මේ දවස්වල ජනප්‍රියම ගීයක් ගැන අපූරු කතාබහක්

රජීව් සෙබැස්ටියන්
ජුනි 13, 2019

 

ඉස්සර ක්‍රිකට් ගැහුව අපි ජේසුගෙ පල්ලියවත්තේ
තාත්තගෙ සින්දු ඇහුණ වෙසක් එකට පන්සල පැත්තේ
අපේ ආගම් දෙක අතරෙත් පොඩි වෙනසයි ඇත්තේ
ඔය අන්තවාදි නැසුනට අද බෝම්බ මත්තේ

අපිට කැවුම් කොකිස් ලැබෙද්දි සිංහලේ කාලෙට
අපිත් වටලප්පන් යැව්වා රාම්දාන් කාලෙට
කැකුළු හාලේ බත් කෑවට ගමේ ආරෙට
මගේ නම් වැඩි කැමැත්ත අදටත් බුරියානි වේලට

එදා ජාතිවාදෙ ඇවිලෙන කොට යාපන පැත්තේ
රට බෙදනවාට විරුද්ධවයි අපි හිට ගත්තේ
ඒ හින්දයි අපි ඔයාලව සැක කෙරුවෙම නැත්තේ
ඒත් පල්ලිය ඇතුළට මොකටද ආයුධ ගත්තේ

බුදු පිළිම කඩල අපෙ පිස්සෝ පසුගිය කාලේ
ගැටුමේදි පල්ලියේ ආරක්ෂාවට කඩු පිහි ආවේ
ඉල්ලන්නෙ නැතුව සහය පොලීසියේ හමුදාවේ
නීතිය අතට ගන්න ගිහින් බින්දා අපෙ විශ්වාසේ

මාන බැලුවට සමහරු බොර දියෙ මාලු බාන්න
දෙන් නෑ පාස්කු දා වගේ විපත් ආයෙ කරන්න
අන්තවාදියාගේ දරුවාවත් බේරා ගන්න
අපේ හමුදාව මත්තේ දැන්වත් විශ්වාසෙ තියන්න

ආපසු බැරිවුණාට මැරුණු අයට ජීවිත දෙන්න
ආයෙ බැරිද අපට පරණ පුරුදු විදියට ඉන්න
කොහොමත් කලක් යාවි පෑරුණු හිත් සුවපත් වෙන්න
අපිත් ඉගෙන ගත්තෙ සතුරාටත් ප්‍රේම කරන්න

නානා නානා මේ අහන්න නානා
වානා වානා යුද්ධ ආයෙ වානා
වානා වානා යුද්දෙ අපට වානා
ඕනා ඕනා සාමෙ තමයි ඕන


පදමාලාව, තනුව හා සංගීතය – රජීව් සෙබැස්ටියන්

මේ කියවෙන්නේ අපි කාගෙත් හිත්වල දැල්වෙන බලාපොරොත්තු, අපේ හිතේ වැඩ කරන සදා මතකයේ තිබෙන ආදරණීය සැමරුම්. මේ ඔක්කොම කැඩිලා බිඳිලා විසිරිලා යන්න ගතවුණේ එකම එක තත්පරයයි. ඔය කියන දවසටත් පෙරදා වගේම අරුණළු කැන් අරගෙන හිරු උදා වුණා. කවුද හිතුවෙ මේ අරුණළු කැන් මැදින් අපේ රටට භීතියේ සෙවණැලි නැවත වතාවක් වැටෙයි කියලා. ඒත් ඒක එහෙම වුණා. මිනිස් සිතකට දරාගත නොහැකි තරමේ දුක් පීඩා, මානසික පීඩා, යළිදු කිසිදා ඇති කළ නොහැකි මානව බැඳුම් 

මේ රටේ ජනතාවට අහිමි වුණා. අප්‍රේල් 21 දා වැදුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මේ රටේ ජන ජීවිතය අඩාල කළා විතරක් නොවෙයි එකිනෙකා අතර පැවති විශ්වාසයේ බැඳුම් පුපුරා හැරියා. මේ දුක් පීඩා, සංතාප, ශෝකාලාප ඔහුගේ සිත කම්පනයටත්, පීඩනයටත් ලක් කළා. ඒ පීඩනය තමයි අද අපි ගීතයක්ව විඳින්නේ. ඒක හරිම මානුෂීයයි. ආදරණීයයි. අපේ විශ්වාසවන්ත පැරැණි බැඳීම් අපිට ආදරයෙන් මතක් කරල දෙනවා. පෑරුණු හිත් සුවපත් කරන්න ඒ අතීත මතක සුවඳ හොඳ ඔසුවක් නේද කියලත් වෙලාවකට හිතෙනවා. රජීව්ටත් එහෙම හිතෙන්න ඇති.

අපි මේ කතා කරන්නේ තවත් අපූරු නිර්මාණයක් ගැන. මේ දිනවල යූ ටියුබ් හරහාත් විවිධ නාළිකා හරහාත් හුවමාරු වන රජීව් සෙබැස්ටියන් හා ඉෂාක් බෙග් ගයන ‘නානා’ ගීතය ඒකට නිමිත්ත වුණා. මේ ගීතයේ ආඥාදායකයා රජීව් කියලා මට හිතුණේ ගීතයේ නිර්මාණ පසුබිම ඔහුගෙන් ඇහුවට පස්සේ.

හරියටම අප්‍රේල් 21 දා උදේ මම හිටියේ ගෙදර. මට යාළුවෙකුගෙන් දුරකථන පණිවිඩයක් ආව පල්ලිවලට ගහනවා. නිවුස් බලන්න කියලා. මට මොනවත්ම හිතාගන්න බැරි වුණා මොකක්ද මේ වෙන්නේ කියලා. ඒ හින්දා ඉක්මනට රූපවාහිනිය ක්‍රියාත්මක කළා. ඊට පස්සේ තමයි හරි දේ තේරුම් ගත්තේ. මේ ප්‍රශ්නෙත් එක්ක මා තුළ ලොකු මානසික කැළඹීමක් ඇති වුණා. මේ තත්ත්වය බලාපොරොත්තු නොවන දෙයක්. ඊට පස්සේ එදිනෙදා අපේ ක්‍රියා කලාපය නැවතුණා. කතෝලිකයෙක් නිසා පල්ලිවලට සිදු වුණ දේ වැඩි වැඩියෙන් දැනෙන්න ගත්තා. විශේෂයෙන් ොකච්චිකඩේ පල්ලිය කියන්නේ මගේ ජීවිතේ ලොකු සමීප සම්බන්ධතා තිබෙන, බැඳීම් තියෙන තැනක්. ඒක ආගම් ජාති බේදවලින් තොරව වන්දනාමාන කරන තැනක්. මට මතකයි මේ අවුරුද්ද පටන් ගනිත්දී පළවෙනිදා පාන්දර නුවර ඉඳලා අපි පස් දෙනා කොච්චිකඩේ පල්ලියට ආවා. මගේ සංගීත කණ්ඩායමේ කතෝලිකයෝ ඉන්නේ දෙන්නයි. ඒත් අපි පස් දෙනාම පල්ලියට ආවා. සාමාන්‍යයෙන් අපි පස් දෙනා පල්ලියට විතරක් නෙමෙයි පන්සලට, කෝවිලට, දේවාලෙට ගියත් එහෙම තමයි.

ඉතින් අප්‍රේල් 21 සිද්ධියෙන් පස්සේ අපට යෙදිලා තිබුණ වැඩ බොහොමයක් කල් ගියා. ඒ නිසා කාර්යබහුල බවෙන් තොරව නිදහසේ ගෙදර හිටියා. ඒ වුණාට හිත නිදහස් වෙලා තිබුණේ නෑ රටේ ඇතිවුණ මේ අවාසනාවන්ත තත්ත්වයත් එක්ක. අපි දෙගොල්ල අතර තිබුණ සමීප සම්බන්ධතා මට වරින් වර මතක් වෙනවා. ඉස්සර එල්. ටී. ටී. ඊ. සංවිධානය යුද්ධ කළේ අනවශ්‍ය පරමාර්ථයක් වුණත් කුමක් හෝ අරමුණක් හිතේ තියාගෙන. අඩුගානේ රටෙන් පැත්තක් ඕන කියල හරි ඔවුන්ට ඉල්ලීම් තිබුණා. මේකේ එහෙම දෙයකුත් නෑ. සාමාන්‍ය මුස්ලිම් මනුෂ්‍යයා දන්නෙත් නෑ මොකද කියලා. කොහෙත්ම තේරුමක් නැති දෙයක් වුණේ. මට හිතුණේ ඒක ජීවත් වෙන අයගේ බැඳීමට වැදුණු මරු පහරක් කියලයි. මේ සිතුවිලි අතරේ ඉන්න කොට නිකමට මගේ හිතට ආවා අදහසක්.’

රජීව් ගීතයේ නිර්මාණ පසුබිම ගැන කියන්න ගත්තා.

‘නානා . . . 83 කළු ජූලිය වානා . . .’

නිකමට වගේ මේ පාඨය රජීව් සිය මුහුණු පොතට එක් කළා. නැවත කළු ජූලියක් ඇතිවෙයිද කියන හැඟීම ඒ වෙනකොටත් ඔහු තුළ ඇති වෙන්න ඇති. රජීව්ගේ මේ පෝස්ට් එකට ඕන තරම් ප්‍රතිචාරත් ලැබෙන්න ඇති. එතැන් පටන් ඒක දිගින් දිගට ලියවුණු ගී පද රචනාවක් වුණා.

‘මම පුංචි කාලේ ඉඳලා ආශ්‍රය කරපු, දැකපු අහපු දේවලුත් එක්කයි මේ අදහස් ලියවෙන්න ගත්තේ. කොහොම හරි මැයි 05 වැනිදා වෙනකොට ගීතය ලියවිලා ඉවරයි. ඇත්තටම කිවුවොත් මගේ ආසාව තිබුණේ මේ ගීතය ඩෙස්මන් ද සිල්වා හා ඉෂාක් බෙග් යොදවලා කරවන්න. මම ඉස්සරලම මගේ වේලාවෙන් පාන්දර 4.00 ට විතර ඇති සින්දුව ඉවර වෙනකොට. මම දන්නවා එතකොට ඔස්ට්‍රේලියාවේ වෙලාව. පැය 5 1/2 ක් විතර ඉස්සරහින්නෙ ඉන්නේ. ඒ හින්ද මං හිතුවා ඩෙස්මන් ද සිල්වාට පණිවිඩයක් තියන්න. අපි කොහොමත් සුමානයකට සැරයක් දෙකක් කතාබහ කරනවා.’

රජීව්ට ඩෙස්මන්ට මේ පද රචනය පිළිබඳ පවසන තුරු ඉවසිල්ලක් තිබිලා නෑ වගේ. ඔහු පාන්දරම ඔහුට Chief are you up? යනුවෙන් පණිවුඩයක් තැබුවා.  Why not?  ක්ෂණයකින් ඔහුට ඩෙස්මන්ගෙන් පිළිතුරක් ලැබුණා.

Can I Call  නැවතත් රජීව්ගෙන් පණිවිඩයක්. පණිවිඩ හුවමාරුව ඉක්මනින්ම දුරකථන ඇමතුමක් බවට පත් වී ඩෙස්මන්ගේ හඬ දුරකථනය දිගේ ගලා ආවා. රජීව් එක හුස්මට තමන් ලියපු ගී පද ටික කියවන්න ගත්තා.

It’s a brilliant idea Rageev . . .දුරකථනයේ එහා පැත්තෙන් රජීව්ට ඇහෙන්න ගත්තා. ඒත් ප්‍රශ්නය වුණේ ගීතය ගායනා කරන්න ඩෙස්මන්ට ලංකාවට පැමිණිය හැක්කේ එළඹෙන අගෝස්තු මාසයේ වීමයි. ගීතයේ ට්‍රැක් එක ඩෙස්මන්ඩ්ට යවා ගායනා කරවා ගැනීමේ පහසුකම රජීව්ට තිබුණ ද ඔහුට අත්‍යාවශ්‍ය වූ විෂුවල් නිර්මාණය කර ගන්නේ කෙලෙසදැයි රජීව්ගේ කල්පනාව වුණා.

‘ඉස්සර මම සින්දුවක් ලියපු ගමන් අරන් යන්නේ ක්ලැරන්ස් අයියා ළඟට. අඩුපාඩු හදවා ගන්න. ඔහු නැති වුණාට පස්සේ මම වර්නන් පෙරේරා ළඟට යන්න පටන් ගත්තා. ඒක අඛණ්ඩව සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් පුරුදු විදියටම වර්නන් අයියට කතා කරල වචන ටික කීවා. ඔහු කිව්වෙ කිසිම වෙනසක් කරන්න එපා. මේක හරියටම හරි කියලයි. ඔය අතරෙම මගේ එංගලන්තෙ ඉන්න යාළුවෙකුටත් මම මේ ගැන කිව්වා. ඔහුත් මේක අගය කරලා ඩෙස්මන්ට අගෝස්තු වෙනතුරු එන්න විදියක් නෑ කිව්වම ඔහු මට වෙනම අදහසක් දුන්නා. ඔය සින්දුවෙ සියළුම අදහස දන්නේ ඔයා. ඉතින් ඔයා ඇයි ඉෂාක් එක්ක ගීතය කරන්නෙ නැත්තේ කියලා. ඊට පස්සේ මටත් කල්පනා වුණා මම ගැන. සමහරු මට කියනවා නම දිහා බැලුවම පල්ලියවත්තේ කෝවිල හැදුවා වගේ කියලා. මම කෙළින්ම කතෝලික. ඒ වගේම තමයි ඉෂාක් කෙළින්ම මුස්ලිම්. අපේ රටේ මුස්ලිම් ගායකයෝ හිටියා. නමුත් ලංකාවට සිංහල අවුරුද්දට, වෙසක්, පොසොන් ඔක්කොම ගේන්නේ මොහිදින් බෙග්. ඉතින් එයාගේ පුතා මේකට හොඳම සුදුස්සා. ඉතින් අපි දෙන්නා මේ ගීතය කරන්න තීරණ කළා.

බෙග් මාස්ටර්ගේ ඊළඟ පරපුර ඉෂාක් බෙග් මේ ගීතය දැකලා අතිශයින්ම සතුටු වුණා. ඉෂාක් හා රජීව් අතරත් තියෙන්නේ සමීප සබඳකමක්. ඔවුන් නොයෙක් වර නොයෙක් විට විවිධ ප්‍රසංග වෙනුවෙන් විදෙස් සංචාර වෙනුවෙන් එකට එක් වී කටයුතු කරනවා. මිත්‍රත්වය බෙදා හදා ගන්නවා. මුළු රටකම පලුදු වුණු මිත්‍රත්වය ගොඩ නඟන්න ඉෂාක් රජීව් හා එකතු වුණේ කියන්න බැරි තරම් සතුටකින්. අද අපි ඉතාම ආදරයෙන් වැළඳ ගත්තු ගීතයක් වුණත් මේක ගොඩ නැඟුණේ දහසකුත් බාධක මධ්‍යයේ.

‘ගීතය පටිගත කරන්නේ හෙටයි කියලා මට තදබල ලෙස අසනීප වුණා. කොයිතරම් ඒක දරුණු ද කිව්වොත් මගේ බහිස්ස්‍රාවීය පද්ධති දෙකෙන්ම රුධිරය වහනය වෙන්න පටන් ගත්තා. ඒත් කරන්න දෙයක් නෑ. ගීතය පටිගත කරන්න සියල්ල සූදානම් කරලයි තිබුණේ. උදේ ස්ටුඩියෝ එකට යන්න ලෑස්ති වෙත්දි බාත්රූම් එකේ වැටුණා. නමුත් මම කොහොම හරි කරනවා කියලා හිතාගෙන ස්ටුඩියෝ එකට ගියා. ඒ වෙනකොට ඉෂාක්ගේ රාමසාන් කාලේ. ඔහු උදේ ආවේ වතුර පොදක්වත් බොන්නේ නැතුව. ඉෂාක් වොයිස් කලාට හරියට එන්නෙ නෑ කියලා තේරුණා. ඊට පස්සේ අපි හවස 6.30 ට උපවාස කාලය ඉවරවුණාට පස්සේ කෑම ටිකක් කාලා වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ ඉෂාක්ගේ කොටස හොඳට ආවා. නමුත් මට ගීතය කියා ගන්න තරම් සනීපයක් තිබුණේ නෑ. මට හොඳටම උණ. පහුවෙනිදා ඇවිත් තමයි මගේ කොටස කිව්වේ’.

කොයි තරම් බාධක මැද්දේ නිර්මාණය වුණත් අද මේ ගීතයට තිබෙන ප්‍රේක්ෂක කැමැත්ත මෙන්ම ඉන් අපේ සමාජයට දෙන පණිවිඩය කොතරම් යහපත් ද යන්න දෙස බලන විට අද රජීව්ටත් අසීමිත සතුටක් දැනෙනවා ඇති.

රජීව් වසරකට ආසන්න කාලයක් තිස්සේ නව ගීතයක් පටිගත කර තිබුණේ නෑ. ඊට විශේෂයෙන්ම හේතුවක් වූයේ වසරකට පමණ ඉහත දී ඔහු නාසයේ කරන්නට යෙදුණ ශල්‍යකර්මයක් හේතුවෙන්. ශල්‍යකර්මයෙන් පසු රජීව් පටිගත කළ පළමු ගීතය වුණෙත් මේ ගීතය. මින් ප්‍රථම ‘සරම’ නම් වූ ගීතය ඔහුත් ජිප්සීස් සුනිල් පෙරේරාත්, ඇනස්ලි මාලේවනත් ගායනා කරමින් ඔහු ඉදිරිපත් කළ ප්‍රසාංගික අත්දැකීම කාටත් මතක ඇති.

‘පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අපේ සංගීත කණ්ඩායම කැනඩාවේ ප්‍රසංග කිහිපයක් සඳහා ආරාධනා ලැබුණා. එහිදී අපි ඔක්කොටම උණ හැදුණා. අපිට ඒ සීතල පුරුදු නෑනේ. ලංකාවට ආවට පස්සේ අනෙක් හැමෝටම හොඳ වුණා. මට ටිකක් හුස්ම ගන්න අපහසුවකුත් සමඟ නහයෙන් ලේ යන්න පටන් ගත්තා. රෝහලට ගියාම නවතින්න කියලා ශල්‍යකර්මයක් කළ යුතුයි කිව්වා. නහය මැද අමතර මස් වැදැල්ලක් මෙන්ම අස්ථියේ යම් ඇදයක් තියෙන බව වෛද්‍යවරු පැවසුවා. අස්ථියේ ඇදය නම් උත්පත්තියෙන් පිහිටපු එකක්. නමුත් මට බය හිතුණේ නෑ. දොස්තර මා දිහා බලා ඉඳලා මම ඔයා ගැන දන්නවා. ඔයාගේ වෘත්තිය ගැනත් දන්නවා. බය වෙන්න එපා. කටහඬට මුකුත් වෙන්නේ නෑ. තව තවත් කටහඬ ලස්සන වෙයි කිව්වා. ඇත්තටම ඒක මට දැනුණේ මේ ගීතයෙන් පස්සේ. වෙනදාට වැඩිය මගේ කටහඬ පැහැදිලියි පිරිසුදුයි.

රජිව් අසනීප තත්ත්වයන් දරාගෙන ගීතය පටිගත කර ගත්තද ඉන් පසු දින කිහිපයක්ම ඔහුට රෝහල් ගත වන්නට සිදු වුණා. අසනීප තත්ත්වය උඩ වුව ද ඔහුගේ මනස වැඩ කළේ ගීතය පිළිබඳ. ඔහුට වුවමනා වුණේ ඉක්මනටම ගීතය රූගත කරගන්නට. එහෙම රෝහල් ගත නොවුණා නම් මේ ගීතය මීට කලින් අපට අහන්න තිබුණා. මඳ සුවයකින් පසු ඔහු නැවතත් ගීතයේ දර්ශන පටිගත කිරීමට වෙහෙසුණා. සමන් විජේසිංහගේ වීඩියෝකරණය වුවත් සියළුම ආධිපත්‍යයන් රජීව්ගේ වුණා. ඇඳුම්, ලොකේෂන් එක පවා.

‘ගීතයේ විෂුවල් එක ගැන හිත හිත ඉන්න කොට මගේ පරණ යාලුවෙකුගේ බර්ත් ඩේ පාටියකට ගිය නිවෙසක් මට මතක් වුණා. ඔහු මටත් වැඩිය ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක්. නම ජෝන් ඩෙරික්. ‘බඹරාස්’ කියලා සංගීත කණ්ඩායමක් ඒ කාලේ ඔහුට තිබුණා. ඔහු පුංචි කාලේ මම දැකලා තිබුණට ඊට පස්සේ මුණ ගැහෙන්නේ ඕමාන්වලදී. ඔහු ලංකාවට ආවට පස්සේ තමයි මට පණිවිඩයක් දාලා තිබුණේ හම්බ වෙමු කියලා. අහම්බෙන් දවසක ඔහුගේ උපන් දින උත්සවයට ගිය මොහොතේදී ඔහුගේ නිවෙස මගේ හිතේ රැඳිලා තිබුණා. මට හිතුණා මේ ගීතයට හොඳ ලොකේෂන් එක එතැන තමයි කියලා. තලවතුගොඩ පාසල් මාවතේ පිහිටි ඔහුගේ නිවෙස තමයි මම ගීතයේ රූපගත කිරීම්වලට තෝරා ගත්තේ. ඒ විදියට තමයි ගීතය රූපගත කිරීම් කළේ. දැන් දැන් ගීතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 98% ක්ම හොඳ කියනවා. 2% ක් විතර බනින අයත් ඉන්නවා. ඒක ඉතින් මට විතරක් නෙවෙයි අමරදේව මහත්තයාටත් බනින අය ඉන්නවානේ. හැබැයි රජීව් සෙබැස්ටියන්ට හොඳට බැනුම් අහලා පුරුදුයි.’

රජීව් කියන්නේ එක්තරා ආකාරයක සතුටකින් කියලා මට හිතුණා. රජීව්ගේ ජීවිතේ ආපස්සට හැරිලා බලත්දී ජීවන මං සලකුණු අතර ක්ලැරන්ස් විජේවර්ධනගේ ඇසුර සුවිශේෂියි. ඔහු තුළ ක්ලැරන්ස් වෙනුවෙන් තිබෙන්නේ අසීමිත ආදරයක්, ගෞරවයක්, භක්තියක්. අද මේ මොහොතේ ඒ ආදරය, ගෞරවය, භක්තිය වෙනස් නොවී පුද කරන්න තරම් ඔහු නිහතමානී වුණා.

‘ක්ලැරන්ස් විජේවර්ධන පවුල හා මා අතර තිබුණේ සමීප බැඳීමක්. ඒ ගණුදෙනුව, බැඳීම ඈත් වෙන්න හේතු වුණේ ඊට පස්සේ ආව ආගන්තුකයන් නිසා කියලා බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. මේ සින්දුවට ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ කිසිම සබැඳියාවක් නෑ. නමුත් මම එකක් කියන්න ඕන. මට සිංහල සංගීතය ගැන ආසාවක් ආවේ ක්ලැරන්ස් කියන චරිතය නිසා හා ඔහුගේ නිර්මාණ නිසයි. ඒ නිසා මේ ගීත නිර්මාණයේ සාර්ථකත්වයත් 1% ක් වත් තියෙනවා නම් ඒ ගෞරවය බොහොම ආදරයෙන් ක්ලැරන්ස්ට පුද කරන්න ඕන.’

රජීව්ගේ ගමන් මඟ දිහා බලත්දි ඔහු වෙනස් ආරක පුද්ගලයෙක්. බොහෝ විට අද කෙනෙකු ගායකයෙකු වන්නට මියුසික් වීඩියෝවක් නිකුත් කිරීම බොහෝ සරල දෙයක් බවට පත් වෙලා. රජීව්ලා පැමිණි යුගයේවත් එවන් ඕනෑකම් ඔහුට තිබුණේ නැත. අනෙක් පසින් ඔහු රියලිටි තරුවක් ද නොවෙයි. ඔහු ක්ෂේත්‍රයට ආවේ වෙනම ආකාරයකින්ය.

‘මම ක්ෂේත්‍රයට ආවේ වෙන විදියටනේ. කොටින්ම කිව්වොත් බැණුම්ම අහලනේ ආවේ. අපි එන්නේ කාගේ හරි සින්දුවක් කියාගෙන නම් අපිත් මෙතන මොනව හරි යමක් කරන්න ඕනනේ. එහෙම යමක් ඉතුරු කරලා තිබ්බොත් මැරුණු කාලෙක හරි කියාවි. මුලින්ම මම එහෙම ගීතයක් ඉතුරු කළේ කොරින් අල්මේදා කියපු ‘රෙද්ද හැට්ටෙ ඉණ ගාවට’ ගීතය. ඊට පස්සේ මම වෙනස්ම අත්දැකීමක් විදියට ‘සරම’ කළා. මේ ගීතය ඊට වෙනස්. ඒක අපි හැමෝටම දැනෙන දුක, කම්පනය, වේදනාව, ඇතුලේ තියෙන දෙයක්. කොහාම වුණත් සිංහල, මුස්ලිම්, කතෝලික පිරිස අතර තිබෙන කුකුස, අපැහැදීම නැති කරන්න මට ඕන වුණා. බෙග් මාස්ටර් ආගම්වාදියෙක් වුණා නම් අර තරම් බුදු ගුණ ගී ගයයිද? ඒ. ජේ. කරීම්, ඒ. එම්. යූ. රාජ් වැනි අය කොයි තරම් තව අප අතර හිටියද. හැමෝම අන්තවාදියෝ නොවෙයි කියන තැනටත් අපි යන්න ඕන. මේ සේරම ප්‍රශ්න අතරේ අපි දකිනවා කාදිනල්තුමා හඬා වැටෙමින් ජනතාව අතරට යන හැටි. මොනව හරි ව්‍යසනයකදී තමයි නායකත්වයේ ලක්ෂණ පහළ වෙන්න ඕන. එතුමා හරියට ඒක කළා. ජනතාව පාලනය කර ගත්තා. ඒ පණිවිඩයෙන් තමයි මම ගීතය අවසාන කරන්නේ.

රජීව් මොරටු පුත්‍රයෙකි. ඔහුගේ උපන් ගම මොරටුවය. ඔහු අලුත් වැඩකට අත ගසා තිබේ. ඒ මොරටුව ගැන ගීතයක් නිර්මාණය කිරීමටය. මොරටුවේ උපන් සුනිල් පෙරේරා / පියල් පෙරේරා, නිහාල් නෙල්සන්, ප්‍රියා පීරිස්, සමන් ද සිල්වා ඇතුළු පිරිස එක් කරගෙන ඒ ගීතය නිර්මාණය කරන්නට ඔහු සූදානමින් සිටී.

‘මට හිතෙනවා වැඩිම වුණොත් තව මම සින්දු දෙකක් කරාවි. මම තනියෙන් සින්දු කියලා මගේ මමත්වය ගොඩ නඟා ගන්න මට දැන් ඕනකමක් නෑ. සුනිල් පෙරේරා, පියල් පෙරේරා, චිත්‍රාල් සෝමපාල හා මම එකතුව දේශපාලනය පදනම් කරගත්ත ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. ඉදිරියේදී ඒකත් අසන්න ලැබෙයි.

Comments

Indra Colambage Dona (තහවුරු වී නොමැත)
Dear Rajeev and Ishak This song is the best thing you did for the country especially in this bad period. I normally don't share songs to my Facebook but this was shared and many good comments are there. You can be happy for yourselves. I am waiting to hear your "Political" song with Sunil and the team. Hope it will bring the same taste like this song. Wish you all the best for good work. (You both came to New Zealand and we really enjoyed your songs. Will see you again in NZ).
බදා, 06/19/2019 - 04:59

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.