විජය හිටියා නම් මේ චරිතය ඔහුට ලැබෙන්නත් ඉඩ තිබුණා

ශ්‍රියන්ත මෙන්ඩිස්
මැයි 9, 2019

ශ්‍රියන්තට ඇමැති පදවියක්

ශ්‍රියන්ත ඔබ වැඩිපුර හාස්‍යෝත්පාදක චරිත රඟපාන කෙනෙක් නෙවෙයි. නමුත් ජය ශ්‍රී ඇමැතිතුමා සිනමාපටයේදී ඔබට එවන් වූ චරිතයක් කරන්න ලැබිලා තියෙනවා?

ඔය සිනමාපටයේ මං රඟපාන්නේ ඇමැතිවරයකුගේ චරිතයක්. චිත්‍රපටය ඔබ කිව්වා වගේ හාස්‍ය මුසු වූ එකක්. මං හිතනවා මිනිස්සු ඒ රසයට කැමැතියි කියලා. අර්බුද ගොඩක් මැද තියෙන සමාජයකනෙ අපි ජීවත් වෙන්නේ. ඔය තත්ත්වයෙන් මඳක් මිදෙන්න මිනිස්සු යම් යම් උත්සාහවල් ගන්නවා. මේ වගේ චිත්‍රපටයක් නරඹලා මනස ටිකක් සැහැල්ලු කරගන්න කවුරුත් ආසයි. මාත් මේ චිත්‍රපටයට හා කියන්න හේතු කාරණා කිහිපයක්ම තියෙනවා. එක මං මේකෙ කතාවට ආසයි. මොකක්දෝ මන්දා අමුතු හැඩයක් ඒකේ තියෙනවා. අනික ටෙනිසන් කුරේගේ හමුවීම. ඒකත් ප්‍රබල සාධකයක්. මමයි ටෙනියි පළමු වතාවටනෙ එකට රඟපාන්නේ.

ඇතැම් ප්‍රේක්ෂකයෝ කැමැති නැහැ ඔබව හාස්‍යෝත්පාදක චරිතවලින් දකින්න?

මං හිතනවා මං පෙර කළ හාස්‍ය චරිතවලට මිනිස්සුන්ගේ යම් කැමැත්තක් තියෙනවා කියලා. උදයගේ (උදයකාන්ත වර්ණසූරිය) ගින්දරී එක, එතකොට පුඤ්ඤාසෝම එකේ කරපු ප්‍රධාන පොලිස් නිලධාරියාගේ චරිතයට අසීමිතව ප්‍රතිචාර ලැබුණා. මං හිතන්නේ නළුවා කටුස්සෙක් වගේ වෙන්න ඕන. චරිතයෙන් චරිතයට ඒ චරිතවල පැහැය ගත යුතුයි. නළුවා උකුස්සෙකු වෙන්න ඕන. චරිත ඩැහැගන්න පුවළුන් එතකොටයි.

ජය ශ්‍රී ඇමැතිතුමා සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටයේ ඔබේ චරිතය දකිද්දී මට කෙනෙකුව මතක් වුණා. ඔහු තමයි විජය නන්දසිරි. විජය බොහෝ විට ඔය වගේ චරිත කරලා තිබුණා?

විජය මගේ හිතවතා. සහෘදයා, අසල්වැසියා. ඔහු කරපු දේවල් අපට කරන්න බැහැ. විජය හස්‍යෝත්පාදක චරිත වගේම සීරියස් චරිත කොච්චර නම් කළාද මනමේ වගේ. අවාසනාවට ඔහු අපට අවශ්‍යම මොහොතක අහිමි වුණා. ජය ශ්‍රී ඇමැතිතුමා බලද්දී ප්‍රේක්ෂකයන්ට ඇතැම් විට විජයව මතක් වේවි.

විජය ජීවත්ව සිටියා නම් ජය ශ්‍රී ඇමැතිතුමා සිනමාපටයේ ඔබ කළ ඇමැති චරිතයම ඔහුට හිමි වෙන්න තිබුණා?

වෙන්න පුළුවන්. විජය හිටියා නම් මට ඒ චරිතය අහිමි වෙන්න ඉඩ තිබුණා.

ඉකුත් දිනවලදී කලාකරුවන් කිහිප දෙනෙක් විවිධ වූ අකටයුතුකම්වල නියැලිලා නීතියේ රැහැනට කොටු වුණා. මේ මේ සිදුවීම් නිසා පිරිහීමට ලක් වන්නේ කලාකරුවන්ට තිබෙන ගෞරවය නේද?

ඇත්තටම ඒ සිදුවීම් ගැන මං කනගාටුව ප්‍රකාශ කරනවා. ඔබ කිව්වා වගේ කලාකරුවන්ට තිබෙන ගෞරවය මොන යම් හෝ අන්දමින් පිරිහිලා තිබෙනවා. කලාකරුවන් ජනතාවට වඩා මදක් ඉදිරියෙනුයි ඉන්නේ. තමන් කලාවේ නියැලෙන ගමන් ජනතාවට පණිවිඩයක් දෙන්න කලාකරුවන්ට හැකියාව තියෙන්න ඕනෑ.කොස්සකින් කෙරෙන රාජකාරිය තමයි අතුගාන එක. එහෙම අතුගාලා ගෙයක් හෝ යම් ස්ථානයක් ඒකෙන් පිරිසුදු වෙනවා. ඒ කාර්යය කරද්දී මතක තියා ගන්න කොස්සෙ කෙරවළේ කුණු ප්‍රමාණයක් ඉතුරු වෙනවා කියන එක.

කෙසේ වෙතත් එදා කලාකාරයට තිබුණ පිළිගැනීම අද හීන වෙලා. රූපගත කිරීමක් පවා වත්මන් සමාජය තුළ සාමාන්‍ය කටයුත්තක්?

මාධ්‍ය ගොඩක් කරළියට ඇවිල්ලා.බොහෝ දේ මිනිස්සුන්ට සාමාන්‍ය වෙලා තියෙන්නේ. ඒ හින්දා පැත්තකින් මියුසික් වීඩියෝ වගේ දේවල් කරන්නන් වාලේ කරනවා. මේ වගේ දේවල් සිද්ධ වෙන හින්දා මිනිස්සු කලාව කියන විෂයයේ නියැළීම ලෙහෙසි පහසු එකක් කියලා හිතනවා. මට මතකයි සිරිල් මල්ලි චිත්‍රපටය රූපගත කරද්දි අපේ ගමේ මං වැටක එල්ලිලා බලාගෙන හිටියේ. රත්තරං අම්මා, වනරජා වගේ චිත්‍රපටත් එහෙමයි. ඒ කාලේ මිනිස්සු පොරකනවා රූපගත තිරීමක් බලන්න. කන්ට්‍රෝල් කරගන්නත් බැහැ සමහර වෙලාවට. ඔය අතරේ උප සංස්කෘතීන් පවා හැදෙනවා. අද වන විට සියල්ල කනපිට හැරිලා. රූපගත කිරීමක් සිදුවන තැනක අසල්වාසීන් එය කරදරයක් හැටියටයි සලකන්නේ.

කලාකරුවන් නිතරම පේන්න සිටීම නිසාත් ඔය අගය අඩුවීම වෙලා තියෙනවා නේද?

ගාමිණී ෆොන්සේකා මට කියලා තියෙනවා නළුවකු වුණම පේන්න ඉන්න එපා. ඒක සුදුසු නැහැ. දෙවියන් වහන්සේව පේනවද, නැහැ. ඒ වුණාට මිනිස්සු දෙවියන්ට කොතරම් ගෞරව කරනවාද. නිතර පේන්න නොසිටීමේ වැදගත්කම එතුමා නිතර කිව්වා.

ඒත් ඔබට පවා ඒ ප්‍රතිපත්තිවලින් යම්තාක් දුරට බැහැර වෙන්න සිදු වුණා?

අපි ඉන්නේ වෘත්තීමය ජීවන අරගලයක. ඒ නිසා ඇතැම් තැන්වලදී එකඟතාවයන්වලට එන්න සිදු වෙනවා. නමුත් මගේ ප්‍රතිපත්ති තියාගෙනයි කලාවේ නියැලෙන්නේ. හඬ කැවීම, ඩී. වී. ඩී. චිත්‍රපටවල රංගනය සහ මියුසික් වීඩියෝවල රංගනය මං ප්‍රතික්ෂේප කරනවා. මුල්‍යමය අතින් කොතරම් වාසිදායක වුණත් ඒවාට දායක වන්නේම නැහැ. මේ ළඟදී කිරිපිටි සමාගමක් අති විශාල මුදලත් ගෙවීමේ පොරොන්දුවක් මත මට දැන්වීමකට කතා කළා. මං ඒකට ගියේ නැත්තේ මගේ ප්‍රතිපත්ති නිසා. මට බෑ බොරු කියලා මිනිස්සුන් මුළා කරන්න. වේදිකාව සිනමාව ටෙලිවිෂනය යන මාධ්‍ය තුනහිම නියැලෙන නිසා මට හැකියාව තිබෙනවා එකිනෙකට වෙනස්ව මෙගා නාට්‍යවල වුණත් රඟපාන්න. ඒකයි සූරසේනව තවමත් මිනිස්සුන්ට මතක. දඬුබස්නාමානයේ ආරච්චිලව මතක. සත් පුරවැසියෝ, දෙපත් නයි නාට්‍යයවල මං කරපු චරිත මිනිස්සුන්ට මතක.

පරාස්ස වේදිකා නාට්‍යයෙත් චරිතය ඒ වගේමයි?

දන්නවද පරාස්ස මුලින්ම වේදිකා ගත කළේ කවදද කියලා, හැත්තෑ නවයේ අවුරුද්දේ. විමලරත්න අධිකාරි තමයි පළමු අධ්‍යක්ෂවරයා. රෝහණ දන්දෙණිය රාස්ස පරාස්ස නමින් කළෙත් ඒකමයි. පූර්ණක නම් යක්ෂයා හැටියට අවුරුදු හතළිහක් පුරා මං එහි රඟපානවා. එක අතකින් එය රෙකෝඩ් එකක් වෙන්න පුළුවන්.

ඔබේ ටෙලි නාට්‍ය වැඩ කොහොමද? මොන වගේ නිර්මාණවලින්ද මේ දිනවලදී දැකගන්නට හැකියාව තිබෙන්නේ?

සඳ හැංගිලා, සංගීතේ, අමුතු රසිකයා, ඉත්තෝ, රන්බැඳි මිනිස්සු වගේ නාට්‍ය ටෙලිකාස්ට් වෙනවා. ජීවිතේ ඇතිතුරා නාට්‍ය සහ ප්‍රදීප් ධර්මදාසගේ අලුත් නාට්‍යයක් ඉදිරියේදී විකාශයවීමට නියමිතයි.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.