එන්න මඳ නළේ ගොස් පවසන්න දුක මගේ

ජනවාරි 3, 2019

පුංචි බොරැල්ලේ කරුණාරත්න අබේසේකර මාවත දිගේ මද දුරක් යන අපට 'සීගිරි' ය හමු වෙයි. ඒ 'සීගිරි' කැටපත් පවුරේ කොටා ඇත්තේ එකම නමකි. කරුණාරත්න අබේසේකර ඒ නමයි. අප යන්නේ ඒ රාජධාරනියේ වෙසෙන එකම අප්සරාව ස්වර්ණකුමාරි හේරත් හමුවන්නටය.

බොහෝ දෙනා ඇය හඳුනන්නේ ඉරාණි අබේසේකර නමිනි.

නවීකරණය කළ පැරැණි නිවෙසට ඇතුළු වන විටම අපට ඇසෙන්නේ පිරිත් සජ්ඣායනාවකි. සුදු අත්දිග කට්ලොන් හැට්ටයකින් හා අළු පැහැ ලුංගියකින් සැරසුණු ඇය සාදරයෙන් අප පිළිගනී. කවිච්චිය අසල නතර නොවී අප කෑම මේසය දක්වාම යද්දී රවුම් වීදුරු භාජනයක කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, ඉඟුරුපියලි, කුරුඳු වෙන් වෙන්ව තබා තිබෙනු පෙනේ. නිශ්ශංකගේ පින්තූරු ගැනීමේ කාරියට සුදුසු පාට වීදුරු පසුබිම සහිත පුටුවේ ඇය හිඳුවා මම අනෙක් පුටුවක ඈඳී ගනිද්දී ඉඟුරු පියල්ලක්ද කටේ රුවා ගන්නට සිතුණි.

"මොනව හරි කාලා ඉමු" ඇගේ ආරාධනයෙන් අපි දෙදෙනාම පුදුමයට පත් වෙමු.

"අපි ටිකක් කතා කරලාම ඉමු නේද? දැන් උදේට කැව ගමන්නේ." බොහෝම අමාරුවෙන් ඇය වළක්වා ගන්නට අපට හැකි වෙයි.

"මේ ලිපිය ලියන්නේ යුගයක් බිහි කළ මහත්වරුන්ගේ නෝනලා ගැන." මම කතාව ආරම්භ කරන්නට සැරසුනෙමි.

"මම කියවලා තියෙනවා. ඉතින් මට හරි සන්තෝසයි එහෙම කෙනෙක් මටත් ලැබීම ගැන. ඒක මගේ වාසනාවක්. මම කියන්නේ ඒ කෙනාගේ නිවේදන කලාව හරි ගීත රචනය ගැන නැත්නම් ප්‍රසිද්ධිය ගැන නෙවෙයි. ගති ගුණ ගැන. මම හිතාගෙන හිටියා තරමක කාලේ ඉඳන් මගේ පියා වගේ කෙනෙක්... ඒ කියන්නේ ළමයින්ට ආදරේ කරන, පින් කරන්න කැමති, කාටත් එක වගේ උදව් කරන, නපුරුකමක් නැති කෙනෙක් මට ලැබුණොත් හොඳයි කියලා. ඉතින් මට ලැබුණා." ඇය සිනා සෙයි. මමද සිනා සී බාධා කරමි.

"ඉතින් කවම කවදාවත් කේන්ති ගිහින් නැද්ද?"

"ගෙදරදි නම් නැහැ. පිටදි කේන්ති ගිය අවස්ථාවක් දෙකක් ආරංචි වෙලා තියෙනවා"

"අබේසේකර මහත්තයාට කවදා හරි කියලා තිබුණද මම හොයන්නේ මේ වගේ කෙනෙක් කියලා."

"අනේ නැහැ. කිව්වෙත් නැහැ. හෙව්වෙත් නැහැ. හම්බවුණා" ඇය යළිත් සිනා සෙයි. ඒ සිනාවේ මොකක්දෝ දඟකාරකමක සේයාවක් මතු වී වියැකී යයි. තරුණ කාලේ ඳඟකාර වෙන්න ඇති. මම තනිවම සිතමි. එය අවුස්සා ගන්නේ කෙසේද? පැනයක් සහයට ගත යුතුයි.

"ඉබේම හම්බුණා?" උපාය සාර්ථක බව පෙනුනේ එක දිගට කතාවක් අසන්නට ලැබෙන බව දැනීමෙනි.

"මට එච්චර වයසක් නැති කාලෙත් අපි රේඩියෝ වැඩසටහන්වලට ආසාවෙන් කන් දෙනවා. අපේ තාත්තත් ඔය කොයිකත් අහන්න සලස්වනවා. මම ගියේ බම්බලපිටිය හෝලි ෆැමිලි කොන්වන්ට් එකට. අපේ සිංහල උගන්වන ටීචත් කියනවා රේඩියෝ අහන්න කියලා. මොකද උච්චාරණය එහෙම හොඳ වෙන්න. ළමා පිටිය එහෙම අපි හරි ආසාවෙන් අහන්නේ. බණ, සාකච්ඡා, සින්දු වුණත් හොඳ ඒවා නේ. අද වගේ නෙවෙයිනේ.

බෝනික්කෝ සෙල්ලම් එහෙම නතර කරපු කාලේ අපේ යාළුවන්ට තිබුණු ලොකුම තරගය තමයි කාර්වල නොම්බර මුලින්ම දැකලා ඇවිත් පන්තියේ කියන එක. ඉස්සර මේ වගේ පාරේ වාහන නැහැනේ. ඔස්ටින්, ෆෝඩ්, හිල්මන්, ජැව්ලින් වගේ කාර් වර්ගයක අලුත් නොම්බරයක් දැක්කම මමයි ඉස්සල්ලම දැක්කේ කියන එක තමයි තරගෙ. අලුත් මුද්දර. අලුත් සින්දු පී. ඇල්. ඒ සෝමපාලගේ, සුනිල් ශාන්තගේ මුලින්ම අහපු කෙනා ඇවිත් අනෙක් යාළුවන්ට කියනවා. එස්එස්සී පන්තිවලදි රුක්මණි දේවී, එඩී ජයමාන්න ගැන එහෙම අපි හරිම උනන්දුයි. අලුත් රේඩියෝ වැඩසටහන් ගැන මම තමයි ගොඩක් උනන්දු. අනෙක තමයි අපි කැමති දේවල් ගැනත් කියා ගන්න එක. මම කරුණාරත්න අබේසේකරගේ වැඩසටහන් ගැන කියන නිසා යාළුවෝ හිතුවේ මම කැමතිම ඒවාට කියල.

දහම්පාසලක උත්සවයකට තාත්තාට ආරාධනාවක් ලැබිලා මාවයි ලොකු මල්ලිවයි එක්කගෙන ගිය දවසේ පුටුවල නම් ගහලා තිබුණා කරුණාරත්න අබේසේකර එහෙම කියලා. රේඩියෝ එකෙන් ඇහෙන හඬ නිසයි, තේවිස් ගුරුගේලා, කොළඹගේලා වගේ අයත් එක්ක හිටිය නිසායි මම හිතුවේ ගොඩාක් වයසක කෙනෙක් වෙන්න ඇති කියලා. ඉතින් මම ඒකත් ඉස්කෝලේදි කිව්වා. අපේ හිටියා යාළුවෝ හත් දෙනෙක්. ශ්‍රීමා, බුද්ධනී, අයිරාංගනීලා දෙන්නයි, බෙරිල්ලා දෙන්නයි මමයි. ශ්‍රීමයි බෙරිලුයි මට තාම කතා කරනවා. තව දෙන්නෙක් රට. අනිත් දෙන්නා දැන් නැහැ.

විභාගේ ඉවරවෙලා කොන්වන්ට් එකෙන් අයින් වෙද්දි මොනවා හරි මතක හිටින්න දෙයක් කරමු කියලා අපි හත ප්ලැන් කළා. දවසක් මදර්ස්ලට නම් කීවේ නැහැ. ඒත් අනෙක් තරුණ ටීචර්ස්ලට කියලා අපි ඒ කිට්ටුව හෝටෙල් එකකට ගිහින් ලන්ච් අරගෙන අපිම සල්ලි ගෙවලා ආවා ඔන්න මතක හිටින වැඩකට. දන්නැද්ද කෙල්ලො එකතු වුණාම හරි දඟයිනේ." ඇගෙන් යළිත් අර සිනාව මතුවෙයි.

මගේ ඉලක්කය හරි යැමේ සතුටින් මමද සිනාසෙමි.

"ඉතින් මොනවද තව දඟ වැඩ?"

ඒ අතර ඇසුණු පිරිත් සජ්ඣායනය අවසන් විය. පිය ගැට පෙළ දිගේ සුපුරුදු රුවක් පහළට ඇදෙයි. ඒ කරුණාරත්න අබේසේකරයන්ගේ එකම පුත් දිලීප අබේසේකරය.

"කොහොම ඉතින්?" ඔහු සුහද සිනාවකින් අපට සංග්‍රහ කරයි.

"කොහොමද අය්යේ. වැඩට යන්න වගේ?" මම ද පැනයකින්ම පිළිතුරු දෙමි.

"අපි අම්මත් එක්ක පින්තූරයක් අරගෙනම යමු නේද?" නිශ්ශංක රාජකාරිය අකුරටම කරයි. අම්මාගේ පිටුපසින් සිටගත් ඔහු සේයා රුවට පෙනී සිටින්නේ පුත්‍රස්නේහය පිරි මුවකින් යැයි මට සිතේ. ඔවුන්ගේ පසෙක මව්පිය දෙපළගේ මංගල ඡායාරූපයද ඇත. එය කැමරාවට හසු වුවහොත් යෙහෙකි. අම්මා සිප වැඳ යන මේ අපූරු පුතාගේ විලාසය අපට ගෙනෙන්නේ මහත් දයාර්ද හැඟීමකි.

"පුතා බස්සලාම එන්න" මම යෝජනා කරන්නේ අපට සමු දී යන දිලීප දෙස බලා සිටි ඇයගේ සිතිවිලි හඳුනා ගත්තාක් මෙනි.

"වෙනදාට නම් දොර ගාවටම පස්සෙන් යනවා. අද කමක් නැහැ. ඉතින් මම මොකද්ද කිය කිය හිටියේ. ආ..

කොන්වන්ට් එකේ 50 සංවත්සරයදාටත් අපි ප්ලැන් කළා, අනාරාධිතව වෙඩිං එකකට යන්න. ඒ දවස්වල ඩේලි නිවුස් එකේ උපන්දින, මඟුල් ගෙවල්, මරණ ගැන විස්තර දානවා. ජනවාරි 01දාට තිබුණ ඒ වෙඩිං එකට යන්න ඔක්කොම ප්ලැන් කරලා බලද්දි අපේ අම්මලත් ඒකට යනවා. ඒ පාර ඒක අදහස අතහැරියා. අම්මලාට අපේ යාළුවන් විශ්වාසයි. නරකක් කරන්නේ නැහැ කියලා. ඒ නිසා අන්ඉන්වයිටඩ් කියන්නේ නැහැ අපි. යාළුවෙකුගේ එකක් කීවාම යන්න දෙනවා. ඊට පස්සේ ආවා චිත්‍රයි සෝමපාලයි දෙන්නගෙ මඟුල් ගෙදර. ඒකට එක යාළුවෙකුට හම්බුණු ඉන්විටේෂන් එකෙන් අපි ඔක්කොමලා ගියා. අම්මලාටත් කියලා ගියේ. අපට හිටියා බර්ගර් ටීචර්ස්ලා තරුණ අය. ඒගොල්ලොත් කීවා අනාරාධිත කියලා බය වෙලා වගේ ඉන්න එපා සාමාන්‍ය විදිහට හිනාවෙලා කතාකරලා ඉන්න කියලා. ඒක මඟුල් ගෙදරට වගේම මටත් සර්ප්‍රයිස් එකක්. යාළුවෝ සෙට් එක ප්ලැන් කරලා මට නොකියාම කරුණාරත්න අබේසේකරත් ගෙන්නලා. එයාගේ යාළුවා ස්ටැන්ලි වීරසිංහත් එක්ක. ඒ දෙන්නව අපි ඉන්න තැනට ගෙන්නලා මාව බයිට් එකට ගත්තා. සමහරු කියනවා අනෙක් ඔක්කෝටම බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා මෙයාට විතරයි නැත්තේ කියලා. එතකොට නැති අය කැගහනවා ඇයි අපිටත් නැහැනේ කියලා. අය්යෝ... මඟුල්ගෙදර වුණේ මොනවාද කියලාවත් අපි දන්නේ නැහැ."

"මතකද ඉස්සල්ලාම කතා කරපු දේ?" මගෙන් බාධාවකි.

"එයා කීවා මම ලස්සන බ්ලූ කලර් සාරි එකක් ඇඳලා කියලා. එයා කැමතිම පාට නිල් කියලා මම දැනගත්තේ පස්සේ. ඉතින් අනෙක් යාළුවොත් කියනවා අපිත් ඇඳලා ඉන්නේ නිල් පාටම තමයි කියලා. කොහොම හරි අසන්නන්ගේ ඉල්ලීම්වලට කතා කරන්න කියලා රේඩියෝ සිලෝන් එකේ අංකයත් යාළුවෝ ඉල්ලගත්තා. මඟුල් ගෙදරින් එද්දි එයත් මට කීවා කෝල් කරන්න කියලා. මම ලොකුවට හිතුවේ නැතුවට එදා ඉඳන් මට මොකක්දෝ අමුත්තක් හිතට දැනෙන්න ගත්තා. මඟුල් ගේත් නිතරම මතක් වෙනවා.

එදා කතා වුණු විදිහට අයරාංගනී හරියටම හවස 5ට කෝල් කරලා කීවනේ දැන් රේඩියෝ සිලෝන් එකට කතා කරන්න එතන බලාගෙන ඉන්නවා කියලා. හොඳ වෙලාවට ගෙදර කවුරුත් හිටියේ නැහැ."

"කතාකරපුවා මතකද?"

"අපෝ ඔව් පළමුවෙනිම දවසේ ඇහුවේ ඩිඩ් යු ගෝ ටු ස්කූල්? ඉතින් මම යස් කියනවා. ඩිඩ් යූ මීට් යුව ෆ්‍රෙන්ඩ්ස්? යස්. එච්චරයි. දෙවෙනි දවසෙත් ඒ වගේම යාළුවා කතා කරන්න බල කළා. එදා ට වඩා ටිකක් වැඩියෙන් කතා කළා. දවසක් කීවා ඔයා කෙළින්ම මට කතා කරන්නකෝ කියලා. ඔහොම වෙලා අන්තිමට විනාඩි 45ත් කතා කරලා. එයාගේ වැඩසටහන් තියෙන නිසා නැවැත්තුවා නෙවේනම් තවත් කතා කරනවා. පස්සේ ස්ටැන්ලි කීවා ෆෝන් කරලම හරි යන්නේ නැහැ මීට් වෙන්න කියලා. මම ඒ වෙද්දි දේවිබාලිකා එකේ. අපේ ගෙදර තිබුණේ වැල්ලවත්තේ. ඉතින් මම තව කා එක්ක හරි යාළුවකුගේ ගෙදර යනවා. තනිවම කවදාවත් ගියේ නැහැ. එයත් එන්නේ ස්ටැන්ලි එක්ක. ඉතින් ඒ ගෙදර අයයි, මෙයා එනවා කීවම බලන්න එන අයයි ඔක්කොම එක්ක කතා කරල අපිට කතා කරන්න හම්බෙන්නේ චුට්ටයි."

"ඉතින් ගෙවල්වලින් දන්නේ නැද්ද?"

"අපේ ගෙදරින් දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ගෙදරට ප්‍රොපෝසල් එනවා. ඒ හැම දේමත් එයා මට කියනවා. මම ඉඳලා හිටලා කොළොප්පනුත් කරනවා. ඒ වුණාට අපි අතර විශ්වාසය ගොඩ නැඟිලා තිබුණේ. එයාට මම ඉන්නවා කියලා දැනගෙනත් තදින්ම කරදර කරපු ගැනු ළමයාට කියලා එන්න ස්ටැන්ලිත් එක්ක ගියෙත් මට කියලා.

එක සැරයක් කතරගම ගියා අපි දෙගොල්ලොම තවත් යාළුවෙකුගේ ගෙදර නතර වුණේ අම්මලාගේ යාළුවෙක් නිසා. ඒ ගෙදර ඇන්ටිගේ දුවත් මෙයාට කතා කරලා. ඒක නැති වුණ එක ගැන කියද්දි අපේ තාත්තාගේ නමින් අඳුනගෙන මම තමයි ඒකට හේතු වෙන්න ඇත්තේ කියලා. පස්සේ බුද්ධිනීගේ අම්මා කියලා තියෙනවා අපේ අම්මට මේ විස්තරේ. එදායින් පස්සේ මම නිවාස අඩස්සියේ. අම්මලා උඩරට නිසා මෙයාට කැමති වුණේ නැහැ. උසස් පෙළ කරන්න නුවර යවන්න හැදුවා. මම ඒකත් බැ කිව්වා. මට ටෙලි ෆෝන් තහනම්. යාළුවෝ තහනම්. කිසිම ආරංචියක් නැහැ."

"අනේ! ඉතින්?" චිත්‍රපට කතාවක් මෙන් ඇය සිය ප්‍රේම සංග්‍රාමය දිගහරින්නට ගනී.

"රේඩියෝ එකේ මෙයාගේ වැඩසටහන් තහනම්. ඒත් තාත්තා එහෙම අහනවා. මොකද ඒ කාලේ තිබුණේ රේඩියෝව විතරයිනේ යමක් දැනගන්නවත්. ඒ අතර තමයි "එන්න මද නළේ" සින්දුව ගියේ. එදායින් පස්සේ මට රේඩියෝත් සම්පූර්ණයෙන් තහනම්. තාත්තලා දැනගත්තා මේ සින්දුව කරු ලීවේ මටම තමයි කියලා"

"එහෙම කොහොමද හිටියේ?" මට ඉවසුම් නැත.

"විශ්වාසවන්ත අය හිටියා අපට උදව් කරන්න. බැලුන් වෙළෙන්දෙක්. පයිප්ප සුපවයිසර් කෙනෙක්. ඉන්ද්‍රාණි විජේබණ්ඩාරත් ඉඳහිට පණිවිඩ දෙනවා මම ගෙදර ඉන්නවාද නැද්ද එහෙම කියලා. මම ලියුම් ලියලා සති ගණන් බලාගෙන ඉන්නවා විශ්වාසවන්තයෙක් එනකල්. ඒ එන හොඳම විශ්වාසවන්ත කෙනාට තේ අල්ලද්දි, ට්‍රේ එකටයි ඇඟිලිවලටයි මැදින් තියාගෙන ගිහින් ලියුම දෙන්නෙ හොරෙන්. දැන් වගේ සල්ලිවලට පිල් මාරු කරන අය ඒ කාලේ හිටියේ නැනේ. එයා ලන්ඩන් ගියා කියලා මම දැනගත්තේ සන්ඩේ ඔබ්සර්වර් එකෙන්. ඕගොල්ලන්ගේ පත්තර අපට හරියට උදව් කරලා තියෙනවා" මදෙස බලා ඇය යළිත් සිනාසෙයි.

"රට ගිහින් ආවාම?"

"අපේ තාත්තා නැති වුණා. එදා මට දැනුණේ මම සම්පූර්ණයෙන් ලෝකේ තනි වුණා කියලා. පුංචිලා කරුට කැමතියි. ඒගොල්ලො කීවා මෙයා වෙන ප්‍රොපෝසල් එකකටවත් කැමති නොවෙන නිසා මේක කරලා දෙමු කියලා. අන්තිමටම අම්මා කියලා තියෙනවා ඔගෝල්ලන් කැමති නම් කරගන්න කියලා. අම්මලා කතරගම ගියා. මම පුංචිලැ ගෙදර නතර වුණා. ආපහු අම්මලා ආවත් මම ගෙදර ගියේ නැහැ. හේතුව කරු. ඊට පස්සේ අපි බැන්දා. අම්මයි, ලොකු මල්ලියි, ආච්චි අම්මයි හැර අනික් හැමෝම අපේ මඟුල් ගෙදර ආවා. ලොකු මල්ලි කොහොමත් අම්මගේ පැත්තේ. පොඩි මල්ලිට ඒවායේ තේරුමක් නැහැ. 'හිතට හිත පුදාලා එක පණසෙ එකතු විලා ඔබ වින්ද සෝක දුක් ඉවරයි උදා වුණා යෝගේ' ලීවේ අපේ මඟුල් ගෙදරට පස්සේ තමයි."

"හම්මේ ඒක විශාල සටනක්නේ. ඒත් කොහොම හරි දිනුවා නේ?" මම සතුටෙන් අසමි. එහෙත් ඇගේ මුහුණේ මතු වූයේ උපේක්ෂාවකි. මගෙන් වැරැදි යමක් කියැවුණාවත්ද? මම සිතමි.

"දිනුවා නම් තමයි. ඒත් කොච්චර ටික කාලයකටද? අපිට එකට ඉන්න ලැබුණේ අවුරුදු විසිතුනයි. ඒකෙන් අවුරුදු 10ක්ම අපි දරුවො නැතිව හිටියා. ගොඩාක් බෙහෙත් බීවා. බාර හාර වුණා. 'සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ.' සින්දුව ලීවේ ඒ දවස්වල. ඊට පස්සෙ පුතා හම්බුණ දවස්වල තමයි 'දිලීප පොඩි පුතු සනීපයට මෙනි' කියලා කරු ලීවේ. පුතාට අවුරුදු 12ක් වෙද්දි තාත්තා නැති වුණා. දැන් නැති වෙලා අවුරුදු තිස් පහක්. එයත් එක්ක හිටිය කාලෙට වඩා නැතිව හිටිය කාලේ වැඩියි."

මම කතාව වෙනතක හරවමි. "රස්සාවක් කරන්න හිතුවේ නැද්ද කවදාවත්ම?"

"එහෙම හිතුණු වෙලාවල් තිබුණට අවශ්‍යතාවක් වුණෙත් නැහැ, ඒ මතේම හිටියෙත් නැහැ. මට ඕන වුණේ එයාගේ වැඩ ටික කරගෙන ඉන්න. එයා කන්න කැමති දේවල් හදලා දෙන්න. එයා කැමති නිල් පාට ෂර්ට් අඳීන්න. මට වුණත් සාරි තෝරන්නේ එයා. අදත් මම තෝරන්නේ එයා හිටියානම් අකමැති නොවෙයි කියලා හිතෙන සාරි. මම උඩරට නිසා දකුණට පොට තියලා ඔසරිය අඳීනවාට තමයි එයත් කැමති. වැඩි විච්චූර්ණවලට මමත් එච්චර කැමති නැහැ. පුතා වගේ මේ විදිහට නෙවෙයි ගෙදර වුණත් ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් තියලා සරසනවා නම් හරි කැමතියි. එදා පටන්ම අපි වෙනස් නොවී හිටියා. ලියන හුඟක් සින්දුවල අපේ ජීවිතවල සම්බන්දෙකුත් තිබුණා."

"ඒ ලියන සින්දු එහෙම කලින් පෙන්වනවාද හොඳ නරක අහන්න?"

"හුඟක් වෙලාවට පෙන්වනවා. මට ඉතින් එයාට තරම් දැනුමක් නැනේ ඒවා විවේචනය කරන්න. හැබැයි කවදාවත් එයාගේ අතින් හොඳ නැහැ කියන්න සින්දුවක් ලියැවිලත් නැහැ. සඳ වට රන් තරු, මේ ජීවනයේ මුළු සංසාරේ, සරවන බව, ජීවන ගංගා ඉවුරේ, හෙළ ජාතික අභිමානේ වගේ එයාගේ ගීත හැම එකටම වගේ ආසයි. ජෝතියි, ඇන්ජලිනුයි කියන 'ඉර හඳ වැඳලා' අපේ පෞද්ගලික අත්දැකීමක්. ඒ වගේ මොනවා හරි සිදුවීමක් දැක්කාම ඒ වෙනුවෙන් ගීතයක් ලියන පුරුද්දක් එයාට තිබුණා. දැන් ඔසුසල තියෙන තැන ඒ දවස්වල තිබුණේ චයිනීස් කඩයක්. ඒකේ අපි කැමට ගිහින් ඉද්දි වේටර් කෙනෙක් අතින් වීදුරුවක් බිඳුණා කියලා ඒ අය හොඳටම බැන්නා. ඒ වෙලාවෙ තමයි, 'වැඩකරලා ඉවර නොමැත දෙවියනේ' සින්දුව ලීවේ. ගෙදර හිටපු ලිලි අක්කාටත් සින්දුවක් ලියලා තිබුණා. මගේ වැඩේම දැන් ඒ සින්දු ලියපු සී ආර් පොත් හොයලා පිහදලා බලන එක. සමහර ඒවා නම් එවෙලේම කොලේ ලියලා දීපුවා නිසා හොයා ගන්න නැහැ. ඒවා වෙනත් අයගේ නම්වලින් කියන අවස්ථාත් තියෙනවා."

"සින්දු වගේම නිවේදන කටයුතුත් තියෙනවද මතක හිටිය?"

"ඩී එස් මහත්තයා නැති වුණ වෙලාවෙ, බණ්ඩාරනායක මහත්තයා නැති වුණ වෙලාවේ සජීවි වැඩසටහන් මට වගේම ඒ කාලේ හැමෝටම මතක තිබුණා."

"අදත් මතක් වෙනවා?" මම එන ඕනැම පිළිතුරක් බාර ගන්නා නියාවෙන් අසමි.

"ඔව්. මගේ ළඟම ඉඳන් නැති වුණ හැටි මතක් වෙනවා. අවුරුදු පනහේ විතර ඉඳන් එයාට ගැස්ට්‍රයිටිස් තිබුණා. ඩොක්ටර්ස්ලා බෙහෙත් කළා. එදත් වෙන ඩොක්ටර් කෙනකුගෙන් බෙහෙත් ගත්තා. ඒත් හරි අමාරුවෙන් ඇඹරි ඇඹරි වගේ හිටියේ. ඔය කවිච්චියේ හාන්සිවෙලා ඉද්දි, පහුවෙනිදා පුරුදු ඩොක්ටර් ගාවට යන නිසා කලබල වෙන්න එපා කියලා අනෙක් ඩොක්ට පෙත්තක් දුන්නා. පුතාට ඒ වයසෙදිත් කැම කවන්න ඕන. එහෙමත් කරලා නිදියන්න ගිහින් රැ මම පත්තර කියවද්දි මට ටිකක් නින්ද ගියා. ඇහැරලා බලද්දි මෙයා පහළ තට්ටුවට ගිහින් එනවා. සිගරට් එකක් බොන්න ගියා කීවා. ඒකත් පීනස කීවාම පිටරට කට්ටියක් පුරුදු කරපු එකක්. අන්තිමට පුරුද්ද නතර කරන්න බැරුව ගියා. එහෙම උඩට ඇවිත් මහන්සියි කීවා. මල්ලිත් (දයා අබේසේකර) ලන්ඩන් ඉඳන් ඇවිත් හිටියේ. රේඩියෝ එකේ තිබුණා වැඩසටහනක් ගීත රචකයෙක් තමන්ගේ රචනා සමඟ වෙනත් කෙනකුගේ පදරචනාවක් ගැන කතා කරන. ඒ වෙලාවේ ඒකේ කතා කළෙත් 'එන්න මද නළේ' සින්දුව ගැන. කරුට ඒකට හරි සතුටු හිතුණා. එයා කීවා 'ඉට්ස් අ හෝන්ටිං සෝං' (ධ්බ'ඵ ච ඩචභදබඪදඨ ඵධදඨ - ඒක කවදාවත් මතකයෙන් නොයන ගීතයක්) කියලා. මෙයා එහෙට මෙහෙට වෙලාම බෙඩ් ෂීට් එක ඇකිලිලා නිසා මම ඒකත් හදලා දුන්නා. ඒ එක්කම උඩ බලලා දෙපාරක් හුස්ම ගත්තා. මම හිතුවේ නින්ද ගියා කියලා. මට තේරුණේ නැහැ. බලාපොරොත්තු වුණෙත් නැහැ. ඒ ගොල්ලන්ගේ අම්මට තේරිලා මට කීවෙත් නැහැ. මම කොච්චර ෂොක් වුණා ද කීවොත් මට ඇඬෙන්නෙත් නැතුව ගියා. එයා උදව් කරපු අසරණ මිනිස්සු පෙට්ටිය ළඟ වැටිලා අඬපු හැටි මට මතකයි. මම දැන් කැමති එයත් එක්ක සතුටින් හිටිය කාලේ දේවල් මතක් කරන්න විතරයි." ඇය ඇසිපිය බිමටට නවා ගනී. කතාව දිගට නොයා යුතුය.

"අද නිවේදක නිවේදිකාවන් ගැන මොකද හිතෙන්නේ?"

"ඒ අය දක්ෂයි. ඒත් බරක් නැහැ වගේ. අද සින්දු කියන අය ගැන වුණත් පුතා කියන්නෙත් ඒ අය අපේ සින්දු කීවාට කමක් නැහැ කියලා. මොකද ඉදිරි පරම්පරාවල අය මේ ගීත දැන ගන්නේ ඒවා තාත්තාගේ කියලා පවතින්නේ ඒ අවස්ථාව දුන්නොත් විතරයිනේ. ඒත් මාව නම් කවුරුහරි අඳුන ගත්තොත් මිසක කවදාවත් කරුණාරත්න අබේසේකරගේ නෝනා මම කියලා විශේෂයක් බලාපොරොත්තු වෙලත් නැහැ. මම අවස්ථාව ගන්න ඒ බව කියන්නෙත් නැහැ."

"ඇයි ඒ"

"කරූ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම ගෞරවය ඒකයි."

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.