝං’ ගානවා විතරයි මට මතක. පස්සේ බයික් එක විතරයි එතැන තිබිලා තියෙන්නේ. ඒකේ ආව මිනිහෙක් නැහැ. ඉතින් ඇක්සිඩන්ට් එකේ සද්දෙ කන වැටිලා එක් රොක් වෙච්ච මිනිස්සුත් අන්දුන් කුන්දුන්.

සෑහෙන වෙලාවක් යනකල් මිනිස්සු හැප්පුණු කෙනෙක් හොයලා තියෙනවා. ඔය අතරේ නිතර උඩ බලාගෙන ඇවිදින පරෙවියෝ ඇති කරන කොල්ලෙක් පාර අයිනේ තිබිච්ච අඹ ගහක කරටිය දිහා බලන් කෑගහන්න පටන් අරන්.

ඉතින්?

‘ඒයි එකෙක් කරටියේ, කරටියේ එකෙක් ඒයි . . .’ කියලා මේ කොල්ලා බෙරිහන් දෙනවා. ඒත් එක්කම ඒයි ‘කඩියා’ කරටියේ ඉන්නේ ‘කඩියා, කඩියා’ කියලා ආපිට මේකා කෑ මොර දෙන්න පටන් අරන්.

ඒත් මිනිස්සු එච්චර ගණන් අරන් නැහැ. පරෙයියෙක් ගැන කියනවා වෙන්ඩැති කියලා හිතලා. ඒත් දිගටම කොල්ලා කෑ ගහද්දියි මිනිස්සුත් උඩ බලන්න අරන් තියෙන්නේ.

එහෙම නොදකින්න මං අඹ ගහේ කරටියේ ඉඳන්ම අවසන් ගමන් ගිහින්. කොහොම නමුත් තැඹිලි වල්ල වගේ පරෙස්සහට මාව ගහෙන් බාගෙන තියෙන්නේ ඒ මිනිස්සු. මං අදටත් ඒ හැමෝටම ණය ගැතියි. නැතිනම් බයික් එක විතරක් පොලිසී ගෙනිහින් ඒ ඇක්සිඩන්ට් එකේ කතාවත් අද්භුත සිද්ධියක් විදියට පොලිස් පොතෙත් ලිය වෙන්න ඉඩ තිබුණා.

අනතුරින් පස්සේ අසිහියෙන් උඩ වීසි වෙලා ගිහින් අඹ කරටියේ රැඳිච්ච මටත් අනිච්චා වත සංඛාරාම තමයි.

ඉන් පස්සේ රාගම ඉස්පිරිතලෙටත් එතැනින් මහ රෝහලටත් මාරු කර එව්ව මගේ කකුල නොකපා බේරා දුන්නේ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ. ඒ රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු කලා ලෝකයේ පිරිසකගේ ඇප කැප වීම මතයි.

එහෙම ඇඳට වැටිල හිටිය කාලේ එමට දුෂ්කරතා දැනෙන්න ඇති නේද?

නැතුවම නෙවෙයි. හැබැයි අහම්බෙන් මං බ්‍රෝකර් කෙනෙක් වුණෙත් ඒ කාලෙදිමයි.

ඒ කොහොමද?

අසල්වැසියෙක් නිසයි. මිනිහා ඉඩමක් හොය හොයා හිටියා. මමත් කකුලේ අමාරුව තියෙද්දිම වුණත් එයාට සපෝට් එකක් දෙන්න බැලුවා. කීප දෙනකුටම ඒ ආරංචිය දුන්නා. ඔය අතරේ මං පෙන්නුව ඉඩමකට අසල්වැසියා කැමැති වුණා. ඒ ගනුදෙනුවත් කෙරුණා.

ඊට පහුවැනිදා මගේ අසල්වාසියා අපේ ගෙදරට ආවේ රුපියල් ලක්ෂයකුත් අරගෙන. ඒ බ්‍රෝකර් ගාස්තුව. මටත් ඉන් පස්සේ ඉඩම් බ්‍රෝකර් වැඩේ රහ වැටුණා. දැන් අවුරුදු පහළොවකට වැඩි කාලයක් තිස්සේ මං මීගමුව - හලාවත අවට ඉඩම් බ්‍රෝකර් වැඩ කරනවා. ඉඩම් වෙන්දේසියේ මං ගමේ පොලිසියේ තිබුණු ඉඩමත් වික්කා.

එහෙමනම් දැන් ඉන්නේ බ්‍රෝකර් කෙනෙක්, කලින් හිටිය ඇක්ටර්ට මොකද වුණේ?

මං තවමත් එදා වගේමයි. ඒ කොමඩි නළුවා මැරෙනකල්ම මං ඇතුළේ ජීවත් වෙනවා. මැරෙනකල් මං කලාවෙන් අයින් වෙන්නේ නැහැ. ඒත් මං අත්දැකීමෙන් කියන්නේ ඕනෑම කෙනෙක් කලාවේ රැඳිලා ඉන්නවා නම් වෙනත් ව්‍යාපාරයක යෙදීම වැදගත් කියලයි.

අපි දැන් කතාව වෙනස් කරමු. ඔබ ප්‍රිය කරන නමුත් තවම ඔබට නොලැබුණු චරිතයක් එහෙම තියෙනවාද?

එහෙම නැහැ. මං කැමති කොමඩි චරිතවලට. මට හොඳින්ම රඟපාන්න පුළුවන් කොමඩිම තමයි. බැරි දේවල් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න මං කැමැති නැහැ. හැබැයි මං දවසේ කුළියට රඟපාන්න යන්නේ නම් නැහැ.

ස්ටැන්ලි පෙරේරා ‘සඳා’ චිත්‍රපටයෙන් සිනමාවට හඳුන්වා දුන් මං ඒ චිත්‍රපටයේ වඩු මඩුවක සීන් එකක පුංචි චරිතයක් කළේ. ඉන් පස්සෙ එස්. ටී. චන්ද්‍රන්, යසපාලිත නානායක්කාර, හේමසිරි සෙල්ලප්පෙරුම, සුනිල් සෝම පීරිස්, දිනේෂ් ප්‍රියසාද් වගේ වාණිජ සිනමාවේ කප් ගැසූ අධ්‍යක්ෂවරු යටතේ මං වැඩ කළා. ෆ්‍රෙඩී සිල්වා, සුනිල් හෙට්ටිආරච්චි, නිහාල් සිල්වා වගේ සමකාලීනයන් ඇසුරේ රඟපාන්නට මට වරම් ලැබුණා.

කොහොමද ෆ්‍රෙඩී එක්ක රඟපාද්දි දැනුණේ?

කිසිම බරක්පතළක් නැතිව ෆ්‍රෙඩී එක්ක ලෙහෙසියෙන්ම රඟපාන්න පුළුවන්. අපට දෙබසක් කියන්න තිබුණත්, ඒක පවා ඒ වෙලාවට නිකම්ම අපෙන් මතු වෙනවා. අපි ක්ෂේත්‍රයට එද්දි අපට ගුරුහරුකම් දුන් දැවැන්තයෙක් විදියටයි මං ෆ්‍රෙඩී සිල්වා හඳුන් වන්නේ.

හරි ආපිට අපි හැරෙන්නේ මහේෂ් ජයසිංහ කියන ව්‍යාපාරිකයා දෙසට. ඉඩම් බ්‍රෝකර් වැඩ කරද්දි ලැබූ අමතක නොවන අත්දැකීම් ඇති?

එකක් කියන්නම්. වෙන්ප්පුවෙ එක ගනුදෙනුකරුවෙක් මගෙන් ඉල්ලා හිටියේ පොල් වල්ල කරේ වදින තරමේ සුපිරි ඉඩමක්. රයිට් දෙන්නම් කියලා මං මිනිහවත් එක්කරන් පොල් වත්තකට ගියා.

එතැනදි මිනිහගේ මූණ ඇඹුල් වුණා. මිනිහා ඊළඟට කියන්න යන දේ මට තේරුණා. මං උස පොල් ගස් පෙන්වා එයාට කිව්වා ගහට ගියාම පොල් වල්ල කරේ වදිනවා කියලා. කොහොම නමුත් අන්තිමේ ඒ ගණුදෙණුවත් හරියටම කෙරුණා.

ඒ පොල් වත්තක කතාවක්නේ. පොල් කටු තනපටක් එක්ක බැඳිච්ච අමතක නොවන සිදුවීමකුත් ඔබට තියෙනවා නේද?

(හිනැහෙයි) ඔව්, ඔව්. ‘පාරාදීසය’ චිත්‍රපටයට මං රඟපෑවේ ‘රෝසලතා’ කියන සංක්‍රාන්ති ලිංගික චරිතයක්. වැල්ලවත්ත අවට තමයි රූගත කිරීම කෙරුණේ.

එක දවසක් මං ෂූටිං එද්දී හොඳටම පරක්කු වෙලා. මාව දුටු ගමන් ඉක්මණට, ඉක්මණට කියලා ඩිරෙක්ටර් කෑගැහුවා. මං දඩිබිඩියේ දුවලා ගිහින් කලින්දා තිබ්බ තැනින් සායයි හැට්ටෙයි අරන් ඇඳ ගත්තා. පොල් කටුවලින් හදා ගත්ත තනපට ඇඳ ගත්තේ කලින්දා දාලා ගිය පොල් ගහ යටින්.

ඇඳගත්තට මට ලොකේෂන් එකට ගිහින් හරියට රඟපාන්න නම් බැරි වුණා. පොල් කටු අස්සට රිංගලා හිටිය තෙල් කූඹි ඇඟ පුරා ගිහින් මට විදින්න ගත්තා. ඒ වේදනාව ඉවසාගෙන සීන් එක ඉවර කරලාමයි මං ඒ ඇඳුම් කැඩුම් ටික ගලවා දැම්මේ.

ඒත් ඔබ වඩාත් ජනප්‍රිය වූ චරිතය වෙනත් එකක් නේද?

ඔව්. ඒ, එච්. එස්. පෙරේරා බර පැන දැරූ ‘නැව ගිලුණත් බෑන් චූන්’ චිත්‍රපටයේ එන කඩියාගේ චරිතය. එච්. එස්ම ලියූ ඒ ගීය තවමත් ජනප්‍රියයි. අදටත් මං ඒ ගීතය ප්‍රසංග වේදිකාවල පවා ගායනා කරනවා. මං අනතුරට ලක්වෙච්ච වෙලාවේ විසි වී ගිහින් අඹ ගහේ කරටියේ රැඳිලා ඉඳිද්දි කොල්ලෙක් මාව දැකලා අඳුරගෙන කියලා තිබුණෙත් කඩිය කරටියේ කියලායි.

අවසන් වශනේ අපට ඔබේ පවුලේ විස්තරත් කියන්න.

බිරිය ඉරේෂිකා ප්‍රනාන්දු. දූවරු දෙදෙනායි පුතයි මට ඉන්නේ. පුතා ඉරාන් ජයසිංහ. ඔහු රංගනයට වගේම ගායනයටත් දක්ෂයි. ඉෂානි ජයසිංහ, ඉරෝමා ජයසිංහ දූවරුන් කලාවට ළැදියි. රිය අනතුරින් පස්සේ මාව රැක බලාගෙන දෙපයින් නැඟී සිටින්නට ඔවුන් මට දිරි දුන්නා. අද වන විට ඒ දරු තිදෙනාම විවාහ වී වෙනම ජීවත් වෙනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.