භාෂා හතරක් දන්න නිසා පරිවර්තනය පහසුයි

මැයි 2, 2019

 

දිරිය කාන්තාවක් ලෙස තමන්ගේ ගමන ස්වාධීනව ගොඩනඟාගත් ප්‍රියංවදා ඇම් බන්දුවර්දන කතුවරිය පසුගියදා සරසවියට ගොඩ වුණා. ඒ ඇයගේ උපන්දිනය සරසවිය පුවත්පතේ පළ කිරීමට තුති පිදීමට. ඒ අතර ඇය අලුතෙන් කළ පරිවර්තන සහ ස්වතන්ත්‍ර පොත් කීපයකුත් රැගෙන විත් තිබුණා. ඉතින් ස්වීඩනයේ සිට සිංහලෙන් ලියන ඇය සමඟ පොතපත ගැන පුංචි කතාබහක යෙදුණා.

 

 

* ඔබ අලුතෙන් පරිවර්තන කීපයක් කළා?

ඔව්. 'අල්ලපු ගෙදර' සහ 'ලෙයිලා සහ අය්යාන්'. මම දැන් වැඩියෙන් කරන්නේ පරිවර්තන. මොකද දැන් මගේ වය‍සත් එක්ක මතක ශක්තිය දුර්වල ඇති කියලා මට හිතෙනවා. ඒ නිසා ස්වතන්ත්‍රවල කරුණු නියමාකාරයෙන් ලියැවෙයිද කියලා සැකයි.

 

* මේ පරිවර්තන දෙක සඳහා පොත් තෝරා ගැනීමට විශේෂ හේතු තිබුණද?

තිබුණා. එකක් කෙටි කතා පොතක්. ඒක මම පරිවර්තනය කළේ 'අල්ලපු ගෙදර' නමින්. මම හුඟක් සංචාරය කරනවා. ඒ රටවලට ගියාම ඒ ඒ අයගේ සංස්කෘතිය, ඒ අයගේ හැදියාව එහෙම දැක්කාම මට හිතෙනවා මොනවා හරි ලියන්න ඕනා කියලා. ඒ වෙලාවට මම ස්වතන්ත්‍රත් ලියනවා. ඒත් මෙය වෙනම කෙටිකතා පොතක්. ඒ සමහර කතා කියෙව්වට පස්සේ මට නින්ද යන්නේ නැ. ඒවා ආවර්ජනය වෙනවා. ඉතින් මට හිතුණා ඒවා පරිවර්තනය කරන්න ඕනා කියලා. ඒත් පොත ප්‍රසිද්ධ කරන්න හරි අමාරුයි. කෙටි කතා මුද්‍රණය කරනවා අඩුයි. ඒත් ගොඩගේ මහත්තයා ඒක තෝරාගත්තා. මම පරිවර්තනය මුල් කර ගන්නේ අපේ රටේ පාඨකයන්ට කුමක් හෝ පණිවිඩයක් දෙන්න පුළුවන්ද කියලා බලලා. මොකද ලෝක සාහිත්‍යයට බොහෝ දෙනකුට පිවිසෙන්න බැහැ වෙනත් භාෂාවක් භාවිත කරන්න බැරි වීම නිසා. විශේෂයෙන් නෝර්වේ, ස්වීඩ්න් වගේ භාෂා බොහෝ දෙනකුට ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. ඒ භාෂා දෙක ඉතා සමීපයි. එකක් දන්නවා නම් අනෙක තේරුම් ගන්නත් ලේසියි. මම විශේෂයෙන් නෝර්වේ භාෂාවෙන් සෘජු පරිවර්තන කරන්නේ ඒ රටෙන් මට ආධාර කරන නිසා. ඒ අය සාහිත්‍යයට කැමතියි. නැතුව ශ්‍රී ලංකාවෙන් පොතක් ලියලා ආදායමක් ගන්න මට බැහැ. එහෙම ලැබෙන රුපියල් පනස් දාහක් වගේ සුළු මුදලක් වුණත් මම දෙන්නේ අහිංසක කාන්තාවන් වෙනුවෙන්. මේ වර මට ලැබුණු පනස්දහස එක් ගමක කන් ඇහෙන්නේ නැති අය වෙනුවෙන් පරිත්‍යාග කරනවා කීවාම ඒ ප්‍රදේශයේ ප්‍රජා සංවිධායක කෙනෙක් ගම් ප්‍රදේශයේ ශ්‍රවණාබාධ සහිත 75 දෙනකු සූදානම් කර තිබුණා. මම ඒ සියලු දෙනාටම ආධාර කළා. ඒ අයට හරි සතුටුයි. මම රට ඉඳන් එද්දි ඇස් කණ්ණාඩි ගෙනත් බෙදනවා. මගේ සූට් කේස් එක පිරිලා තිබෙන්නේ ඒවායින්. නැදැයින්ගේ තැගිවලින් නෙවෙයි. ඒක මට සතුටක්.

 

* පරිවර්තනයකදී භාෂාව හසුරුවන්න ඔබ යොදන උපක්‍රම මොනවාද?

මට පර්වර්තනයකට පිවිසෙන්න ලේසියි මට ඒ භාෂා ගැන දැනුම තිබෙන නිසා. මගේ සාහිත්‍ය දැනුමයි මේ භාෂා දැනුමයි එකතු වුණාම වඩා හොඳ නිර්මාණයක් කරන්න පහසුවක් දැනෙනවා. මම ජීවත් වන්නේ ස්වීඩනයේ. ස්වතන්ත්‍ර කරන්න මට ඒ රට පිළිබඳ දැනුම අඩුයි. ඒ රටේ මිනිස්සු කවදාවත් තමන්ගේ දුකක් වේදනාවක් මෙහෙ අය වගේ එළියට දාන්නේ නැ. අපි නම් කන්තෝරුවේදි වුණත්, අහල පහළ අය එක්ක වුණත් බෙදා ගන්නවානේ. ඒ අය සියල්ල ගේ ඇතුළේ විතරයි. පිටට නැහැ. හැබැයි මම එක අතකට එයට කැමතියි. මොකද ඒ අය කෙනකු මැරුණාම මිනිය බලන්න යන්න කැමති නැහැ. සාමාන්‍යයෙන් ඒ අය දේහය පෙන්වන්නෙත් නැහැ. පෙට්ට්ය විතරයි. ඒ අය කියන්නේ අපි ඒ පුද්ගලයාව දැකිය යුත්තේ ජීවත්ව සිටින ආකාරයෙන් පමණයි. මැරුණු කෙනා දැක්කාම කලකිරීමක් ඇති වෙනවා. ඊට වඩා හිටපු පුද්ගලයා ගැන හිතලා සතුටු වෙන්න ඕනා කියලා. ඉතින් ඒකත් හරි. අනෙක අපේ වගේ දුක විකුණන්නෙ නෑ ඒ අය.

 

* ඒක හොඳයි, ඒත් ඒ අය ජීවතුන් අතර ඉද්දි ඒ ආකාරයෙන් මිනිසුන්ට සලකනවා නම්?

ඇත්තටම ඔවුන් සලකනවා. මේ රටවල නම් මිනිසුන්ට මොන තරම් දුක් දෙනවාද? මම කීවොත් මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා අපි උදව් කරන්න ඕනා කියලා, කිසි ලෝබකමක් නැතුව ඒ අය ඉදිරිපත් වෙනවා. ඒක ඒ අයගේ ආර්ථික ශක්තියටත් වඩා අනුකම්පාව වැඩිකම නිසා සිදුවන්නක්. ඔය ගම්වල අයට එහෙම හරියට උදව් කරන්නේ ඒ නිසයි. අපේ අය වයසට ගියාම හිතන්නෙම මැරෙන එක ගැන. දිව්‍ය ලෝකේ යන එක ගැන. ඒ මිනිස්සු එහෙම නෙවෙයි අද හොඳට ඉන්නේ කොහොමද කියලයි හිතන්නේ. ඉතුරු කරනවා තමයි හදිසියකට ගන්න. ඒත් ඒ හෙටක් ගැන විශාල බලාපොරොත්තුවකින් නම් නෙවෙයි. මෙහෙ එහෙම නෙවෙයිනේ කොයි වෙලාවෙත් බණ අහනවා. දානයක් දුන්නත් නාස්තියම තමයි. මටත් හිතෙනවා කොයි තරම් නාස්තියක්ද මේ කරන්නේ කියලා. අපේ ලොකු දුවත් දානය 70 දෙනකුට සූදානම් කරලා 50යි ආවේ. ඉතිරි කොටස කල් තියාගන්නත් බැරි වුණා මේ රස්නෙ නිසා. බෙදලා දීලාත් ගොඩාක් නාස්ති වුණා. ඒක හරි අපරාධයක්.

 

* ඔබ කොහොමද ඒ භාෂා ඉගෙන ගන්න යොමු වුණේ?

ඒ රටකට ගියාම ඒ භාෂාව ඉගෙන ගන්නම වෙනවා. නැතුව රස්සාවක් කරන්න බැ. ඒ නිසා මට ඉගෙන ගන්න වුණා. මගේ ජීවිත කතාව හැමෝම දන්නවා. මට පවුල් ජීවිතයේ ඇති වුණු කරදර නිසා මම පළා ගියා. මම ස්වාමියා නිසා ගොඩක් දුක් විදපු ගැහැනියක්. දරුවන් හතරදෙනකු එක්ක මෙහෙ හිටියා නම් මම අනාථ වෙනවා. ඒත් මම ඒ ගමන නිසා අද සතුටින් ඉන්නවා. මට භාෂා හතරක් පුළුවන්. සිංහල, ඉංග්‍රීසි, නෝර්වේ, ස්වීඩ්න් භාෂා හතරම මට පුළුවන්. නිදහසේ තටු ඇවිත් පොත ජස්ට් අ ඩෝටර් කියලා සරීටා ස්කැග්නස් කියන ඉන්දියානු ලේඛිකාව ස්වීඩ්න් බසින් කළ පොතක්. එය මම සෘජු පරිවර්තනයක් කළේ සිංහලට. මගේ ජීවිතයේ වගේම ඇගේ ජීවිතයේත් දැඩි දුක්ඛදායක අත්දැකීම් රැසක් තිබෙනවා. ඇයත් මහා පුදුම ගැහැනියක්. ඉතා දුප්පත් ලෙස ඉන්දියාවේ පවුලක ඉපදිලා දැන් නෝර්වේ පදිංචි ස්වීඩ්න් විශ්වවිද්‍යාලයක වැඩකරනවා. මේ පොත භාෂා හතකට පමණ පරිවර්තනය වෙලා තිබෙනවා.

 

* ඔබ සම්මාන සඳහා ඉදිරිපත් වුණාද?

නයිජීරියාවෙන් ලියුමක් මම ලීවේ රටරටවල ගිහින් අත්දැකීම් ඇසුරෙන්. ඒත් මුද්‍රණය කළ අය හිතලා තිබෙනවා ඒකත් මගේ පරිවර්තනයක් කියලා. ඒ නිසා හොඳ පොතක් කියලා නම් කරලත් ගොඩගේ සම්මානවලට තෝරාගෙන නැහැ. පස්සේ ඒ අයට දුක හිතිලා මගේ පොත මුද්‍රණය කරන්න බාර ගත්තා. සෝනියා- සුල්තාන්ගේ දෙවැනි බිරිඳ කියන පොත ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටයට තේරුණා. මම ලියූ දක්ෂ දුනුවායා ළමා කතා පොත ළමා සාහිත්‍ය සම්මාන දිනුවා. අපට වරම් නැත කියන පොත මහගමසේකර සම්මානය දිනා ගත්තා.

 

* ලංකාවේ පරිවර්තන කලාව ගැන ඔබ දකින්නේ කොහොමද?

මේ රටේ පරිවර්තන හොඳීන් කෙරෙනවා. මටත් ඉන්න දෙන්නේ නැ. ඒවා ලියන්න කියා පොළඹවනවා. හැබැයි අපේ සිංහල කතා වෙනත් භාෂාවන්ට පරිවර්තනය වනවා අඩුවක් මම දකිනවා. මගේ මව්වරු සහ දූවරු පොත ස්වීඩිෂ් භාෂාවට පරිවර්තනය කරලා දුන්නා මෝද්‍රාර් ඕක් දෝත්‍රාර් කියා, ඒ අයට අපේ සමහර දේවල් තේරෙන්නේ නැහැ. අම්මා කියන වචනය තේරුණාට, අප්පච්චි, රන් එතනා වගේ දේවල්, ගමේ ස්වභාවය තේරුම්ගන්න අමාරුයි කියනවා. ගම තව විස්තර කරන්න කියනවා. එහෙමත් හදලා දුන්නා බලමු. ආ.. තව හොඳ දෙයක් තිබෙනවා කියන්න. ඒ රටේ පුස්තකාලවලට ගෙවන්න ඕන නැ. ඕන කෙනකුට නොමිලේ පොත් කියවන්න පුළුවන්. ඒක නෙවෙයි කාරණේ. ස්ටොක්හෝම්වල තියෙනවා ඉන්ටර්නැෂනල් ලයිබ්‍රරි කියලා ආයතනයක්. ඒකේ ලෝකේ හැම රටකම වගේ පොත් තියෙනවා. ලංකාවේ පොත් නම් තියෙන්නේ අඩි එකහමාරක විතර අහුරපු ටිකක් විතරයි. දෙමළ, හින්දි පොත් ඕන තරම්. අර අඩි එකහමාරේ පොත් කීපයත් දැන් ඒ අය අයින් කරන්න යනවා ලංකාවේ මිනිස්සු කියවන්නේ නැහැ කියලා. මම ඒ අයට පොත් ගිහිල්ලත් දුන්නා. මම කීපසැරයක් මුහුණු පොතේත් දැම්මා මේ පොත් නිකමට හරි ගෙනියලා කියවන්න ඒ කොටස හරි අපට ඉතුරු කරගන්න කියලා. ඒ ගැන කිසි උනන්දුවක් නැහැ අපේ අයට. ඒ නිසා ඒ පුස්තකාලෙන් සිංහල පොත්වලට තියෙන ඉඩ ළඟදීම අයින්වෙයි.

 

*ඒ රටේ විශේෂ අත්දැකීම් මොනවාද?

මම එහෙ නැටුම් පවා කරනවා. ඒ නැටුම් කණ්ඩායම් මෙහෙ ගෙනත් සන්දර්ශන පවත්වලා පාසල්වලට උදව් දුන්නා. අපේ සමහර අය හරි බයයි ඒ නැටුම් කරන්න. ඔවුන්ගේ මහත්තුරු තරහ වෙයි කියලා අනෙක් පිරිමියකුගේ අතකින් අල්ලන් නැටුවාම. ඒවා නෝර්වේජියානු ජන නැටුම් කිසි නරකක් නැහැ. අපේ අය හිතන්නේ හරි පටු විදිහට. මම කැමතියි නිදහසේ කටයුතු කරන්න.

එහේ ඇළුමිනියම් භාජන භාවිත කරන්නේ නැහැ. මයික්‍රෝවේව් අවන්වලින් කැම රත් කරන්නේ නැ. ඒත් අපේ අය ඒවා හරි නවීනයි කියලා හිතනවා. ඒවායින් වන්නේ පිළිකා රෝගීන් වැඩි වෙනවා විතරයි. මේ දේවල් අපේ රටේ අය කවදා තේරුම් ගනීද මන්දා.

අරුණි මුතුමලී
නිශ්ශංක විජේරත්න

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.