තාත්තලා ගැන අපිරිමිත සෙනෙහසිනි

රෝහණ ධර්මකීර්ති
අප්‍රේල් 25, 2019

 

අර හීන් හඬට දිග හැරෙන පහළ වක්කඩේ
දුර ගලා බසින රිදී සිනා රැළි තාම තියේ
කඳු වළලු මැදින් එන සුළඟට කන තියන් පුතේ
කෝ දැනෙනවාද මහ පොළවේ පපුවෙ තෙතමනේ

වැව කඩොළු මඬුළු උඩ කැරකෙන සකලයෝ ඉන්නේ
මගෙ පුතේ පිහාටුවමයි අත් තටුවක් වෙන්නේ
ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ
මේ ගහේ වැලේ මල් ගැන මම විතරයි දන්නේ

වල් කොලේ කොතැන තිබුණද මහ වනේ දන්නෙ නෑ
කුණ්ඩලේ තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ
පුතු සෙනේ සිරුර සිඹ යන සැටි කියා ගන්න බෑ
මගෙ හිතේ තියෙන ගී පද මගේ පුතා අහල නෑ

ගී පද - කුමාර ලියනගේ

තාත්තා කෙනෙකුට පුතෙකුට කියා දෙන්න කොච්චර දේවල් තියෙනවද? තාත්තෙකුගේ ලෙයින් මසින් ජීවය ලබන පුතෙකුගේ ලෝකයේ සදාකාලික විරයා වන්නෙත් තාත්තමයි. මේ පුතත් එහෙම විරයෙක් වුණු කෙනෙක්. දැන් ඔහු තාත්තගේ ලෝකේ විතරක් නෙවෙයි අපේ සංගීත ලෝකෙත් ආදරණීය වීරයෙක් වෙලා ඉවරයි. ඔහු රෝහණ ධර්මකීර්ති. පසුගියදා නිමාව දුටු රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම ගායකයා වශයෙන් පමණක් නොව හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙසින් ද අභිසෙස් ලැබුවේ ඔහු. තාත්තෙකුගේ ආදරේ කොයිතරම් ද කියල හැඟෙන්න දැනෙන්න ගැයුවේ ඔහු. ඒ ආදරේ නිමක් නොවන කෙළවරකට ඇදී යන්න සත්සර මුසු කළෙත් ඔහු. ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්මාන උලෙළකදී ගායනය හා සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් වූ සම්මාන ද්විත්වයම එකම පුද්ගලයෙක් දිනාගෙන එය ඓතිහාසික වාර්තාවක් බවට පත් කළෙත් ඔහු.

ඔහු ගැන කියන්න හුඟාක් දේවල් තියෙනවා කියලා මම දන්නවා. ඒත් ඔහු නිහඬයි. ඒ පුරුද්දක් විදියටම ඔහු වැඩිපුර කතා කරන කෙනෙක් නොවීම.

රෝහණ ධර්මකීර්ති අප හඳුනා ගන්නේ ඉතාමත්ම දක්ෂ වයලීන් වාදකයෙකු වශයෙන්. සංගීත අධ්‍යක්ෂවරයෙකු ගී තනු නිර්මාපකයෙකු වශයෙන් ඔහු ගැන යමක් අප දැනසිටිය ද ඔහු ගායකයෙකු ලෙසින් නම් අප දැන සිටියේ නැහැ. එක පාරටම ඔහු සම්මානලාභී ගායකයෙකු වූයේ කොහොමද? සැබැවින්ම ඒක අහම්බයක්. ඒ ඔහු ගැන ඔහු දකින හැටි.

‘සම්මාන ද්විත්වයක් එකවරම හමුවිම පිළිබඳ මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. වසර ගණනාවක් සංගීත ක්ෂේත්‍රයේ වාදක ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු වශයෙන් රැඳී සිටියත් මෙවර ලැබුණු රයිගම් සම්මාන තමයි මට ප්‍රථම වරට හිමි වුණු සම්මාන වුණේ. දෛවෝපගත විදියට සම්මාන ද්විත්වයක් එකවරම මට හිමි වුණා. මීට කලින් මගේ නිර්මාණ කාර්යයන් පිළිබඳ ක්ෂේත්‍රයේ විවිධ කතා අතර ජනතා සම්මානය මට හිමි වී තිබුණ ද මෙවැනි සම්මානයක් මෙතෙක් මට හිමි වෙලා තිබුණේ නෑ.

ඇත්තටම කිව්වොත් මේ සම්මානය මට හිමි වෙන්න මූලිකයා වුණේ ‘තාත්තා’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ලලිත් රත්නායකයි. ඔහු ඔහුගේ තාත්තා ටෙලි නාට්‍යයේ සංගීත නිර්මාණය මට බාර දුන්නා. මේ ටෙලි නාට්‍යයට ගීතයකුත් අන්තර්ගත වෙලා තිබුණා. ගීතය රචනා කරලා තිබුණේ ප්‍රවීණ ගීපද රචක කුමාර ලියනගේ විසින්. ගීතයට තනුවක් නිර්මාණය කරලා සුදුසු ගායකයෙකු ලවා ගායනා කරවන්නට එහි ඩමිය මා විසින් ගයා ලලිත් රත්නායකයන්ට දුන්නා. ඔහු ගීතය අහලා බලලා එය වෙනත් ගායකයෙකුට දෙන්න අවශ්‍ය නෑ. ඩමියම හොඳයි කියලා තියා ගත්තා. ඒත් මගේ ඒකට කැමැත්තක් තිබුණෙම නෑ. එහෙම ගන්නවා නම් නැවත ගායනා කරමු කියලා මම යෝජනා කළා. ඒත් ලලිත් ඒකට කැමැති වුණෙත් නෑ. ඒ නිසා අන්තිමට ටෙලි නාට්‍යයට ඇතුළත් වුණේ මා විසින් ගයන ලද ඩමියයි.

ඩමිය ගීතයක් වී එයට සම්මාන ලැබීම ද සුවිශේෂීය. රෝහණගේ සංගීත දිවියේ ලලිත් රත්නායක හා වන බැඳීම ද සුවිශේෂීය. ඔහු මින් ප්‍රථම ටෙලි නාට්‍ය කිහිපයකටම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුව ද ඔහුගේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය වූයේ ද ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘විෂම භග‘ ඒකාංගික ටෙලි නාට්‍යයයි.

‘මම ගායකයෙක් වුණේ අහඹු සිදුවීමක් විදියටයි. මුල් කාලේ මම ගීත කීපයක් ගායනා කරලා තිබුණා. ඒ වුණාට ඒ ගැන මගේ වැඩි අවධානයක් තිබුණේ නෑ. නමුත් ගොඩාක් දෙනෙක් මට කියලා තිබුණා ගීත ගායනා කරන්න කියලා. ඇත්තටම කිව්වොත් ඉස්සරලම මට ගීත ගායනා කරන්න කියලා බොහොම තදින් කිව්වෙ චන්ද්‍රලේඛා පෙරේරායි. ඒකට හේතු වුණේ මීට අවුරුදු 20 විතර ඉස්සර මම ඇයට ගීතයක් නිර්මාණය කරලා ඩමිය දුන්නා. ඒක අහල ඇය මගෙන් අහුවා කවුද මේක කිව්වේ කියලා. මම කිව්වම ඇය තමයි ඉස්සරලම කිව්වේ සින්දු කියන්න කියලා.

ආපස්සට හැරිලා බලත්දි රෝහණගේ ජීවිතේ හුඟක් හෙමින් ආපු ගමන තුළ කිසිදා නොමියෙන නිර්මාණ ටිකක් ඉතිරි වෙලා තියෙනවා.

‘අන්දර යායේ වැව් තාවුල්ලේ

සක්මන් කරනා අප්පච්චි . . .’

(කුමාර ලියනගේ)

කරුණාරත්න දිවුල්්ගනේ ගයන මේ ගීතයත් මේ මොහොතේ අපේ මතකයට එනවා. කුමාර ලියනගේත් රෝහණ ධර්මකීර්තිත් අතර සහ සම්බන්ධයෙන් ආරම්භය සිද්ධ වෙන්නේ එතැනින්. හැබැයි ඒ ගීතයත් ‘තාත්තා’ කෙනෙක් ගැන කියැවෙන ගීතයක්.

‘සුළඟක් වි මං යනවා

දුර අහසේ ඇවිදින්නට

අප්පච්චී කොහොමද

මං අල්ලන්නේ . . .’

ආනන්ද හේවාරංහිඳගේ විසින් රචනා කරන ලද එඩ්වඩ් ජයකොඩි හා නතාෂා පෙරේරා ගැයූ මේ ගීතය ද ඔහුගේ ගී තනු නිර්මාණයේ අපූර්වත්වය අපට පෙන්නුම් කරනවා. මෙකී නොකී ගී මැද රෝහණගේ ජීවිතේ ජනප්‍රිය ගී නිර්මාණ මෙන්ම සම්මානලාභී ගී නිර්මාණ ‘තාත්තා, අප්පච්චී, පිය සෙනෙහස’ යන එකම මාතෘකාවක් වටා කැරකීමත් එක්තරා විදියක දෛවෝපගත සිදුවීමක්.

‘මගේ වෘත්තීය ජීවිතේ මං ආරම්භ කරන්නේ 80 දශකයේ ගුවන් විදුලි සහන වාදන ශිල්පියෙක් විදියට. වර්තමානය වන විට ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු වශයෙන් කටයුතු කරනවා. සංගීත නිර්මාණ කරන්න මට හැකියාවක් තිබුණ කියලා මමම තේරුම් ගත්ත කෙනෙක්. ඒකට හේතුව මම අනුන්ගේ නිර්මාණවලින් උමතු වුණු කෙනෙක් වීම. මම විශ්වාස කරන දෙයක් තමයි අනුන්ගේ නිර්මාණවලින් උමතු නොවුණ කෙනෙකුට තමන්ගේ නිර්මාණයක් කරන්න බෑ කියන එක. ඒ කාලේ පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, එච්. එම්. ජයවර්ධන, ස්ටැන්ලි පෙරේරා, සරත් දසනායක, ඔස්ටින් මුණසිංහ, ප්‍රේමසිරි කේමදාස වැන්නන්ගේ නිර්මාණ රස විඳලා ස්වයං අධ්‍යයනයක අපි නිරත වුණා. අනිත් පැත්තෙන් මම භාෂාවට හරි සංවේදී කෙනෙක්. උපන්දා ඉඳලම භාෂා සංවේදිතාවය මට තිබුණා. මගේ තාත්තා ගුරුවරයෙක්. අම්මා හොඳ කිවිඳියක්. කුමාරතුංග මුනිදාසයන් දෙවියෙක් හැටියට තමයි අපේ තාත්තා සැලකුවේ. භාෂාව හැදෑරීමෙන් බහුශ්‍රැතයෙක් වෙනවට වඩා භාෂාවට සංවේදීකම මා තුළ ඇති වුණා. ගීතයක් දැක්කම මට එහි යටි පෙළෙවල් දැනෙන්න ගත්තා. ගීතය ඉල්ලන ආකෘතිය මොකක්ද කියලා මට දැනෙන්න ගත්තා. භාෂා සංවේදීතාවය කියන එක සංගීතඥයෙකුට තිබිය යුතුමයි.

දැන් උදාහරණයක් විදියට දිවුල්ගනේ ගයන ‘අන්දර යායේ . . .’ ගිතයට තනුව මා අතින් නිර්මාණය වෙන්නේ මමම කම්පනය වීමෙන්. මම රජරට උපන් කෙනෙක් නොවුණත් මට මගේ තාත්තව දැනෙන්න ගත්තා. පදමාලාවේ කම්පනයෙන් තමයි මට තනුව ආවේ. මේ භාෂා සංවේදීතාවය තිබෙන කොට වෙන කෙනෙකුගේ වේදනාව කම්පනය මගේ කම්පනයක් විදියට දැනෙනවා.

කරුණරත්න දිවුල්ගනේ හා රෝහණ අතර වන මිත්‍රකම ද බොහෝ දුර ගිය එකක්. අන්දර යායේ ගීතය නිර්මාණය වෙත්දීම රෝහණ නිසා දිවුල්ගනේට තවත් අපූරු ගීතයක හිමිකම ලැබෙනවා. ඒ ගීතය ‘ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩිනා’ ගීතයයි.

‘සුනිල් දයානන්ද කෝණාර මේ ගීතය හදල කිය කිය ඉන්න කොට මමත් මේ ගීතය ගිටාර් එක ගහ ගහ කියන්න ගත්තා. යාළුවන්ගේ පාටිවලට එහෙමත් මේ ගීතය ගැයුවා. දවසක් මම දිවුල්ගනේට කිව්වා මෙහෙම ගීතයක් තියෙනවා. ඒක වෙන කවුරුත් කියන්න කලින් කියන්න කියලා. දිවුල්ගනේ මගේ කීම අහලා වේයන්ගොඩට ආවා. අපි දෙන්නම බයිසිකලේ නැඟලා සුනිල් දායනන්ද කෝණාර හොයාගෙන ගිරිඋල්ලේ වික්‍රමශීලා විද්‍යාලයට ගියා. ඊට පස්සේ තමයි ඒ ගීතය දිවුල්ගනේ ගායනා කළේ.

රෝණගේ ගමන් මඟ දිගුයි. නිහඬයි. කලබලයක් නෑ. ලැබෙන දේ දැනෙන දේ උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින් ආව ගමනක්. ඒ තුළ වාර්තාගත සම්මාන ද්විත්වය ඔහුට සතුටක් මෙන්ම ඉදිරි නිර්මාණ කටයුතුවලට ධෛර්යයක්. ගායකයෙක් හෝ සංගීත අධ්‍යක්ෂවරයකු වන්නට ඔහුගේ හිතේ කොතැනකවත් සිහිනයක් නොතිබුණ ද වාදකයෙකු වීමේ හීනයක් ඔහු තුළ නිබඳවම තිබුණා.

‘පුංචි කාලේ ඉඳන්ම මට වාදකයෙක් වෙන්න ඕනකම තිබුණා. ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවට ඇතුල් වෙන්නත් ඕනකමක් තිබුණා. අපේ ගෙදර නිරන්තරයෙන්ම තිබුණේ කලාවට හිතැති පරිසරයක්. තාත්තට හොඳට වයලීන් ගහන්න පුළුවන්. මම ඉස්සරලම වයලින් ගහන්න පටන් ගන්න කොට මගේ වයස අවුරුදු 13 යි. පී. කේ. සෝමපාල ගුරුතුමාගෙන් හා එතුමාගේත් ගුරුතුමා වූ ආරියදාස හපුආරච්චි මහත්මයාගෙන් මම වයලින් වාදනය ඉගෙන ගත්තා. ගුවන් විදුලි සංස්ථාවට එන්න නිකම්ම බෑ. වාදකයෙකුට ඕන කරන තාක්ෂණික පැත්තත් මම ඉගෙන ගත්තා. ඩී. ආර්. පීරිස් ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයෙන් සමත් වෙලා තමයි ගුවන් විදුලි සංස්ථාවට බැඳුණේ. හැබැයි මම කවදාවත් පාසලේදී සංගීතය ඉගෙන ගෙන නෑ. මම කළේ විද්‍යා විෂයන්. ගුවන් විදුලි සංස්ථාවට බැඳෙන කොට මම විශ්වවිද්‍යාල සිසුවෙක්. මම රස්සාව කරන ගමන් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කළා.’

90 දශකයේ මුල් භාගයේදී රෝහණ කණ්ඩායම් සංගීතය තුළ ද කැපී පෙනුණා. ඔහු ‘මාරිම්බා’ සංගීත කණ්ඩායමට සම්බන්ධ වනුයේ 1992 දීය.

‘පුතු සෙනේ සිරුර සිඹ යන හැටි කියා ගන්න බෑ

මගේ හිතේ තියෙන ගී පද මගේ පුතා අහල නෑ . . .’

ඒ කාලේ රෝහණගේ තාත්තටත් රෝහණ ගැන එහෙම හිතෙන්න ඇති. ඒත් රෝහණ අද ඒ තැනුණු ගී පදවලට අපූරු ස්වර රටා මවමින් අභිමානවත් පුතෙකු වී කිත් යසස් මැද බබළමින් සිටී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.