සම්මාන ලැබුණාට ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයෝ වෙන්නේ නෑ

ජුනි 6, 2019

අවුරුදු 12දී බින්දුගේ ළමා සමාජයෙන් ලේඛනයට පිවිසි ඔහු වෘත්තිය ලෙස තෝරා ගත්තේ මහජන සෞඛ්‍ය සේවයයි. තිස් එක් වසරක් පුරා ප්‍රදේශ හතරක තම වෘත්තියේ යෙදෙන අතර ලද අත්දැකීම් සහ පරිකල්පන ශක්තිය වසර හැත්තෑවකට ආසන්න කාලයක් ඔහු ලියූ නවකතා 66ක්, කෙටිකතා සංග්‍රහ හතරක් සහ ළමා පොත් දෙකක් පාඨකයන් අතට පත් කිරීමට හේතු විය. අද අපේ කතා නායකයා වන්නේ ජයකොඩි සෙනෙවිරත්නයි.

ඔබේ රැකියාව නිර්මාණකරණයට බලපැවේ කොහොමද?

ඇත්තෙන්ම මගේ කතාවලට විශාල අනුබලයක් වුණේ මගේ රැකියාව. මහජන සෞඛ්‍ය සේවකයන් ජනතාව අතරම සේවය රන නිසා විවිධ උප සංස්කෘතීන්, භාෂා ව්‍යවහාර, දුක් ගැනවිලි, ජීවන තොරතුරු අධ්‍යයනය කරන්න අවුරුදු තිස් එකක් පුරා මට හැකි වුණා. ඒ වගේම උදේ හතහමාරේ සිට දහවල් එක දක්වා සේවය නිසා මට අවශ්‍ය විවේකයත් ඕනැතරම් තිබුණා. එය කලාවට යොමු වන්න උපකාරී වුණා.

පෙරවදනට අනුව මේ පොත පාඨක ඉල්ලීම නිසා එළිදැක්වූවක්?

1960 දශකයේ රසකතා පත්තරයට මම බොහෝ කෙටිකතා ලියා තිබෙනවා. පාඨකයන් ඒ කතා පොතක් ලෙස මුද්‍රණය නොකරන්නේ ඇයි කියා නිතර අහද්දි මට හිතුණා තෝරාගත් කතා 20ක් මුද්‍රණයෙන් නිකුත් කරන්න. මීට කලින් පොත ලේක්හවුස් ආයතනයෙන්ම මම මුද්‍රණය කළේ. චූටි වෙදරාළ ලියුවේ පොත් ප්‍රකාශකයින්ගේ අත් පිටපත් ව්‍යාපෘතියකට කළ එකක් ලෙසයි. ගුරු මහදසාව ඊට පසුව කළේ.

අපි දැන් මාටිං අය්යාගේ රත්තා ගැන කතා කරමු?

මට පෞද්ගලිකව ලැබුණු අත්දැකීම් වගේම අන් අයගේ අත්දැකීම්, ඇසූ කියූ තැන් සමඟ තමයි මාටින් අය්යාගේ රත්තා නිර්මාණය වෙන්නේ. එහි කුමාරි අක්කාගේ කතාව වෙනස් අවසානයක් කරා ගෙන යමින් සහෝදර ප්‍රේමය උත්කර්ෂයට නංවන්න මට හිතුණා. ඉත්තැවා සහ කබැල්ලාවා කතාව නම් මීට අවුරුදු 50කට-60කට ඉහතදී කොළඹ නවාතැන්පොළවල සිදුවුණු මම අහලා පුරුදු දෙයක්. මරණයක්ද මිනීමැරුමක්ද කියන එක මේ වෛද්‍යවරු වැඩවර්ජන කරන එක හා සම්බන්ධ විරෝධාකල්ප මුල් කරගත් කතාවක්. එය කෙටි කතාවකටත් වඩා විරෝධාකල්පී ලිපියක් හා සමානයි. අනේපිඬුසිටාණෝ කතාව නම් 1960 ගණන්වල අපට හුරු පුරුදු වලව්වක කතාවක්. මාටින් අය්යාගේ රත්තා අවුරුදු කාලවල තවමත් හෝමාගම පැත්තේ රේස් දුවන ගවයන් නොමරා මරන තිරික්කල් පිළිබඳව ලියැවුණක්. එය ඇත්තෙන්ම සත්ත්ව හිංසාවක්. එහිදී ඉරණම පිළිබඳ කම්පනයක් ඇති කරන්නයි මට අවශ්‍ය වුණේ.

ඔබ ජ්‍යෙෂ්ඨ ලේඛකයකු ලෙස භාෂාව පිළිබඳ දක්වන ආකල්පය කුමක්ද?

මම භාෂාව හරිම ප්‍රවේසමෙන් භාවිත කරන්න කැමති කෙනෙක්. ඒත් අවුරුදු 80ක් ගිහිල්ලත් මට වරදින අවස්ථා තිබෙනවා. මගේ අතින් යමක් වැරදුණු පළියට එය අනවශ්‍ය දෙයක් කියන්න තරම් මම සැහැසි වෙන්නේ නැහැ. භාෂාව පවත්වන්න වියරණ අවශ්‍යයි. කටවහරෙන් ලියන දේක වුණත් හැකි තරම් වියරණ රකින්න උත්සාහ කරනවා. ඒත් ඒවායේ බැඳීලා ඉන්න බැහැ. මොකද ඕනැම ලේඛකයකුට වියරණ වැට පනින්න වන අවස්ථා තිබෙන නිසා. මගේ නවකතා 66න් 60ක පමණම පුළුවන් තරම් වියරණ දෝෂ අඩු කරන්නයි උත්සාහ ගෙන තිබෙන්නේ. හැබැයි ගුරු කුලයෙන් ගුරු කුලයට පදබෙදීම පවා වෙනස්.

ඔබ ආකෘතිය තෝරා ගන්නේ?

මට කතාවක් ලැබුණම එහි පසුබිම බලනවා. උදාහරණයකට මාටින් අය්යාගේ රත්තා, ඔල්වරසන් දී කැගසන ගැමියන් සහිත කතාවක්. එයට ව්‍යාකරණානුකූල බසට වඩා උචිත වන්නේ ගැමි කටවහර. බකිණි මල, කටු අත්ත වගේ නවකතාවල වුණත් මට හොඳටම තේරුණා දකුණු පළාතේ බස් වහර යොදා ගත යුතුයි කියලා. ඒත් කොලනිය ට එය ගැළපෙන්නේ නැහැ. ඒ ඒ බස් වහර අනුව කතාව විසින් ඉල්ලා සිටින ආකෘතිය වැඩෙනවා. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ, කතාවක් එක පැහැර පාඨකයාට ග්‍රහණය කරගත හැකි විය යුතුයි. ඒ නිසා ශිල්ප හරඹ දක්වනවාට වඩා සරලව නිර්මාණය කළ යුතුයි. ගොළු හදවත, ගේ කුරුල්ලෝ වගේ කතා කොතරම් සරලද එත් අපි අදටත් රසවිඳීනවානේ...

ඔබ අලුත් සාහිත්‍යකරුවන්ගේ කෘති පිළිබඳ දරන මතය?

මට ඉඩ ලැබෙන පරිදි තමයි ඒවා කියවන්නේ. ඒ නිසා මතයක් ඵල කිරීම සාහසික වැඩියි. එත් පසුගිය දශකයක පමණ කාලය ගත්තාම සැහෙන වෙනස්කම් සිදුවෙලා. අපේ කතා සහ අද කතාකරුවන්ගේ කතා අහසට පොළොව වගේ. ඒක් මම හිතන්නේ ලෝක ප්‍රවණතාවක්. අධි තාත්වික ආදි ධාරාවන්වලට යොමු වෙනවා වැඩියි. ඇමෙරිකානු, අප්‍රිකානු, ජපන් ආදි රටවල අලුත් පරපුරත් මේ ක්‍රම අනුගමනය කරනවා. එහි වරදක් නැහැ. හැබැයි සමහර නවකතා සහ කෙටිකතා පාඨකයන්ට ප්‍රහේලිකා වගේ...

ඔබ පොත් අලෙවිය සඳහා විශේෂ උපක්‍රම යොදා ගන්නවාද?

මගේ බහුතරයක් පොත් නම් තුන්වැනි හතරවැනි මුද්‍රණවලට ගිහින් තිබෙනවා. ඒත් මගේ රණ තිසරු, රමණි වගේ පොත්වල පවා පෙම්වතුන් දෙන්නා අතිනත ගන්නවා මිස ඊට එහා යමක් ලීවේ නැහැ. මම නම් එදත් කල්පනා කළේ ගෙදර මේසේ උඩ මේ පොත තිබ්බාම මගේ දරුවන්ට එය කියවන්න පුළුවන් මට්ටමේ තිබෙනවාද කියලයි. හැබැයි අලෙවිය වෙනස් වුණේ නැහැ. ඒත් මම පසුගිය කාලයේ සම්මාන පවා දිනූ කෘතිවල යම් යම් ලිංගික කරුණු, චර්යාවන් ඔය තරම් ඕනෙද කියලා හිතෙන මට්ටමට තිබෙනවා. එය වෙළෙඳපොළ බලාගෙන කරන දෙයක්ද කියලා හිතන්නත් අමාරුයි.

කියවීමේ රුචිය සමාජයෙන් තුරන්වේගන යනවා වගේ ඔබට හැඟී තිබෙනවාද?

අද රූපවාහිනිය විශේෂයෙන් කියවන පාඨක පිරිසගේ කාලය උදුරාගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ටෙලි නාට්‍ය වුණත් පෙන්වන්නේ පැය බාගේ කීවට විනාඩි 12යිනේ. ඒ කතාවලත් තිබෙන්නේ එකම දේ. රසිකයන් සෙක්කුව වටේ හරක් කැරකැවෙන්නා වගේ අදත් හෙටත් හැමදාමත් එපිසෝඩ්වල හිරවෙනවා. අපි තරුණ කාලේ තිබුණේ රේඩියෝවයි පොතපතයි විතරයි. රේඩියෝවෙන් සාහිත්‍යයට උදව්වක් මිස අවැඩක් වුණේ නැහැ. රූපවාහිනයට පස්සේ අද අපට ඕනතරම් දේවල් තිබෙනවා ඉන්ටනෙට්, යූ ටියුබ් වගේ. ඒ සැම දේකින්ම සන්සුන් විදිහට නිර්මාණයක් රසවිඳීමේ චර්යාව, විනය පැහැරගෙන. අපි එයට ගොදුරු වෙලා.

සම්මාන පිළිබඳ ඔබේ මතය?

මටත් ඔය සම්මානයක් නම් ලැබිලා තියෙන්නේ. සම්මාන පිරිනැමීම සම්බන්ධව නම් ප්‍රශ්නාර්ථ තමයි පැන නැඟිලා තිබෙන්නේ. මම කොහොමත් ඔය රේස් එකේ නැහැ. කුමාරිහාමිට සම්මානය ලැබුණාම දයාවංශ ජයකොඩි මහත්තයා කෝල්කරලා කීවා මිස මම දන්නේ වත් නැහැ. මට තියෙන ප්‍රශ්නේ, ඔය සම්මාන උලෙළ සියල්ලෙන්ම එකම නවකතාව හොඳම කෘතිය හැටියට තේරුණු අවස්ථා කීයක් තියෙනවාද කියන එකයි. ඒකේ තේරුම විනිශ්චය මණ්ඩලවල ස්වරූපය අනුව යම් දෙයක් වෙනස් වෙනවා කියන එකනේ. අලුත්ම අයට නම් යම් උත්තේජනයක් ඇති. ඒ අය සමාජයේ තහවුරු වන්නත් සම්මාන හේතු වෙනවානේ. අනෙක, සම්මාන ලැබුණට පස්සේ, ඒ නිසා ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයන් වුණ අය ඉන්නවාද? ඉතින්, මම මෝරපු කෙනෙක් හින්දද මන්දා පෞද්ගලිකව මට නම් සම්මාන ලැබුණාය නැතය කියලා කිසි වෙනසක් නැහැ. අලෙවියේ වෙනසකුත් නැහැ.

සාහිත්‍ය කලාව වෙනුවෙන් මේ රටේ සිදුවිය යුතු යමක් ඔබට පෙනෙනවාද?

අද විය යුත්තේ කඩදාසි මිල අඩුවීමයි. අද ව්‍යාපාර අතරින් ප්‍රකාශකයන්ට හැර අරක්කු විකුණන්නන්ට පවා සහන තිබෙනවා. එනිසා ඒ වගේ පහසුවක් සංස්කෘතික දෙපාර්තමේන්තුව සාහිත්‍යකලාව උදෙසා සපයනවා නම් ඉතාම හොඳයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.