උණ හැදුණු අය Reject කරන්න එපා

ප්‍රවීණ සහාය අධ්‍යක්ෂක ඩොනල්ඩ් ජයන්ත
ජුනි 6, 2019

තිරයෙන් පිටුපස සිට අප රසවත් කිරීමට වෙහෙස මහන්සි වන චරිත අතරින් අද අප සොයා බලන්නේ ඩොනල්ඩ් ජයන්ත නම් සහාය අධ්‍යක්ෂවරයා පිළිබඳවයි. චිත්‍රපට 50ක සහාය අධ්‍යක්ෂ වීමෙන් පසු සිනමා අධ්‍යක්ෂවරයකු වීමට සිහිනයක් ඔහුට තිබිණි. එය ඔහු සැබෑ කර ගත්තේ 'ප්‍රවේගය' චිත්‍රපටයෙනි. දැන් ඔහුට අලුත් සිහිනයක් තිබේ. ඒ කුමක්ද? ඔහු සරසවියට හෙළි කළේ සිය තිස්පස් වසරක ගමන් මඟ පිළිබඳවද පවසන අතරයි.

මොනවද මේ දවස්වල අලුත් ෆිල්ම්ස් එහෙම?

සුපුරුදු ප්‍රශ්නය මම යොමු කළේ සරසවිය පත්තරේට හිමි අපේ චිත්‍රාගාරයේ අසුනක් පනවමින්. ඔහු වෙනදා මෙන්ම වැඩ ගොන්නක නම් කීවේ පසුදා මුහුරත් උත්සවය ගැන ලැබෙන දුරකථන ඇමතුම්ද විසන්ධි කරමින්.

මම මේ ටිකේ ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් ෂූටින්. අගෝස්තු මුල මායා 2 පටන් ගන්නවා. ඔක්තෝබර්වල ජගත් ප්‍රනාන්දු කියලා අලුත් අධ්‍යක්ෂවරයකුගෙ චිත්‍රපටයක් කරනවා. තාම නමක් දාලා නැහැ. තවත් කීපයකටත් කතා කරලයි තියෙන්නේ.

දැන් චිත්‍රපටි කීයක විතර සහාය අධ්‍යක්ෂණය කරලා තියෙනවාද?

56ක් විතර. ඒකෙන් 25ක් විතරම අධ්‍යක්ෂවරයාගේ පළමුවැනි චිත්‍රපටය. උදය කාන්ත වර්ණසූරිය, චන්න පෙරේරා, රංජන් රාමනායක, ටෙනිසන් කුරේ. තව... සතුටුම දේ තමයි ඒ හැම චිත්‍රපටයක්මත් සාර්ථක වුණා. මුදල් ලැබෙන නිසා නෙවෙයි. මොකද මම චිත්‍රපටයක් බාරගත්තොත් සහාය අධ්‍යක්ෂගේ රාජකාරියෙන් එහා ගිහින් සිනමා ශාලාවල ප්‍රදර්ශනය දක්වාම කටයුතු කරනවා. ඒ නිසා තමයි මේ අවුරුදු තිස් පහ පුරාම සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට සාර්ථක වෙන්න පුළුවන් වුණේ.

පුංචි කාලේ ඉඳන්ම පික්චර් පිස්සුවද?

මම ඉපදුණේ මාතර කොටපොළ. කොටපොළ ජාතික පාසලට තමයි මම ගියේ. ඔව්.. ඒ කාලෙත් මට පුදුම පිස්සුවක් තිබුණේ මේ ක්‍ෂේත්‍රයට. පොඩි ළමයින්ට චිත්‍රපටි බලන්න කොහොමත් සල්ලි දෙන්නෙ නැහැ. ඒත් මම සත 55ක් හොයා ගන්නවා. කැන්ටිමේ බනිස්ගෙඩිය සත 5යි. ඒක නොකා ඉතුරු කරගන්නවා. මදිනම් යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නවා. පයින් හෝල් එකට යන්නේ. හැතැප්ම තුනක් හතරක් විතර තිබුණා තුසිත, දෙණියායට. බ්‍රෝඩ් වේ, නිව් සිනමා, එස් කේ මාතර එහෙමත් යනවා. ගාමිණි ෆොන්සේකාගේ චිත්‍රපටයක් නම් කොහොම හරි බලනවාමයි. සමහර දාට දෙණියායේ එදත් සූරයා අදත් සූරයා 10.30 බලලා 2.30ට බ්‍රෝඩ්වේ එකේ කවුද රජා බලනවා. ගාමිණි තමයි සිංහල සිනමාවේ මගේ වීරයා.

ඒ බලන චිත්‍රපට මම ඉස්කෝලෙදි රඟපානවා. එතකොට මම හතේ පන්තියේ විතර ඇති. කුමාරසිරි හෙට්ටිගේ ජනාධිපතිතුමා ගාව දැන් ඉන්නේ. එයාලට තමයි පෙන්වන්නේ. ඉතින් ටීචර්ගෙන් ගුටි කනවා. මම කරන්නෙ ගාමිණිගෙ රෝල් එක. සුනිල් හඳුන්නෙත්ති මගේ පහළ පන්තියේ. එයාලා මට තිස්සෙම කියනවා පිස්සු නටන්නෙ නැතුව ඉගෙන ගන්න කියලා. මට චිත්‍ර පුළුවන්. තරගවලින් දිනලා සම්මානත් අරන් තියෙන නිසා ඒ පැත්තෙන් ඉහළට යන්න, රඟපාන්න එපා කියනවා. එත් මම සිනමාවටයි කැමති.

මම හැමදාම සරසවිය පත්තරේ ගන්නවා. සත දහයයි මගේ හිතේ. සරසවියේ දානවා චිත්‍රපටවලට නළු නළියන් අවශ්‍යයි කියලා. මම ආසා අධ්‍යක්ෂවරු තමයි ලෙනින් මොරායස්. යසපාලිත නානායක්කාර. ඉතින් මම ඒ අයට ලියනවා. හැබැයි කවදාවත් පිළිතුරක් ලැබිලා නැහැ. මමත් අත්ඇරියෙම නැහැ.

ඕ ලෙවල් කරන කාලෙත් ඉල්ලුම් පත්‍ර දැම්මා. අපේ අම්මා වැඩ කරපු කොළඹ පෞද්ගලික ආයතනයකට නිතර ධර්මසිරි ගමගේ මහත්තයා එනවා. අපේ තාත්තා නැහැ. මට මල්ලිලා දෙන්නයි නංගියි ඉන්නවා. ඒ කිසි කෙනෙක් කලා ක්ෂේත්‍රයට සම්බන්ධත් නැහැ. අම්මා දන්නවා මගේ ලෙඩේ. ඕ ලෙවල් ඉවර වුණා විතරයි අම්මා මට කීවා මෙහෙම පත්තරවල වැඩ කරන මහත්තයෙක් එනවා එයා යස ඉසුරු කියලා චිත්‍රපටියක් කරනවා මම අහන්නද කියල. ඉබ්බා දියේ දැම්මා වගේ මට ඉතින්. අම්මා කෝල් එකක් දීලා ගමගේ මහත්තෙලැ රාජගිරියේ ගෙදර මාව එක්කන් ගියා.

දැන් මා ඉදිරිපිට ඉන්නේ ඩොනල්ඩ් ජයන්ත නොව ධර්මසිරි ගමගේ මහත්මයා සේ මට දැනේ. බොහෝ අඩු ශබ්දයෙන් ගමගේ මහත්මයා මෙන් ඩොනල්ඩ් කතා කරයි. ඔහුට රඟපැමටත් හැකි නේදැයි මට ඒත්තු ගන්වන්නට මෙනි. ඉස්කෝලේ යන කාලයේ පාසල් නාට්‍යවල මෙන්ම වෙසක් නාට්‍යවල රජාටත් ආවතේවකාරයාටත් රඟපා තිබුණු නිසා ගමගේ මහත්මයාගේ ප්‍රශ්නවලට පහසුවෙන් පිළිතුරු දෙන්නට ඔහුට හැකියාව ලැබෙන්නට ඇති.

ඉතින් ගමගේ මහත්තයා අහනවා. ඔයා මොනවද කරන්න කැමති? මම කිව්වා රඟපාන්න කියලා. ආයෙත් අහනවා ඔයාට පුළුවන්ද අපේ ගෙදර නතර වෙන්න? කියලා. එතකොට යොවුන් පහන් වැට කියලා වැඩසටහනක් තිබුණා ගමගේ මහත්තයාලගෙ. ඒකේ අරීසෙන් අහුබුදු මහත්තයා එහෙමත් හිටියා. රංජිත් පලිහපිටිය, සරත් විජේසූරිය, උපාලි සමරසිංහ, අනුර බණ්ඩාර රාජගුරු, වලිමුණි වගේ ඒකෙන් ආපු අය ගොඩක් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ගමගේ මහත්තයා ලිව්වා එක මවකගේ දරුවෝ ටෙලි නාට්‍යය. මම ඒකේ ගෝතමී පතිරාජ එක්ක පාසල් සිසුවෙක්ගේ චරිතයක් කළා. ඒකෙ මගෙ පින්තූරයක් ඉස්-ඉස්සෙල්ලාම ගියෙත් සරසවිය පත්තරේ තමයි. මට ඉතින් සතුට කියන්න බැහැ. මම ආසා කරන පත්තරේ මගේ පින්තූරයක් යනකොට. ඒ 1984 හතරවෙනි මාසේ මට මතක හැටියට. මගෙ ළඟ තියෙනවා තාම කපලා ඒ පින්තූරෙ. ඊට පස්සේ මම යශෝ රාවය, ළාහිරු දහසක් වගේ ටෙලි නාට්‍යවලත් චරිත කළා. ඊට පස්සේ තමයි ගමගේ මහත්තයා යස ඉසුරු චිත්‍රපටය පටන්ගත්තෙ. මම ඉතින් කොළඹ තියෙන ඕනෙම දර්ශනතලයකට හොයාගෙන යනවා. උදේ ඉඳන් හවස් වෙනකල් ඔහේ බලාගෙන ඉන්නවා. පොඩි මල්ලි තිඹිරිගස් යායේ රූපගත කළේ. ඒ සමහර චිත්‍රපට බලන්න ගියාම මාව එළවලා තියෙනවා. බලන් ඉන්නවත් දුන්නේ නැහැ. දවසක් මම කැමරාව අල්ලන්න ගිහින්, කැමරාවට ඇහැ තියන්න ගිහින් ඒ කැමරා අධ්‍යක්ෂ මාව තල්ලු කළා. ඒත් පස්සේ කාලෙක ඒ අය මාත් එක්ක වැඩ කළා. ඒක තමයි දෛවය. ඒ නිසාම මම කවදාවත් ෂූටින් බලන්න කියලා එන කිසි කෙනෙක් රිජෙක්ට් කරන්නේ නැහැ. උණ තියෙන අයට එහෙම කරන්න හොඳ නැ. මට අද වගේ මතකයි රන්ජන් රාමනායකගේ වන්ෂොට් වන් කරද්දි සෙනඟ 4000ක් විතර ආවා ඔඩිෂන්. මට එක්කෙනෙක් කීවා අන්න මනුස්සයෙක් අඬ අඬා යනවා කියලා. මම ගිහින් බලද්දි කෝට් බැයකුත් අතේ දාගෙන තරුණ පහේ මනුස්සයෙක් ඇත්තටම අඬ අඬා යනවා. කහටගස්දිගිලියේ ඉඳන් රැ 12ට බස්එකේ නැඟලා ආපු කෙනෙක්. මම ඇහුවා ඇයි ඔයා යන්නේ කියලා. එයා කීවා, මට මෙතන කට්ටිය විහිළු කළා කෝට් ඇඳගෙන මේ ඉන්ටවිව් එකට ආව නිසා කියලා. මම ඇහුවා ඉතින් කෝට් එක ඇඳන් ආවේ? අම්මා කිව්වාලු මාමාගේ මඟුල් කෝට් එක ඇඳගෙන යන්න එතකොට පුතාව තේරෙයි කියලා. අම්මා බත් මුලක් බැඳලා දුන්නාලු. කරාබු දෙක උගස් තියලා රුපියල් 500ක් හොයලා දීලා තියෙන්නෙ. අන්තිමට මම කිව්වා ඔයාට කොහොම හරි චරිතයක් දෙන්නම් කියලා අනුරාධපුරේ ෂූටින්වලදි කොටසකට ගත්තා. ඒ මනුස්සයා කීවා එදා හැරිලා ගියා නම් ආයෙ චිත්‍රපටයක්වත් බලන්නේ නැහැ, එත් දැන් මට හරි සන්තෝසයි දැන් නම් මට මැරුණත් කමක් නැ කියලා. ඒ නිසා මම කියන්නේ කිසිම කෙනෙක් ඒ විදිහට රිජෙක්ට් කරන්න එපා. සිනමාවට ආදරේ කරන අයට ඒවා බලන්න පොඩි ඉඩක් හරි දෙන්න. නැත්නම් උන්ට සිනමාව එපා වෙලා අතහැරලා යයි.

මම කොච්චර ෂූටින් බලන්න ගියත් මගේ වීරයා දකින්න ලැබුණෙම නැහැ. ඔන්න, ගමගේ මහත්තයා පූජා කියලා චිත්‍රපටයක් පටන් ගත්තා. කොල්ලුපිටියේ සමුද්‍ර හෝටලේ මුහුරත් තිබ්බේ. එදා මට අමතක නොවන දවසක්. රිදී තිරයේ මගේ වීරයා මගේම ඇස් දෙකෙන් දකින්න මට ලැබුණා. ඒ වෙද්දි මම රංගනයෙන් ඉවත්වෙලා මට දැන් ඕනේ මෙකෙ තාක්ෂණික පැත්ත හොයන්න. ප්‍රවීණ සහාය අධ්‍යක්ෂ අයි එන් හේවාවසම් තමයි සහාය අධ්‍යක්ෂවරයා. මම ඔහු යටතේ දෙවැනි සහාය අධ්‍යක්ෂ වශයෙන් වැඩ කරන්න ලැස්ති වුණා. ගමගේ මහත්තයා දන්නවා මම ගාමිණිට කොච්චර ආසද කියලා. පස්සේ එයා ගිහින් මාව අඳුන්නලා දුන්නා ගාමිණි මේ මගේ පුතෙක් වෙන කෙනෙක්, ඔයාට හරි කැමතියි, සිනමාවටත් හරි ආසයි කියලා. ඒ පාර මගෙන් විස්තර ඇහුවා. මම කිව්වා සර් මම කොටපොළ. මේකේ මොනවද තමුන් කරන්නේ කියලා ඇහුවාම මම කිව්වා සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට ඉගෙන ගන්න ආවෙ කියලා. ඒපාර, ඉවසීමෙන්, බුද්ධියෙන් සහ කැපවීමෙන් තමුන් හිමින් ඔය ගමන යන්න කියලා මගේ පිටට තට්ටු කරලා කීවා. සිනමාවේ මගේ වීරයා කියපු ඒ වචන මම කවදාවත් අමතක කළේ නැහැ. ඊට පස්සේ අපට එකට වැඩ කරන්න නොලැබුණත් ඔහු මා එක්ක හොඳීන් මිත්‍ර වුණා. මම මුලින්ම සහාය අධයක්ෂණයට අත තියපු පූජා චිත්‍රපටයේ ලංකාවේ ඉන්න ප්‍රවීණම නළු නිළියන් ඔක්කොම වගේ හිටියා ඒක මට ලොකු දෙයක්. පාසල් කාලෙ ඉඳන් මම ආසාවෙන් හිටිය අය එක්ක එකට වැඩකරනවා කියන්නේ හිතා ගන්නවත් අමාරුයි. එදා ඉඳන් අද වෙනකල් මම ප්‍රවීණතම රංගන ශිල්පීන් සහ නවකයන් දක්වා සියලු දෙනාම එක්ක පාහේ වැඩ කරලා තියෙනවා.

සහාය අධ්‍යක්ෂ තනතුර මුලින්ම ලැබුණේ?

මගේ නම සහාය අධ්‍යක්ෂ විදිහට මුලින්ම ගියේ 1987 ප්‍රියන්ත කොළඹගේගේ දැහැන චිත්‍රපටයේ. මම හරි කැමතියි නිතරම සහාය අධ්‍යක්ෂ කෙනෙක් විදිහට ඉන්න. මොකද අධ්‍යක්ෂවරු ගණනාවක් එක්ක වැඩ කරලා ඔවුන්ගේ දැනුම මට ලබා ගන්න මං ආසයි. බෙහෝ වෙලාවට අධ්‍යක්ෂවරු එක්ක වාද කරගන්නවා මේ පිටපතේ මේ කොටස මෙහෙම වෙන්න ඕනා කියලා. මම ගොඩාක් කැමති වාණිජ කියන චිත්‍රපටවලට. මොකද මිනිස්සුන්ට වින්දනයක් ලබන්න පුළුවන් ඒ චිත්‍රපටවලින්. ගීත, සටන්, හාස්‍ය ආදිය තියෙන චිත්‍රපටවල පිටපත කියවූ ගමන් මට කියන්න පුළුවන් මේ චිත්‍රපටය දුවනවාද කියලා. එදා අපි ගැලරියේ ඉඳන් දැක්කා මිනිස්සු ගාමිණි ෆොන්සේකලා තිරයේ එද්දි විසිල් ගහලා සතුටින් පිළිගන්න හැටි. ඒක තමයි ප්‍රේක්ෂකාගාරයේ වෙන්නත් ඕනා. මිනිස්සුන්ගේ ඔළුවේ අමාරුව හැදිලා හෝල් එකේ පඩිපෙළ බැහැලා යන චිත්‍රපටවලට මම කැමති නැහැ. සිනමාවක් සිහිනයක් නැත්නම් ගීතයක් වගේ වෙන්න ඕනා. ප්‍රේක්ෂකයා දෙතුන්පාර බලන චිත්‍රපටයි හදන්න ඕනා.

ලෙනින් මොරායස්ට ආසයිනේ. වැඩකරන්නත් ලැබුණද?

නැහැ. එයා අන්තිමට කළේ යුගයෙන් යුගයට. ඒක පෝලිමේ තිබුණේ මම වැඩ කරන්න ගන්න කාලේ. ඒත් මට ඉන්දියානු සිනමා උලෙළක් බලන්න ඇවිත් එල්ෆින්ස්ටන් එකේදි හම්බුණා තේකක් බොද්දි. මම ළඟට ගිහින් කතා කළා. පස්සේ අසනීප වුණාම බලන්නත් ගියා. ලෙනින් තමයි මගේ නොම්බර එකේ අධ්‍යක්ෂවරයා ඊට පස්සේ ජේ. සෙල්වරත්නම්, යසපාලිත, සේන සමරසිංහ වගේ වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ටත් මම ආසයි. ළඟදි කස්තුරි සුවඳ බලලා සේන සමරසිංහට කතා කළා. ආවා සොයා ආදරේ මම 20 වතාවකට වඩා බලලා ඇති. ඒවගේ චිත්‍රපටි බලලා ප්‍රේක්ෂකයෝ පුදුම වින්දනයක් ලබන්නේ.

කලාත්මක-වාණිජ බෙදිල්ල ගැන කොහොමද හිතන්නේ?

එහෙම දෙකක් නැහැ. ඔක්කොම එකයි. කතාවෙ තමයි වෙනස. වින්දනයක් ලබන්න පුළුවන් වෙන්න ඕනා රුපියල් තුන්සීයක් දීලා හෝල් එකකට ගියාම. පහුගිය දවස්වල ඔය ඔළුව කැක්කුම හැදෙන චිත්‍රපටි පෙන්වන්න එපා කියලා සිනමා ශාලා හිමියෙක්ට ගහන්න ආවා කියලා මා එක්ක කීවා. ඒවා ආදායම් අතිනුත් පහළයි. මම හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් චිත්‍රපටි ගොඩක් බලනවා. ඒවායේ කතා, ගීත, සටන් හරි ලස්සනයි. තිර රචනය තමයි මෙතනදි ප්‍රධාන. ඒත් කොච්චර හොඳ තිරරචනයක් වුණත් අධ්‍යක්ෂවරයා තේරුම් නොගත්තොත් ඒක විනාස වෙනවා. ඒ වගේම එච්චර හොඳ නැති තිරරචනයකින් වුණත් දක්ෂ අධ්‍යක්ෂවරයෙක්ට හොඳ චිත්‍රපටයක් කරන්න පුළුවන්. ඒත් අධ්‍යක්ෂවරයාම තිර රචනය කරනවා නම් වඩාත් හොඳයි. ලංකාවේ දැන් හොඳ කමර්ෂල් ෆිල්ම් ඩිරෙක්ටර්ලා අඩුයි. අලුත් අධ්‍යක්ෂවරු කැමරාවේ පළමු රූපරාමුව ගන්නෙම පිටරට සම්මාන බලාගෙන. මුලින්ම මේක තමන්ගේ රටේ ප්‍රේක්ෂකයන්ට දෙන චිත්‍රපටයක්, දුවන්නේ අපේ ශාලාවල කියලා හිතන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ අපේ සිනමාව වැටෙන එක. අද සමහර හෝල්වල ලයිට්බිල ගෙවා ගන්න බැහැ.

ලංකාවේ විතරයි චිත්‍රපටයක් හදලා නිකං දෙන්නේ සිනමා ශාලාවලට. පුළුවන් නම් පෙන්නලා අපේ ගිණුමටත් කීයක් හරි දාන්න කියලා. ඒකෙන් වෙන්නේ නිෂ්පාදකවරු අමාරුවේ වැටෙන එක. ඔවුන් බේරුණොත් තමයි ක්ෂේත්‍රයේ සියලුම දෙනා රැකෙන්නේ. ඒකට නිෂ්පාදකයන්ට රජයෙන් සහනයක් දෙන්න ඕනා. චිත්‍රපටයක් හදපු ගමන් පෙන්වන්න පරිසරයක් හදන්න ඕනා. මේ කාලේ චිත්‍රපටයක් හදනවා කියන්නේ භයානක දෙයක් වෙලා. අධ්‍යක්ෂවරු වුණත් ඉදිරියට යන්නේ නිෂ්පාදකයන් නිසානේ. ඉස්සර සිනමා ශාලාවෙන් තමයි කටවුට් ගහන්නෙ. හෑන්ඩ් බිල් බෙදන්නේ, ලවුඩ්ස්පීකර් දාලා ප්‍රචාරය කරන්නේ. අද ඒ මුකුත් නෑ. ඒ මදිවට හොරත් කරනවා. මම කියන්නේ ඊ ටිකටින් සිස්ටම් එකක් හදන්න ඕනා. හරිනම් ඉන්දියාවේ වගේ ශාලාවෙන් සල්ලි දීලා සිනමා පටය ගන්න ඕනා. ඒකට හොඳ චිත්‍රපට හෑදෙන්නත් ඕනා. පවුලේ සැමට බලන්න පුළුවන් චිත්‍රපට හදන්න ඕනා. අද සංස්ථාව කියන්නේ බෝඩ් ලැල්ලක් විතරයි. ඔය චැනල්වල මාසෙකට චිත්‍රපට සීයක් විතර පෙන්වනවා. ඒකෙන් බද්දක් අරගෙන වයෝවෘද්ධ කලාකාරයන්ට සුබසාධන වැඩපිළිවෙළක් කරන්න බැරි ඇයි? ලංකාවේ රජයේ වැඩිහිටි නිවාස, රණවිරු සේවා තිබෙනවා. ඒ වගේ අසරණ කලාකරුවන්ටත් නවාතැනක් හදන්න බැරි ඇයි? වෙන රටවල කලාකරුවන්ට කොයිතරම් ආදරෙන් රැකබලා ගන්නවාද? මේ රටේ ඉඩමක් දෙන්නෙත් තියෙන කලාකරුවන්ටමයි. ශාලා 409ක් තිබුණු රටේ අද තියෙන්නේ 170 ගාණක්. රජයට පුළුවන්නේ හිස් ඉඩම්වල ශාලා හදන්න. තව දියත වගේ තැන්වල මිනි සිනමා හෝල් හදන්න පුළුවන්. නැත්නම් රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට සිනමා ශාලා හදන්න ව්‍යාපාරිකයන්ට දෙන්න පුළුවන්. ඔවුන්ට සහන සලසන්න පුළුවන්. අපේ නළු නිළි සංගමයයි කාර්මික ශිල්පී සංගමයයි ක්‍රියාකාරී නැත්තේ එකමුතු කමක් නැති නිසා. අනෙක දේශපාලනීකරණය වෙලා. ඉන්දියාවේ අපට ගිහින් බැහැලා ෂූට් කරන්න බැනේ. ඒත් අපේ රටේ ඕන තැනක ඕන කෙනෙක්ට ෂූට් කරන්න පුළුවන්. අපට සිනමා පාසලක් තිබෙනවාද ප්‍රායෝගික දැනුම ලැබෙන. මේ විෂයය දේශනවලින් ඉගෙනගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. පෞද්ගලික අංශයෙන් හරි මේ දේවල් කරගන්න රජයේ මැදිහත්වීමක් තියෙන්න ඕනා. අපේ කලාකරුවන් කීදෙනෙක් ලොකුපුටුවල හිටියද පාර්ලිමේන්තුවේ පවා. කවුද උනන්දු වුණේ කලාකරුවන් වෙනුවෙන් යමක් කරන්න.

සහාය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් චිත්‍රපට 50ක් කරලා අධ්‍යක්ෂවරයෙක් වුණා?

ඔව්. ප්‍රවේගය චිත්‍රපටයෙන්. ඒකෙදි මට ආසාවක් තිබුණා එදා අපි බලපු චිත්‍රපටවලට වගේ විසිල් ගහලා ප්‍රේක්ෂකයන් චිත්‍රපටය විඳීනවා දකින්න. මම ඇත්තෙන්ම ඒ දේ මගේ චිත්‍රපටයෙන් අත්වින්දා. වසරේ වැඩිම ආදායම. ඒ වගේම වැඩිම ඩීවීඩී අලෙවි වෙලා තියෙන්නේ ප්‍රවේගයේ. ඒ ගැන මට සතුටුයි. ඊට පස්සේ මම ආයේ සහාය අධ්‍යක්ෂ කෙනෙක් හැටියට වැඩ කරනවා. කලා ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් තරහ නොකරගෙන වෘත්තීය සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට ඉන්න මට පුළුවන් වෙලා තියෙන්නේ මගේ මේ විදිහ නිසා. මට හොඳ අධ්‍යක්ෂවරු එක්ක වැඩ කිරීමේ දොළදුකක් තියෙනවා.

නළුනිළියන් ගැනත් එහෙම තියෙනවාද?

එදා නළුනිළියන්ට අද වගේ දුරකථන ආදියත් නැහැ. අනෙක ඔවුන් දැවැන්තයන්. ඒත් කියන වෙලාවට සරමයි සෙරෙප්පු දෙකයි දාගෙන සාමාන්‍ය මිනිස්සු වගේ වාහනේ නැඟලා ඇවිත් හොඳට රඟපාලා ආයේ සාමාන්‍ය අය වගේ යනවා. අද සමහර නළු නිළියන් කියන වෙලාවට ලැස්ති නැහැ. ජැන්ඩියට ඇඳගෙන සන් ග්ලාස් දාගෙන ෆොන් එක කනේ ගහගෙන දර්ශන තලයට ඇවිත් පුදුම නැමක් නාලා ආයේ අර ආපු රංගයෙන්ම යනවා. ඒ අය ඇත්තටම රඟ පාන්නේ වාහනේ එනයන ටිකේ විතරයි. එදා ශිල්පීන් බුද්ධිමත්, පොතපත කියනවනවා, අවබෝධයක්, විනයක් තිබුණා. අද අනේ මන්දන්නේ නැ... ඒකට හේතුව පැණි මුලක් අරගෙන ආවත් එක රැයෙන් නළුවෙක් නිළියක් වෙන්න අද පුළුවන්නේ...

ඔබ සහාය අධ්‍යක්ෂ වෘත්තිය දකින්නේ කොහොමද?

සහාය අධ්‍යක්ෂ කියන්නේ අධ්‍යක්ෂගේ ගෝලයෙක් නෙවෙයි. නිර්මාණයක සැලසුම්කරණ ශිල්පියා. හරිනම් අධ්‍යක්ෂවරයාටත් අණ දෙන්න පුළුවන් සහාය අධ්‍යක්ෂටයි. තිර රචනයේ සිට පළමු පිටපත ලැබෙන මොහොත දක්වා අධ්‍යක්ෂ සමඟ උරෙන් උර ගැටෙමින් ඉන්න ඔහුට සිදු වෙනවා. සහාය අධ්‍යක්ෂවරයෙක් තමන්ගේ වෘත්තිය ගරුත්වය තබාගත යුතුයි. චිත්‍රපටයක් ඇති කරන්නත් නැති කරන්නත් ඔහුට පුළුවන්. කාච, කෝණ, අඛණ්ඩතාව පිළිබඳ දැනුම වගේම සියලු අංශ සමඟ සුහදව කළමනාකරණය පිළිබඳ අවබෝධයෙන් අධ්‍යක්ෂවරයාට සියල්ල ළං කර දිය හැකි කෙනෙක් විය යුතුයි.

ඉතින් සහාය අධ්‍යක්ෂ වෘත්තියේ මම සතුටු වූ දිනය තමයි සිග්නීස් සම්මානයකින් මම පිදුම් ලැබූ දවස.

(මටද එය මතකය. ඒ සම්මානය යෝජනා කිරීමේ පුණ්‍යකර්මයට දායක වූ බැවිනි. එදා ඔහුගේ මුහුණේ දුටු සතුට අදද ඔහුගෙන් විද්‍යාමාන වනු මට පෙනේ.)

මම ඇත්තෙන්ම සරසවිය සම්මාන උලෙළ බලන්න හරි ආසයි. එදා ඉඳන් ඒක හරි ගම්භීරයි. ඒත් අද සමහර සම්මාන උලෙළ තියෙනවා අර ඔළුව නරක්වුණු විනිශ්චය මණ්ඩලවලින් සම්මාන දෙනවා. ඒ සමහරු දන්නේ නැහැ රූප රාමුවේ තියෙන්නේ කලා අධ්‍යක්ෂවරයා කළ නිර්මාණයක්ද නැත්නම් ග්‍රැෆික්වලින් හදපු පසුබිමක්ද කියලා.

ඔබ ජීවිතය දකින්නේ?

මංගලිකා නාගොඩවිතාන මගේ බිරිඳ. ලොකු දුව නිමේෂා, පොඩි දුව උදේශානි. ඒ අය තමයි මගේ ජීවිතේ අංක එක. ඒ වගේම මගේ පළමු ප්‍රේක්ෂකයන්. ඔවුන් පිටපතක් කියවා දෙන තීන්දුව හරියට හරි. මම සිනමාවට කොතරම් ආස වුණත් මේ තුන්දෙනා තමයි මගේ ජීවිතේ අංක එක. සිනමාව අංක දෙක. එහෙම නොවුණොත් ජීවිතේ අන්තිමට අපට ඉතුරු වෙන දෙයක් නැහැ. මම පිළිපදින්නේ බුද්ධ ධර්මය. අපි වරදක් කළොත් එය පටිසන් දෙන බව ක්ෂේත්‍රයේ වගේම ජීවිතේ මම දැකලා තිබෙනවා. ඒ නිසා මම ජීවිතේ කාටවත් කැපිලි කෙටිලි දාන්නේ නැහැ. ඒකයි මගේ දැක්ම. මට අලුත් සිහිනයකුත්, සිනමාව ගැන ප්‍රාර්ථනාවකුත් තිබෙනවා. ප්‍රාර්ථනය අපට කලාව ගැන අවබෝධයක් තිබෙන නායකයකු බිහිවන්න කියන එක. මගේ සිහිනය ජීවත්ව ඉන්න තුරු චිත්‍රපට සියයක සහාය අධ්‍යක්ෂණය කර වාර්තාවක් තැබීම.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.