ළඟදීම සිංහලෙන් ගයනවා

අපට නුහුරු බටහිරට හුරු ජානක පලාපත්වල
ජනවාරි 10, 2019

අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ අපේ රසිකයන් හමුවට එන ගායකයකු සරසවිය ඔබට හඳුන්වා දෙන්න සූදානම්. නව පරපුරේ ශිල්පියකු වුවද ඔහු මෙතෙක් ගැයුවේ ජිම් රීව්ස්, එල්විස් ප්‍රෙස්ලි වැනි ගායකයන්ගේ ගීත. ඉන් බහුතරයක් රසවිඳීන්න අවස්ථාව ලැබුණේ විදේශීය රසිකයන්ටයි. එහෙත් නොදුරු දිනකදී ජානක පලාපත්වල සිංහල ගීත රසිකයන් වෙනුවෙන් ඔහුගේ හඬ ගීතවත් කරනු ඇති. අපි ජානකගේ ගීතයේ කතාව අසමු.

මම පොඩි කාලේ ඉඳන්ම සින්දු කියනවා. කුරුණෑගල සෙන්ට් ඈන්ස් කොලේජ් සහ නුවර ත්‍රිත්ව විද්‍යාලවලදි ගායන තරගවලින් ජයග්‍රහණය කරලා තිබෙනවා. මගෙන් යාළුවෝ ඉල්ලුවෙත් ජිම් රීව්ස්ගේ හරි එල්විස් ප්‍රෙස්ලිගේ හරි ගීත ගායනා කරන්න කියලා. ඉතින් මටත් හිතුණා ඇයි මම වෘත්තීය මට්ටමින් මේ ගැන නොහිතන්නේ කියලා. මුලින්ම ඊඩ්න් හෝටලයේ තමයි ගීත ගායනා කළේ. ඒත් පවුලේ අය මම හෝටලවල සින්දු කියනවාට ඒ තරම් කැමැත්තක් දැක්වුයේ නැහැ. ඒ නිසා මම කොන්සට්ස් පමණක් තියන්න පටන් ගත්තා. ලංකාවේ පොඩියට පටන් ගත්තාට මට වෙන රටවලින් තමයි ආරාධනා ගලාගෙන ආවේ.

මොන වගේ රටවල කොපමණ කාලයක් ඔබේ ප්‍රසංග පවත්වනවාද?

මම එක දිගටම සංගීත ප්‍රසංග පවත්වනවා ඇමෙරිකාවේ, කැනඩාවේ, එංගලන්තයේ, ඕලන්දයේ වගේම ඕස්ට්‍රේලියාවේත් මගේ ප්‍රසංග සැම වසරකම වගේ පවත්වනවා.

ඔබ සංගීතය හැදෑරුවාද?

මම හඬ පුහුණුවීම් කළා මේරි ඈන් ඩේවිඩ් ගුරුතුමිය යටතේ. ඒ හැර මම සංගීතය විෂයයක් ලෙස හදාරා නැහැ. වෘත්තීය මට්ටම කියලා බොහෝ දෙනා හඳුන්වන්නේ මුදලට ප්‍රසංග පැවැත්වීම වුවත් මම වෘත්තීය මට්ටම කියලා කියන්නේ හරියට යමක් ඉගෙන ගෙන කරන ඉදිරිපත් කිරීම. පිටරට ගිහින් 2014 ආවේ බොහෝ සංගීත සන්දර්ශන, ප්‍රසංග පිළිබඳ අධ්‍යයනයක් කරලා. මෙහෙ ආවට පස්සේ මට ඕනැ වුණේ ඒ මට්ටමට අපේ සංගීතයත් ඉහළ නංවන්න. ඒ සඳහා මම කළේ ගලධාරි හෝටලයේ දැවැන්ත ප්‍රසංගයක් ඉදිරිපත් කිරීම. මොකද මම රට යන්න කලින් වගේම ගිහින් ආවට පස්සේ පවා බටහිර ගීත කලාව අතින් ගත්තත් අපේ ගායකයන් ඒ ගීත ගැයුවේ වාදකයන් තුන් හතර දෙනකුගේ සංගීත කණ්ඩායමක් එක්ක. එතකොට ඒ නියම හඬවල් ගන්න අමාරුයි සංගීත භාණ්ඩවලින් එන. අනෙක ලංකාවේ ගොඩක් ප්‍රසංග කරන්නේ නොටේෂන් එකට වඩා කනෙන් අහලා. එය වෘත්තීය මට්ටම නොවේ. මම තිස් එක් දෙනකුගෙන් යුතු වාද්‍ය වෘන්දයක් එක්ක කලා සූරී හර්ෂ මාකලන්ද මහතාගේ සංගීත මෙහෙයවීමෙන් ප්‍රසංගයක් 2014දි කළා. එය නියම වෘත්තීය මට්ටමින් ස්වර ප්‍රස්තාර ලියලා කළ එකක්. මට ඕන වුණෙත් ඒකයි. ඇත්තෙන්ම මම ඒ ගැන කියන්නේ ලංකාව ගැන අවතක්සේරු කරන්න නෙවෙයි. දුකකින්. මොකද අප යන යන තැන බැන්ඩ් නම් ප්ලේ කරනවා. ඒත් ඔකෙස්ට්‍රා එකක් කියන්නේ එහෙම බැන්ඩ් එකක් නොවන බව අපේ රට හඳුනා ගන්න ඕනා. දෙවැනි එක සුරේෂ් මාලියැද්ද සංගීතඥයා සමඟ 2015 දී. 2018දි දිනේෂ් සුබසිංහ සංගීතවේදියා සමඟ තවත් ප්‍රසංගයක් කළා.

ජිම් රිව්ස්, එල්විස් ප්‍රෙස්ලි වගේ ගී ගයද්දි ඔබේ හඬ වගේම වචන උච්චාරණයත් බලපානවා?

මගේ පවුලේ අම්මයි තාත්තයි නංගීයි අපි පිරිමි ළමයි හතර දෙනයි. අපේ හැමෝටම වගේ සංගීතය පුළුවන්. ඒත් මම තමයි වෘත්තිය ලෙස සංගීතය තෝරා ගත්තේ. මම ගොඩාක් ඉන්ටනෙට් එකෙන් ඉගෙන ගත්තා. මගේ සිංහල උච්චාරණය පිළිබඳ වගේම රාගධාරී සංගීතය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මම හඬ පුහුණුව වගේම උච්චාරණය පුහුණු වුණේ බටහිර, ඉංග්‍රීසි භාෂාව හසුරුවන ආකාරයට. ඉතින් සිංහල ගීත ගයද්දි මම හරියට කරාතේ ඉගෙන ගෙන ඇවිත් බොක්සිං රිං එකට ගිය කෙනෙක් වගේ දැනෙන්නේ. නීති වෙනස්. ඒකට පොඩි පුහුණුවක් කරන්න වෙනවා. ඉංග්‍රීසි උච්චාරණය මට ඉගැන්නුවේ අම්මයි තාත්තයි. ඒ දෙන්නම ඉංග්‍රීසි ගුරු පුහුණුකරුවන්. ඉංග්‍රීසි ජාතික ගායකයකු වුණත්, ප්‍රනන්සියේෂන්, ඉනන්සියේෂන්, ප්‍රොජෙක්ෂන්, මොඩියුලේෂන් කියන දේවල් පුහුණු නොකළොත් හරියට සින්දු කියන්න බැහැ. ඒ වගේම ඩික්ෂන්, වොයිස් කොලිටි, පිචිං, රිදම් සහ ටයිමිං නැත්නම් විදේශීයයන් ප්‍රිය කරන්නේ නැහැ. සිංහල ගීත වුණත් අමරදේවයන්, වික්ටර් රත්නායකයන් කියද්දි ඒ වචන උච්චාරණය, හඬ පෞරුෂය වගේම හැඟීම ආදිය නිසානේ අපි ඒවාට කැමති.

ඔබ සිංහල ගීත ගායනයටත් යොමු වුණා?

ඇත්තටම මම ඉංග්‍රීසියෙන් කියන්නේ අනුන්ගේ ගීත. ලෝකේ කොයි තරම් මා ගැන දැනගෙන හිටියත් මගේ උපන් රටේ මා ගැන දන්නේ නැත්නම් වැඩක් නැහැ. බටහිර සංගීත ක්ෂේත්‍රයේ සිටින සංගීතඥයන් සියයක් පිළිබඳ වෙළුම් දෙකක පොතක් කළ ඉෂාන් බබා ඒකේ දෙවැනි වෙළුමේ මගේ ගැන සඳහන් කරනවා. මට හැමෝම කීවේ මේ රටේ සිංහල භාෂාවෙන් සින්දු කීවේ නැත්නම් වැඩක් නැහැ කියලයි. අනෙක මම සිංහල මනුස්සයෙක්. ඒ නිසා මම මගේම සිංහල ගීත 8ක් මම හොඳම සංගීතඥයන්ගේ සංගීතයෙන් යුතුව ගායනා කළා. ඒවායේ රූප රචනා කරන්න තිබෙනවා. මම මෙහේ නොසිටි නිසා ඒවා තරමක් පමා වුණා. ළඟදීම ඒ ගීත මගේ මෙරට රසිකයන් වෙනුවෙන් එළි දක්වනවා.

හැබැයි මම ‘ලව් යූ බොස්’ කියන ටෙලි නාට්‍යයේ තේමා ගීය ගායනා කළා. ඉතින් සිනමාවටත් එක් වන්න බලාපොරොත්තුවක් මගේ තිබෙනවා.

මොනවද ඔබේ සිංහල ගීත?

එකක් මම රට රටවල සංචාරය කරන නිසා ඒ අවස්ථාවකදී හමු වුණු සුදු තරුණියක ගැන කියැවෙන ගීතයක්. චාමින්ද රත්නසූරිය ලියුවේ. සුදු තරුණියේ මැඩ්රිඩ් නුවර-අඳුරු වීදියේ සීතලේ ගුලි වෙවී.

‘සඳ තරු මල්’ කියන චන්ද්‍රදාස ප්‍රනාන්දු අනෙක් ගීතය(ඔහු ගයා පෙන්වයි) සඳ තරු මල් - පීදෙනා රැ- දවසක් දා - ඔබ ආවා- ආ...දරේ සොයාලා.

ඔබේ අනාගත බලාපොරොත්තු?

දෙවියන් වහන්සේ මට යම් හැකියාවක් දී තිබෙන්නේ මගේ රටට, ජනතාවට එයින් සේවයක් කරන්න. මගේ ගීත ප්‍රසංගවල තේමාවත් සමාජ සේවය. එයින් කියන්නේ ප්‍රසංගයේ සමස්ත ආදායම සමාජ ‍සේවයට යොදවනවා කියන එක නොවේ. ඒත් සමාජයට යම් සේවාවක් කළ හැකි අයුරින් තමයි මගේ ප්‍රසංග පවත්වන්නේ. ඒ වගේම අද රසිකයන් පුරුදු වී තිබෙන්නේ මාධ්‍ය මඟින් දෙන දේ ගන්න. ගීත විතරක් නොවේ, කිරි පිටි වුණත් එහෙමයි. ඒත් හරි ක්‍රමය නම් තමන්ට අවශ්‍ය ‍දේ සොයා යන්න ජනතාව පුරුදු විය යුතුයි. ප්‍රමිතියකින් යුතු දේ රසවිඳීන්න පුරුදු විය යුතුයි. එහි තේරුම අද තිබෙන ගීත සියල්ල ප්‍රමිතියෙන් තොර බව නෙවෙයි. මමත් මේ රටට අලුත් ගායකයෙක්. අද තිබෙන වේගවත් සංගීත රැල්ලට මම එතරම් ප්‍රිය කරන්නේ නැහැ. ඒ නිසා රැල්ලේ ගසා ගෙන නොගොස් ගුණාත්මක දෙයක් කිරීමට බලාපොරොත්තු වන කෙනෙක්. එමඟින් මගේ මව් බිමට යහපතක් කිරීමයි මගේ අපේක්ෂාව.

තිලක් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.