මෙගාවල රඟපාලා නාගන්න කැමැති නැහැ

අමිල කරුණානායක
ජූලි 11, 2019

බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සිකුරු යෝගය සිනමාපටයේ ගීත් ලෙස රඟන ඔහු අමිල කරුණානායක.

අමිල සිකුරුයෝගය ඔබේ කී වැනි සිනමාපටයද?

මේ වන විට මං චිත්‍රපට හතක පමණ රංගනයේ යෙදුණා. තුනක් රිලීස් වුණා. එක රූපාන්තරණ, දෙක පෝරිසාදයා. එකේ මං රඟපෑවේ විලන්ගේ චරිතය. තුන තමයි සිකුරු යෝගය.

කවුද මේ ගීත් කියන්නේ?

ගීත් කියන්නේ චිත්‍රපටයේ කොල්ලා. මේක හාසේ‍යීත්පාදක චිත්‍රපටයක්. මගේ රෝල් එකෙත් කමඩි ටිකක් තියෙනවා.

කොහොමද ඔබට සිකුරු යෝගයේ කොල්ලා වෙන්න අවස්ථාව ලැබෙන්නේ?

අනර්කලී ආකර්ෂා තමයි මාව අධ්‍යක්ෂ මිස්ටර් බර්මින් ගාවට යොමු කළේ. අනර්කලී මං සහභාගි වූ මොඩ්ලිං තරගයක් ජජ් කරන්න ඇවිත් තිබුණා. ඇයට හිතෙන්න ඇති මාව එම චරිතයට සුදුසුයි කියලා.

ඇයි ඔබ ගීත්ගේ චරිතය බාර ගන්නේ?

හේතු කිහිපයක්ම තියෙනවා. එකක් මේකෙ අධ්‍යක්ෂවරයා මිස්ටර් බර්මින් ලයිලි ප්‍රනාන්දු වීම. ඔහු හරිම ධනාත්මකව හිතන, අත්දැකිම් බහුල අධ්‍යක්ෂවරයෙක්. ඔහු හිතුවොත් හිතුවාමයි. අනික මේ චිත්‍රපටයේ අති දැවැන්ත ප්‍රවීණයින් සංඛ්‍යාවක් රඟපානවා. ඔවුන් සමඟ වැඩ කරන්නට ලැබීම මහඟු අවස්ථාවක්. එහෙම හිතලා මං චරිතය බාර ගත්තා. පිටපතත් හිතට වැදුණා.

අමිල වැඩිය නාට්‍යවල පේන්න නැහැ?

වැඩිය නෙවෙයි කොහෙත්ම නැහැ.

ඇයි ඒ?

මට නාට්‍යවලට කතාකරලා තියෙනවා. ඒ ඔක්කොම මෙගා ඒවා. සමහර නාට්‍යවල මුහුරත් උලෙළවලට පවා ගිහින් තියෙනවා. රඟපාන්න කැමැති වෙලා දර්ශන තලයට ගියාම කලකිරෙනවා. කොටස් දෙසීයක් විතර නාට්‍යයේ තියෙනවා කියලා ඇහුවම මං උඩ ගියා. මේවායේ රඟපාලා නාගන්නවාට වඩා සිනමාව හොඳයි කියලා හිතුණා.

ඔබ හිතන්නේ ඔබේ මාධ්‍ය සිනමාව?

ඔව්. පුංචි තිරයට මාව එච්චර ගැළපෙන එකක් නැහැ. ඒකට ඉතින් ඉන්නවනෙ මට වඩා ලස්සන කොල්ලෝ. ඔවුන් එතැන හිඳීවි. මං සිනමාව ඔස්සේ ගමනක් යනවා. ඒක මගේ අරමුණක්.

සිනමාවේ දක්ෂතා පෙන්වන්න ප්‍රමාණවත් මට්ටමේ චිත්‍රපට හැදෙනවද?

අන්න එතැන තමයි ගැටලුව තියෙන්නේ. හරි අමාරුයි දැන් සිනමා තරුවක් වෙන්න. අපහසුකම් බොහොමයි. අනාගතයක් නැති බවකුත් පේනවා. එහෙම වුණාට මං පසු බහින්නේ නැහැ. හොඳ පැත්තට හැම දෙයක්ම සිදු වේවි කියන බලාපොරොත්තුව තියෙනවා. අපේ සිනමාව මීට වඩා අලවිකරණය පැත්තට එන්න ඕන කියලයි මට හිතෙන්නේ.

මොනවද ඔබට තියෙන අභියෝග?

නිර්මාණ හිඟකම තමයි එකම අභියෝගය. රස විඳින්න හැකි නිර්මාණ අඩුයිනෙ.

ඔබ චරිත තෝරා බේරා ගැනීමක් කරනවාද?

ඔව්. මුල් කාලේ එහෙම කළේ නැහැ. මට ඕන වුණේ අවස්ථා පාදගන්න. දැන් දැන් වඩාත් හිතනවා චරිත ගැන.

කොපමණ කල් කොල්ලගෙ චරිතය කරන්න බලාපොරොත්තු වෙනවද?

මං හැම චරිතයකටම ආසයි. කොල්ලගෙ චරිත පමණක් කරනවා කියලා හිතාගෙන නැහැ. නමුත් අධ්‍යක්ෂවරු ආරාධනනා කරනතාක් කල් කොල්ලගෙ චරිතය රඟපානවා.

අමිල විවාහකයි නේද?

ඔව්. මං ක්ෂේත්‍රයට ආවේ විවාහ වුණායින් පසුව.

සුපිරි තරුවක් කරා යන ගමනට විවාහය බාධාවක්ද?

කොහෙත්ම නැහැ. මං කරන්නේ රඟපෑමක් පමණයි. ඒ අස්සේ කෙල්ලන්ට ලව් කරන්නවත්, යාළු වෙන්නවත් හදන්නේ නැහැ. මං මගේ සීමාව දන්නවා. එතැනින් එහාට යන්නේ නැහැ. මගේ බිරිය ඉන්ජිනේරුවරියක්. ඇය ක්ෂේත්‍රයේ කාවවත් දන්නේ නැහැ. රඟපෑම කියන විෂය මොන වගේද කියලා අඳුනන්නෙත් නැහැ. එහෙයින් ඇයගේ යම් අකැමැත්තක් තියෙනවා මගේ රංගන කාර්යය ගැන. නමුත් ඇය දන්නවා මගේ කැමැත්ත රඟපෑමට කියලා. හැකියාවන් පෙන්වන්න පුළුවන් කියලත් දන්නවා. ඒ නිසා මට යන්න දෙනවා. ඇය තමයි මගේ විචාරිකාව.

ඒ විචාරිකාව ඔබේ රංගනය ගැන මොකද කියන්නේ?

තවම හොඳ කියලා නැහැ.

අඩුපාඩු පෙන්වලා දෙනවද?

ඔව්. ඇය සතුටු වෙනවා මගේ දියුණුව ගැන. තව මට රඟපාන්න පුළුවන් කියලා තමයි කියන්නේ.

ඔබ විවාහකයි කියලා නොදැන ආදර යෝජනා ඉදිරිපත් කරන රසිකාවෝ ඇති?

සෑහෙන්න ඉන්නවා. කවුරුන් හෝ ඇහැව්වොත් මං විවාහකද කියලා ඔව් කියනවා ඇරෙන්න මට හම්බුවෙන හමුබුවෙන කෙනාට කියන්න බැහැනෙ මං බැඳලා කියලා. එහෙම නොදැන යාළු වෙන්න අහන අය ඉන්නවා. නම්බරේ ඉල්ලගෙන කෝල්ස් එනවා. මං තනිකඩයෙක් නෙවෙයි කියන එක හඟවලා ඒ කතාබස් දුරදිග නොයවා නවත්ව ගන්නවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.