සේරම පිස්සෝ කියලා ජනතාව තීරණය කරලා

ජීවන් කුමාරතුංග
ජුනි 27, 2019

සිංහල සිනමාවේ තරු පිළිබඳ කතා කරන විට අමතක කළ නොහැකි චරිතයක් ලෙස ජීවන් කුමාරතුංග නම් ප්‍රවීණ රංගන ශිල්පියා හඳුන්වා දිය හැකිය. එසේම අද යුගයේ දේශපාලනයට පිවිසි නළු නිළියන් අතර දශක දෙකහමාරකට වැඩි ඉතිහාසයක් ද ඔහු දරයි. අද සිනමාව හා දේශපාලනය ඔහු දකින ආකාරය පිළිබඳ ටික කලෙකින් කතා බහ කළ නොහැකි වූ නිසා අපි ඔහු හමුවීමට බලපොකුණ පාරේ නිවෙසට ගියෙමු. හිමිදිරියෙන්ම තම ඡන්දදායකයින් හමු වීමට ගොස් සරසවිය වෙනුවෙන් යළි පැමිණි ඔහු සමඟ අපි මෙසේ සාකච්ඡාව ඇරඹුවෙමු.

ඉතින් ජීවන් අය්යා කොහොමද? අලුතින් රංගන කටයුතුවල එහෙම යෙදුණාද?

රංගන කටයුතු කියලා අලුතෙන් කළේ 'ෂෙනලි' කියලා චිත්‍රපටයක්. ෂූටින් නම් දැන් ඉවරයි. අලුත් අධ්‍යක්ෂවරයෙක්ගේ පළමුවෙනි චිත්‍රපටය. තව එකකට සූදානම් වෙනවා. ඒක මට අධ්‍යක්ෂණය කරන්න කියලත් ආරාධනයක් තියෙනවා. ඒත් සාකච්ඡා කරමින් යනවා. ඒක පවුලේ කතාවක්. ඒත් කමර්ෂල් ෆිල්ම් එකක් කරමු කියලයි අපි කතා වුණේ. මොකද අලුත් තාක්ෂණය මුසු කරගෙන අපේ පැරණි සිනමා ගුණයන් එකතු කරගෙන ඒ චිත්‍රපටය හදමු කියන අදහසයි අපට තිබෙන්නේ. මේ රැවුල වවාගෙන ඉන්නෙත් ඒකට ඕන නිසයි. (රැවුල අතගාගන්නා ගමන් ඔහු කියයි)

අපි ටිකක් කියමුකෝ ඒ පැරණි සිනමා ගුණයන් ගැන?

ඇත්තටම ඒ දවස්වල චිත්‍රපටවල තිබුණනේ අපේ කමක්. ඒවාටනේ යම් යම් බයිස්කෝප් ගුණයන් එකතු වුණේ. ඒත් ඒවාට ලොකු ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. ඇත්තටම මම පුතණ්ඩියා එකේ කරපු චරිතය කළාට පස්සේ මුණ ගැහුණු අයත් කීවේ ඒ වගේ චිත්‍රපටයක් ආයේ කරමුකෝ කියලා. සිනමා ශාලාවට නැවිදින් ගෙදර නැවතුණු රසිකයන් නැවත ගෙන්වා ගැනීමට මේ චිත්‍රපටයට හැකි වෙයි කියලත් හිතෙනවා. සිනමා කර්මාන්තයේ පසුබැමට නම් කරුණු කීපයක් තිබෙනවා. මේකත් ඉන් එකක් විතරයි. නිෂ්පාදන වියදම හතරපස් ගුණයකින් වැඩිවෙලා තියෙනවා. සිනමා ශාලාවල ආසන ගණන අද 150ට විතර අඩු වෙලා තිබෙනවා. මේක ඇත්තටම අසූතුනේ ඉඳන් පටන් ගත්තේ. අපට හැම නගරයකම තිබුණු ප්‍රධාන සිනමා ශාලා විශාල ගණනක් ගිනි තියලා විනාශ කරලා දැම්මා. ඒ වගේම රූපවාහිනිය සහ හෝම් තියටර් සිස්ටම් වගේම අනෙකුත් විද්‍යුත් මාධ්‍ය අභියෝගයක් වුණා. අනෙක් තාක්ෂණය ගමන් කළ වේගයත් එක්ක අපේ සිනමාව අත්වැල් බැඳගත්තෙත් නැහැ. ඒකටත් හේතු තියෙනවා වෙන්න පුළුවන්. ඒත් මේ සියලු කාරණා මැද්දේ පසුබැමට ලක් වුණේ අපේ සිනමාවමයි.

නිර්මාණය වන චිත්‍රපටවල ස්වභාවය මෙයට කොහොමද බලපැවේ?

ඔව් ඇත්තටම වර්තමානයේ බොහෝ සිනමාකරුවන් විදෙස් සම්මාන බලාගෙන චිත්‍රපට හදනවා. ඒකත් එක කොටසක්. මම දකින විදිහට අපේ සම්මානනීය අධ්‍යක්ෂවරු, උදාහරණයක් විදිහට අහස්ගව්ව, පාරදිගේ, එයා දැන් ලොකු ළමයෙක් වගේ නිර්මාණ කළ ධර්මසේන පතිරාජ වුණත් අවසන් කාලය වනවිට අපේකමෙන් බැහැර වෙලා අර අන්තර්ජාතික සිනමා සම්මාන ගැන හිතන්න ගියාද කියලත් වෙලාවකට හිතෙනවා. එහෙම වුණාම ඔහු සමඟ හිටි ප්‍රේක්ෂක පිරිස ඔහු අතහරිනවා. ඔහු පමණක් නෙවෙයි අනෙක් අධ්‍යක්ෂවරුත් අපේ ප්‍රේක්ෂකයනුත් අරගෙන ඒ තැනට යන්න උත්සාහ කළේ නැහැ කියලා.

කලාකරුවන් දේශපාලනයට ළං වීම ඒ ක්ෂේත්‍ර දෙකට බලපාන්නේ කොහොමද?

මම දකින විදිහට කලාකරුවන් දේශපාලනයට පිවිසීම හරිම වැදගත්. මොකද මිනිසුන්ගේ හද ගැස්ම තේරුම් ගත් පුද්ගලයන් කලාකරුවන්. හැබැයි මෙය සැබැ උවමනාවකින් කරන්න ඕනා. එහෙම නැතුව දේශපාලනයටත් ඇවිත් බයිස්කෝප් සෙල්ලමක් දාන්න හිතනවා නම් හෝ වරප්‍රසාද වරදාන ලබන්න හදනවා නම් ඒකේ තේරුමක් නැහැ. මගේ දේශපාලන ජීවිතය පටන් ගන්නේ 1993 පළාත් සභා මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වෙලා. ඒ වෙන කිසිවක් නෙවෙයි කලාකරුවෙක් ගැන ජනතාව තැබූ විශ්වාසය නිසා. ඉතින් ඉන් පස්සෙත් මගේ වගකීම මම ඉටු කළා. කිසිම චෝදනවකට ලක් නොවී වංචා සහගත විදිහට මගේ බඩවඩාගන්න උත්සාහ නොකර එදා සිට සියලු මැතිවරණ ජයග්‍රහණය කරමින් ආවේ මගේ ප්‍රතිපත්ති නිසා. මම ජනතාව සමඟ හැමදාම හිටියා. පසුගිය කාලේ මම සෞඛ්‍ය හේතුන් මත මම ඉදිරිපත් වුණේ නැහැ. ඒත් මම දේශපාලනය නැවැත්තුවේ නැහැ. අදටත් ජනතාව මට කියනවා එන්න කියලා. මොකද සාමාන්‍ය ජනතාවට දේශපාලනය කියන විෂයයත්, දේශපාලනඥයාත් හරිම පිළිකුල් සහගත වෙලානේ මේ වෙද්දි. ඉතින් ඇත්තටම මේවා පිරිසුදු වෙන්නත් ඕනෙනේ. අපි හැමෝම මේක පිළකුල් සහගතයි කියලා ඉවත් කළොත් ඒකෙනුත් රටට සිද්ධ වෙන්නේ අගතියක් නේ. ඇත්තටම මගේ බාප්පා, විජය කුමාරණතුංග තමයි මගේ දේශපාලන ගුරුවරයා. අපේ පවුලේ යම් දේශපාලන පසුබිමක් තිබුණා තමයි. ඒත් එදා අපි එළියට බැස්සේ ඒ තිබුණු මිනීමරු දේශපාලනයට විරුද්ධවයි. එහි ප්‍රතිඵලය හැටියයට විජය කුමාරණතුංග වෙඩිකාලා මහපාරේ වැටෙනවා. ඒ වෙලාවේ අපි දේශපාලනයට ආවේ ඇමතිකම් ලැබෙයිද කියලා හිතාගෙන නෙවෙයිනේ. අපේ ජීවිතයට ලොකු අවදානමක් තියෙද්දි තරුණ ජවයට ආවේ අපිව එලව එලවා වෙඩි තියද්දි ගෙදරින් එපා කියද්දි. එහෙම වුණාම ඉතින් ඡන්දදායකයනුත් අපව රකිනවා. ඒ වගේමයි දේශපාලනයට ඇවිත් පසුව මේක කරන්න බැහැ කියලා ගිය අයත් ඉන්නවා. අවුරුදු 25ක් මොරටුවේ සංවිධායක ලෙස ඉඳලා දැන් මේ කැස්බැව සංවිධායකධුරයට මෙවර පත් වුණා. ඒ ගැනත් සතුටක් තිබෙනවා.

ඔබ වගේම ප්‍රදේශයේ පළමුවැනියා වූ අයට රංගනය ආශීර්වාදයක් වුණා විනා ඔවුන්ගෙන් රටට ආශීර්වාදයක් ලැබුණාද කියන එක තරමක ප්‍රශ්නයක්?

ඒක තමයි මම කියන්නේ දේශපාලන පතාක යෝධයින් එක්ක හැප්පෙද්දි කලාකරුවන් වීම නිසා මිනිස්සු අපට ඡන්දය දෙනවා. හැබැයි ඒක හැම මැතිවරණයකදිම බලාපොරොත්තු වෙන්න බැහැ හරියට වගකීම ඉටු නොකර. මොකද මිනිස්සු තේරුම් ගත්තාම පරද්දනවා.

දේශපාලනය රංගනයට හරස් වෙන්නේ නැද්ද?

ඔව්. ඇත්තටමත් රංගන ජීවිතයට නම් තරමක බාධාවක් වුණා. මම ක්ෂේත්‍රයෙන් ගොඩක් ඇත් වුණා. අත්‍යාවශ්‍යම කෙනෙක් මාව හොයාගෙන ඇවිත් ආරාධනා කළොත් ඇරෙන්න නිර්මාණවලට සම්බන්ධ වුණෙ නැහැ. සමහරු දේශපාලන මතවාදය නිසාත් කාර්යබහුලත්වය නිසාත් බය වෙනවා. හැබැයි මම දේශපාලනයේ පෞද්ගලික හතුරෝ හදාගත්තේ නම් නැහැ පාර්ලිමේන්තුවේදීවත්. සියලු දෙනා සමඟ සුහදව කටයුතු කරනවා.

පාර්ලිමේන්තුවට ගිය කලාකරුවන්ගෙන් කලාවට සේවයක් සිදු නොවුණ බවට කලාකරුවන්මත් චෝදනා කරනවා?

ඒකේ තියෙන කාරණය තමයි එහෙම පුද්ගලයෙක් ආවා කියලා එක ක්ෂේත්‍රයකට සේවයක් කරන්න අමාරුකම. මොකද මම සිනමාවට සේවයක් කරනවා කියලා දේශපාලනය ආරම්භ කළේ නැනේ. උදාහරණයක් හැටියට මමයි සනතුයි ( ගුණතිලක) දේශපාලනය ආරම්භ කළේ එකට. සනත්ගේ සටන් පාඨය වුණේ සිනමාවට සේවය කිරීම. හැබැයි මම කොයි වෙලාවකවත් ඒ සටන්පාඨය අතට ගත්තේ නැහැ. සනත් දේශපාලනයෙන් ඉවත් වුණා පසුව. මට තිබුණේ මානව හිතවාදී දේශපාලනයක් කිරීමේ අවශ්‍යතාව. මෙකද සමාජයක් ආර්ථික, සමාජීය හා දේශපාලනික වශයෙන් ශක්තිමත් සහ නිර්මාණශීලී වූ තරමට තමයි කලාවත් නැඟී සිටින්නේ. එහෙම නැතුව පුද්ගලයකු පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවට ගියා කියලා කලාව උස්සලා අරගෙන තැනකින් තියන්න බැහැ. අපි ඒ වෙනුවෙන් කළ කාරණා බොහෝමයි. ඒ වෙලාවේ හිටියේ ජනාධිපතිතුමිය. අපි ඒ වෙලාවේ සිනමා කර්මාන්තකරුවන් කළ ඉල්ලීම් සියල්ලම පාහේ ඉටු කර දුන්නා. තීරුබදු සහන, ආදායම්බදු සහන, චිත්‍රපට ණය පහසුකම් අරන් දුන්නා. අවුරුදු පහ හය පෝලිමේ හිරවෙලා තිබුණු චිත්‍රපටවල ණය පොළී ඉවත් කරලා දුන්නා. උදාහරණයකට බවදුක වෙනුවෙන් ගත්ත ණය වගේ තුන් හතර ගුණයකින් ණය පොළී වෙලා තිබුණ අවස්ථාවේ මම පෞද්ගලිකව මැදිහත්වෙලා බැංකු පොළී ඉවත් කරලා දුන්නා ලක්ෂ ගාණක. සිනමා කර්මාන්තයේ කෙනෙක් සභාපති කරලා දුන්නා. අම්බලවාන කමිටුව අහෝසි කරන්න කටයුතු කළා. ඒ වගේ නොකරපු දේකුත් නැහැ. ඉතින් තීරුබදු සහන දුන්නට කෙනෙක් චිත්‍රපටයක් නිෂ්පාදනයට එන්නේ නැත්නම් අපට කරන්න දෙයකුත් නැනේ. සිනමා කර්මාන්තය හැකිළෙමින් වෙන වෙන කර්මාන්ත ඉහළ යද්දී නිෂ්පාදකයනුත් ඒවාට මුදල් යොදවන්න බලන එක සාධාරණයි. ඒකට මට හෝ දේශපාලනඥයන් වූ තරමින් තව කාට හෝ චෝදනා කරන එක වැරදියි. ඒ අය කරුණු නොදැනයි දේවල් කියන්නේ. අනෙක මේ සියල්ල කළේ යුද්ධයක් තිබුණු රටක. ඒත් අපි රන් මිහි තැන්නක් හැදුවනේ.

යුද්දෙ කාලෙත් සිනමා ශාලාවලට ගිය අපේ රසිකයන් 21 වැනිදාට පස්සේ බය වුණා වගේ හිතෙනවාද?

යුද්දේ නම් ඉතින් එක තැනකින් පටන්ගෙන ක්‍රමානුකූලව ආපු විදිහ අපට මතකයිනේ. ටික කාලෙකදි අපට යුද්ධයත් ඇඟට හුරු වුණානේ. ඒ නිසා අපි ආරක්ෂක ක්‍රම යොදා ගත්තානේ අම්මයි තාත්තයි එකම බස් එකේ නොයන්න වගේ. යුද්දේ ඉවරවෙලා අවුරුදු දහයකට පස්සේ මෙහෙම එකපාරටම පිපුරුවාම ලොකු කම්පනයක් ඇති වුණා. ඒකට විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍යවලින් බොරු ප්‍රචාර යවලා ඔන්න හැටදාහක් අම්මලා අඬවනවා දරුවෝ මරණවා කීවාම මිනිස්සු ළමයින්වත් තුරුලු කරගෙන ටිකක් ගෙවල් අස්සට වෙලා ඉන්න එක සුදුසුයි කියලා හිතුවා. ඉතින් ඒවා ක්‍රමයෙන් මඟ හැරිලා යනවා. අද සමාජ වෙබ්අඩවිවල වෛරය කුහකකම ඊර්ෂ්‍යාව මේවා තමයි නේ වැඩිපුර ප්‍රදර්ශනය වෙන්නේ. සමාජ මාධ්‍ය හැසිරෙන්නේ බුද්ධිමත්ව නෙවෙයි.

ඔබ සාධාරණ සමාජයක් උදෙසා වසර 25ක් දේශපාලනය කළා. අරමුණ ඉටු වුණාද?

(සුසුමක් හෙළා) ඒක තමයි ප්‍රශ්නේ. මට හමුවන ජනතාව වුණත් කියන්නේ එදා දේශපානයට පොඩි හෝ වැදගැම්මක් තිබුණා. වැදගත් දේශපාලන චරිත හිටියා. ඒ අය වැදගත් විදිහට කතා කළා. ඒ අයත් අද කැමරාවක් දැක්ක ගමන් මාධ්‍ය සන්දර්ශන දාන්න පටන් අරන්. මාධ්‍ය ආයතන තම තමන්ගේ ගුවන්කාල විකුණගන්නවා ඒවා පෙන්නලා. සමහරු ප්‍රවෘත්තිවල තමන්ට තත්පර ගාණක් වෙන්කරගන්න හදන්නේ මොනවා හරි කටකැඩිච්ච කතාවක් කියලා. සමහරු මගෙනුත් එහෙම ඒවා අහගන්න උත්සාහ කරනවා. ඒත් මගේ ප්‍රතිපත්තිය ඒවාට උත්තර නොබැඳ සිටීම. ඉතින් මාධ්‍යයට අපෙන් වැඩක් නැහැ. එහෙමය කියල මම ඒකට අහුවෙන්න යන්නෙත් නැහැ. හැබැයි අද සමස්ත මාධ්‍ය දිහා බලා ඉන්න ජනතාව තීරණය කරලා තියෙනවා මුන් සේරම පිස්සෝ කියලා. ඒකනේ තැන තැන කියන්නේ අනේ මුන් 225 බෝම්බයක් වදින්නේ නැහැනේ කියලා. ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක් නැනේ.

ඉතින් මොකක්ද කරන්න ඕනා?

ඒක තමයි... මටත් තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා. මේ සමස්ත මැතිවරණ ක්‍රමයම වෙනස් වෙන්නම ඕනා. මේ ක්‍රමයේ එක්කෝ තමන් කාටහරි ගහන්න ඕනා. එතකොට ගැහුවට ඡන්දෙ දෙනවා. නැත්නම් ගුටි කැවට ඡන්දෙ දෙනවා. ඒ නිසා මේ ආයතනය පිරිසුදු කිරීමේ වගකීම තියෙන්නේ ජනතාවටමයි.

අපි දැන් ටිකක් සිනමාවටත් එමු. කොහොමද අලුත් පරපුර?

ඇත්තටම දක්ෂයෝ ඉන්නවා. ඒත් ඒ අයට අවස්ථාව අඩුයිනේ. ඒ වගේම අද වෙනම සංස්කෘතියක් ඇතිවෙලා. සිනමාව කියලා හෝ ගාලා ආවාට ඕවායින් සියයට 95ක්ම තියෙන්නේ ඩීවීඩී විකුණන්න ඉලක්ක කරලා හදන කතා. දවස් පහෙන් හයෙන් ෂූට් කරලා සෙන්සර් සර්ටිෆිකේට් එක අරගෙන ඩීවීඩී ගහනවා. ඒකෙන් විශාල හානියක් වෙනවා. ඒ බව මම චිත්‍රපට සංස්ථාවටත් කිව්වා. මොකද ඔය ඩීවීඩී එක බලන කෙනා තව තවත් අපව ප්‍රතික්ෂේප කරනවානේ. අය්යෝ මේවාද සිංහල ෆිල්ම්ස් කියලා හිතෙන එක සාධරණයිනේ. ඒ නිසා ඔය පෝලිමේ තියෙනවාය කියන චිත්‍රපට මොකක්හරි කමිටුවක් දාලා පෙන්නලා ඒවායින් නොගැළපෙන සියයට 80ක් විතරම ඒවා අයින් කරන්න ඕනා. චිත්‍රපට ලෙස පෙන්වන්න සුදුසු මොනවාද කියන තීරණයට වහාම එන්න ඕනා. නැත්නම් චිත්‍රපට කර්මාන්තයට මීටත් වඩා ලොකූ අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙයි.

අලුත් නළු නිළියන්ටත් වෙන්නේ සිනමා නිර්මාණ බිහිවන සංඛ්‍යාව අඩුවෙලා ඒ අයත් අර පපඩම් ටෙලි නාට්‍යවල හිරවෙලා ඉන්නවා. මම දන්නවා සමහර ඒවායේ නළුවා නිළියව දකින්නේ ඉඳලා හිටලා මේන් ෂොට් එකකදි විතරයි. ඉස්සර නම් අපි ඩබින් කරද්දි වුණත් අපි හතර පස්දෙනාම එකට එනවා. හරි, අද තාක්ෂණය දියුණුයි තමයි. ඒත් අපි මනුස්සයෝනේ. කෙනෙක් අඬලා දෙබසක් තමන් ඉස්සරහ කියද්දි ඩබින්වල වුණත් එන හැඟීම තනි තනිව රූප දිහා බලාගෙන කියවනවාට වඩා වෙනස්. මානවීය ගුණය අඩුවෙනවා.

ඉස්සර තිබුණනේ ඒ බී සී කියලා වර්ගීකරණයක්. මණ්ඩලය ලැබෙන්නේ ඒ අනුව. එතකොටනේ ප්‍රේක්ෂකයා තීරණය කරන්නේ බලන චිත්‍රපටය. ඉතින් දැන් වෙන්නේ චිත්‍රපටයක් බලන්න ගිහින් මුළු ක්ෂේත්‍රයම එපා වෙලා එළියට එන එකනේ. ශාලාවට යනකල් දන්නේ නැහැ පෙන්වන චිත්‍රපටය මොකක්ද කියලා.

දැන් ලෝක ප්‍රවණතා ලෙස හඳුන්වන්නේ මල්ටිප්ලෙක්ස් ශාලා සහ නෙට්ෆ්ලික්ස් වගේ ක්‍රම?

එහෙමනම් රට පුරා ඒ ක්‍රමවේදය සකස් වෙන්න එපැයි. ඒ වගේම අර වර්ගීකරණය වෙලා තෝරාගත් ශාලාවලට යන්නත් එපැයි. එතකොට සී ශ්‍රේණියේ එක බලන්න යන්නේ ඒ ගැන දැනගෙන.

අලුත් පරපුරේ තරු ගුණය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ඒක තමයි විශ්වසනීයත්වය කියන්නේ. මේ දේවල් අපි සතියෙන් දෙකෙන් මාසෙන් ගොඩ නඟපුවා නෙවෙයිනේ. ප්‍රේක්ෂකයන් තුළ අවුරුදු තිහක් තිස්පහක් තිස්සේ අපි ගැන මැවුණු චිත්‍රය සමඟ එන විශ්වාසය. එය කරන්න අලුත් අයට අමාරු වෙලා තිබෙන එක හේතුවක් තමයි රූපවාහිනිය. එතනදි ඒ අයට ලොකු ප්‍රේක්ෂකාගාරයක් අල්ලා ගන්න බැහැ. මොකද මේ පැය බාගේ ටෙලි නාට්‍යය බලලා ඒ පිරිස අමතක කරලා ඊළඟ පැය බාගේ වෙන පිරිසක් දිහා බලාගෙන ඉන්නවා. රිදී තිරයේදි බලන කෙනාට වඩා හතරපස් ගුණයක් ලොකු ප්‍රතිරූපයක් මවාගෙන ඉන්නේ. ඒක අවුරුදු තිහ හතළිහක් මැවුණාම ඒ රූප හිතෙන් බැහැරවෙන්නේ නැහැ. අපි නිකං කියමුකෝ ෆයිට් එකක් කියලා. අපි නිකං එකපාරක් ගැහුවත් ප්‍රේක්ෂකයා හිතනවා අපි හරි පහරක් දුන්නා කියලා. ඒත් අලුත් එක්කෙනෙක් ඒ පාර ගැහුවට ප්‍රේක්ෂකයා ඒක පිළිගන්නේ නැහැ.

ඒක විතරමද?

ඔව් ඉතින් ඒක විතරක්ම නෙවෙයි. දැන් මාලනී ෆොන්සේකා කිව්වාම වෙනම අනන්‍යතාවක්. ස්වර්ණා මල්ලවආරච්චිගේ තිබෙන්නේ සිහින් සිරුරක් එක්ක තිබෙන වෙනත් අනන්‍යතාවක්. ඒ හැමදෙනාගෙම අපේ කමක් තිබෙනවා. අලුත් අය ඔක්කොම එකම ස්වරූපයක් ගන්නවා වගේම පුංචි තිරයේ ඉඳගෙන, සම්මාන උලෙළකදි ජනප්‍රියම නිළිය වුණාම ළඟ හිටපු එක්කෙනෙක් මගෙන් අහනවා කවුද ඒ නිළිය මොකේද හිටියේ කියලා. ඉස්සර නම් ඉතින් ජනප්‍රිය නිළිය කියන්නේ පැත්ත පළාතම දන්න කෙනෙක්නේ. අද වෙලා තියෙන්නේ ඒවා එක එක්කෙනාගේ අවශ්‍යතාව මත හදන චරිතනේ. හරිම ශෝචනීය තත්ත්වයක්.

අවසන් වශයෙන් ජීවන් කුමාරණතුංග නළුවාගේ රසිකයන්ට සහ ජීවන් කුමාරතුංග දේශපාලනඥයාගේ ජනතාවට මොනවද කියන්න තියෙන්නේ?

රසිකයන්ට සිනමාව ගැන කරන්න දෙයක් නැහැ. අපිම තමයි මෙය ගොඩනඟන්න ඕනා. මම සිනමාවට එද්දි, ඒ කියන්නේ අසූව දශකයේ මුල භාගේ සිනමාව වැටිලා තිබුණේ. එතටෙකාට නිෂ්පාදකයන් කර්මාන්තය අතහැරලා ගියානේ. එතකොට සෝනියා දිසා තමන්ගේ ගේදොර විකුණලා තමයි ජය අපටයි චිත්‍රපටය කළේ. එය ඇත්තටම ලොකු අභියෝගයක්. මමත් හිතහොඳ චණ්ඩියා කරනවා. ඒ වෙලාවේ හැබැයි සංස්ථාවත් හරි ශක්තිමත්. අවශ්‍ය සහාය දුන්නා. ඒත් අද ඒ දේවල් අතහැරිලා. ඉතින් මම හැමදාම යෝජනා කරන්නේ එම් එකමුතුකමෙන් වැඩ කළොත් අපට නැඟිටින්න පුළුවන්. ඒ සඳහා රජය පැත්තෙනුත් අනුග්‍රහය ලැබෙන්න ඕනා. මම මුල ඉඳන්ම යෝජනා කළ දෙයක් තමයි මේ විනාශ වුණු චිත්‍රපට ශාලා දෙතුන් සියය කොහේ හරි වේගෙන් දියුණු වන නගරවල හැදෙන්න ඕනා. අර ඇත් වුණු ප්‍රේක්ෂඛයා අපේ ළඟට ගන්න විදිහේ චිත්‍රපට කරන එක අධ්‍යක්ෂවරුන්ගේ වගකීමක්. මේ සියල්ල එකතු වුණොත් අපේ සිනමාව අපි හිතන තැනට අරගෙන යන්න පුළුවන්.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.