‘ලෙය සහ ළය’ කරද්දී මට ඇඬෙනවා

ජයන්ත රත්නායක
මැයි 9, 2019

අපි හැමෝම එනකොට අරන් එන්නේ අත පය හතර විතරයි. ඒත් අපි ජීවත්වෙන කාලෙදි හුඟක් දේවල් හම්බ කරනවා. මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, දරු මල්ලො මේ හැම දෙයක්ම. මේ භෞතික සම්පත් ජීවත් වෙන්න ඕන තමයි. ඒත් මේ සියල්ල සමඟින් හොඳ හිතත්, මිනිස්සුත් හම්බ කරන්න බොහෝ දෙනෙකුට අසීරුයි. මිල මුදල් හම්බ කරන්න පහසුයි. ඒත් මිනිස්සුන්ගේ හදවත් දිනාගෙන මිනිසුන් හම්බ කරන එක ඒ තරම් පහසු ක්‍රියාවක් නොවෙයි. මිල මුදල් නැති වුණත් මිනිස්සු හුඟක් හම්බ කරපු කෙනෙක් ගැන මේ කියන්න යන්නේ තවත් හුඟාක් සංවේදි කතා ගොඩකුත් එක්ක. ඔහු ජයන්ත රත්නායක.

ජයන්ත ගැන මෙහෙම ආරම්භයක් ලියන්න හිතුණේ ඔහු කොච්චර මිනිස්සු හම්බ කරල තියෙනවද කියලා පහුගිය දිනවල අපි දැකපු නිසා. ඒකට හේතුව වුණේ ඔහු වෙනුවෙන් පසුගිය දිනවල පවත්වපු සංගීත ප්‍රසංගය. ජයන්තගේ අසනීප තත්ත්වය වෙනුවෙන් පවත්වපු මේ සංගීත ප්‍රසංගයට පැමිණ සිටි පිරිස දැක්කම මිල මුදලින් කරන්න බැරි හුඟාක් දේවල් මිනිසත්කමින් හොඳ හිතින් කරන්න පුළුවන් කියලා ඕන කෙනෙකුට හිතෙයි.

මම ජයන්ත මුණ ගැහෙන විටත් ඔහු සිටියේ අපේක්ෂා රෝහලේ කිමෝ ප්‍රතිකාර ලබමින්. රෝගාබාධයන් ජීවිතේට සරදමක් වුණත් ජයන්ත ඒ සරදම බොහොම උපේක්ෂාවෙන් විඳ දරා ගන්න විදිය දැක්කම ඕනෑම කෙනෙකුට දැනෙන්නේ ඔහු කෙරේ ආදරයක්. ඒ තරම් උපේක්ෂාවකින් සුපුරුදු ජීවිතය දරා ගන්න ඔහුට ශක්තිය තිබෙනවා. වෙනදා පුරුදු විදියටම ඔහුගේ මුවේ නැඟුණු හසරැලි ඔහුගේ රෝගී භාවයන් කෙහේදෝ ඈතක සඟවලා. අපි හුඟාක් දේ කතා කළා. ජීවිතේ හැම දෙයක් දිහාම සුපුරුදු ධෛර්යයෙන් ශක්තියෙන් බලමින් ඔහුගේ ජීවිතේ අතීතය, වර්තමානය සේම අනාගතය දිහාත් සුබවාදීව ඔහු බලපු හැටි මට හිතෙනවා අපි හැමෝටම පූර්වාදර්ශයක් කියලා.

‘ටික කලක ඉඳන් මගේ අසනීප තත්ත්වය තිබුණත් මම පුරුදු විදියට කරගෙන ගිය වැඩ ටික කළා. සංගීත සංදර්ශන, ප්‍රිය සම්භාෂණ ආදිය. මම මංගල සහ ප්‍රියසම්භාෂණ සංගීතවත් කරත්දි මගේ යුග ගායනයට එක් වෙන්නේ නිරංජලා මංජරීයි. මහේන්ද්‍ර පැස්කුවල්, නිරංජලා හා ජයනාත් දහනායක දැනට මාස කීපයකට උඩදී මගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර ගනිමින් සිටියදී ඒ සඳහා යන වියදම ගැනත් හිතලා පොඩි ජ්භදඤ අචජඥ එකක් කරමු කියලා යෝජනා කළා. නිරංජලා තමයි ඒක සංවිධානය කළේ. ඊට පස්සේ ඕකට අපේ මල්ලි ලෙලුම් මැදිහත් වෙලා ලොකු ප්‍රසංගයක් දක්වා වර්ධනය වුණා. මම ප්‍රතිකාර ගත්තට මගේ වැඩ එකක්වත් නැවැත්තුවේ නෑ. එහෙම දුබලතාවයකින් නොවෙයි මම ඉන්නේ. නමුත් ඉතින් මම ලොකු සල්ලිකාරයකුත් නොවන නිසා ඔවුන්ගේ ඉල්ලීමට මමත් එකඟ වුණා. මේ ප්‍රසංගය ඉතාම සාර්ථක වුණා. ප්‍රසංගයේ කිසිම දෙයක් කිසිම කෙනෙක් සල්ලිවලට කළේ නෑ. ක්ෂේත්‍රයේ ඉන්න අති විශාල පිරිසක් මම වෙනුවෙන් කැප වුණා. මේ හැම දෙනෙක්ම මම වෙනුවෙන් මට තියෙන ආදරේට ආවේ. ඇත්තටම මම හිතුවේ නෑ මට එහෙම පිළිගැනීමක් තියෙයි කියලා. මම එහෙම මගේ ප්‍රතිරූපය හදාගන්න දඟලන කෙනෙකුත් නොවෙයි. හම්බ වෙන වැඩේ හරියට කරගෙන ඉන්න කෙනෙක්. මට පුළුවන් විදියට හැමෝටම අත දීලා තියෙනවා. කවුරුත් කපාගෙන යන්න මට ඕන වුණෙත් නෑ. දැන් මට තේරෙනවා මම හම්බ කළේ මුදල් නෙමේ මිනිස්සුය කියලා. එදා ලැබුණු ඔවුන්ගේ ආදරය තව හුඟක් කල් මට ජීවත් වෙන්න ශක්තියක් වුණා. ඒ හැම දෙනාටම මගේ ආදරයත් එලෙසමයි.

මිල මුදලින් කරන්න බැරි බොහොමයක් දේවල් ආදරයෙන්, මිනිසත්කමින්, සංවේදී මිනිස් සිතුවිලිවලින් කළ හැකියි කිව්වේ ඒ හින්දයි. මිනිස්කම හඳුනන ඒ උත්තම මිනිසුන්ගේ සංවේදී හදවත්වල ආදරණීය බව ජයන්තට කොච්චර දැනිල තියෙනවද කියලා දැන් පැහැදිලියි.

ජයන්ත රෝහල්ගතව ප්‍රතිකාර ලබන හැම දිනකම ඔහුගේ තනි නොතනියට රෑ පහන් කරන්නේ ඔහුට ළබැඳි සහෘද වාදකයෝ.

‘ඊයේ හිටියේ රාමා . . . අද රෑට ධනංජය . . . සෝමසිරි එනවා කිව්වා . . .’

ජයන්ත මා එක්ක කියනවා. ඔහුගේ දෑසේ උතුරන ආදරණීය හෘදයාංගම බව, කෘතවේදිත්වය මට ඒ ස්වරයෙන්ම දැනෙනවා.

‘ප්‍රසංගය හින්ද මම ජීවිතේ ලොකු සතුටක් ලැබුවා. මට ලොකු ශක්තියක් ලැබුණා. ඒ හැමෝගෙම ආදරය මෙච්චර අඩු වයසකදී ලැබීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මගේ ආත්ම ශක්තිය තව තව වැඩි වුණා. මට දැන් ඕන දේකට මූණ දෙන්න ශක්තිය තිබෙනවා. මම කොච්චර මිනිස්සු හම්බ කරලා තියෙනවාද කියලා හිතුණා. මගේ පිටරට ඉන්න යාළුවෝ මේ වෙලාවේ කතා කරනවා ප්‍රතිකාර ගන්න එහෙට එන්න කියලා. මෙහෙ ඉන්න යාළුවෝ මට යන්න ටිකට් අරන් දෙන්න පවා ලෑස්තියි. ඒත් දැන් මම හරි ප්‍රතිකාර ක්‍රමයට මෙහෙ යොමු වෙලා ඉන්නවා. ඒ ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒ ඉල්ලීම් ස්තූති පූර්වකව මම ප්‍රතික්ෂේප කළා. තවමත් මම ගීත පටිගත කිරීම්වලට යනවා. ටී. වී. ප්‍රෝගෑම්වලට යනවා. ‘ලෙය සහ ලය’ ර්‍ථපධඨපචථ එක පටන් අරගෙන කරගෙන යනවා. ඒකට පිටරට ප්‍රසංග පවා මේ දිනවල සංවිධානය වෙමින් පවතිනවා. මගේ ගායන හැකියාවට වෙනම ලැබෙන සංදර්ශනත් තිබෙනවා. ඉතින් මේ එකක්වත් මට පැහැර හරින්න බෑ. මම මාස දෙකකට දින තුනක් අපේක්ෂා රෝහලේ කිමෝ තෙරපි ප්‍රතිකාරය ලබාගන්න ඕනෑ ලබන සැප්තැම්බර් මාසය වෙනකම්. ඉන් පස්සේ තමයි මට රටින් පිට යනවා නම් යන්න වෙන්නේ.’

ජයන්ත හොඳ සංගීතඥයෙක් වගේම පෞද්ගලික ජීවිතේ හොඳ සැමියෙක්. ආදරණීය පියෙක්. ඔහුගේ පුතා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක උපාධිය හදාරනවා. තාත්තා කෙනෙක් 

විදියට ජීවිතේ සතුටුම වෙන දවසක් ඇස් දෙකින් නොදැක සතුට විඳගන්න මේ ප්‍රතිකාරය නිසා අද ජයන්තට සිදු වෙලා තිබෙනවා. පසුගිය 6 වැනිදා ජයන්තගේ පුතාගේ උපාධි ප්‍රදානෝත්සවය. ඊට සහභාගි වෙන්න සිතාගෙන හිටියත් ප්‍රතිකාර නිසා ඔහුට රටින් පිටවෙන්න බෑ. ඒත් ඒ ගැන කියත්දී ඔහුගේ නෙත් දෙකේ නලියපු කඳුළ කොයි තරම් පිය සෙනෙහසක් හිතට තුරුලු කරන් ඉන්නවද කියලා මට දැනුණා. ජයන්තගේ දියණිය ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පළවෙනි වසරේ ශිෂ්‍යාවක්. ජීවිතේ දිනන්න ඕන දේවල් ජයන්ත දැන් දිනාගෙන ඉවරයි. ඒත් ඒ හැම දේකම අතීතයක් තිබුණා. ඒ අතීතෙත් ඔහුට හොඳට මතකයි.

‘මම ආපස්සට හිතත්දි මට හිතන්න දේවල් ගොඩක් තියෙනවා. මම හිටියේ තාත්තගේ වැඩ ඔක්කොම කරගෙන. කොටින්ම කිව්වොත් මම තාත්තාගේ සංගීත අධ්‍යක්ෂවරයා. මම දන්න දවසේ ඉඳන්ම ඒ කියන්නේ මට අවුරුදු 10 දි විතර ඉඳන් තාත්තා සර්පිනා එක ගහන කොට මම ස්වර ප්‍රස්ථාර ලියනවා. ඒක මම හිතනවා ජානවලින්ම මට ලැබුණු දෙයක්. ඉතින් එහෙම පුතෙක් හැම තාත්තටම නෑනේ. ඒ හින්ද තාත්තත් ඒ අගය දැනගන්න ඕන. නමුත් දැන් අද හිතනකොට මම මගේ පුතා ඇමරිකාවට යවල අද උපාධිධරයෙක්. මගේ තාත්තටත් තිබුණා මාව ඉන්දියාවට හරි යවල සංගීතය පැත්තෙන් ඉහළට යවන්න. එහෙම යැව්වෙ නැති හේතුව දැන් මට තේරෙනවා. පොඩි කාලේ ඉඳලා තාත්තා මට පෙන්නලා තිබුණේ පුතාලා කවුරුත් තාත්තලා අබිබවා ගිහින් නෑ කියලයි. ඒක අපේ ඔළුවට දාලයි තිබුණේ. නමුත් මගේ මල්ලි බොහොම රැඩිකල් කෙනෙක් නිසා එයා ඒක බිඳ ගෙන ගියා. මම බොහොම තැන්පත් කෙනෙක් නිසා තාත්තගේ වැඩ කරගෙන එයා කියන විදියට හිටියා කාගෙවත් හිත නොරිද්දා. ඒ වුණාට දැන් මම දන්නවා ඒකෙන් ගොඩාක් අය මගෙන් ප්‍රයෝජන ගත්තා කියලා.

ජීවිතේ හැම දෙයක්ම අපි හිතන පතන ආකරයටම ඉෂ්ට වෙන්නේ නෑ. ආපස්සට හිතත්දි ශෝකවීම්, කලකිරීම්, දුක් සංතාප ඕන තරම්. ජයන්තටත් ඒක එහෙම ඇති. ඒත් ජයන්තට ජීවිතේ සතුටු වෙන්න කාරණා බොහොමයි කියලා මට හිතෙනවා. ප්‍රධාන කාරණය විදියට මට හිතුණේ ඔහුගේ විවාහය. ඔහුට ඉන්නේ ආදරණීය බිරිඳක්. මේ මොහොතේ මා ඔහු සමඟ පිළිසඳරේ යෙදෙන මොහොතේත් ඇය ඔහු ළඟ. සැබැවින්ම ඇය ජයන්තට සඛී භාර්යාවක්. ඒ වගේම මාතු භාර්යාවක් නේද කියලා මට හිතුණා. ආදරණීය දරු දෙදෙනෙක් තිළිණ කරලා ඇය ඔහු ගෞරවනීය පියෙක් කළා. හිත මිතුරියක් විදියට ළඟින් ඉඳගෙන ඔහුගේ සංගීත දිවියට නිබඳ ශක්තියක් වුණා. දැන් ඇය අම්ම කෙනෙක් වගේ ඔහුව රැක බලා ගන්නවා. උයා පිහා දෙනවා. ඔහුගේ සියලු වැඩ කටයුතු ඇය අතින් ඉටු වෙනවා.

‘මම විවාහ වුණේ ව්‍යාපාරික පවුලක දියණියක් සමඟ. ඒ පැත්තෙන් මට ලැබුණ හැමදේම එක්ක තමයි මම මේ තත්ත්වයට ආවේ. පුතාලව රට යවල උගන්වන මානසිකත්වය පවා ගෙනාවේ ඒ පැත්තෙන්. ඒ සඳහා මූල්‍යමය සහන පවා ලැබුණේ එහෙන්. කොටින්ම කිව්වොත් අපිට ඉන්න ගෙයක් පවා ලැබුණේ එතනින්. ඒක ඇත්තෙන්ම මගේ මානසිකත්වය හොඳ තත්ත්වයට ගෙනාවා. මොකද නැතිනම් මට එහෙම ලොකු හීන තිබුණ කෙනෙක් නොවෙයි.

දැන් මට මගේ පවුලෙන් කියලා ඉතිරි වෙලා ඉන්නේ නංගියි මල්ලියි විතරයි. ඒ දෙන්නා නිරන්තරයෙන්ම මගේ දුක සැප බලනවා. අපේ තාත්තා නිසා තාත්තගේ පැත්තේ අනිත් නෑදෑයොත් මට නැති වුණා. ඒ අයත් සාමාන්‍ය රසිකයෝ වගේ තාත්තගේ ජීවිතේ වෙච්ච වෙනස්කමත් සමඟ තාත්තගේ පැත්ත ගන්නේ. මගේ පැත්ත අරන් වැඩක් නෑ. මම කවුද? ඒගොල්ලන්ට හොඳ තාත්තයි. මම ඒකට මුකුත් කියන්නේ නෑ. ඒක ඒගොල්ලන්ගේ තීරණයනේ.’

කොහොම වුණත් තාත්තාගේ ජීවිතේ සිදු වූ වෙනස්කමත් එක්ක මම ලොකු කම්පනයකට පත් වුණා. නමුත් දැන් තේරෙනවා තාත්තා අපිට පෙන්වලා තියෙන මුහුණ නෙමෙයි සමාජයේ සමහර තැන්වලට පේන්වලා තියෙන්නේ කියලා. අපේ අම්මා මේ හැමදේම දැනගෙන බොහොම ඉවසිල්ලෙන් දරාගෙන තාත්තා ඉහළට ගේන්න කටයුතු කරලා තියෙනවා. තාත්තා වෙනුවෙන් අපේ අම්මා මාර කැප කිරීමක් කරපු ගැහැනියක්. ලංකාවට මහ රැජින ආපු වෙලාවේ පණීභාරත මහත්මයාගේ නර්තන කණ්ඩායමේ නායිකාව වෙලා ඉඳලා තියෙන්නේ අපේ අම්මා. අපේ අම්මාගේ තාත්තා (සීයා) තමයි එදා මහ රැජිනගේ ච්පඪමඪදඨ ධ්දඵබපභජබධප හැටියට කටයුතු කරලා තියෙන්නේ. ඒ සේරම අම්ම තාත්තා වෙනුවෙන් අතහැරලා තාත්තට ඉහළට යන්න මාර්ගය හදලා තියෙනවා. මට තේරෙන දෙයක් තමයි මගේ යම්කිසි වැදගත්කමක් තියෙනවා නම් ඒක මට ආවේ අම්මගෙන්. තාත්තා අපට හොඳ දේවල් පුරුදු කරන්නවත්, අපිව හදන්නවත් ගෙදර හිටපු කෙනෙක් නොවෙයි.

තාත්තාට අපි හරි බයෙන් හිටියේ. ගෙදරදි හරිම සැර චරිතයක්. අම්මටත් සැරයි. අපටත් සැරයි. අපිව කවදාවත් වඩාගෙන තියෙනවද කියලා මට නම් මතක නෑ. ඒ කොහොම වුණත් අවුරුදු 75 ට පස්සේ තාත්තා පොඩි කෙල්්ලෙක්ව බැඳ ගත්තා කියන එක අපට හොඳට දැනුණා. ඒ වේදනාව දැඩි ලෙස මට බලපෑවා. මෙවැනි රෝග තත්ත්ව මතු වෙන්නත් ඒ මානසික කම්පන බලපාන්න ඇති. දැන් මට තේරෙනවා මම ගායකයෙකු නොවුණේ ඇයි කියලත්. ඒකත් තාත්තගේ බලපෑමෙන් වෙච්ච දෙයක්. වෙන තාත්තලා ඒගොල්ල මැරෙන්න කලින් පුතාලව ගායකයෙකු කරලයි මැරෙන්නේ. මම ‘ලෙය සහ ලය’ වැඩසටහන කරත්දි ඒක මට දැනෙන තරම් කොච්චරද කියනවා නම් මට කඳුළු එනවා. මම අඬනවා. ඒ වෙලාවට මේ තාත්තලා පුතාලව ගේන්න හදන තැනට ඇයි මගේ තාත්තා මට කළේ නැත්තේ කියලා. තාත්තා ගැන විශේෂ කතාවක් තියෙනවා. හැබැයි ඒක මම කොහේවත් කියන්නේ නෑ කවදාවත්ම. ඒක කිව්වොත් තාත්තගේ මළගෙදරටවත් කවුරුත් යන්නේ නැති වේවි.

තාත්තෙකුගේ ආදරය පුතෙකුට මහ මෙරක්. ඒ බර හොඳින්ම ජයන්ත දන්නා බව ඔහුගේ දෙනෙතම මට සාක්ෂි දරනවා. පියෙකුටත් ඒක එහෙමම වෙන්න ඕන. ඒ සෙනෙහස බැඳ හිර කර තබන්නට කාට කෙලෙස හැකිවේදැයි දන්නේ ඔහුම පමණකි.

‘පිය සෙනෙහස මෙච්චරම කුරිරු වුණේ කොහොමද කියලා අද මටම හිතා ගන්න බෑ. තාත්තා කෙනෙක් විදියට මගේ පුතාට හෙම්බිරිස්සාවක් හැදුණත් කලබල වෙනවා. ඒත් අපේ තාත්තා මගේ අසනීප තත්ත්වය රටක්ම දැනගෙන හිටියත් එක කෝල් එකක් දෙන්න තරම්වත් කාරුණික නොවුණේ ඇයි කියලා මම දන්නේ නෑ. ඒ කොහොම වුණත් මම බෞද්ධයෙක් විදියට පෙර ආත්මවල අපි කරපු පව් පින් ගැන හොඳට විශ්වාස කරනවා. නමුත් දැන් මම ඒ තාත්තගේ පුතා වෙලා ඉන්නවා. පෙර ආත්මයක අපි ලොකු පවක් කරලා ඇති. මගේ මේ අසනීප තත්ත්වය වුණත් මම හිතන්නේ එහෙමයි. පෙර කළ අකුසල කර්ම වෙන්න ඇති. මම බෞද්ධයෙක් නිසා නිතර බෝධි පූජා පවත්වනවා. මගේ හිතවත් හිමි නමක් කියූ පිරිත් බුදු ගුණ මම විවේකයෙන් ඉන්න කොට නිතර සිහිපත් කරනවා. පෙර ආත්මවල කරපු පව් මිසක් මම මේ ආත්මයේ නම් පව් කරපු කෙනෙක් නොවෙයි. දැනුවත්ව වරදක් කරන්නෙත් නෑ. මම මත්පැන් දුම්පානය කරන්නේ නෑ. දුරාචාරය කිසිම දෙයක් නෑ. හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. ඒක හැමෝම දන්නවා. මම හෙට මැරුණත් බය නැති කෙනෙක්. අපි ඉපදුණොත් මැරෙන බව දන්නවා. මට ඊළඟ ආත්මයක් තියෙන නිසා ඒක හොඳ වෙන්න ඕන නිසා මම වැරැදි කරන්න බයයි.

අනන්ත වාරයක් සැරිසරන සංසාර චක්කරේ ආත්ම කොච්චරක් අවද කියන්නවත් දන්නේ නැති අපි මේ ඇවිත් ඉන්නෙත් ඒ ගමන් මාවතේ තවත් එක් තාවකාලික නැවතුමකට. ඒ නැවතුම තුළ ජීවිතේ සුබවාදීව දකිමින් දිනාගත් සියල්ල දෙසත්, අතීතය, වර්තමානය හා අනාගතය දෙස ඔබ බලන්නා වූ උපේක්ෂා සහගත සිතුවිලි සියල්ල ඔබට යහපතක්ම සිදු කරනු ඇත. ඔබේ සියලු රෝගාබාධයන්ට ශක්තිමත් සිතින් මුහුණදීමේ ශක්තිය ධෛර්යය ඔබට තව තවත් ලැබේවා.

ජයන්ත ඔබට නිරෝගී සුව!

Comments

sumithra dharmasena (තහවුරු වී නොමැත)
piyatath meth wadanna , oba nirogi weya!
ඉරි, 05/12/2019 - 20:09
sumithra dharmasena (තහවුරු වී නොමැත)
piyatath meth wadanna , oba nirogi weya!
ඉරි, 05/12/2019 - 20:10

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.