රහසක් නැති එකයි මගේ රහස

වාද්‍ය විශාරද මනෝජ් පීරිස්
ජුනි 20, 2019

මේ ඔබ මුණ ගැසෙන්නේ අප සංගීත ලෝකයේ සිටින බොහොම ආදරණීය චරිතයක්. ඔහු එන්න එන්න තරුණ වෙනවද මන්දා කියලත් හිතෙනවා. යාළු මිත්‍රයෝ ඔහුට විරුදාවලියක් දාලා තියෙනවා තනිකඩ ලෝකයේ සදාකාලික යෞවනයා කියලා. එහෙම කියන්නේ තවමත් ඔහු අවිවාහකව ජීවිතය ගෙවන නිසා. සංගීතයත් එක්ක බැඳුණු දිවියට නම් දශක හතරකටත් අධිකයි. ඒ වුුණාට සැබෑ වයස නම් ඔහු කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ. එය තීරණය කිරීම ඔබට බාරයි. මා මෙතෙක් හඳුන්වා දුන් තැනැත්තා ඔබට හරිම හුරුපුරුදුයි. කලාකරුවන් පැමිණෙන බොහෝ රූපවාහිනී වැඩසටහන්වල සංගීත අධ්‍යක්ෂවරයා ඔහු. ඒ වගේම ඒවාහි සම්බන්ධීකරණ ශිල්පියා වශයෙනුත් ඔහු දායකත්වය සපයනවා. විශාරද මනෝජ් පීරිස් ලෙසට මා ඔහුව නමින් ඔබට හඳුන්වා දෙනවා. ඔහු එක්ක කොහෙන්ද මේ කතාව පටන් ගන්නේ. මමෝජ්ගේ පවුලේ තතු බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතැනින් ප්‍රවේශයක් ගමු.

 

එහෙම හොඳයි නේද මනෝජ්?

ඔව්. මාව මිනිස්සු හඳුනන්නේ සංගීත අධ්‍යක්ෂවරයෙක්, වාදකයෙක් විදිහට. අපේ පවුල හරිම විශාලයි. කලා ලොවේ දැවැන්ත පවුලක්නෙ. මං තමයි බාලයා.

 

පවුලේ කී දෙනෙක් ඉන්නවද?

හය දෙනයි. වැඩිමහල්ම කෙනා මල්කාන්ති අක්කා. සනත් අයියවනෙ (සනත් නන්දසිරි) එයා බැඳලා ඉන්නේ. දෙවැනියා ලොකු අයියා කුමාර් පීරිස්.

 

ඔහු කලාවට සම්බන්ධ නැහැ?

එහෙම කෙනෙක් ඉන්නවද කියලාවත් සමහරු දන්නේ නැතුව ඇති. අක්කලා ටිකනෙ ප්‍රසිද්ධ. කුමාර් අයියට පස්සේ නිර්මලා රණතුංග. ඇය විවාහ වෙලා හිටියේ විජේරත්න රණතුංග එක්ක. විජේ අයියා නැති වුණානේ. ඊළඟට නිරංජලා සරෝජනී, සකුන්තලා පීරිස්. බාලයා මම.

 

සහෝදරියෝ තිදෙනෙක් ගායනයට පෙම් බඳිද්දී ඔබ වාදනයටයි ආස කරන්නේ?

සනත් අයියා බැන්දට පස්සේ අපේ ගෙදර තබ්ලා එහෙම ගෙනත් තිබුණා. මගේ වැඩේ ඕවට තට්ටු කරන එක. මල්කාන්ති අක්කා මං කරන දේවල් ගැන අවධානය යොමු කරගෙන ඉඳලා තියෙනවා. එතකොට මං බොහොම පොඩියි. එයාලගෙ වෙඩින් එකේ මං තමයි පේප් බෝයිට හිටියේ. මගේ තට්ටු කිරිල්ල ගැන මල්කාන්ති අක්කා බලාගෙන හිටිය කියලා මං කිව්වනෙ. එයා තමයි විධිමත් ලෙසට මාව අධ්‍යාපනයට යොමු කළේ. අක්කට විශ්වාසයක් තිබුණා මං වාදනය පැත්තෙන් ඉදිරියටම යාවි කියලා.

 

කවුද ඔබේ පළමු ගුරුවරයා?

මහාචාර්ය සනත් නන්දසිරි.

 

කොතරම් දුරට ඔබ සංගීතය හැදෑරුවද?

විශාරද උපාධිය වෙනකම්.

 

පසුකාලීනව ඔබ ගුවන් විදුලියට එනවා?

ගුවන් විදුලියට එද්දීම පිට වාදකයකු විදිහට මට ෂෝස් තිබුණා. ගුවන් විදුලියෙත් සේවය කළේ වාදකයකු විදිහටනෙ. ඔය අතරේ හරිම අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා.

 

ඒ මොකක්ද?

ලතා වල්පොල, ලතා අක්කා තමයි මට පළමු විදෙස් ප්‍රසංගය ලබා දුන්නේ. ඒක සාර්ථකව නිම කළායින් පසුව මට තවත් පිටරට ෂෝස් ආවා. හරියටම තුන්වැනි ෂෝ එකට ගිහින් ආවාම රස්සාවෙන් දොට්ට දාලා. නිවාඩු අනුමත වෙලා නැහැ.

 

හිතට දුකක් දැනුණේ නැද්ද?

ජීවිතයේ යම් යම් දේවල් වෙනවා. ඒවා වෙන්නේ අපේම හොඳට. ගුවන් විදුලියෙන් අයින් වුණාට මට ෂෝස්වලින් අඩුවක් තිබුණේ නැහැ. එක දිගට පිටරට ෂෝස්වලටත් කතා කළා. වාදකයකු සංගීත අධ්‍යක්ෂවරයකු විදිහට පුදුමාකාර අන්දමින් මං කාර්යබහුල වුණා.

 

රටවල් කීයක විතර සංචාරය කළාද?

හතළිස් දෙකක විතර. ප්‍රධාන පෙළේ ගායක ගායිකාවන්, අමරදේව මාස්ටර්, වික්ටර්, සුනිල් ඇතුව 38 දෙනෙකු සමඟ ෂෝස්වල ප්ලේ කරල තියෙනවා.

 

ඔබ කලකට පසු යළි ගුවන් විදුලියට එනවා. ඒ ඉහළ තනතුරක් සමඟ?

අන්න ඒකයි මං කියන්නේ, දෙයක් නොලැබෙන්නේ තවත් ඊට වැඩි දෙයක් ලැබෙන්න. වාදන ශිල්පියකු ලෙස ගුවන් විදුලියෙන් ගිය මම ආයේ එතැනට එන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වෙලා. ගුවන් විදුලියට වටිනාකමක් දෙන්න පුළුවන් කාර්යයන් බොහොමයක් ඒ කාලේ අපි කළා. තනතුරේ ඉන්න කාලය තුළදී දෙයක් කළා කියන තෘප්තිය මට තියෙනවා.

 

ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණයට ඔබ යොමු වුණේ හරිම අඩුවෙන්?

ටෙලි නාට්‍යයක සංගීත අධ්‍යක්ෂණය කළා. චිත්‍රපටත් තුනකට විතර ආරාධනා ලැබුණානෙ. ඔය වගේ වැඩක මියුසික් කරනවා කියන්නේ වෙනමම දෙයක්. ඉතා විශාල කාලයක් ඊට වැය වෙනවා. මං දැනට රූපවාහිනි වැඩසටහන් කිහිපයකටම සංගීතය මෙහෙයවීමෙන් එකතුවෙනවනෙ. ඒවායේ වගේම තවත් වැඩ සටහන්වල ශිල්පී සම්බන්ධීකරණය කරන්නේ මම. අපේ නිෂ්පාදකවරු ඉතා ලොකු විශ්වාසයක් මා කෙරෙහි තබලා තමයි ඒ වැඩේ මට බාර දීල තියෙන්නේ. ලයිව් වැඩ සටහනක ශිල්පින්ගේ අඩුවක් තියෙන්න බැහැනෙ. මේ වැඩ කටයුතු අස්සේ සංගීත අධ්‍යක්ෂණයට වැඩත් බාරගෙන ඒවාට අසාධාරණයක් කරන්න බැහැනෙ මට කලාකරුවකු හැටියට.

 

ඒ වගේම ඔබ ගායනයට යොමු වුණේ නැහැ. වැඩිය ගීත නිර්මාණය කළෙත් නැහැ?

වාදනයටනෙ ආස කළේ. අනික රෝහණලා වගේ මට සිංදු හදන්නත් බැහැ. ගීතවල සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ටොරානා ලේබලයෙන් මං හදපු ගීත එකතුවකුත් එළි දැක්වුවානෙ. රෝහණලා ඔය වැඩේට අති දක්ෂයි. හරිම මියුරු තනු හැදුවනෙ. මං හදපු ගීත බොහොම පොඩ්ඩක් වුණාට ඇතැම් අය හරිම ආසයි ඒවට. මට පෞද්ගලිකව කතා කරලා කියනවා ‘අනේ ඔයා හදපු සිංදු අපි නිතරම අහනවා’ කියලා.

 

ජෝතිපාලයන්ගේ අවසන් ප්‍රසංගයෙත් වාද්‍ය ශිල්පියකු ලෙස ඔබ කටයුතු කළා? ඒ මතකය ආවර්ජනය කළොත්?

එතකොට මං ෆෝචූන්ස් වාදක මණ්ඩලයේ හිටියේ. මට මතකයි ජෝති අයියා ඒ ප්‍රසංගයේ ගී ගැයු අන්දම. යම් අපහසුතාවයකින් හිටියත් ඔහු ගීත හතරක් පමණ ගැයුවා.

 

මනෝජ් පීරිස් කිව්වාම නොදන්න කෙනෙක් නැහැ. ඇතැම් විට නළුවකුටත් වඩා ඔබ ජනප්‍රියි. මොකක්ද ඒ රහස?

වැඩ සටහනෙන් වැඩ සටහනට මං සංගීතය මෙහෙය වන්නේ වෙනස් විදිහට. මගේ තීම් ඒකාකාරී නැහැ. මියගිය කලාකරුවන් වෙනුවෙන් කරන්නා වූ වැඩසටහන්වලදී වෙනමම වාද්‍ය කණ්ඩායමක් භාවිත කරනවා. පැරැණි ගීත මුල් කෘතිය ලෙසටම ගෙන එන්නයි මං උත්සාහ කරන්නේ. මේ රහ ප්‍රේක්ෂකයන්ට හොඳට දැනෙනවා. ඔවුන් බොහෝ විට උනන්දු වෙනවා මං ගැන හොයා බලන්න. මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න නිර්මාණයන් කරන නිසා වෙන්න ඇති මට ජනප්‍රියත්වය හිමි වෙලා තියෙන්නේ. ඒකනෙ විය යුත්තේ.

 

කලාකරුවන් සම්බන්ධීකරණය ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. යම් යම් මත ගැටුම් එහෙම ඇති වෙලා නැද්ද?

කවදාවත්ම නැහැ. කලාකරුවෝ හැමෝම මගෙත් එක්ක හරිම එකතුයි. මම දන්නවා ඔවුන් මගෙත් එක්ක ඉන්නවා කියලා. සල්ලි අරගන්නෙවත් නැතුව කලාකරුවෝ මගේ වැඩවලට ඇවිත් තියෙනවා. කවදාවත් අප අතර ගැටුම් ඇති වෙලා නැහැ. බෙග් මාස්ටර් එහෙම මගෙත් එක්කම විතරයි විහිළු කරන්නේ. ලංකාවේ ලොකුම පොහොසත් පුද්ගලයින්, මැති ඇමතිවරු මට ඔවුන්ගේ උත්සව සංගීතය මෙහෙයවන්න කතා කරනවා. එහෙම කරන්නේ ඔවුන්ට මගේ වටිනාකමක් දැනෙන නිසානේ.

 

වසර ගණනාවක් තිස්සේ තබ්ලාව වගේ වාද්‍ය භාණ්ඩ හා ඔට්ටු වෙලා ඔය දෑත රිදෙන්නේ එහෙම නැද්ද?

ෆෝචූන්ස් එකේ ඉද්දි රෑ එක වෙනකම් ෂෝස් ගහනවා. දවස් තිහේම රෙකෝඩිං. අදටත් මාසෙට සෑහෙන ප්‍රමාණයක් වැඩ කරනවනෙ. බොහොම සතුටින් වාදනයේ නියැලෙන්නේ. ඒ සතුට නිසයි දෑත රිදෙන්නේ නැත්තේ.

 

සංගීතය පැත්තෙන් කොතරම් ඉදිරියට ගියත් පෞද්ගලික ජීවිතයේ ඔබ තනිකඩයෙක්?

කලාකරුවකු හැටියට ආදරය ලැබීමම වාසනාවක්නෙ. ඒක ගැහැනු ද පිරිමි ද කියලා නැහැ. පාසල් යන කාලයේ ඉඳලා මට ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය තිබුණා. කොච්චර නම් කෙල්ලො පස්සෙන් ආවද.

 

අදටත් ඒක එහෙම්මමයිනෙ?

අදට . . . (මමෝජ් මහ හඬින් හිනා වෙයි). නිළියො හැමෝම යාළුවෝ. හැමෝම ළඟින් ඇසුරු කරනවා. දුකසැප බෙදා ගන්නවා. එදා ඉඳලම සංගීතයටම යොමු වුණා මිස ආදරයක් විවාහයක් ගැන හිතුවේ නැහැ.

 

හුදකලාවක් දැනෙනවා ඇති?

දැනෙනවා. කසාද බැඳපු අය ඔවුන්ගේ ළමයි දැක්කම මටත් මේ වගේ ජීවිතයක් තිබුණා නම් හොඳයි කියලත් හිතෙනවා. මම කතෝලික ආගමේ කෙනෙක්. දෙවියන් වහන්සේගේ නියමයට අනුවනේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉදිරියේදී මොනවා වේවිද කියලා අපි දන්නේ නැහැ.

 

ඔබ එදා වගේම තරුණයි. මොකක්ද රහස?

සතුටින් සිටීම තමයි. මොකක්ද රහස මොකක්ද රහස කියලා හැමෝම අහනවා. රහසක් නැති එක තමයි රහස.

 

කලාකරුවකු හැටියට ඔබ අද තෘප්තිමත්වද සිටින්නේ?

අනිවාර්යයෙන්ම. කලාව වෙනුවෙන් කළ මෙහෙවරයන් උදෙසා මට ගෞරව නාමයන් කිහිපයක්ම ලැබුණා. මට ඒවා සියල්ලම ලැබුණේ මහා සංඝරත්නයෙන්. වාදකයකු හැටියට කේමදාසයන්ගේ නිර්මාණවලට එකතු වන්නත් වාසනාව උදා වුණා. දන්නවනෙ මාස්ටර් ලෙහෙසියෙන් කෙනෙක්ව තමන්ගේ නිර්මාණයකට එකතුකර ගන්නේ නැහනෙ. ඔය වගේ දේවල් නිසා ජීවිතයම තෘප්තිමත් කියලා දැනෙනවා, හිතෙනවා.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.