සුපිරි තරුව රන්ජන් මතු දකින තරු 10 ක් ගැන කියයි

හේමාල්, පුබුදු, රොෂාන්, උද්දික, ආර්යන් ඉසුරු, අනුජ්, අකිල, සජිත, දිනෙත්
ජුනි 6, 2019

අඳුර සමඟ පායා එන තාරකාවෝ දීප්තිමත්ය. ඒවා දෙස බලා සිටීම එක්තරා අන්දමක චමත්කාරජනක අත්දැකීමකි. ජනකාන්ත නළු නිළියන් තාරකාවලට උපමා කරන්නේ එහෙයින් විය හැකිය. සිනමාව අහස් වියමනකට සසඳද්දි එහි තාරකා ලෙස නළු නිළියන් පත් වූයේ නිතැතිනි. ඔවුන් තුළ ඇති ආකර්ෂණීය බව එකී තරු ගුණය අඩු වැඩිවීමට බලපාන කරුණකි. ඇතැම් තාරකාවන් කාලයාගේ ඇවෑමෙන් සිනමා අඹරින් බැස යන්නේ සදාකාලික මතකයක් ඉතිරි කරමිනි. රන්ජන් රාමනායක යනු අප සිනමාවේ වර්තමාන සුපිරි තරුවයි. එය අවිවාදාත්මකයි. ඔහු වසර ගණනාවක් තිස්සේ නොනවත්වා ජනතාවගේ නළුවා ලෙස අබිසෙස් ලැබුවේය. රන්ජන්ව සමහරු හඳුන්වා දෙන්නේ සිංහල සිනමාවේ අවසන් සුපිරි තරුව ලෙසටය. ඒ සුපිරි තරුව එක රැයකින් පහළ වූයේ නැත. ඔහු තරම් තම ජයටැඹ කරා යන්නට වෙහෙස වූ කෙනෙක් අපේ සිනමා තරු අතර සොයා ගන්නට නැති තරම්ය. ඔහු පිළිබඳ විවේචන කරන්නෙකු වුව ඔහුගේ කැපවීම ගැන ගරු කරනු නොඅනුමානය. උපතේ සිට ගෙන ආ වාසනාව මඟින් සමහරු සුපිරි තරු බවට පත් වුව ද රන්ජන් ඒ තැන ගත්තේ මහත් වූ පරිශ්‍රමයකිනි. තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු අධ්‍යක්ෂවරයකු පසුපස අනන්තවත් ගොස් තිබේ. ඉන් ඇතැමුන් රන්ජන් නොසලකා හැර ඇත්තේ ද කරදරය ඉවසා ගත නොහැකි තැනය. කෙසේ වෙතත් උත්සාහය අත නොහැරිය ඔහු බෙහෙවින් දුක් ගැහැට විඳ සිනමා ලොව ජය ගත්තේ ජනකාන්ත සුපිරි තරුවක් බවට පත් වෙමිනි.

ගෝරි චිත්‍රපටයේ ආරාධිත දර්ශනය අවස්ථාවේ රන්ජන් අලුත් පරපුරේ සිනමා තරු ගැන කතා කළේය. එය ඔවුන්ට තම ජ්‍යෙෂ්ඨයකුගෙන් ලැබෙන විවරණයක් වැනිය. ඒ නිසාම ඔහු අනාගත තරු පරපුර ගැන කී අදහස් අපි මෙසේ සටහන් කළෙමු. මේ කතාව ආරම්භ කළේ හේමාල් රණසිංහගෙනි.

හේමාල්... ෂා... මං දැකපු නියම ඇක්ෂන් හීරෝ. එහෙම අය අද සිනමාවේ අඩුයි.

ඇත්තෙමන්ම හරියට මිනිහා ටයිගර් ෂෙරොෆ්, දනුෂ් වගෙයි

ඇක්ෂන් විතරද?

ආයෙ ඉතින් මොනවා අහනවද ලව් නම් ලව්. ෆයිට් නම් ෆයිට්. වෙලාවකට අහිංසක පෙම්වතා. ඒකනෙ ප්‍රවේගය වගේ චිත්‍රපටවලදී හේමාල් හොඳට ස්කෝර් කළේ. මට ෂුවර් කාලෙකදි සිංහල සිනමාවට නැතුවම බැරි චරිතයක් වේවි.

ඊළඟට කවුද?

මාත් එක්ක කරටකර රඟපාපු පුබුදු.

ඔව්. මායා චිත්‍රපටයේ?

පුබුදු චතුරංග කියන්නේ අනර්ඝ නළුවෙක්. ඔහු මායා එකේ කළ චරිතය බලන්න. කොහොමද, වෙන කෙනෙකුට දුන්නා නම් වැඩක් වෙන්නේ නැහැ.

පුබුදුවා අභියෝග බාරගන්න නළුවෙක්නෙ. හිරිපොද වැස්ස චිත්‍රපටයේ මතකද. අන්ඩර්වෙයාර් එක පිටින් නැංගනෙ කණුවට. ඒකට හොඳ ගටක් ඕනෙ.

අනික මිනිහට හොඳට එනවුන්ස් කරන්නත් පුළුවන්නෙ. වේදිකාවෙත් ඉන්නවා.

හරියට කිව්වොත් ඕල් රවුන්ඩර් කෙනෙක්.

මං හිතන්නේ රොෂාන් රණවන ඊළඟට ඉන්නේ?

රොෂාන්ගේ නම අහපු ගමන් මට කෙනෙක්ව මතක් වෙනවා.

පූජාව වෙන්න ඇති?

හරිට හරි මල්ලි. උන් දෙන්නම හොඳට මැච් වුණා.

හැබැයි රොෂාන් පෙම්වතා විතරක් වුණේ නැහැ?

එතනට තමයි මං එන්න හිටියේ. විලන්ගෙ චරිත කරන්නත් පුළුවන් කියලා මං මෑතකදී දැක්කා. මං ආසයි මිනිහව චරිතාංග නළුවෙකු හැටියට දකින්න.

ඊළඟට...?

උද්දික පේ‍්‍රමරත්න. ඉතා ඉහළ රංග පරාසයක් තියෙනවා.

මං ඇහැව්වොත් මොන නිර්මාණවලින්ද ඔහු ඔබට වඩාත් මතක කියලා?

කළු අරලිය නාට්‍යයේ ෂා... නියමයි. තමන් තමන්ව අමතක කරලා දාලා හොඳට ඒක කළා.

සිනමාව පැත්තෙන්?

උද්දිකගේ මරු සටන් ජවනිකාවක් තිබ්බා මහින්දාගමනය චිත්‍රපටයේ. පත්තිනි ෆිල්ම් එකේ කෝවලන්වත් මේ වෙලාවේ මට මතක් වෙනවා.

හතරක් හරි?

ඔව්... පස්වෙනියා ගිය අවුරුද්දේ ඕගොල්ලන්ගේ සරසවිය සම්මාන උලෙළේ නැඟී එන නළුවා

අර කොණ්ඩෙ වවාගෙන ඉන්නෙ... මම නිවැරිදි නම් දිනෙත් ද සිල්වා.

දිනෙත්ව කොහොමද ඔබ දකින්නේ?

මනා පෞරුෂයක් තියෙන කොල්ලෙක්. මිනිහා ඒකෙන් ප්‍රයෝජන ගන්න බවත් පේනවා. ළඟදි දිනෙත් ඉන්න චිත්‍රපටයක් එනවා නේද.

ඔව්. කන්දක් සේමා.

දිනෙත්ට සිනමාවේ දිගු ගමනක් යන්න පුළුවන් කියලා පෙන්නුවා ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ රඟපාලා.

එහෙනම් හයවැනියා ගැනත් කියමු?

ආර්යන් කුලරත්න කියන්නේ මෑතකදී මගේ නෙත ගැටුණු නළුවෙක්.

ආර්යන් වැඩිය පේන්න හිටපු නළුවෙක් නෙවෙයිනෙ. ඔහුගේ දක්ෂතාවය, රූපය මං හරියටම දැක්කේ ඊයේ පෙරේදා ගෝරි චිත්‍රපටයෙන්. හොඳ අනාගතයක් තියෙන දක්ෂ කොල්ලෙක්.

ඒත් සැඟවිලා හිටියේ?

ඇත්ත. සැඟවුණු නළුවෙක් තමයි ඒත් අපේ සිනමාව තුළ නමක් තියන්න හැකි නළුවෙක් බව පේනවා.

ඊළඟට මට මතක් වෙන්නේ නව පරපුරේ ඉන්න ගැඹුරු හඬක් තියෙන නළුවෙක්ව. ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.

ඉසුරු වගේ අයට මේ සිනමාව තුළ තිබෙන තැන?

ඔහුට මීට වඩා හොඳ අවස්ථා ලැබිය යුතුයි. ලෝ බජට් ෆිල්ම්වලනෙ මිනිහා වැඩිපුර හිටියේ.

ඉසුරු ගායනයෙත් යෙදෙනවා?

එතනට තමයි මං එන්න හැදුවේ. ඉසුරුට කමඩි කරන්නත් පුළුවන්. මිනිහා ගැන කෙටියෙන්ම කියනවා නම් ෆුල් පැකේජ් නළුවෙක්.

අනුජ් රණසිංහවත් මෙතනට ගමු?

අනුජ් මුල් කාලෙම චන්ද්‍රන් රත්නම්, උදයකාන්ත වැනි අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවල රඟපාන්න ලැබුණා. ඒක වාසනාවක්.

හොඳ හයිට් එකක් තියෙන නළුවෙක්?

සිංහල සිනමාවටත් අවශ්‍ය එවැනිම නළුවො තමයි. ඔහුට ජය පතනවා.

ඒ එක්කම අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි මතක් වෙනවා මේ වෙලාවේ. අයියා අකිල ධනුද්ධර. මල්ලි සජිත අනුත්තර.

කලා පවුලකින්නෙ මල්ලි ඒ දෙන්නා පැවත එන්නේ. ජානවලම කලාව තියෙනවා. ජැක්සන්ගේ පුතණුවන් වූ නිසාම නෙවෙයි මේ අයියා මලෝ ඉදිරියට ගියේ.

තමන්ගෙම දක්ෂතාවය පෙන්නුවා?

ඔව්. ඔවුන්ගේ අම්මා කුමාරි මුණසිංහ. හොඳ ගායිකාවක්. අම්මගේ ගායන හැකියාවත් දෙන්නා ගාවම තියෙනවා.

ඊට අමතරව?

හොඳ මෙමරි පවර් එකක් තියෙනවා දෙන්නටම. ක්ෂණයකින් දෙයක් ග්‍රහණය කරගන්න පුළුවන්. දෙන්නම අප සිනමාව තුළ නෙමැකෙන නමක් තබාවි.

රන්ජන් අයියාට මේ ගැන තව මොනවා හරි කියන්න තියෙනවද?

මේ සියල්ලන්ටම හදවතින්ම සුබ පතනවා. සිනමාවේ අනාගතය තමයි ඔය ඉන්නේ.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.