මම ගිය ආත්මේ ගොඩාක් මල් පූජා කරලා ඇති

සම්මානනීය නිළි සබීතා පෙරේරා
ජුනි 13, 2019

මේ සේයා රූ පෙළ දකින ඔබට ඇය කවුදැයි මා කිව යුතු නොවේ. සබීතා පෙරේරා සිංහල සිනමාවේ යුගයක් බිහි කළ රූපත් නිළියක බවද පාඨක ඔබට නොරහසකි. 1980 මුල භාගයේ සරසවිය සම්මාන උලෙළින් හඳුන්වා දුන් වසරේ නැඟී එන නිළිය මෙන්ම ජනප්‍රියම නිළිය සම්මාන ප්‍රථමයෙන් හිමි කර ගන්නටද ඇය සමත් වූ බව මතක් නොකර මේ කතාබහට යොමු වීම අඩුපාඩුවකි. ඇය සරසවිය හොඳම නිළිය ද වූවාය. එය සිහිපත් කරමින් මමත් තිලක් පෙරේරාත් වෝඩ් පෙදෙසේ පිහිටි ඇයගේ නව නිවහනට ගොඩ වුණෙමු. වෙසක් නිම වී පොසොන් පෝය ළඟා වන්නට ආසන්න වුවද උස තාප්පය සැරසූ විශාල බෞද්ධ කොඩි තවමත් සුළඟේ ලෙළ දෙමින් තිබිණි. අප පැමිණි බව දැනගත් ආරක්ෂක නිලධාරියකු ගේට්ටුව අසලින් නිවෙස තුළට අප කැඳවනු ලැබීය. විසල් දොරටුව හැරී අප එහි ඇතුළු වූ විගස අපේ වම් පසින් තිබුණේ, වසර ගණනාවක් පුරා සබීතා පෙරේරා වෙනුවෙන් වෙන් වුණු සරසවිය පිටුවල පිටපත් රාමු කොට විශාලව සරසන ලද වීදුරු තිරයකි. ඒ අසල ඇඳී පුටු හතරක් වූ අතර ඒවායේද සබීතාගේ රුව සහිතව පළ වූ ලිපි කීපයක් මුද්‍රණය කර පුටු කවර සරසා තිබිණි. තරප්පුව දිගේ කන්ද කපා පායන රන් පුන් සඳ සේ සබීතා අක්කා අප වෙත එද්දි එදා රසිකයන් මන්මත් කළ ඒ රූ සපුව කිසිදු වෙනසක් නැතිව අදටත් ඇය සතු වීම ගැන මට මෙන්ම තිලක් අය්යාටද දැනුණේ සතුටක් බව අප දෙදෙනා මුවින් නොබැන්නද එකිනෙකා දෙස බලාගත් විලාසයෙන් දෙදෙනාටම වැටහුණි.

අලුත් තොරතුරු ටිකක් එහෙම දැනකියා ගන්න හිතුණා. කොහොමද ඉතින් ජීවිතේ?

හොඳයි. හොඳයි. හොඳයි කව්වට ඉතින් මේ කාලේ රටේ තත්ත්වය ගොඩක්ම හොඳද? කතාව පටන් ගද්දිම මෙහෙම කීවාට කමකුත් නැහැ ඉතින්. අපි අවුරුදු තිහක්ම යුද්දෙත් එක්ක ජීවත් වෙච්ච අය නේ? ඒත් පහුගිය ටිකේ ඊට වඩා බයක් දැනුණා. මොකද මම ගේ ඇතුළේ ඉන්න නිසා මම ආරක්ෂිතයි කියලා හිතලා ඉන්න බැරි වුණා. දැන් අප්‍රේල් 21 සිදු වීමෙන් මාස දෙකකට කිට්ටුව ගෙවිලත් ප්‍රවෘත්ති බලද්දි හරි භීතියක් දැනුණා. ඇත්තම කිව්වොත් පහුගිය කාලේ නිකං තූෂ්ණිම්භූත වෙලා වගේ හිටියේ.

යුද්දෙ කාලෙටත් වඩා?

මං දන්නේ නැ මට එහෙම හිතුණා. මට එක්කෙනෙක් කීවා ඒ කාලේ මේතරම් සෝෂල් මීඩියා නොතිබුණු නිසා වෙන්න ඇති කියලත්. සමහර විට බොරු දේවල් මිනිස්සු පතුරන හින්දද මන්දා. ඒත් රට ගැන හිතද්දි වෙන කවදාවත් එකපාර මෙහෙම ගොඩක් පිපිරුම් වුණේ නැහැ. ඒ නිසා මැරුණු අය, ළමයි දැක්කාම මනුස්සයකුට එහෙම දේවල් කරන්න පුළුවන්ද කියලා හිතුණා. මට නම් ඇඳුමක් ගන්නවත් එළියට යන්නවත් හිතුණෙ නැහැ. මොකක්ද මේ කියලා හිතුණා. ඒ ගැන මුලින්ම කණගාටුව ප්‍රකාශ කරලම ඉන්න වෙනවා.

කලාකරුවන්ගේ පැත්තෙන් බැලුවත් වැඩකටයුතු තාමත් අඩාලයි. රටේ වුණත් දේවල් හරියටම ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ රටේ ජීවත්වන අය හරිම අවාසනාවන්තද කියලත් හිතෙනවා. අපේ රට එහෙම වෙන්න ඕනෙ නැහැ. ඒ තැනට කටයුතු කරන අය ගැන තිබෙන්නෙ කලකිරීමක්. අපේ ජනතාවට මීට වඩා හොඳීන් ජීවත්වෙන්න පුළුවන්. ඒ බව මුළු මහත් ජනතාවගෙන්ම ඇහුවත් කියයි.

සිනමාවට වුණු පාඩුව ගැනත් කණගාටු ඇති?

අලුතෙන් චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න බැරුව නැවැත්තුවා. ඒත් පිටරට ඒවාට සෙනඟ හිටියා. මමත් ගිහින් බලපු නිසයි දන්නේ. වැඩේ කියන්නේ අලුතෙන් චිත්‍රපටයක් එද්දි මුළු ලංකාවෙම තිරගත කරන්න ඕනෙනේ. ඒත් පිට පළාත්වල එහෙම නැනේ. මට තව එක්කෙනෙක් කීවා සංගීත සන්දර්ශන ලබන මාසෙටත් කැන්සල් වෙලාලු. එතකොට කොහොමද ඒ කලාකරුවන් ජීවත් වෙන්නේ? අනෙක එදා වේල හම්බ කරගෙන කන කම්කරුවන්, ත්‍රීරෝද රියැදුරන් වගේ අය ගැන කතා කරලා වැඩක් තියෙනවාද? කලාකරුවන්ට විතරක් නෙවෙයි සියලු ක්ෂේත්‍රවල අයට මෙය මහ පාඩුවක්. ඉතින් රටක් එහෙම වෙද්දි අපි විතරක් සන්තෝසෙන් ඉන්නේ කොහොමද? මට තාමත් ඒ මානසිකත්වයෙන් මිදෙන්න බැ.

ඔබ හිතන විදිහට අපි මොනවද කරන්න ඕනා?

ඇත්තෙන්ම මේ රටේ තත්ත්වයට තනි තනිවම අපෙන් කෙරෙන්න ඕනැ යුතුකම් හිතලා කරන්න වෙනවා. අරයා මෙයා කරනකල් ඉන්න හොඳ නැ. මම කළ යුත්තේ මොනවාද කියන දේ පිළිබඳව හිතලා කළ යුතු වෙලාවක් තමයි එළඹිලා තිබෙන්නේ. අපි බෞද්ධයෝ විදිහට කිසි කෙනකුගේ නිදහස සීමා කරන්නේ නැහැ. කිසි කෙනෙක් ගැන වෛරයෙන් කතා කරන්නේ නැහැ. හැමෝටම නිදහස තිබෙන්න ඕනා. ඒ අයිතිය අපෙන් උදුරා ගැනීම ගැන දුකයි. මේක ආගම්වාදී කතාවක් විදිහට ගන්න එපා. මේ රටේ වැඩිපුර ඉන්නේ බෞද්ධයෝ. ඒත් මුස්ලිම් අයටත් වගකීමක් තිබෙනවා අන්තවාදී පිරිසක් ඉන්නවා නම් වගකිව යුත්තන්ට මේ දේවල් දන්වා ක්‍රියාත්මක වෙන්න. කෙනකුට විනාශයක් නොවන ක්‍රිියාවලිකට යන්නයි ඕනා. කාලයක් යුද්ධ කරලා ආපහු අවුරුදු දහයක් විතර හොඳීන් ඉන්නකොට ආයේ සියල්ල කඩා වැටෙන වැඩක් වෙනවා. මොකක්ද මේ අවාසනාව කියලා හිතාගන්න බැහැ එක වෙලාවකට.

මේ සියල්ල අතර අඳුරු වළාවක නැඟෙන රිදී ඉරක් වගේ නීටක්කා (නීටා ප්‍රනාන්දු) අපේ රටට අන්තර්ජාතික සම්මානයක් ගෙනා එකනම් හරිම වටිනවා. නීටක්කා මම දකින්නේ වැඩි කලබල නැති කෙනෙක් විදිහට. ඒ වගේම නළු නිළියන්ට හොඳ අධ්‍යක්ෂවරයෙක් ලැබීමත් පිනක්. විසාකේස චන්ද්‍රසේකරම් කියන්නේත් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් නිසා මේ සියල්ල අතර අපට සතුටක් ලැබෙන්න එය හේතු වුණා.

නිළියක් තවත් නිළියකගේ ජයග්‍රහණය පිළිබඳ ඔය ආකාරයෙන් සතුටු වනවා දැකීම අපටත් සතුටක්... මම කීවේ සැබැවින්මය. ඇය නිහතමානී ලෙස සිනාසී මෙසේද කීවාය.

ඇත්තෙන්ම රටක් විදිහට අපට වෙලා තිබෙන දේට හේතුව බලද්දි එක්තරා විදිහකට ජනතාව වාසනාවන්ත වෙන්න ඕනා යහපත් පාලකයන් ලබන්නත්. මම ඊයේ පෙරේදා බණක් ඇහුවා. හාමුදුරුවෝ කීවේ කිසි දෙයක් වෙනුවෙන් කිසි කෙනකුට දොස් කියන්න එපා. හිතාගන්න ඒක අපේ කර්මය කියලා. ඉතින් මට කවුරු හරි වැරැද්දක් කරලා තියෙනවා නම්, මට එයා ඇයි එහෙම කළේ කියලා දුක් වෙනවානේ. සාමාන්‍යයෙන් එහෙම වුණත් බණට කියන්නේ මමත් ගිය ආත්මවල එයාට ලොකු දුකක් දීලා ඇති කියලානේ. ඇත්තෙන්ම එහෙම හිතුවාම හිත හදාගන්න ලේසියිනේ. වෛරය වැපිරෙන්නේ නැනේ එතකොට. හැබැයි ඉතින් අපි බහුතරයකට එහෙම හිතන්න අපහසු බවත් මම දන්නවා. ඒත් මේ දවස්වල මම ටිකක් බුදු දහම පැත්තට යොමු වෙලා.

(එසේ පවසන අතර ඇය බලන්නේ නිවෙසේ පසෙක වන බුදු ගෙය දෙසය.)

මේ බුදු ගේ ඇත්තටම මගේ මහත්තයා හදවපු එකක්. ඒ වතාවත් කරමින් කැප වෙද්දි මට හිත හදාගන්න පුළුවන් වෙලා තිබෙනවා. බුදු දහමේ කියලා තියෙන දේවල් එක්ක මට මේ පිළිම වහන්සේගේ ශාන්තබව සහනයක් ගේනවා. මගේ තාත්තා කතෝලික. මම ඉගෙන ගත්තේ වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ. මම ඉන්ටවල් එකටත් ගියේ පල්ලි. පස්සේ තාත්තා බෞද්ධ වුණා. අද ගෙදර ඉඳන්ම ඒ සහනය ලබා ගන්න මම ලොකු පිනක් කරලා තිබෙනවා. අපි කළ පින්පවු අනුව තමයි අපට හැම දේම ලැබෙන්නේ. ළමයි පවා එහෙමයි. මගේ කේන්දරේ බලපු එක්කෙනෙක් මම බඳීන්න හිතලාවත් නැති දවස්වල අහනවා ඉක්මනට බඳීන්නෙ නැද්ද අනේ ඔයාට හොඳ පුතෙක් හම්බෙන්න තියෙනවා කියලා. ඉතින් මට ආඩම්බරෙන් කියන්න පුළුවන් දැන් අවුරුදු 19ක පිරිමි ළමයෙක් වෙලාත් චන්දූප එයාගේ වැඩ කරගෙන මනුස්සකම් දන්න කෙනෙක් හැටියට හැදෙන එක. මම එහෙම කියන්නේ දවසක් අපේ ගෙදර වැඩ කළ කෙනකුට මම සැර කළාම පුතා ඇඬුවා. විශේෂයෙන්ම අන්තර්ජාතික පාසල්වලට යන ළමයින්ගේ මනුස්සකම් හරි අඩුයි. ඒත් අපේ පුතාට සිංහලවලට එහෙමත් විශිෂ්ට සාමාර්ථ්‍යයක් තිබෙනවා. පන්සිල් පිළිබද හොඳ අවබෝධයක් තිබෙනවා. අද කාලේ තරුණ පිරිස් ගැන අහන්න දකින්න තිබෙන දේවල් එක්ක මට පුතා ගැන හරි සතුටක් දැනෙනවා. එයා දැන් අහන්නේ සිංහල සින්දු. අපි සිංහල මිනිස්සු හැටියට සිංහල රටේ නාම පුවරුවක් කියව ගන්න බැරිනම්, මොනවා තිබුණත් වැඩක් නැනේ. ලබන අවුරුද්ද විතර වෙද්දි එයා තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලටත් සම්බන්ධ වෙයි.

ඔබ තරුණ පරපුර ගැන කියාගෙන ආවේ?

අපේ රටේ ඉන්නවා පාවෙන තරුණ පිරිසක්. ඇත්තෙන්ම කීවොත් ඒ අය අනාථ වුණු කොට්ඨාසයක්. මොකද අම්මලා තාත්තලා ඒ අය ගැන වැඩිය හොයලා බලන්නේ නැහැ. ඒ වගේ පිරිස් තමයි දවසක අන්තවාදීන් විදිහට එළියට එන්නේ. ඒ පිරිස ගැන මට හරි කණගාටුවක් තිබෙන්නේ. සමහර රටවල නම් ඒ අය ගැන සොයා බලන, රස්සාවල් ලබා දී ඔවුන්ගෙන් ප්‍රයෝජන රටට ගන්න වැඩපිළිවෙළ තිබෙනවා. මම නම් පුතා ගැන බොහොම සෙවිල්ලෙන් හිටියේ. මම ඇත්තෙන්ම ආසාම දේ කලාවනේ. මම චිත්‍රපට ගොඩාක් බලනවා. ඒවායින් මම බොහෝ දේ ඉගෙන ගන්නවා. ළඟදි චිත්‍රපට පාසලක් රූපවාහිනී අභ්‍යාස ආයතනයේ ආරම්භ කළානේ. ඒ වෙලාවේ මට මතක් වුණේ මම කොච්චර ආසාවෙන් හිටියද පූනේ ගිහින් ඒ පාඨමාලාවක් හදාරන්න. චිත්‍රපට සංස්ථාවෙන් කරපු රසවින්දන පාඨමාලාව අපි කොච්චර ආසාවෙන් ඉගෙන ගත්තාද. ඒ 'උණ' එක්ක තමයි අපි රංගනයට කැප වුණේ. සිසිල ගිනි ගනී, විරාගය වගේ චිත්‍රපට කරන කාලේ තිස්ස අබේසේකර වගේ ප්‍රවීණයන් එක්ක චිත්‍රපට නරඹනවා, දේශනවලට යනවා, පොතපත කියවනවා, චරිතයක් දුන්නාම ඒ අය සොයාගෙන යනවා. මට දණ්ඩේ ලූ ගිනි කරද්දි ලැබුණා ආචාර්ය එන් එම් පෙරේරාගේ නෝනා සෙලිනා ගුණවර්ධන මහත්මියගෙ චරිතය කරන්න වුණා. ඉතින් මම ආසාවෙන් ගියා විවියන් ගුණවර්ධන වගේ අය හමුවෙලා ඒ අයගේ ලක්ෂණ අහගත්තා. මොකද මම එතකොට ඒ චරිතය පිළබඳ හිස් කෙනෙක්නේ. මම මගේ අභ්‍යන්තරය ඒ ගතිලක්ෂණවලින් පුරවා ගන්න ඕනා. පිටගම් කාරයෝ කරද්දි මගේ චරිතය අවුරුදු අසූව දක්වා දිවෙනවා. ඒවා අපි බොහොම උනන්දුවෙන් සොයාගෙන, අධ්‍යයනය කරලා කළේ මේ විෂයයට තිබෙන ආදරේ, ගෞරවය නිසා. ඒත් පුතා වෙනුවෙන් මම අවුරුදු 9ක් කැප කළා.

නව පරපුරේ නළු නිළියනුත් ඒ වගේද?

මේ කාලෙ හරි වෙනස්. අද ටෙලි නාට්‍ය සංස්කෘතියක් රට තුළ ගොඩනැඟිලානේ. ඒත් මම ආදරේ කරන්නේ සිනමාවට. මොකද එහි රංගනයත් හරි දැවැන්තයි. කළු කාමරයක ඒ චරිත ප්‍රේක්ෂකයා ඉදිරියට එද්දි දැනෙන ප්‍රමාණය වැඩියි. ටීවී එකේ ඒ ගතිය නැහැ. අපේ සහ අපෙන් පසු පරම්පරාව ගැනනේ තාමත් ප්‍රේක්ෂකයන් කතා කරන්නේ. තරු ගුණය කියන එක හැමෝටම ලැබෙන්නේ නැහැ. මම හරි ආසාවෙන් කියන්නේ තිස්ස අබේසේකර මහත්මයා මට මර්ලින් මොන්රෝ ගැන ලියැවුණු පොතක් පරිත්‍යාග කළා ඒකේ ඔහු ලියලා තියෙනවා සමහරුන්ට කැමරාව ආදරේ කරනවා මමත් එහෙම කෙනෙක් කියලා. ඒ ප්‍රකාශය මට හරි වටිනවා. සමහර දක්ෂ අය ඉන්නවා හොඳට රඟපාන ඒත් කැමරාවට ඒ දක්ෂතාව අහුවෙන්නේ නැහැ. ඒකත් එක්තරා වාසනාවක්.

ඔබ සිනමාවට එන්න හිතාගෙනම හිටි කෙනෙක් නොවෙයි මම නිවැරැදි නම්?

ඔව්. ඇත්තටම මම ආසාවෙන් හිටියේ වෛද්‍යවරියක් වන්න. ඒත් මම පුංචිම කාලෙත් අම්මා තාත්තා මාව උස්සගෙන ගිහින් රඟපාවලා තියෙනවා. තාත්තාටනම් කලාවට එහා දෙයක් තිබුණේ නැහැ. ඒත් මම පුතා ගැන එහෙම තීරණ ගන්නේ නැහැ. මට වැඩිදුර අධ්‍යාපනය කරන්න බැරි වීම ගැන මට දුකක් තිබෙනවා. ඒත් පුතා දිහා බැලුවාම එයා හොඳට ඉගෙන ගන්නවා. තාත්තාගේ ව්‍යාපාර පැත්තටත් බරයි. මම වගේම සින්දු අහන්නත්, චිත්‍රපට බලන්නත් ආසා නිසා මට සැනසීමක්.

රංගනය ඔබ අද දකින්නේ කොහොමද?

අධ්‍යයනය කළ යුතු විෂයයක් ලංකාවේ එහෙම නොවුණට. චරිතයක් හොඳීන් ජීවමානව කරන්න පුළුවන් නම් අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය ඔස්සේ ප්‍රති නිර්මාණය කරන්න පුළුවන් නම් එයයි රංගනය. චරිත කළුද සුදුද කියන දේ මම හිතන්නේ නැහැ. කීපවතාවක් තිරපිටපත කියවද්දි අපේ ඇඟ තුළට එනවානේ චරිතය. උදාහරණයක් ලෙස විරාගය බලද්දි මට සබීතා නෙවෙයි පේන්නේ බතී. ඒ ඉන්නේ අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන කෙනා. ඒ නිසා මට ඕන විදිහට කැලි දාන්න බැහැ. ඒ සඳහා අධ්‍යක්ෂවරයාත් දැනගන්න ඕනා අපව මෙහෙයවා ගන්න. අපේ රටේ ඉන්නවා ලෝක සිනමාව ජයගන්න පුළුවන් අය. මාලිනි අක්කා මම දැක්කේ හරියට සුරංගනාවියක් වගේ. ලංකාවේ තවමත් ඒ තරම් ලස්සන නිළියක් බිහිවෙලා නැහැ. ඊටපස්සේ ස්වර්ණ ක්කාගේ චරිතාංග රංගනය දැකලා මටත් හිතුණා මමත් එහෙම කරන්න ඕනා කියලා. අපට වාසනාවක් තිබුණා අපේ සිනමාවේ ස්වර්ණමය යුගයට යන්තම් හෝ සම්බන්ධ වෙන්න. පුතා ලැබුණු පසු මම බොහෝ වෙලාවට චරිත තෝරාගන්න උනන්දු වුණා. ගමන් බිමන්වලදි මට මුස්ලිම් අය පවා ළඟට ඇවිත් කතා කරද්දි තමයි පුතා වුණත් දැනගත්තේ එයා ළඟ අවරුදු 9ක් නිකම්ම හිටිය අම්මා ජනප්‍රිය නිළියක් කියලා. දැන් නම් මට සමහර චරිත කරන්න ආසා හිතෙන්නෙත් නැහැ. ගොඩක් දවස් දුර ඉන්න වෙන ඒවා දැන් තෝරාගන්නේ නැහැ. ඒත් හොඳම එකක් ආවොත් ඒ කැපවීම කරන්න මම ලැස්තියි.

ඒ කතාවේ පොඩි යටි අර්ථෙකුත් තියෙනවා?

ඔව් ඉතින්. දිගටම ආවේ හොඳම චිත්‍රපටත් නෙවෙයි තමයි. හොඳ අධ්‍යක්ෂවරයෙකුගේ හොඳ නිර්මාණයකට කතාකළොත් සහභාගී වෙනවා. කාලයක් මම අලුත්ම අධ්‍යක්ෂවරුන්ගෙ පළමුවෙනි චිත්‍රපටයටම සහභාගී වුණා. අනෙක මේ තිබුණු තත්ත්වය නිසා චිත්‍රපට බලන්න යන්නවත් හිතුවේ නැහැ. මම හොඳ චිත්‍රපට බලන්නත් ආසයි. නිකම්ම සරල චිත්‍රපට බලන්න විතරක් නෙවෙයි මම කැමති. මට තිබෙන තවත් දුකක් තමයි චිත්‍රපටයක් බලන්න යද්දි අපි යන වෙලාවට අපි කැමති ඒවා තියෙනවාද කියලා බලන්නත් වෙනවා. ඒක හරි කරදරයක්. අපේ රටේ කර්මාන්තයකුත් නැනේ. කර්මාන්තයක් පවතින්නේ ඇත්තටම වාණිජ මට්ටමේ චිත්‍රපට හැදුණොත් තමයි.

ඔබ සිනමාවට ආසා එකේ නිෂ්පාදනය පැත්තට යොමු නොවන්නේ?

පහුගිය ටිකේ චිත්‍රපටයක් කරන්න හිතාගෙන හිටියා. ඒත් මම සාමාන්‍යයෙන් කැමති නිදහසේ ජීවත් වෙන්නයි. වැඩිය කලබලවලට කැමති නැහැ. දවසේ ගෙදර වැඩ ගොඩ තිබෙනවා ඒවාටත් යොමු වෙන්න ඕනා. චිත්‍රපටයක් නිෂ්පාදනය කළොත් ඒ සියල්ලේම වගකීම ගන්න වෙන්නේ මට. මට ඒක හරි අමාරුයි. අනෙක චිත්‍රපට බෙදා හැරීම හරිම අමාරුයි. එහි තිබෙන්නේ මාෆියාවක් කියලා සභාපතිනිම කියනවා. ඉතින් ඒ පස්සේ කැගහමින් දුවන්න මට හරි අමාරුයි. අනෙක සිනමාවේ අනාගතය කියන එකත් ප්‍රශ්නයක්නේ. සිනමා සංගම් තිබුණත් රටේ මෙච්චර දේවල් සිදු වෙද්දි කලාකරුවන්ට සිදු වෙන්නේ බලා ඉන්න. අනෙක දේශපාලනය රිංගනවා මේවාට. ඒකත් එච්චර හොඳ නැහැ. අනෙක චිත්‍රපට පෙන්වන්න තිබෙන ශාලා සංඛ්‍යාව මදි. ඒවායේ ගුණාත්මක බවත් මදි. සිනමාව කර්මාන්තයක් ලෙස දියුණු වෙන්න නම් රජය මෙයට මැදිහත් වෙන්න ඕනා. අපේ රටේ දක්ෂ තරුණ තරුණියන් බොහොමයක් ඉන්නවා. අපි නම් දිනකට චිත්‍රපට රාශියක් කළා. අද තරුණ පරපුරට ඒ අවස්ථාව නැහැ.

සමහර නළු නිළියන් අධ්‍යක්ෂණයට යොමු වෙනවා?

මට කවදාවත් ඒ ගැන හිතුණෙ නැහැ. හිතුවා නම් වැඩිපුර කැමරාව ගැන එහෙම හිතන්න තිබුණා. හැබැයි අපි කරපු චරිත අවබෝධයෙන් කළා. වතාවත් සක්විති සුවය කරද්දි ගාමිණි ෆොන්සේකාගෙන් ලැබුණු පාඩමක් නිසා තමයි ඒ. අපේ චරිතය කොයිතරම් අමාරු එකක් වුණත්, මූඩ් එකේ හිටියත් අපි ආ යුතු තැන අපි දැනගත යුතුයි. මගේ පස්වැනි චිත්‍රපටය ඒක. මම ඇවිදගෙන එද්දි ක..ට් කියලා දෙදරන්න කැගැහුවා. පස්සේ මගේ ළඟට ඇවිත් කිව්වා අපි මොන තරම් හොඳ රංගනයක් කළත් වැඩක් නැහැ ලයිටින්, කාච ගැන අවබෝධයක් නැත්නම්. සිසිල ගිනිගනී එකේ මම අඬනව කැගහනවා ඔක්කොම මම බයේ හිටියේ ආයේ කරන්න වුණොත් බැරි වෙයි කියලා. ඇඩ්‍රස් නැ එකේ ඒ වගේ මම බීලා අඬලා ඔක්කොම කළාට පස්සේ කැමරාවේ තාක්ෂණික දෝෂයක්. මම දන්නේ නැහැ දෙවැනි පාර ඒ තරමටම හොඳට ආවාද කියලා. මොකද ඇඟේ තියෙන මුළු ශක්තියම යොදලානේ අපි ඒ මොහොතේ රඟපාන්නේ. අනෙක අපේ විනය බොහෝ විට තිබුණා. වෙලාව කීවොත් වෙලාව, වචනයක් දුන්නොත් දුන්නා. අද ඒ කැපවීම ටිකක් අඩුයි වගේ පේනවා.

වෙළෙඳ දැන්වීම් කීපයක ඉන්නවා දැක්කා?

ඉස්සරත් මම හිටියානේ සබන් වර්ගයකට දිගටම. එහෙම අපිව තෝරා ගැනීමත් එක්තරා විදිහක සතුටක්. අපේ වෘත්තියත් එක්ක ඒවත් ටිකක් ගැළපෙනවා. හැබැයි මගේ පිළිවෙළ පිළිවෙත්වලට අනුකූල ඒවා නම් විතරයි. සාමාන්‍යයෙන් අපි ප්‍රසිද්ධ අය වුණාම කවුරුහරි අපිව අනුගමනය කරන්න හදනවා. එක්කෝ අපේ වැරදි දකිනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය අද සමාජ මාධ්‍යවල ඉන්න තරුණයන් බොහොම කලකිරීමකින් සමාජ වෛරයකින් ඉන්න නිසා ඒක රටක දියුණුවට හොඳ මදි කියලයි මම දකින්නේ. ඒවා සංහිඳවන්න පාලකයන් පියවර ගන්න ඕනා.

මම ඉතා සරල ප්‍රශ්නයක් අහන්නම් ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. ඔබේ රූ සපුව පවත්වා ගැනීමේ රහස?

තමන්ගේ හිත හොඳ වෙනවා නම් ඕන සතුරකු සමඟ ඉන්න පුළුවන්. මුලින්ම තමන් ඇත්ත කියන්න ඕනා හෘදය සාක්ෂියට එකඟව. ඊළඟට මම පන්සිල් පදපහ රකින්න උත්සාහ කරනවා. ඒක තමයි බෞද්ධයාගේ ලොකුම දේ. තව යෝග කරනවා. භාවනා කරනවා. එයින් ආතතිය අඩුවෙනවා. නිරෝගීකමට වටිනවා. කැමෙනුත් සැහෙන පරිස්සම්. අනෙක මම හුඟක් ක්‍රීඩා කරපු කෙනෙක් නිසා නිකං ඉන්නත් අමාරුයි. අපිට ජීවිතේ හරි මඟ යන්න නම් ආගමක් තිබෙන්න ඕනා. ඒ ආගම වැරදි දේට භාවිත නොකර හරි දේට යොදාගන්න ඕනා. මම ජීවිතේ කිසිම දෙයක් සැලසුම් නොකළාට බොහෝ දේවල් මට ලැබිලා තියෙනවා. මට වෙලාවකට හිතෙනවා මම ගිය භවවල ගොඩාක් මල් පූජා කරලා ඇති. ඒ මදි. මේ භවයේදිත් පුළුවන් හැම කෙනාටම උදව් කරන්න ඕනා. මට ඉස්සර ඉඳන්ම හිතුණ දෙයක් තමයි මේ හැම දෙයක්ම ඒ වෙලාවෙන් ඉවරයි නේද කියලා. ඒක දැන් දැන් වැඩියෙන් දැනෙනවා. මැරෙනකල් තමයි හැමෝම මේ තරගයේ යන්නේ. ඒ බව අවබෝධ කරගන්නවා නම් ජීවිතය හුඟක් පහසුවෙන් ගෙවන්න පුළුවන් වෙනවා.

තිලක්, නිශ්ශංක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.