ගිය වසරේ 60+ සින්දු හතක් අලුතින් ගයලා

ජී. ඩී. ප්‍රේමරත්න
ජුනි 6, 2019

උත්සාහය උනන්දුව කැපවීම ඇත්නම් මේ ලොව තුළ බොහෝ දේ කළ හැකිය. අප්‍රමාණ බාධකවලට මුහුණපාමින් අද වන විට රටක් හඳුනන කෙනෙක් බවට පත්ව සිටින ජී. ඩී. ප්‍රේමරත්න ද පෙන්වා දී ඇත්තේ එයයි. ජනප්‍රිය තලයේ ගායකයකු වන්නට පෙරුම් පිරූ ඔහු ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායකයකු බවට සහතික ලබන්නේ 1988 වසරේදීය. එතැන් පටන් ස්වකීය අනන්‍යතතාවයක් ගොඩ නඟා ගැනීමට ප්‍රේමරත්න මහත් වූ පරිශ්‍රමයක් දැරීය. සංගීත කණ්ඩායම් පිහිටුවා ගත්තේය. පැදුරු පාර්ටිවලට ගියේය. ඒ අතරේ ජීවන අරගලය සඳහා මහරගම පමුණුව රෙදි වෙළෙඳාම් කටයුතුවල ද නියැළුණි. කාලයාගේ ඇවෑමෙන් ගායනය නතර නොකළ හෙතෙම දෙරණ 60+ පළමු අදියරේදී දක්ෂතම ගායකයා ලෙසට අභිසෙස් ලබන්නේ ස්වකීය හීනය සාක්ෂාත් කර ගනිමිනි. එතැන් පටන් ජනප්‍රිය තරුවක් වන ප්‍රේමරත්න ප්‍රසංග වේදිකාවට ද නැතුවම බැරි චරිතයක් බවට පත් විය. අද ඔහු සරසවියට ඇවිත් තිබේ. ඒ නවතම තොරතුරු ඔබ වෙත ගෙන ඒමටය.

මොනවද ඔබේ අලුත්ම විස්තර?

සිංදු හතක් කළා. දෙරණ නාළිකාවට වගේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්්ථාවට බාර දුන්නා. හිමි හිමිහිට ප්‍රචාරය වෙනවා. ප්‍රතිචාරත් ලැබෙනවා. ලංකාවේ බොහොම ප්‍රවීණයෝ ටිකක් තමයි මට ගීත කරලා දුන්නේ. මං ඒ අයගේ නම් කියන්නද?

කියන්න?

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, බන්දුල නානායක්කාරවසම්, සුනිල් ආර්. ගමගේ, බණ්ඩාර ඇහැලියගොඩ, කුමාරදාස සපුතන්ත්‍රි, වසන්ත කුමාර කොබවක කියන මහත්වරු තමයි සින්දු ලිව්වේ. ආචාර්ය රෝහණ වීරසිංහ සර් සහ නවරත්න ගමගේ සර් තමයි සංගීතය හැදුවේ.

මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත තමයි ඔබ දිගින් දිගටම කිව්වේ?

මිල්ටන් මහත්තයා තමයි මට වාසනාව ගෙනාවේ. ඒ කාලේ ඉඳලම මං ඔහුගේ ගීත කියනවා. මේ වෙනකම් මට කාගෙන්වත් තහනමක් නැහැ එතුමාගේ ගීත ගයන්න එපා කියලා. මොකද මං ඒවා විනාශ කරන්නේ නැහැ. මිල්ටන් මහත්තයා විදිහට මට ගයන්න බැහැ. එතුමා විශිෂ්ටයෙක්. හැබැයි මං ඔහු ඉස්සරහාදිත් ගයලා තියෙනවා. එදා නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඒ සිදුවීමත් මතක් කළොත්?

මිල්ටන් මහත්තයාලගේ ගෙවල් ගාව තිබුණු උත්සවයකදී මං මිල්ටන් මහත්තයාගේ ගීත තුනක් කියන්න රෙඩි වෙලා හිටියා. පළමු ගීතය ගයලා දෙවැනි එක කියද්දි කෙනෙක් කිව්වා මිල්ටන් මල්ලවාරච්චි ඇවිල්ලා කියලා. මං බයටම ඔහු බනීවි කියලා දෙවැනි සිංදුව ඉවර වුණාම මයික් එක තියලා ස්ටේජ් එකෙන් බහින්න හදද්දි මිල්ටන් මහත්තයා අතින් කිව්වා තව එකක් කියන්න කියලා. බයෙන් වෙව්ල වෙව්ල තමයි තුන්වැනි ගීතය ගැයුවේ.

ඔබ හැමදාම මිල්ටන්ව සිහිපත් කරනවාලු?

අපේ ගෙදර එතුමාගේ විශාල ඡායාරූපයක් තියෙනවා. උදේ හවස මං පහන තියද්දී එතුමාටත් දුම් අල්ලනවා. පිං පමුණුවනවා. මිල්ටන් මහත්තයා නිසානෙ මෙච්චර දුරක් ආවේ. එතුමා මට දෙවියකුට හා සමානයි.

60+ වේදිකාව තුළදී ඔබට අසීමිත ජනප්‍රසාදයක් හිමි වුණා. මේ තත්ත්වය කොහොමද ඔබට දැනුණේ?

මං හරිම දුක් විඳපු මනුස්සයෙක් මහත්තයෝ. ජීවිතේ විඳපු අවස්ථාවලට වැඩිය ජීවිතේ විඳවපු අවස්ථා වැඩියි. දෙරණ 60+ දින්නට පස්සේ බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා. පිට පළාත්වලට ගියාම මගෙත් එක්ක කතා කරන්න හරියට මිනිස්සු එනවා. ඔය තරුණ ගෑනු ළමයි මාව ඇවිත් අල්ලනවා. අනේ අපේ අම්මලා ඔයාගේ සිංදුවලට ආසයි කියලා කියනවා. ගෑනු පිරිමි බේදයකින් තොරව ඇවිත් ෆොටෝ ගන්නවා. මේ වගේ ආදරයක් ලැබෙද්දි අර වෙච්ච දුක්ඛ දෝමනස්සයන් ඔක්කොම අමතක වෙනවා. මං කොච්චර වාසනාවන්තද එහෙමත් හිතෙනවා.

වර්තමානය වන විට බොහෝ සංගීත ප්‍රසංග අවලංගු වෙලා. මේ තත්ත්වය ඔබට කොහොමද දැනෙන්නේ?

ඊයේ පෙරේදා ආව මට මෙහෙම නම් කාලාන්තරයක් තිස්සේ සින්දු කියන අයට කොහොමට දැනෙනවා ඇත්ද. ෂෝස් ගණනාවක් නැවැත්තුවනෙ. මගෙත් අටක් විතර අවලංගු වුණා. ඉක්මනින් මේ තත්ත්වය විසඳේවි කියලා හිතෙනවා.

ඔබ ගීත කියන්න ගිහින් එක සැරයකදි ගුටි නොකා බේරුණාලු නේද?

සාමාන්‍යයෙන් සිංදු කියද්දි වැරදුණොත්නෙ ගුටිකන්න වෙන්නේ. මට ඒකේ අනිත් පැත්ත වුණේ. වැරදුණ නිසා බේරුණා. සිද්ධිය මේකයි. අපේ ඔය තිබුණු ෂෝ එකකදි මං මිල්ටන් මහත්මයාගේ ගීත ගැයුවා. මං සාමාන්‍යයෙන් සිං කරද්දි කට හොල්ලනවා විතරයි. මුහුණවත් අතවත් සෙලවෙන්නේ නැහැ. ට්‍රැක් දාලා සිංදු දෙකක් විතර කිව්වා. තුන් වැනි සිංදුවද කොහෙද මට වැරදුණා. කොහොම හරි සිංදු පහක් කියලා මයික් එක එහෙම පැත්තකින් තියලා යන්න හදද්දි හයයි හතරේ පුරුෂයෝ කිහිප දෙනෙක් මාව වට කර ගත්තා. මහත්තයො ඔයා සිංදු කියද්දි වැරදුණ නිසා බේරුණා කියලා ඔවුන් අතරෙ කෙනෙක් කිව්වා. මං උඩ බිම බැලුවා කියන්නේ මොනවද කියලා. පස්සේ කාරණය වැටහුණේ. තොල් දෙක විතරක් සොලවමින් ගීත කියද්දි ඔවුන් හිතලා මං ගීතය මයිම් කරනවා කියලා. සිංදුව දාලා බොරුවට කට හොල්ලන අයත් ඉන්නවනේ. කොල්ලන්ට තද වෙලා මං බොරුවක් කරනවා කියලා. සිංදුව වැරදුණ නිසයි ඔවුන්ට තේරිලා තියෙන්නේ මං ලයිව් කියනවා කියලා.

60+ දිනලා නොබෝ කලකින් ඔබ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා?

මේක ගැන වැඩි දෙනෙකු දන්නේ නැහැ. මගේ පුතා මට අහිමි වුණා. හරියටම ගිය නොවැම්බර් දෙවැනිදා මට හරිම කම්පනය දනවන සිදුවීමක් වුණා. සින්දු කියන එකත් එපා වුණා. එහෙම වුණා නම් මං පුතාට කරන මදි පුංචිකමක් කියලා පස්සේ මට හිතුණා. කවදාහරි මිනිස්සු කියයි මං ගීත ගායනය නැවැත්වුවේ පුතා නිසයි කියලා. ඒක පුතාටත් හරි නැහැ. ඔහු වෙනුවෙන් තමයි මේ ගී ගයන්නේ. සමහර දවස්වලට මයික් එක අතට ගන්නකොට පුතාව මතක් වෙනවා. දැඩි ආයාසයකින් හිත හදාගෙන තමයි ගායනා ඉදිරිපත් කරන්නේ.

සුපුරුදු පරිදි ඔබේ රෙදි ව්‍යාපාරය කරගෙන යනවද?

ඔව්. පමුණුව මගේ රෙදි තට්ටු දෙකක් තියෙනවා. උදේ පාන්දර එහෙට ගියාම එකම අත වැනිල්ලක් තියෙන්නේ. රෙදි වෙළදාම පැත්තකින් තියලා සෙල්ෆි ගහපු අවස්ථා එමටයි. රසික ආදරයනෙ. අනේ මට මේ වෙලාවේ දෙරණ ආයතනය සහ ඒකෙ මහත්තුරු ටික මතක් කරන්න ඕනෑ. එයාලා නිසයි මේ හැමදේම.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.