මං අමුතු රසිකයෙක්

සංජය මුරමුදලි
මැයි 16, 2019

නළු උණ තිබූ පමණින් කොල්ලෙකුට නළුවකු වීම ලෙහෙසි නැත. ඇතැමුන් පළමු නිර්මාණයේ සිට ප්‍රධාන චරිත රැඟීමට වරම් ලැබුව ද බහුතරයකට එම තත්ත්වය හිමි නොවේ. ක්ෂේත්‍රයට පිවිස අවුරුදු ගණනාවකට පසු ප්‍රධාන චරිතය හිමි වූ නළුවෝ අනන්තවත් සිටිති. සංජය මුරමුදලි ද අයත් වන්නේ එම කණ්ඩායමටය. නළු හීනය තුරුලු කරගනිමින් හඟුරන්කෙත සිට කොළඹ එන ඔහුට රංගනයට පිවිසීම ලෙහෙසි වූයේ නැත. ඒ සඳහා අප්‍රමාණව දුෂ්කරතාවලට සංජය මුහුණ දුන්නේය. ලැබෙන දුක පැණි රසට හරවා ගත් ඔහු අද ප්‍රධාන චරිත රඟපාන නළුවෙකි. පුංචි තිරයේ නවතම පෙම්වතා සංජයය.

සංජය, ඔබ අද ජනප්‍රිය නළුවෙක්. ඒත් ආව මඟ හරිම කටුකයි?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ අයියේ. කොළඹින් ඉතා දුර හඟුරන්කෙත කියන ගමේ තමයි මං හැදුණේ වැඩුණේ. ඉස්කොලේ ගියේ හඟුරන්කෙත දියතිලක විදුහලට. ඉස්කෝලෙ නාට්‍ය හා රංග කලා ගුරුවරයා විදිහට වැඩ කළ කිත්සිරි සර් තමයි මාව නාට්‍යවලට ඇදල ගත්තේ. ඔහුව මේ වෙලාවේ බොහොම ආදරයෙන් මතක් කරනවා. නළුවකු වෙන්න කොළඹ ආවට මොකද මං කාවවත් අඳුනන්නෙ නැහැ. රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක යන මහත්වරුන්ගේ නිර්මාණවල සහාය දෙවන අධ්‍යක්ෂවරයකු විදිහට වැඩ කරන්න ලැබුණා. ෆ්‍රේම් එකක හරියට හිට ගන්නේ කොහොමද කියන තැන ඉඳලා බොහෝ දේ ඉගෙන ගත්තා. ඊට කලින් මං පොඩි පොඩි චරිත පවා කළා. මුදල් නැතුවත් රඟපෑවා. නවතින්න තැනක් නැතුව පන්සල්වල හිටියා. එහෙම ගත කරපු සමහර දවස්වල රෑට කන්න සල්ලි නැහැ. රෑට කෑවොත් උදේට ෂූටිං යන්න සල්ලි නැහැ. ඒ හින්දා නොකා ඉන්නවා. ඔය අතරේ සිරස ෆිල්ම් ස්ටාර් තරගාවලියේ මං විනර් වෙනවා. බොහෝ දෙනකු හඳුන ගන්නේ ඒ මඟින්.

අද ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

මං ප්‍රධාන චරිත රඟපාන නාට්‍ය තුනක් විකාශය වෙනවා. අමුතු රසිකයා. ඔබ නිසා සහ තෝඩු. එකිනෙකට වෙනස් අන්දමේ චරිත තුනක්. එදා මං විඳි දුක්වල ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. ඉදිරියේදිත් හොඳ නිර්මාණවලට දායක වන්නටයි හිතාගෙන ඉන්නේ.

මේ දිනවල ඔබ වඩාත් ජනප්‍රිය?

අමුතු රසිකයා නාට්‍යයේ මං පිස්සු චරිතයක්. නම සඳරුවන් රත්නායක. සඳරූ කියලා තමයි කතාවේ තියෙන්නේ. ඒක පිස්සු චරිතයක් වුණත් සංකීර්ණයි. ඔබ නිසා එකේ චරිතය මුලින් මුලින් අහිංසකයි. පසුව රෞද්‍ර වෙනවා. ඒකේ නම චාලක. තෝඩු නාට්‍යයේ මනෝජ්. ආදරණීය අහිංසක චරිතය. මේවා අතරින් මට වඩාත් ප්‍රතිචාර ලැබෙන්නේ සඳරුවන්ට. අනෙක් චරිතවලට ප්‍රතිචාර නොලැබෙනවා නෙවෙයි. ඒවාවල ටිකක් දුෂ්ට ගති පැවතුම් තියෙනවා. මිනිස්සු ඒ වගේ චරිතවල හොඳ දකිනවා අඩුයිනේ.

ඔබ චරිත අධ්‍යයනයකින් පසුව රඟපාන අන්දමක් පේනවා?

ඔව්. මම මට ලැබෙන චරිත ආවට ගියාට කරන්නේ නැහැ. ඒවයේ ගති ස්වරූපය තේරුම් අරගෙන, නිසි විදිහට තමයි රඟපාන්නේ. රසිකයින්ට චරිතයක් දැනෙන්නේ එතකොට. මෙගා නාට්‍යය ඇතුළේ ඔවැනි අධ්‍යයනයකින් යුතුව රඟපාන්න පුළුවන් ද කියන ගැටලුව ඔබ ඊළඟට මගෙන් අසාවි. ඒක අපහසුයි තමයි. නමුත් මං කොහොම හරි චරිතය අධ්‍යයනය කරලමයි රඟපාන්නේ.

ඔබට සිනමාවට තවම ඇරැයුමක් ලැබුණේ නැහැ?

ලැබුණා. නමුත් කන්ෆර්ම් වුණේ නැහැ. ඒ ගැන වැඩි විස්තර කියන්නට බැහැ ස්ථිරවම. චිත්‍රපටය හරි ගියොත් කියන්නම්.

සංජය මේ වන විට පේ‍්‍රමවන්තයෙක්?

එහෙමනම් තමයි. තවම කතා කරන්නට අවසර මදි වගෙයි. වෙලාව ආවාම එළි කිරීම තමයි සුදුසු.

ඒ කිව්වේ?

මගේ හැම දෙයක් ගැනම දන්නේ අම්මා. අම්මත් එක්ක කතා කරන්න ගෙදර යන්න ලැබුණේ නැහැ. ගෙදර ගියාට පසුව තමයි ප්‍රේම කතාවේ ඉතිරිය කියන්න පුළුවන් වෙන්නේ.

 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.