රඟපාන්න මට තියෙන්නේ පුදුම උණක්

සංජානා ගමආරච්චි
ජුනි 20, 2019

ශාන්ත සොයිසාගේ නවතම ටෙලි සිතුවම ජීවිතේ ඇතිතුරා නම් වේ. එය මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. පබා, පබළු, අමා, සඳ, වරාමලී, පිනි, නෙතු වැනි පෙර නිර්මාණවලදී මෙන්ම මෙවර ද නවක මුහුණු කිහිපයක් හඳුන්වාදීමට ශාන්ත උත්සාහ කොට ඇත. සංජානා ගමආරච්චි ද එවන් වූ තැනැත්තියකි. ඇය පළමුවරට කැමරාවට මුහුණ දුන්නේ ජීවිතේ ඇති තුරා නාට්‍යයෙනි. සංජානා එහි රඟපාන්නේ ප්‍රධාන නිළි භූමිකාව වීම ද විශේෂත්වයකි. ඇගේ චරිතයේ නම අපූරු එකකි. නාට්‍යයේ රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි යොදා ඇති පරිදි ඇය හිමිදිරි ඉඩම්ගොඩය.

මං හිමිදිරි කියන්නද සංජානා කියන්නද?

කැමැත්තක්. ඔය නම් දෙකෙන්ම කතා කරනවා. පරණ යාළුවන්ට නම් මං සංජානාම තමයි. මගේ ෆෑන්ස්ලා නාට්‍ය බලන අය කතා කරන්නේ ආ . . . හිමිදිරි . . . කොහොමද කියලා.

රංගනයට ඔබ මොන වගේ කැමැත්තක්ද තිබුණේ?

රඟපෑමට ලොකු ආසාවක් තිබුණා. නමුත් අපේ පවුල් පසුබිමත් එක්ක මට මේ වගේ ක්ෂේත්‍රයට එන එක ටිකක් අපහසුයි. අම්මයි තාත්තයි දෙන්නම ගුවන් හමුදාවේ සේවය කළේ. තද නීති රීති ගොඩක් මැද්දේ අපි හැදුණේ. මට රංගනයට උණක් තිබුණා. නිකම් උණක් නෙවෙයි තදබල උණක්. අවස්ථා හෙව්වා හම්බ වුණේ නැහැ. කන්ටෑක්ස් නැහැනෙ.

ඒත් අහම්බෙන් ඔබට අවස්ථාව උදා වෙනවා?

ඒක වුණේ මෙහෙමයි. සහාය අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා ප්‍රසන්න නිරෝෂන් කියලා. අයියලා එහෙම දන්නවත් ඇති. ප්‍රසන්න අයියා තමයි ජීවිතේ ඇතිතුරා නාට්‍යයේ ෆස්ට් ෂෙඩුල් එකේ ඒ. ඩී. ඔහු මාව දවසක් එෆ් බී එකෙන් දැකලා මැසේජ් එකක් දාලා තිබුණා ශාන්ත අයියා මෙහෙම නාට්‍යයකට අලුත් කෙනෙක් හොයනවා කියලා. ඒ පණිවුඩය මත මං ශාන්ත සර්ව මුණ ගැහුණා. දවස් තුනක් මට ස්ක්‍රීන් ටෙස්ට්වලට යන්න වුණා. තුන් වෙනි දවසෙයි තෝර ගත්තේ. ශාන්ත සර් කෙළින්ම නාට්‍යයේ ලොකේෂන් එකට එන්න කිව්වා. එතකොටත් ප්‍රධාන චරිතය නැතුව ෂූටිං පටන්ගෙන. මාව ඒකට තෝර ගත්තම පුදුම සතුටක් දැනුණේ.

ගෙදරින් මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබුණේ?

අම්මලා දන්නවා මං මේ ක්ෂේත්‍රයෙන් තමයි ඉදිරියට යන්නේ කියල. අම්මත් එක්ක ෂූටිං යන්න අවසරය ලැබුණා.

කොහොමද පළමු රංගන අත්දැකීම?

මම ශාන්ත සර් කලින් කරපු නාට්‍ය බොහොමයක් නරඹලා තියෙනවා. පබා, පබළු වගේ නාට්‍ය එක දිගට බැලුවා. ඔහුගේ නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන්න මට හැකියාව ලැබේවි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ. පුළුවන් උපරිමයෙන් මං චරිතයට සාධාරණයක් ඉටු කරනවා. වරදින අවස්ථා නම් තියෙනවා. තවම මං ක්ෂේ්ත්‍රයට අලුත්ම අලුත්නෙ. ඒ වගේ වෙලාවල්වලදී ටිකක් විතර බයිට් වෙනවා. බයිට් කරන ගමන්ම අඩුපාඩුත් කියලා දෙනවා.

හිමිදිරි ඉඩන්ගොඩ. කවුද ඒ?

හයිෆයි කෙල්ලෙක්. එයාගේ තාත්තා ගමේ මනුස්සයෙක්. අම්මා තමයි පොහොසත්. හිමිදිරිව බලෙන් අකැමැති දේවල්වලට යොමු කරවනවා. ඇය කැමැති නිදහසේ ඉන්න.

කලාවේ නියැළුණත් ඔබගේ අධ්‍යාපනය සිදු වන්නේ වෙනත් අංශයකින්?

මං තොරතුරු තාක්ෂණය සම්බන්ධ උපාධියක් හදාරනවා පෞද්ගලික විශ්වවිද්‍යාලයක. ඒක ඉවර වුණාම ජොබ් එකකට යන්න අදහසක් නැහැ. මගේ අවශ්‍යතාවයක් මතයි එහෙම ඉගෙන ගන්නේ.

සංජානා ගමආරච්චි කියන්නේ මොන වගේ කෙනෙක්ද?

අතිශය සාමාන්‍ය කෙනෙක්. සාමාන්‍ය විදිහට හිතන, සාමාන්‍ය විදිහට ජීවිතය ගෙවන සාමාන්‍යම කෙනෙක්.

ඔබ ඉගෙන ගත්තු පාසලත් සඳහන් කරමු?

මාතර සුජාතා බාලිකාව.

ගම?

මාතර.

මේ ඔබේ පළමු පුවත්පත් ලිපිය?

ඔව්. මගේ පළමු ලිපිය සරසවියේ පළවීම ගැන ඇත්තටම සතුටුයි.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

නාට්‍යයේ හැමෝටමයි මට උදවු කළ හැමෝටමයි ස්තූතියි. මගේ මොකක් හරි සාර්ථකත්වයක් තියෙනවා නම් ඒ හැමෝගෙම උදවු නිසා තමයි.

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.