අනුරාධපුරෙන් සුරඟනපුරට

ජනවාරි 24, 2019

ටෙලි නාට්‍ය තිරපිටපත් රචකයකු ලෙස ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින සුනන්ද සිල්වා මේ දිනවල වෙනස් ම කටයුත්තක නියැළී සිටියි. ඒ ඔහුගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය ‘සුරඟනපුර’ වේදිකා ගත කිරීම සඳහායි. ‘සුරඟනපුර’ මේ මස 27 වැනිදා සවස මරදාන ටවර් රඟහලේදී වේදිකා ගතවෙයි. මේ පෙළ ගැසෙන්නේ ඒ පිළිබඳ හා ඔහුගේ නිර්මාණ ජීවිතය පිළිබඳ සරසවියට කළ කතාබහකි.

ඔබගේ නිර්මාණ ජීවිතය ඇරැඹෙන්නේ වේදිකා නාට්‍ය නිර්මාණවල රඟපෑම මඟින්ම නේද?

අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයෙනුයි මා අධ්‍යාපනය හැදෑරුවේ. ඒ වේදිකාවේ රංගනයේ යෙදෙමින් රංගන ගමන ආරම්භ කරන මට එකල බොහොම සුන්දර මිනිසකු මුණ ගැහෙනවා. ඔහු සංගීත අධ්‍යක්ෂ සරත් දසනායකයි. අනුරාධපුරයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස එකල කටයුතු කළ ඔහුගේ මේ මුණ ගැසීම සිදු වන්නේ නාට්‍ය තරගයකදියි. මගේ රඟපෑම දකින ඔහු සයිමන් නවගත්තේගමට මාව හඳුන්වා දෙන්නේ ඉන්පසුවයි. ඔහු නිර්මාණය කළ ‘දුක්ගන්නා රාල’ කියන වේදිකා නාට්‍යයට මා රංගනයෙන් සහභාගි වී සිටියත් පාසල් කටයුතු නිසා ඒ නිර්මාණවලට දායක වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉන් පසුවයි පාසලෙන් ඉවත් වූවාට පසුව මා යහළුවන් කිහිපදෙනකු සමඟ උතුරුමැද කලා උලෙළට වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්නේ. එහිදියි හොඳම නිෂ්පාදනය, හොඳම නළුවා විදියට මට සම්මාන ලැබෙන්නේ.

ජන නළු කැල කලා සංගමය ඔබගේ ජීවිතය වෙනස් ම මඟකට යොමු කරනවා නේද?

මහින්ද පතිරගේ නිර්මාණකරුවා ඇතුළු කලාකරුවන් කිහිපදෙනෙකු ම පැමිණෙන්නේ මේ සංගමයෙන්. එහිදී මා කරන වේදිකා නාට්‍යය යළිත් ජාතික උතුරු මැද නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය විදියටත්, සංස්කෘතික සම්මානයකුත් ලබන්නට තරම් වාසනාව උදාකර ගන්නවා. ඊට පසුව මට මතක විදියට රත්නා ලාලනී හා මහින්ද පතිරගේ හොඳම නිළිය හා හොඳම නළුවා බවට සම්මාන හිමිකර ගන්නේ මා 1983 වසරේ නිර්මාණය කළ ‘පාරාජිකා’ කියන වේදිකා නාට්‍යයේදියි. මේ කටයුතුවලින් පසුවයි මට ‘උතුරේ රාහුල’, ‘උර්විසී’, ‘දේශපාළුවා’ ඇතුළු වේදිකා නාට්‍ය රැසකටම රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබෙන්නේ.

ඔබ ටෙලි නාට්‍ය පිටපත් රචනයට පිවිසීමෙන් පසුව වැඩිපුරම පිටපත් ලියමින් කටයුතු කරන්නේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ නිර්මාණවලටයි

මා මේ නිර්මාණ කිරීමට පිවිසීමේදී දමයන්ති ෆොන්සේකා මගේ හොඳ යහළුවකු බවට පත් වෙනවා. ඒ මඟින් මා ඔවුන්ගේ පවුලේ කෙනකු සමඟ විවාහ වීමත් නිසා, ෆොන්සේකා පවුලත් සමඟ ළඟ සම්බන්ධකමක් නිර්මාණය වෙනවා. අනුරාධපුරයෙන් කොළඹට පැමිණීමත් එක්කම නිර්මාණවලට පිවිසීමට අමතරව මා ඩබින් ආටිස්ට් කෙනකු ලෙසත් කටයුතු කරන කාලයේදියි මගෙන් මාලිනී අක්කයි, ලකී අයියයි හොඳ ටෙලි නාට්‍ය පිටපතක් ගැන විමසන්නේ. ටෙලි නාට්‍ය පිටපත් කිහිපයක් ඔවුන්ට ලබා දුන්නත් ඒ කිසිවක් ඔවුන්ගේ සිත් ගන්නේ නැහැ. මේ අතරදියි මා සතුට චිත්‍ර කතා පත්තරයකට චිත්‍ර කතාවක් ලියන්නේ. එහි චිත්‍ර ඇන්දේ මහින්ද පතිරගේයි. මේ කතාවේ කතා සාරාංශයයි මා මාලිනී අක්කට ගිහින් දෙන්නේ. ඔවුන් ඒ කතාවට බෙහෙවින් කැමැත්තක් දක්වනවා. ඒ නිසාමයි එය ටෙලි නාට්‍යය පිටපතක් ලෙස ලියන්නට ඔවුන් ආරාධනා කරන්නේ. ටෙලි නාට්‍ය පිටපත් රචනය ගැන කිසිම අවබෝධයක් නැති නිසාම මාලිනී අක්කා මට වෙනත් ටෙලි නාට්‍ය පිටපත් රැසක් ලබාදෙමින් පවසන්නේ ඉන් යම් අධ්‍යයනයක නිරත වන ලෙසයි.

ඉන්පසුවයි ඔබ ටෙලි නාට්‍ය පිටපත් රචනයට පිවිසෙන්නේ

ටෙලි නාට්‍ය පිටපත් රචනය ගැන කිසිම අවබෝධයක් නැති මට ඒ ගැන එකින් එකම කියා දෙන්නේ මාලිනී අක්කයි. ඒ අනුව මා මුලින්ම ලියන්නේ මාලිනී අක්කාගේ ‘රන්ගිරිදඹ’ ටෙලි නාට්‍යයයි. ඉන්පසුවයි මාලිනී අක්කගේ ‘සොහොයුරෝ’, ‘සැනසිලි සුවඳ’, ‘දියවර’, ‘දිරිය බිසව්’, ‘හතර කන්’, ‘කෙම්මුර’ ඇතුළු නිර්මාණ විස්සකට පමණ පිටපත් රචනයෙන් දායක වීමට මට අවස්ථාව හිමිවන්නේ. ඊට පසුව ශ්‍රියාණි අමරසේන, ජී. නන්දසේන, එච්. ඩී. ප්‍රේමරත්න, ටිකිරි රත්නායක ඇතුළු බොහෝ පිරිසකට මා ටෙලි නාට්‍ය පිටපත් රචනයෙන් සහයෝගය දක්වා තිබෙනවා. ‘හැංගිමුත්තං’, ‘ධවල බන්ධන’, ‘නාඳුනන නෑයෝ’, ‘යශෝ මන්දිර’, ‘දෙපත් නයි’, ‘ලාභයි ඇපල්’, ‘සරා’, ‘මලී’, ‘අත්තම්මා’, ‘සිඳු’ දක්වා ඒ ගමන දිවෙනවා.

මේ අතර ඔබ වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්නේ මේ පැමිණි ගමනේ දැනුණු ඒකාකාරී බවෙන් මිදෙන්න ද?

දිගින් දිගටම ටෙලි නාට්‍ය ලියලා මට වෙනසක් වුවමනා වුණා. ඒ වගේ ම දැනට ක්ෂේත්‍රයේ පවතින ටෙලි නාට්‍ය ක්‍රමවේදයටත් මගේ වැඩි කැමැත්තක් නැහැ. ඒ ටෙලි නාට්‍ය පිටපත් ලියැවෙන්නේ බොහෝ ඉස්සර අප පිටපත් ලියූ විදියට නොවෙයි. එහි ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් පැන නැඟිලා. එහි වෙනස්කම් රැසක් ඇති විය යුතුයි. මේ කාරණාත් සමඟයි මා වේදිකා නාට්‍යයක් කිරීමට පෙලඹෙන්නේ. ඉන් ලැබෙන රසය, සුවය, ඇඟෙට දැනෙන දේ, ටෙලි නාට්‍ය පන්සියයක් ලිව්වත් ලබා ගන්න බැහැ. නාට්‍ය බස්එකේ යන ගමන් පිළිබඳ සතුට ටෙලි නාට්‍යයක් ලිවීමෙන් ලබාගන්න බැහැ.

ඔබට ‘සුරඟනපුර’ වේදිකා නාට්‍යය නිෂ්පාදකව මුණ ගැසෙන්නේ මෙවැනි සිතිවිලිවල ඉන්න අතරතුර ද?

මෙහි නාට්‍ය නිෂ්පාදක ගාමිණී රත්නායක මගේ යහළුවෙක්. දවසක් මගේ අනුරාධපුරයේ නිවෙස ඉදිරිපස ඉන්න අවස්ථාවේදියි මට ඔහුව මුණ ගැසෙන්නේ. එවිටයි ඔහු මට වේදිකා නාට්‍යය නිර්මාණයක් කිරීමේ යෝජනාව ගෙනෙන්නේ. ඒ වගේ ම ඒ සඳහා යන මුදල් පිළිබඳ ප්‍රශ්නය විසඳන්නටත් ඔහු එකඟ වෙනවා. ඔහු මගේ පළමු වේදිකා නාට්‍යය වන ‘රාජකීය වෙන්දේසියක්’ රඟපෑව නළුවෙක්. මෙවැනි කාලයක වේදිකා නාට්‍යයකට මුදල් වියදම් කිරීමට ඉදිරිපත් වීම ගැන මා ඔහුට ස්තුති කිරීමට මේ අවස්ථාවක් කර ගන්නවා.

මෙහි සිටින නළු නිළියන් තෝරා ගැනීම සිදුවන්නේ ඉන් පසුවයි

නිෂ්පාදක සොයා ගැනීමෙන් පසුව මගේ සිතට ඇතිවුණු ලොකුම ගැටලුව එයයි. මා හඳුනන නළු නිළියන් ප්‍රමාණය බොහෝයි. එනමුත් ඒ අයගෙන් බොහෝ අය බොහොම අවිවේකයි. ඒ නිසා මේ කටයුත්තට මට හිතවත්ම කිහිපදෙනකුයි මා තෝරා ගත්තේ. සරත් චන්ද්‍රසිරි, හේමන්ත ඊරියගම, සුසිල් පෙරේරා, ධනුෂ්ක අබේරත්න, ශෂිකා පීරිස්, මනෝජ් යාලේගමගේ, හේෂාන් විජේරත්නයි. මේ කණ්ඩායමට එකතු වන අලුත්ම කෙනා වන්නේ හේෂාන් විජේරත්නයි. ඔහු රඟපෑමට කැමැත්තක් දක්වන වෘත්තිකයෙක්. මෙහි සංගීතය සපයන්නේ දිනේන්ද්‍ර බණ්ඩාර කියන තරුණයෙක්. ඔහු පළමු වරටයි වේදිකා නාට්‍යයකට සංගීතය නිර්මාණය කරන්නේ. වේශ නිරූපණය සිරිනාථ වික්‍රමසිංහයි.

‘සුරඟනපුර’ කියන්නේ හාස්‍ය මුසු වුණු වේදිකා නාට්‍යයක් ද?

මේ වේදිකා නාට්‍යය කිරීමට පෙර දැනට වේදිකා ගත වන නාට්‍ය සියල්ලම වගේ මා නැරැඹුවා. ඒ වගේ ම ඒ සමහර වේදිකා නාට්‍ය නැරැඹූ විට මට හැඟුණේ දැනට රූපවාහිනි චැනල්වල යන ප්‍රවෘත්තිවලට වඩා ඒ නිර්මාණවල වෙනසක් නැති බවයි. ඒවා නරඹන විටදියි මට සිතුණේ මා මේ සිටින තැන තවම නිවැරැදියි කියා. ‘සුරඟනපුර’ට නළු නිළියන් තෝරා ගත්තට පස්සේ ඔවුන්ගේ අදහස් අනුව මේ වේදිකා නාට්‍යයේ යම් යම් සංශෝධන සිදු කළා. ඒ සියලු සංශෝධනවලට මගේ එකඟත්වයත් ඔවුන්ට ලැබුණා. මේ වේදිකා නාට්‍යය දේශපාලන ප්‍රහසනයක්.

දේශපාලනඥයන්ව විවේචනය කරන ප්‍රහසනයක් ද?

මේ වේදිකා නාට්‍යයේදි මා කිසිම දේශපාලනඥයකුව විවේචනය කරන්නේ නැහැ. ඒත් මා දේශපාලනය විවේචනය කරනවා. සමහර නාට්‍යකරුවන් පුද්ගලයන් වශයෙන් නේ විවේචනය කරන්නේ. මා එහෙම කරන්නේ නැහැ. ‘සුරඟනපුර’ කියන්නේ හීනයක්.

ඒ හීනේ ‘සුරඟනපුර’ක් බවට පත් වන්නේ කෙසේද?

එහි ඉන්නේ ඇමති කෙනකුයි, එයාගේ පෞද්ගලික ලේකම් හා මැරයෙකුයි. ඔවුන් මිය ගිහින් ඇවිත් තිබෙන්නේ අපායට යන්නයි. එහි දොරටුව ළඟදි ඇමතියට නින්ද යනවා. එවිට අපායට යන්න ඉන්න මේ අය යන්නේ දිව්‍ය ලෝකයටයි. ඒත් දිව්‍ය ලෝකය වුණත් සැබෑ ලෝකයේ තිබුණු සැප සම්පත්, සියලු දේවල් එහි ඇත්තේ නැහැ. නිල නිවාස, නිල රථ, ආරක්ෂකයන් කිසිම දෙයක් එහි නැහැ. දෙවිවරුන්ට ඒ කිසිම දෙයක් නැහැ. මොවුන් ගිහින් ඒ සියල්ලන්ටම පවසන්නේ ඒ සියලු දේ ඔවුන්ට අවශ්‍ය බවයි.

දිව්‍ය ලෝකයට පිවිසෙන ඔවුන් තමන්ගේ සුපුරුදු කාර්යයේ නියැළෙනවා ද?

දිව්‍ය ලෝකයේ තිස්තුන් කෝටියක් දෙවිවරුන් ඉන්නවා. දිව්‍ය ලෝකයේ විවිධ දිව්‍ය ලෝක පහළොවක් පමණ තිබෙනවා. ඔවුන් සියලු දෙනා ම පාලනය කරන්නේ එක් දිව්‍ය පුත්‍රයයි. මේ තුන්දෙනා පවසන්නේ තිස්තුන් කෝටියක් දෙවියන්ව පාලනය කරන්න එක් අයකු ප්‍රමාණවත් නොවන බවයි. අපේ රටේ කෝටි දෙකක් පමණ ජනතාවක් පාලනය කිරීමටත් පාර්ලිමේන්තුවේ සිටින ගණනත්, ප්‍රාදේශීය වශයෙන් සිටින ප්‍රමාණයත් ගැන ඔවුන් එතැනදි සඳහන් කරනවා. එහෙම කියනවා පමණක් නොවෙයි ඔවුන් එතැන පාලන බලයක් අල්ල ගන්නත් සැලසුම් කරනවා. අවසානයේ දන්න සියලු දේම දමා එහේ පාලන බලය අල්ලා ගැනීමට බැරි තැන ඔවුන් කරන්නේ එහි තිබෙන පලතුරු එකතු කර මත්පැන් වර්ගයක් පෙරීමයි. ඒවා දෙවිවරුන්ට බොන්න දීමෙන් පසුව ඡන්දයක් තබා එයින් ජයග්‍රහණය කරන්නටත් මොවුන්ට හැකි වෙනවා. මේ සියලු දේ සිදු වන්නේ හීනයකින්. මෙතෙක් ඔවුන් ඒ සියල්ල සිදුකර තිබෙන්නේ හීනයකින්. මේ පෙන්නුම් කරන ලද්දේ මේ පිරිස දිව්‍ය ලෝකයට ගියා නම් සිද්ධ වන දේයි. ලංකාව කියන්නේ දිව්‍ය ලෝකයක්. ඒ දිව්‍ය ලෝකය අපායක් බවට පත් කර තිබෙන්නේ කවුද? අප කවුරුත් නොවෙයි. පාලකයන් විසින්. ඔවුන් සියලු දෙනාවම ජීවත් කරවන්නේ අපගේ ශ්‍රමයෙන් ගන්නා බදුවලින්. ඇයි ඒ සියලු දේ රට දියුණුවට යොදවන්නේ නැතිව තවත් කවුරුවත් අප ජීවත් කරවන්නේ. ඒක වෙනත් දෙයකට යෙදවිය හැකියි නේ. මේ සියලු දේ මා ‘සුරඟනපුර’ වේදිකා නාට්‍යයෙන් පවසා ඇත්තේ කිසිවකුටත් අපහාස නොකරයි.

වර්තමානයේ නිර්මාණය වන බොහෝ නාට්‍යවල දේශපාලනය ගැන කතා කරනවා

අද අල්පෙනෙත්තක ඉඳන් සියලු දෙයක් ම දේශපාලනයයයි. ඒ නිසා අප සියලු දෙනාම දේශපාලන සත්වයෝ. දේශපාලනයෙන් තොරව මෙලොව කිසිම දෙයක් ඇත්තේ නැහැ. අප අලෙවි වන මිනිස්සු. මේ නිසා ‘සුරඟනපුර’ කියන්නේ දුවන ගණයේ වේදිකා නාට්‍යයක් වේවි.

වර්තමානයේ දුවන ගණයේ නාට්‍ය ප්‍රභේද කිහිපයකට ම බෙදෙනවා

මා මේ නිර්මාණය සම්මාන ගන්න ගණයේ වේදිකා නාට්‍යයක් කියලවත්, දුර්වල ගණයේ වේදිකා නාට්‍යයක් වත් කියලා කියන්නේ නැහැ. අනෙක් කාරණය නම් ඇඟපත හොලවා හොලවා හිනාවෙන හාස්‍ය මේ වේදිකා නාට්‍යයේ නැහැ. හැබැයි සිද්ධිවල හාස්‍ය ගැබ් වී තිබෙන බව මා සිතනවා. ඒත් මිනිස්සු හිනා වේවි දැයි මා දන්නේ නැහැ. මා ඔබට ආරාධනා කරන්නේ මේ වේදිකා නාට්‍යය නැරැඹීමට 27 වැනිදා ටවර් රඟහලට එන්න කියලයි. ඇවිත් එහි හාස්‍ය තිබේ දැයි බලන්න යනුවෙන්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.