සංගීතේ නිසා කුමුදු නිශාන්තට ප්‍රහාරයක්...?

මැයි 9, 2019

ඔය වගේ චරිතයක් ලැබුණු එකට සතුටුයි. මිලින්ද වැනි පාදඩ මිනිස්සු සමාජයේ ඉන්නවා කියන එක ඒත්තු ගන්වන්න පුළුවන් මේ වගේ චරිත කරද්දි. ඒකත් හොඳ උත්සාහයක්නෙ. මිලින්දගේ චරිතය කළු චරිතයක්. ඒක මං මුලදිම දැනගෙන හිටියා. නාට්‍යයේ පළමු ෂෙඩුල් එකේදි ඔහු බීමත් චරිතයක්. පස්සේ පස්සේ තමයි වෙනස් වන්නේ.

මිලින්ද නිසා මට පාරෙ බැහැලා යන්න බැහැ.

කුමුදු නිශාන්ත සරසවියට ගොඩ වැදුණේ එහෙම කියන ගමන්. යාබද වූ අසුනක හරිබරි ගැසී ඔහු වාඩි වුණා.

මිලින්ද? මිලින්ද කිව්වට එක සැරයටම ඒ කවුද කියන වගක් මට මතක් වුණේ නැහැ.

සංගීතේ නාට්‍යයේ මං කරන චරිතයනෙ මිලින්ද කියන්නේ. එක අතකින් ඒක පුදුම චරිතයක්. යන යන තැන මිනිස්සු බනිනවා. අපේ සමහර දේශපාලඥයින් ගාව ඉන්නවනෙ ඔය වගේ චරිත. පොරත් ඇමැති කෙනෙක් ගාව වැඩ කරන්නේ. යටි කූට්ටු වැඩ කරන්න හරිම දක්ෂයි. මිනිස්සුන්ව අන්දනවා. ඇන්දීම සඳහා ශරීරයේ අංග චලන නිරන්තරයෙන්ම භාවිත කරනවා. පණ පිහිටුවලා වගේ බොරු කියන්නේ. මම ඔය වගේ මිනිස්සු දැකලා තියෙනවා. ඇත්තටම නළුවො අපි නෙවෙයි, ඒ අය තමයි නළුවෝ.

මිලින්ද නිසා මොන වගේ අපහසුතාවයන්ටද මුහුණපාලා තියෙන්නේ?

එක අවස්ථාවක පමණක් නෙවේ අවස්ථා කිහිපයකදීම මං අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මං තමුසෙව හම්බු වෙනකම් තමයි හිටියේ කියලයි කතාව පටන් ගන්නේ. තමුසෙ මහ කාලකන්නි මිනිහෙක් ඕයි කියලත් මිනිස්සු කියනවා. වයිෆ් එක්ක ගමන් බිමන් යද්දි වයිෆ් ඉන්නවා කියලත් ගාණක් නැහැ. සමහරුන්ගේ ආවේගශීලිත්වය කොච්චරද කියල කිව්වොත් ඔවුන් මගෙ මුහුණට කෙල ගහයි හෝ මට ගහයි කියල හිතෙනවා. ඒ තරමට ආවේගශීලී ප්‍රතිචාර ලැබෙනවා.

ඔබට අද හිතෙනවද මිලින්ද වගේ චරිතයක් බාර ගත්තු එක අපරාධයක් කියලා?

ඔය වගේ චරිතයක් ලැබුණු එකට සතුටුයි. මිලින්ද වැනි පාදඩ මිනිස්සු සමාජයේ ඉන්නවා කියන එක ඒත්තු ගන්වන්න පුළුවන් මේ වගේ චරිත කරද්දි. ඒකත් හොඳ උත්සාහයක්නෙ. මිලින්දගේ චරිතය කළු චරිතයක්. ඒක මං මුලදිම දැනගෙන හිටියා. නාට්‍යයේ පළමු ෂෙඩුල් එකේදි ඔහු බීමත් චරිතයක්. පස්සේ පස්සේ තමයි වෙනස් වන්නේ. ඒ චරිතය හොයාගෙන යද්දී මට දැනුණ දෙයක් තමයි මේක සරල රේඛීයව දිව නොයන චරිතයක් කියන එක. මිලින්දගේ අභ්‍යන්තරය පිරික්සලා ඊට මං සාධාරණයක් ඉටු කළා. ඒකනෙ වෙන්න ඕන. මං කොහොමත් කැමැති ඔය වගේ පැහැයක් තියෙන චරිතවලට. සුදු කළු සහ අළු චිත්‍රපටය වෙනුවෙන් මං නිරුවත් වුණානෙ. ඒක මට ප්‍රශ්නයක් වුණේ නැහැ. චරිතයක් හොඳට රහට නිරූපණය කිරීමයි මගේ වගකීම.

කමුදු නිශාන්ත සහ මිලින්දව පටලවා ගත්තු අයට මොකද කියන්න තියෙන්නේ?

හොලිවුඩයේ හෝ බොලිවුඩයේ නළු නිළියෝ ගැන බලන්න. ශාරුක් ඛාන් කොච්චර නම් විලන් චරිත කරලා ඇතිද. නමුත් එයාව රසිකයින්ට හමු වුණාම ඒ දුෂ්ට චරිතවලින් මනින්නේ නැහනෙ. හැමෝම ආදරය කරන්නේ ශාරුක් ඛාන් කියන පුද්ගලයාට. අපට එහෙම නැහැනෙ. නිතරම අපිව ජනතාවට හමු වෙනවා. පාරේ ඇවිදිනවා. මාර්කට් එකේදි දකිනවා. ප්‍රතිචාර දක්වන්න සමීපයි. වැඩිපුරම අපිව මනින්නෙම චරිතයෙන්. මං මිලින්දට වඩා හාත්පසින්ම වෙනස්. මං මේ මං ගැන කියනවා නෙවෙයි. මං බොහොම පරහිතකාමී අහිංසක කෙනෙක්.

මිලින්ද ලැබූ ජනප්‍රියතාවය නිසා ඔබ ජනප්‍රිය නළු ලිස්ට් එකට ඇතුළත් වේවිද?

අපි දන්නේ නැහැ එක රැයකින් මොනවා වෙලා තියේවිද කියලා. මෙච්චර වැඩ කරපු දශකයකටත් වැඩිය ක්ෂේත්‍රයේ හිටපු කොච්චර නම් ඔය ලිස්ට් එකෙන් කැපිලා තියෙනවද. මං දන්නේ නැහැ ඔය ක්‍රමවේදය මොකක් ද කියලා. හැබැයි ජනප්‍රිය නළුවන්ගේ ගොඩට එන්න බැරිකමකුත් නැහැ.

සංගීතෙට අමතරව ඔබගේ තවත් නිර්මාණ දෙකක් විකාශය වෙනවා නේද?

ඔව්. අමුතු රසිකයා සහ හේලංකඩ. අමුතු රසිකයා එකේ මං මානසික වෛද්‍යවරයෙක්. නාට්‍යයේ අධ්‍යක්ෂ සිවගුරුනාදන්. ඔහු හරිම හික්මීමක් තිබෙන කෙනෙක්. අනෙක් නාට්‍ය හේලංකඩ. ධම්මික තිසේරා අධ්‍යක්ෂණය කළ එහි මං රඟපාන්නේ නගරේ ඉඳන් ගමට එන කෙනෙකු හැටියට.

අදටත් ඔබ රඟපෑ ඕළු නාට්‍යයේ අසේල සර්ගේ චරිතය ජනප්‍රියයි නේද?

ඒක ඇත්ත. සමහරු මගේ ඇත්ත නම දන්නේ නැහැ. නමුත් අසේල සර් කියපුවාම දන්නවා. තවත් කාලාන්තරයක් ගියත් ඒ චරිතය මතකයේ තියේවි.

නිශ්ශංක විජේරත්න

Comments

Praneetha Perera (තහවුරු වී නොමැත)
ජයවේවා ඔබගේ රන්ග්පෑමට මම කැමතියි
අග, 05/14/2019 - 18:12

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.