දෙබස් නැති ප්‍රධාන චරිතයකට මාව තෝරාගෙන

මිශෙල් දිල්හාරා
මැයි 2, 2019

පුංචි තිරය ඉදිරියේ රොක්වන ඔබට මිශෙල් දිල්හාරා කියන්නේ හුරුපුරුදු චරිතයකි. සල්සපුනා ටෙලි සිතුවමේ පොඩි පත්තරකාරි හැටියට ඇය ඉමහත් වූ ජනාදරයකට පත්විණ. මිශෙල් මේ දිනවලදී ඔබ හමුවට එන්නේ සුදු ඇඳගෙන කළු ඇවිදින් සහ ඒමි යන ටෙලි නිර්මාණවලිනි. ඒ අතරින් සුදු ඇඳගෙන කළු ඇවිදින් හි චරිතය මිශෙල්ට විශේෂය.

සංකීර්ණව නිරූපණය කළ යුතු එකක් වන එය තමන්ගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බව සඳහන් කරන්නීය. මේ අතරතුරදී මිශෙල්ට සිනමා සිතුවමක ප්‍රධාන චරිතය ලැබී තිබේ. එහෙත් ඇයට උච්චාරණය කිරීමට එකදු හෝ වදනක් පිටපතේ නැත. ඒ කරුණු යුගලයම මිශෙල්ට සුවිශේෂී වන්නේය. එහෙයින් මම මේ කතාව ආරම්භ කිරීමට එය ප්‍රවේශය කොට ගනිමි.

මිශෙල් සුදු ඇඳගෙන කළු ඇවිදින්, අයෝමා ඔබට මෙතරම් සුවිශේෂී වන්නේ ඇයි?

ඔය නාට්‍ය කළේ අවුරුද්දකට විතර කලින්. එතකොට මං නාලන් සර්ගේ නාට්‍යයේ විතරයි හිටියේ. සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයට මට අවස්ථාව උදා වෙන්නේ ඔඩිෂන් එකකින්. මං එදා උදේ ඉඳන් හවස් වෙනකම් එතැනම හිටියා. හවස තමයි කිව්වේ මාව ඒකට තෝර ගත්තා කියලා. සුනිල් කොස්තා සර්ගේ නාට්‍ය ගැන මං කලින් අහලා තිබුණා. ඔහු යම් කාලයක් අරන් නිර්මාණකරණයේ යෙදෙන කෙනෙක්. අපිව හැසිරවීමත් වෙනස් අන්දමකින් කළේ. අයෝමාගේ චරිතයට මාව සුනිල් සර් හැඩ ගැන්වූවා. ඔහුට 

විශ්වාසයක් තිබුණා මාව ඊට සුදුසු වෙයි කියලා. මුල් කාලේ චරිතයට ප්‍රවිශ්ටවීමට යම් වේලාවක් ගත වුණත් පස්සේ ඒක හරි ගියා. වෙනදා නොදැනුණ වෙහෙසකුත් දැනුණා. හරියට මං රංගන පාසලකට ගියා වගෙයි.

ඔබ එහි වැඩිපුරම රඟපාන්නේ සම්මානිත නිළියක් වන චාන්දනී සෙනෙවිරත්න සමඟ?

ඇය විතරක් නෙවෙයි අනෙක් බොහෝ දෙනා ක්ෂේත්‍රයේ පරිණත කට්ටිය. මම අලුත්. නමුත් එයාලා මට ඉහළම සහායක් දුන්නා. නැතිනම් මට මේ වගේ චරිතයක් මේ විදිහට නිරූපණය කරන්න ලැබෙන්නේ නැහැ.

කොහොමද අයෝමාට ලැබෙන ප්‍රතිචාර?

මට දැණෙන විදිහට මේ නාට්‍යයට වෙනම ඕඩියන්ස් එකක් තියෙනවා. කතාවක් වෙනස් එකක්නෙ. අම්මත් එක්ක තාත්තව හොයාගෙන යන දියණියක් තමයි අයෝමා. ගැහැනුම දෙදෙනෙක් එකම ගමනක් යද්දි ගැටලු එන විදිහ. ගැහැනුන් විදිහට අපි කොයි තරම් දුර්වල ද, ඒ බය, මං හිතන්නේ බොහොම සංකීර්ණයි. මට පුළුවන් උපරිමයෙන් එය කළා. ප්‍රතිචාරත් ලැබෙන්නේ ඒකයි කියලා මට හිතෙන්නේ.

සැබවින්ම ඔබ දකිනවාට වඩා නාට්‍යයේ හරි පොඩි පාටයි?

මට නම් කට්ටිය කියන්නේ ඕකේ අනිත් පැත්ත. මං හරි ලොකුයිලු (මිශෙල් සිනාසෙයි) අවුරුදු දහසයක ගැහැනු ළමයෙක් විදිහට වෙස් ගැන්වීම කළානේ. බලන අයට එක එක විදිවලට පේනවා.

නිළියක් විදිහට මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?

ජාත්‍යන්තර පිළිගත් නිළියක් වීමයි එකම බලාපොරොත්තුව. ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්මානයක් ගන්න ඕනෑ. ස්වර්ණා, අනෝජා වීරසිංහ, ජගත් චමිල වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ගත්තා වගේ එකක්. කවදා හරි එහෙම නිළියක් වෙනවාම තමයි.

ඒ වෙනුවෙන් අභියෝගාත්මක චරිතයන් නිරූපණයට ඔබ සූදානම්ද?

ඔව්. අභියෝගාත්මක චරිත රඟපාන්න සූදානම්. හැබැයි ඊට පෙර කොහොම කතාවක් ද කියන එක බලනවා. සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් චරිතයකුත් වෙන්න ඕන. එහෙම සීමාවකුත් තියෙනවා.

ඊළඟට මං අහන්නේ ඔබට ලැබුණු දෙබස් නැති ප්‍රධාන චරිතය ගැන?

රෙවලූෂන් කියන චිත්‍රපටයේ තමයි එම චරිතය රඟඟපාන්නේ. ඒක ගොළු චරිතයක්. එවන් වූ අභියෝගයන්ට මං හුඟක් කැමැතියි. අනෙක් අයට තේරෙන ගොළු බසින් මට හැඟීම් ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඒ සඳහා විධිමත් පුහුණුවක නියැළෙනවා. බොරු කරන්න බැහැනෙ. කැපවීමෙන් ඒ සඳහා වෙහෙසෙනවා.

සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයේ චරිතය සඳහා ඔබට සම්මානයක් ලැබේවි කියා හිතනවාද?

ඒ චරිතය මං උපරිමයෙන් කළා. ඇගැයීමක් ලැබෙනවා නම් අපේ ගමනට රුකුලක් වේවි.

කතාවෙන් හැඟෙන්නේ සම්මානයක බලාපොරොත්තුවක් තියෙනවා?

බලමු ඉතින්.

මිශෙල්ගේ විවාහය සිදු වන්නේ කවදාද?

හම්මෝ . . . ඒකට නම් කල් තියෙනවා.

කොච්චරක්ද?

අවුරුදු කිහිපයක්ම.

 

 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.