වැඩේ හරි! ක්‍රමය වැරැදියි

ආචාර්ය සෝමරත්න දිසානායක
ජූලි 11, 2019

ලාංකික සිනමාවේ අලුත් 'අර්බුදය' ගැන කතාවක්

 

මෙරට සිනමා ඉතිහාසය පුරා චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමවේදය පිළිබඳ පැවතුණේ බහුතරයකගේ නොපැහැදීමකි. එය අලුතින් වර්ධනය වී පුපුරා ගියේ පසුගිය දිනෙක ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් සමස්තය පාලනය කිරීමේ අයිතිය තහවුරු කරගැනීමත් සමඟය. මේ පිළිබඳව විවිධ මත පළවන අතර චිත්‍රපට බෙදාහැරීමේ පූර්ණ අයිතිය සංස්ථාවට සීමා කිරීම පිළිබඳ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක කළ ප්‍රකාශයක් සම්බන්ධව සංස්ථාවේ වෘත්තිය සමිති විරෝධය පළකරමින් ලිපියක් ද මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි. ඒ සියලු කරුණු අලළා අපි ආචාර්ය සෝමරත්න දිසානායක හමුවීමු.

 

* මොකක්ද ඇත්තටම මේ බෙදාහැරීම පිළිබඳ උද්ගතවන අර්බුදය?

සිනමා ක්ෂේත්‍රයේ චිත්‍රපට බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ අද ඊයෙක නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ විවිධ කණ්ඩායම්, විවිධ කමිටු, විවිධ නියෝජිතයන් සාකච්ඡා කරමින් අවුරුදු ගාණක් ගතවුණා. මෙයට ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ, ඇමැතිතුමාගේ වෙන වෙනම කමිටු තිබුණා. මේ හැම එකක්ම ප්‍රශ්න හඳුනාගෙන ඒ ඒ ප්‍රශ්නවලට විසඳුම් දිය යුත්තේ කෙසේද කියන දේ වසර ගණනාවක් පුරා ඉදිරිපත් කර තිබුණා. මේ අතරතුර තමයි චිත්‍රපට සංස්ථාවට උසාවි නියෝගයකින් බලය ලැබෙන්නේ බෙදා හැරීම කළ හැකියි කියලා. එතකොට අර අවුරුදු ගාණක සාකච්ඡා සියල්ල පැත්තක දාලා අමතක කරලා දැන් අපි දිනුම්, බෙදා හැරීම අපට අයිතියි කියලා ඒ වැඩේ කරන්න පටන් ගන්නවා. මේ ගැන අපේ විරුද්ධත්වයක් නැහැ.

හැබැයි මම මෙතනදි අපි කියන වචනයෙන් නියෝජනය කරනවා කණ්ඩායම් දෙකක්. එකක් අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, අනෙක නිෂ්පාදකවරුන්ගේ සංසදය. අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකවරුන් හැටියට අපි චිත්‍රපට සංස්ථාව චිත්‍රපට බෙදාහැරීම් කළාට විරුද්ධ නැහැ. හැබැයි ඒ සඳහා අලුත් ක්‍රමවේදයක් තියෙන්න ඕනා. පරණ ක්‍රමවේදය හැටියටම බෙදාහැරීම් කරනවා නම් එය සිනමා කර්මාන්තයට හා සිනමා කලාවට අවාසිදායකයි. හානිකරයි කියන එක තමයි අපේ මතය.

 

* ඔබ කියන්නේ පෞද්ගලික මණ්ඩලවලින් බෙදාහැරීම සංස්ථාවට පවරා ගැනීම හරි කියලානේ?

ඔව්. බෙදාහැරීම පෞද්ගලික මණ්ඩලවලින් සංස්ථාවට පවරා ගැනීම නිවැරැදි වුණාට, එයට ක්‍රමවේදයක් තිබිය යුතුයි.

 

* එහෙම ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබෙනවාද?

කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා සංස්ථාව දැනට. අප එය ප්‍රතික්ෂේප කරනවා.

 

* ඇයි ඒ?

එකම හේතුව සාරාංශයක් හැටියට කීවොත්, ඒ ක්‍රමවේදයට ගියාම චිත්‍රපට කර්මාන්තයට, කලාවට සිදුවන්නේ හානියක් බව අපට පෙන්වා දිය හැකියි. මොකද ඒ අය චිත්‍රපට ධාරා තුනකට බෙදනවා. එවිට ලංකාවේ දේශීය චිත්‍රපට පෙන්වන සිනමා ශාලා දැනට තිබෙන්නේ 100ටත් අඩු සංඛ්‍යාවක්. ඒ නිසා එක ධාරාවකට ලැබෙන්නේ චිත්‍රපට ශාලා තිහක පමණ සංඛ්‍යාවක්. හරියටම ගණන් හැදුවොත් තිහකටත් අඩුයි. මොකද දුර පළාත්වල සමහර ශාලාවල ගුණාත්මක තත්ත්වය අන්තිම දුර්වලයි. මම අහන්නේ හුඟක් වියදම් කරලා හදන, රසිකයන් බලන්න කැමති, ආකර්ෂණීය චිත්‍රපටයක් ශාලා තිහක පෙන්වලා කවදද නිෂ්පාදකයකුට ගොඩ එන්න පුළුවන් වන්නේ. හරි, නිෂ්පාදකයන් පැත්තක තියමුකෝ, මේ රටේ චිත්‍රපට බලන්න ආසාවෙන් ඉන්න ප්‍රේක්ෂකයන්ගේ ආසාවට මොකද වෙන්නෙ? ඒ නිසා ඔය ධාරා ක්‍රමය සම්පූර්ණයෙන් අසාර්ථකයි.

 

* මීට කලිනුත් මණ්ඩල පහක් පවා තිබුණා?

හරි. මණ්ඩල පහක් කියන්නෙ ධාරා පහක් තමයි. ඒක අසාර්ථක නිසානේ අප යෝජනා කරන්නේ වෙනම ක්‍රමවේදයක් හදන්න කියලා. දැන් වෙලා තියෙන්නේ, අසාර්ථක ධාරා පහෙන්, අසාර්ථක ධාරා හතරක් අවලංගු කරලා, ඒ වගේම අසාර්ථක එක ධාරාවකට බලය දීලා. ඒක ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැහැනේ. චිත්‍රපට සංස්ථාවේ බෙදා හැරීමේ ක්‍රමවේදය හොඳ නම්, ඒ අයට කලින් තිබුණනේ රිද්මා මණ්ඩලය. ඒක අනෙක් අයට වඩා සාර්ථක වෙන්න එපැයි. ඒක ඇත්තටම ගත්තොත් ධාරා පහෙන් අසාර්ථකම මණ්ඩලයක් හැටියට, හතරවැනි තැනට විතර තිබුණු එකක් විදිහට ගන්න පුළුවන්. එහෙම වුණේ ඇයි? ඒකේ තේරුම චිත්‍රපට සංස්ථාවේ මෙතෙක් පැවැති ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා කියන එකනේ. එහෙම නොවුණා නම් මේ රටේ සිනමාකරුවන් මේ යහපත් ධාරාව වටා රොක් වන්න එපායැ. එහෙම වුණේ නැහැ. මේ රටේ හොඳ සිනමාකරුවන්, (හොඳ සිනමාකරුවන් කියන වචනය පරෙස්සමින් භාවිත කරන්න ඕනැ. මොකද වැරැදියට අර්ථකථනය වන්න පුළුවන්. ඒ නිසා අපි කියමු ආකර්ෂණීය, රසිකයන් බලන්න කැමති චිත්‍රපට තනන්නෝ කියලා) රිද්මා මණ්ඩලයට එකතු වුණේ නැහැ. සම්මානනීය අය එකතු වුණෙත් නැහැ. ඔවුන් ගියේ සෙල් (ඛ්ඡ්ඹ්) මණ්ජලයට. ඒ නිසා ඒ ක්‍රමයම නම් ඉදිරියට ගෙනියන්නෙ එය අසාර්ථක බව අපට කියන්න පුළුවන්.

 

* එහෙනම් ඔබ කැමති කුමකටද?

මූලික වශයෙන් දැනට තිබෙන ‍පෞද්ගලික බෙදා හැරීමේ ක්‍රමවේදය අහෝසි වෙනවාට සමස්තයක් හැටියට කැමතියි. හේතුව ඒකේ අසාධාරණකම් ගොඩක් තිබීම. එකක් මණ්ඩල පහකට බෙදා තිබෙනකොට එක මණ්ඩලයට එන්නේ සිනමා ශාලා විසි ගණනයි. ප්‍රධාන විරෝධය එතැන. ඊළඟට ඒ මණ්ඩල නිෂ්පාදකයන්ගේ පැත්ත හිතුවෙම නැහැ. ඒ අය සියයට10ක කොමිස් මුදලක් ගන්නවා. ඒ ගන්නේ නිෂ්පාදකයාට සහ සිනමා ශාලාවට අයිති විය යුතු මුදලින්. ඒ අරගත්තත් පෙරළා එයින් සිනමා කර්මාන්තයට උපකාරයක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා පැවතුණු ක්‍රමයේදී ඒ මුදල නිෂ්පාදක සහ සිනමා ශාලාව අතර බෙදී යා යුතුව තිබුණා. ඒ නිසා අලුත් ක්‍රමවේදයක් තිබිය යුතුයි මේ බෙදා හැරීමට.

 

* ඔබ ඇතුළු සංගම් විසින් ක්‍රමවේද යෝජනා කළාද සංස්ථාවට?

ඒක තමයි ප්‍රශ්නේ. අපි යෝජනා කළා ක්‍රමවේදයක්. ඒත් ඒ කිසි දෙයක් ගණන් ගන්නෙ නැතිව පැත්තකට දාලා, අඩු ගාණේ දැනට සිටින රජයෙන් දැනට සිටින ඇමැතිතුමා පත් කළ විද්වත් මණ්ඩලය යෝජනා කරන ක්‍රමය පවා නොසලකා හැරලා තමන්ට හිතෙන දෙයක් විතරක්ම කරනවා. අපි කියන්නේ චිත්‍රපට සංස්ථාව අලුත් විධියකට පටන් ගන්න එක හොඳයි. අපිත් කැමතියි. උදව් කරන්නත් ලැස්තියි. ඒත් අපිත් එක්ක කතා කරන්නේ නැනේ. සිනමාකරුවන් සමඟ කතා නොකර, චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් කීපදෙනකු එකතුවෙලා හදනවා ක්‍රමවේදයක්. අපි ඒකට විරුද්ධයි. හේතුව, ඒ අයගේ යෝජනාවල මුලින් කීවා වගේ පිළිගත නොහැකි කරුණු රැසක් තිබෙනවා.

 

* ඒ නිලධාරී මණ්ඩලය සිනමා කර්මාන්තය, සිනමා කලාව සහ බෙදා හැරීම සම්බන්ධ ප්‍රාමාණික දැනුමෙන් යුතු අයද?

අපි දන්නේ නැහැ. අපි ඒ අය කවුද කියලාවත් දන්නේ නැහැ. අපි දන්නේ චිත්‍රපට සංස්ථාව ඇතුළෙන් වෙච්ච දෙයක් කියලා විතරයි. අපට නම් ගම් දීලා නැහැ. මේක රහසිගතව කළ දෙයක්.

 

* එහෙම කිරීම ඔබ දන්නා තරමින් නීත්‍යානුකූලද?

මෙහෙමයි. ආයතනයක සභාපතිකෙනකුට කමිටුවක් කියලා කීපදෙනකු නම් කරන්න පුළුවන්. ඒත් ඒ නම් කරන කමිටුව කළ යුත්තේ මේ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමනේ... ඒත් මේ පිරිස යෝජනා කරන ක්‍රමවේදයෙන් වෙන්නේ තව තවත් අවුලෙන් අවුලට යනඑක නම්... උදාහරණයක් විදිහට ඔය ධාරා තුනේ ක්‍රමය. මේ කමිටුවේ ක්‍රියා කලාපය විනිවිදබවින් තොරයි.

 

* ඔබේ සංගම්වලින් සාකච්ඡාව සඳහා අවස්ථාව ඉල්ලුවාද?

අපි දිගටම කිව්වේ ඒකනේ. ඒ අතරනේ මේ හදිසියේ දෙයක් කළේ. ඉතින් ඒ ක්‍රමවේදය හරි කමක් නැහැ හරියට හදන්න. තවත් දෙයක් ඒ අයට තමන්ගේ ක්‍රමවේදය අපට නොපෙන්වා ස්ථිර කරගන්න ලොකු හදිසියක් තිබුණා. මම බලෙන් තමයි කීවේ අපට පෙන්වන්න කියලා. ඒ පෙන්වලාත් අපට කියවා ගන්න වේලාවක් නැතුව ස්ථිර කරගන්න හදනවා. මම කිව්වා මෙහෙම ස්ථිර කරන්න බැහැ කියලා.

 

* එහෙම හදිසි කරන්න හේතුව මොකක් කියලාද හිතන්නේ?

හිතාගන්න බැහැ. මම දන්නේ නැහැ මොකද කියලා හරි ගුප්තයි. මට හිතෙන්නේ ඒ අය බය වෙන්න ඇති අර අධිකරණ තීන්දුව ආවට පස්සේ අනෙක් අය ආයෙම නඩුවක් දාලා ආයෙ වාරණ නියෝග අරගෙන කලබලයක් කරයි කියලා. ඊට කලින් ඉක්මනට පටන්ගන්න ඕනා කියලා කිසිම සූදානමක් නැතිව හදිසි ආරම්භයක් කරන්න හැදුවේ. ඒත් යමක් කිරීමේදී සූදානම තමයි වැදගත්. අපිත් එක්ක කතා කළානම් අපි සැලසුමක් දෙනවා. අපේ ළඟ සැලසුමක් තියෙනවා ඇත්තෙන්ම කීවොත්.

 

* හොඳයි, ඔබ යෝජනා කළ ක්‍රමය කුමක්ද?

අපි මුලින්ම යෝජනා කළේ චිත්‍රපට බෙදාහැරීම නිදහස් කරන්න කියලා. ඒ කියන්නෙ සිනමා ශාලා කිසිම ධාරාවකට හෝ මණ්ඩලයකට අයිති නැහැ. නිෂ්පාදකයාගේ අවශ්‍යතාව මත යම් සිනමා ශාලා සංඛ්‍යාවක් ඉල්ලා සිටිනවා නම් ඒ සංඛ්‍යාව ඒ අයට දෙන්න. මොකද හැම නිෂ්පාදකයාම එහෙම ඉල්ලන්නේ නැහැනේ. අද බොහෝ චිත්‍රපටවලට එහෙම සිනමා ශාලා ගොඩක් ඉල්ලන්නේ නැහැ. මම මේ කවුරුවත් පහත දානවා නෙවෙයි. සමහර චිත්‍රපට ප්‍රේක්ෂකයන් බලන්නේ නැහැනේ. ඉතින් ඒ චිත්‍රපටවලට සිනමා ශාලා අසූවක් අනූවක් ඉල්ලන්නේ නැහැ. ආකර්ෂණීය චිත්‍රපට කියන ඒවා හැමදාම එන්නෙත් නැනේ. අවුරුද්දට එකයි නැත්නම් දෙකයි. ඒ නිසා සමීක්ෂණ මණ්ඩලයකින් කිසියම් සමීක්ෂණයක් කරලා, ඒ වර්ගීකරණය අනුව ඉහළ ඉල්ලුමක් තිබෙන චිත්‍රපටවලට වැඩි සිනමා ශාලා සංඛ්‍යාවක් දෙන ක්‍රමවේදයක් හදන්න. සමහරු තර්ක කරයි එහෙම හැමෝම ඉල්ලුවොත් මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙම වෙනවා නම්, චිත්‍රපටයක් හැමදාම හැම ශාලාවකම හවුස් ෆුල් දුවනවා නම් කොච්චර හොඳද? එතකොට මිනිසුන්ටත් තේරෙනවා සිනමා ශාලා රටේ මදි කියලා, අලුත් ශාලා හැදෙනවා. ඒත් එහෙම වෙන්නේ නැනේ. ඒ නිසා ධාරා ක්‍රමය ඉවත් කරන්න. නිෂ්පාදකයාට අවසර දෙන්න තමන්ගේ චිත්‍රපටය පෙන්වන්නේ කුමන ශාලාවලද කියා තීරණය කරන්න. ශාලාවලට නිදහස දෙන්න තමන් කැමැති චිත්‍රපට ගන්න.

 

* කලින් ඔබට චෝදනාවක් ආවා ශාලා 54ක් ඉල්ලීම සම්බන්ධයෙන් ඔය ආකාරයට?

හ්ම්, පරණ කතාව. ඒක තමයි එන චෝදනාවත්. ඒත් මම කියන්නේ අපි ඔය ගැන චුට්ටක් කල්පනාවෙන් කතා කරන්න ඕනා. මේක ව්‍යාපාරයක්නේ. ඒ නිසා ඕනැම ව්‍යාපාරයක ඉල්ලුම තියෙන කෙනෙක් සීමා කරලා කොටු කරලා ඉල්ලුමක් නැති කෙනකුට ඒ තැන හදන්න පුළුවන්ද? චිත්‍රපට පැත්තක දාලා පාන් ගැන කියමු. එක බේකරියක පාන් රසයි ගුණයි පිරිසුදුයි කියලා ඉල්ලුම තියෙනවා නම්, වැඩිපුර විකිණෙනවා නම් අනික් බේකරිකාරයෝ ඒකට කැගහල වැඩක් තියෙනවාද? ඒ අයගේ පාං විකිණෙන්නේ නැත්තේ මොකක් හරි ප්‍රශ්නයක් නිසානේ. ඉතින් හොඳට හදන කෙනාගේ පාන් සංඛ්‍යාව සීමා කරන එක සාධාරණද? ඒක කර්මාන්තයක මූලික සිද්ධාන්තයක්.

සිනමාවට ආයෝජනය කරන්නේ මූලික අංශ දෙකකින් එකක් චිත්‍රපටය හදන්න මූලික වෙන නිෂ්පාදකයා. අනෙක් කෙනා වියදම් කරලා සිනමා ශාලාවක් හදන ශාලා හිමියා. මේ දෙන්නා ආයෝජනය කරන්නේ තමන්ගේ පෞද්ගලික මුදල්. ඒ ආයෝජනයට ප්‍රතිලාභයක් නැත්නම් මොකටද ආයෝජනය කරන්නෙ. සිනමා ශාලාවක් හදන්නේ නගරයක වටිනාම භූමි කොටසක. ඒ නිසා ඒ ඉඩ වෙන ව්‍යාපාරයක යොදවන්න ලේසියෙන් පුළුවන්. අපේ රටේ නිෂ්පාදකයන් කොපමණ ඉන්නවාද එක චිත්‍රපටයකින්ම ව්‍යාපාරය එපා වුණු. හේතුව මේ කොටු කිරීම් යටතේ ඔවුන්ට ලාභ ලබන්න බැරි වීම. රජයෙන් ආධාර දෙන්නේ නැනේ සිනමා ශාලාවලට හා නිෂ්පාදකයන්ට.

 

* යම් වසරකදී ඔබ කියන ආකාරයේ ආකර්ෂණීය සිනමා කෘති එකක් වත් නිර්මාණය නොවුණොත් අවාසනාවකට, ශාලා හිමියන්ට පුළුවන් බොලිවුඩ් හෝ හොලිවුඩ් කෘතියකින් මුදල් උපයන්න. එවිට දේශීය සිනමාවට මොකද වෙන්නෙ?

මම නම් කියන්නෙ එහෙම වෙන්නේ නැහැ. පසුගිය දශක දෙකක පමණ ඉතිහාසය ගත්තත් ආකර්ෂණීය කෘති එකක් දෙකක් හෝ හැදිලා තියෙනවා. මම කියන්නේ අන්න ඒ අය දිරිමත් කරන, සිනමාවේ රඳවා ගන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වගේම සිනමා ශාලා හිමියන්ට නිදහස දුන්නාම ඔවුන් ලබන ආදායමින් තවත් සිනමා ශාලවක් හදනවා. මුලින් විය යුත්තේ මෙය මුදල් උපයන්න පුළුවන් කර්මාන්තයක් බව පෙන්වා දිය යුතුයි.

 

* ඒත් ඇතැම් ශාලා බිහි වන්නේම විදේශ චිත්‍රපට ප්‍රදර්ශනය ඉලක්ක කරගෙන?

එතන ප්‍රශ්නයක් තිබෙනවා. විදේශීය චිත්‍රපටවලට සීමා බන්ධන දැමිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඉංග්‍රීසි සහ දෙමළ චිත්‍රපට පමණක්ම පෙන්වන ශාලා වෙනමම තිබෙනවා. ඒවා වෙනස් කරන්න ගියොත් වෙන ප්‍රශ්න ඇති වන නිසා අපි ඒ කීපය අතහරිමු. අපේ ස්ථාවරය ශාලාවක සියයට 60ට වැඩි තිර කාලයක් දේශීය සිනමාවට තිබිය යුතුයි.

මෙතනදි අප සිනමා ශාලාවල සත්‍ය ප්‍රශ්නයත් බලන්න ඕනා. ශාලාවකට විදෙස් චිත්‍රපටයකින් ආදායමක් ලැබෙනවා නම් අර ප්‍රධාන දේශීය චිත්‍රපටය පෙන්වන අතර තිර කාලයක් විදෙස් චිත්‍රපටයටත් දුන්නට කමකක් නැහැ. සමහර තැන්වල ඒ අත්හදා බැලීම කරනවා. ආකර්ෂණයක් තිබෙන දේශීය චිත්‍රපට නැති නිසා තමයි වේලාවන් හතරට චිත්‍රපට හතරක් පෙන්වන්න වෙලා තිබෙන්නේ.

 

* චිත්‍රපට සංස්ථාව යටතේ බෙදාහැරීම පවත්වාගෙන ඔය දිරිමත් කිරීම කළ නොහැකිද?

පුළුවන්. වෘත්තීය සමිති මගේ අදහස වැරැදියටයි තේරුම්ගෙන තිබෙන්නේ. චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික අංශයෙන් ගලවන්න කියල අරගලය මුල ඉඳන් ගෙන ගියෙත් අපියි. මගේ අදහස බලගන්වන්නේ සංස්ථාව නම් ඒ කණ්ඩායමට අලුත් නීති රීති, නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි යන්නයි. එයට නිෂ්පාදකයන්, අධ්‍යක්ෂවරුන් හා සිනමා ශාලා හිමියන් කියන සිනමාවේ වගකිව යුතු පාර්ශ්ව කරුවන් සමඟ සාකච්ඡා කළ යුතුයි. වැරදි තිබෙනවා නම් හදා ගත යුතුයි. අපි චිත්‍රපට සංස්ථාවට ආදරේ නිසයි කියන්නේ. අපි විධිමත් ක්‍රමවේදයක් හදමු සංස්ථාව යටතේ බෙදා හැරීම නිසි අයුරින් ක්‍රියාත්මක වීමට.

 

* ඔබේ ක්‍රමයට අනුව සංස්ථාවේ පෝලිමේ තිබෙනවාය කියන චිත්‍රපටවලට මොකද වෙන්නේ?

ඕක වෙන ප්‍රශ්නයක්. චිත්‍රපට 80ක් විතර තිබෙනවා කීවට වර්ගීකරණයකට එය ලක්විය යුතුයි. එහි පළමුවෙනි කොටස තමයි කලාත්මක චිත්‍රපට තෝරා ගැනීම. ඒවා සමහරවිට ආකර්ෂණීය නොවන්න පුළුවන්. ඒත් ඒවා දිරි ගැන්විය යුතුයි ආරක්ෂා විය යුතුයි. දෙවැනි කොටස කලාත්මක ලක්ෂණ හා ආකර්ෂණීය ලක්ෂණ තිබෙන චිත්‍රපට. තුන්වැනුව කලාත්මක ලක්ෂණත් සම්මිශ්‍රව තිබුණත් ආකර්ෂණීය පැත්තට බර මැද මාවතේ චිත්‍රපට වගේ ඒවා. අවසාන වශයෙන් කලාත්මක හෝ ආකර්ෂණීය ලක්ෂණ කිසිවක් නැති, ඒවා පෙන්නුවොත් ශාලා වැහෙන මට්ටමේ චිත්‍රපට නොවන චිත්‍රපට. එය මුදල් නාස්ති කිරීමක් හා නිෂ්පාදකයන් රවටාගෙන කළ චිත්‍රපට. මම හිතනවා ඔය කියන 80න් 65කට 70කට වඩා තිබෙන්නේ ඒ ගණයේ ඒවා. අපි කියන්නෙ ඒවා අධෛර්යමත් කරන්න. පෝලිමේ හිටියා කියලා ඒවා පෙන්වන්න රජය බැඳීලා නැහැ. කවුරුත් කීවේ නැනේ ඒ අයට චිත්‍රපට හදන්න කියලා. අනුන්ගේ වගකීමක් චිත්‍රපට සංස්ථාව බාර ගන්නේ මොකටද?

ඒ වගේම චිත්‍රපට ශාලා වුණත් මීයො දුවනවා නම්, සර්පයින් ඉන්නවා නම් ඒ අය අධෛර්යය කරන්න ඕන. හොඳ සිනමා ශාලා ධෛර්යමත් කරන්න. හොඳ නිෂ්පාදකයින්, හොඳ අධ්‍යක්ෂකයින් රැක ගන්න. සිනමාවේ බොරුකාරයන් නවත්වන්න ක්‍රමවේදයක් හදන්න.

 

* ඔබේ 'සුනාමි' ?

සුනාමි තව මාසයකින් විතර එන්න සූදානම්. ඒත් මේ තිබෙන තත්ත්වය යටතේ, මොකක් හෝ සාධාරණ විසඳුමක් එනතුරු මම චිත්‍රපටය සිනමා ශාලාවල පෙන්වන්නේම නැහැ. ඔව්. ඒක කාටවත් කරන දඬුවමක් නෙවෙයි. මට අන්තර්ජාතිකව මගේ මුදල හොයාගන්න ක්‍රමවේද තිබෙනවා. නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂවරු නවත්වන්න බැහැ. පවතින් තාක්ෂණය අනුව ඔවුන් ගමනේ යනවා. අපි මේ බැනුම් අහන්නේ කර්මාන්තයට ආදරේ නිසා. හැබැයි මම ආසයි ඒ තත්ත්වයට නොගිහින් අපේ රටේ, අපේ ගමේ රසිකයන් වෙනුවෙන් චිත්‍රපටය පෙන්වන්න. ඒ සඳහා සිනමාව නොදන්නා නිලධාරීන් සමඟ නොව සිනමාව දන්නා සිනමාකරුවන් සමඟ එකතුවෙලා නිසි ක්‍රමවේදය සකසමු කියලා මම සංස්ථාවට ආරාධනා කරනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.