සාම කුමරු මමය කියලා කවුරුවත් අඳුනගත්තේ නැහැ

ආකාෂ් විහඟ
ජුනි 27, 2019

ඔහුගේ නම ආකාෂ් විහඟ. වයස අවුරුදු දහතුනයි. ඉගෙන ගන්නේ කොළඹ රාජකීය විදුහලේ. පදිංචිය මාලඹේ. ඔන්න ඔහොමයි ආකාෂ්ගේ මූලික විස්තර ටික. දැන් අදාළ කාරණයට එමු. මේ ඉන්නේ සාම කුමරුට පණ පෙවූ ළමා නළුවා. අද වන විට උස් මහත් වෙලා හිටියට ආකාෂ් එම චරිතය කරද්දී මීටත් වඩා ළමා පාටයි. සාම කුමරුගේ කතාව සිනමාපටය නරඹද්දී සාමා කුමාරයාට රඟපාන්නේ ආකාෂ් කියලා ලෙහෙසියෙන් කෙනෙකුට අඳුරගන්න බැහැ. වසර තුනකට පමණ ඉහතදී තමයි එහි රූපගත කිරීම් සිදු වෙලා තියෙන්නේ. ආකාෂ් අද සරසවියට ඇවිල්ලා. ඒ ඔහුගේ රංගන ජීවිතය ගැන කතා කරන්න.

මම රඟපාන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. උදාර පල්ලියගුරු මහත්මයා මාව කමර්ෂල් එකකට ගනිද්දී අවුරුදු හතරාමාරක් විතර ඇති.

කොහොමද ඒකට අවස්ථාව හිමි වුණේ?

පාර්ටියකදී මාව දැකලා තියෙනවා සුරංග ගුණතිලක කියලා කෙනෙක්. ඔහු වෙළෙඳ දැන්වීම් වාගේ නිර්මාණවල සම්බන්ධිකරණ කටයුතු කරනවා. ඔහු මගේ අම්මගෙන් අහලා තිබුණලු පුතාව රඟපාන්න එවන්න බැරිද කියලා. මං එතකොට පොඩියිනෙ. වෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව තමයි ස්ක්‍රීන් ටෙස්ට් එකටත් ගිහිල්ල තියෙන්නේ. එතෙනදි හැකියාව දැකලා මාව කමර්ෂල් එකට තෝරගෙන. මට නම් වැඩිය මතක නැහැ.

ඊට පසුව?

දිගින් දිගටම උදාර අංකල්ගේ කමර්ෂල්වලට කතා කළා. දෙවැනි ඉනිම නාට්‍යයේ කේෂාන් අයියගේ පොඩි කාලෙට රඟපෑවා. හිරු නාළිකාවේ ටෙලි ෆිල්ම් දෙකකට සම්බන්ධ වුණා.

සාම කුමරු ඔබේ පළමුවැනි සිනමාපටයද?

නැහැ. මීට කලින් සුනෙත් මාලිංග මහත්මයාගේ තුන් වරක් තුන චිත්‍රපටයේ රඟපෑවා. සාම කුමරු දෙවැනි චිත්‍රපටය. උදාර අංකල්නේ ඒකේ නිෂ්පාදක. ඔහු තමයි මාව චිත්‍රපටයට ගත්තේ.

රූපගත කිරීම් සහ අධ්‍යාපන වැඩ කටයුතු කොහොමද කරගෙන යන්නේ?

සාම කුමරු චිත්‍රපටයේ විතරක් නෙවෙයි බොහෝ නිර්මාණවලදී පාසල් නිවාඩු කාලෙ තමයි රූපගත කිරීම් කළේ. මඟහැරුණු පාඩම් යාළුවන්ගෙන් අහගන්නවා.

සාම කුමරු චිත්‍රපටයේ රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීම් මොනවද තියෙන්නේ?

නුවර, දිගන වගේ ප්‍රදේශවල තමයි ගොඩක් ෂූටිං තිබුණේ. කැලෑවලට වෙලා රූපගත කිරීම් කරපු විදිහ නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. හමත් පැලුණා ෂූටින් ඉවර වෙද්දී. විශේෂම කාරණය තමයි චිත්‍රපටය බෞද්ධ කතාවක් නිසා මට පේවෙන්න වුණා. අම්මලා ෂූටිංවලට කලින් ඉඳලම මස් මාලු කන්න දුන්නේ නැහැ. ෂූටිං කරන කාලෙදිත් එහෙමයි. මාසයකට වඩා වැඩි කාලයක් එළවලුයි බතුයි කෑවේ. ආ . . . තව සිද්ධියක් තියෙනවා. මං පිඹුරෙක් එක්ක රඟපෑවනෙ. ඌ මගේ කර උඩ. බයක් හිතුණේ නැහැ. හැබැයි ඒ සීන් එක ෆිල්ම් එකෙන් අයින් කරලා.

චිත්‍රපටයේ මංගල දර්ශනය දවසේ මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ?

මට හරි වැඩේ තමයි වුණේ. මාව කවුරුවත් අඳුර ගත්තේ නැහැනෙ. සාම කුමාරයයි කියලා මංගල දර්ශනය ඉවර වෙලා වොයිස් කට් දෙද්දි තමයි එතන හිටපු අය මං කවුද කියලා දැනගත්තේ. ඊට පස්සේ කට්ටියම වට කරගෙන සුබ පැතුවා. රඟපෑම ලස්සනයි කිව්වා.

ඉස්කෝලෙන් මොන වගේ ප්‍රතිචාර ද ලැබෙන්නේ?

ගොඩක් හොඳයි. යාළුවො ටික මං ෆ්‍රී වෙනකම් ඉන්නවා මගෙත් එක්කම ගිහින් චිත්‍රපටය බලන්න.

ආකාෂ් අධ්‍යාපන කටයුතුවලින් පසුව කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?

මං ක්‍රීඩාවට දක්ෂයි. කවදා හරි ක්‍රීඩකයෙක් වේවි. නැත්නම් වෛද්‍ය අංශයට යොමු වේවි.

එතකොට රංගනය?

රංගනය අතහරින්න අදහසක් නැහැ. මොන ජොබ් එකක් කළත් රඟපාන එක කරනවා.

මේ නිර්මාණවලින් පසුව මොන වගේ චරිතවලට ද කතා කරලා තියෙන්නේ?

ගොඩක් ඒවට කතා කළා. අම්මා යැව්වේ නැහැ. ලව් ස්ටෝරිස් වගේ නිර්මාණලු. අම්මලා ඒවට යවන්න ආස නැහැ. මං තවම ඉස්කෝලෙ යනවනේ.

මේතාක් කල් පැමිණි ගමන් මඟේ කාටද ආකාෂ්ට තුති පුදන්න තියෙන්නේ?

මට අඬගහපු ඔක්කොම නිර්මාණකරුවන්ට තෑන්ක් යූ. මගේ තාත්තා රනිල් ප්‍රියංකර. අම්මා නිලූෂා වීරසේකර. මාමා ඩිලාන් වීරසේකර. සීයා නිහාල් වීරසේකර. එයාලටත් ස්තූතියි.

ශාන් රූපස්සර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.