තරු විසුළ රැයක බුහුමන් ලද අරුණ

දෙසැම්බර් 27, 2018

මේ වසරේ පැවැති ටෙලි සම්මාන උලෙළ ත්‍රිත්වයේම හොඳම තිර රචනය සඳහා සම්මානය දිනා ගත්තේ බැද්දේ කුලවමියයි. අරුණ ප්‍රේමරත්නගේ තිර රචනා වන රළ බිඳෙන තැන සහ චෙස් ද මේ ආකාරයෙන්ම වසරේ සම්මානත්‍රයම හිමි කර ගැනීමට හැකි වීම සුවිශේෂත්වයකි. පරිවර්තකයකු, වේදිකා නාට්‍ය රචකයකු මෙන්ම ළමා පොත් රචකයකුද වන ඔහු මෙතෙක් ලියා ඇති ප්‍රාසාංගික ටෙලි තිර නාටක සංඛ්‍යාව විසි තුනක් පමණ වන අතර තාත්තා, පුනරාගමනය වැනි ඔහු තිර රචනා කළ ඒකාංගික ටෙලි නාට්‍ය සංඛ්‍යාව පහක් පමණ වේ. සිහිනයක් පාට කරන්න ටෙලි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාද ඔහුය. අරුණ ප්‍රේමරත්නගේ ප්‍රථම නව කතාව ‘තරු විසුළ රැය’ මේ වසරේ රාජ්‍ය සාහිත්‍ය හා ස්වර්ණ පුස්තක සාහිත්‍ය උලෙළවල අවසන් වටය නියෝජනය කළ අතර ෆෙයාවේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම නව කතාව ලෙස සම්මානයට පාත්‍ර විය. ක්ෂේත්‍ර රැසක අත්දැකීම් සමඟ ඔහු සිය නවකතාව සහ සාහිත්‍යය පිළිබඳ පැවසුවේ මෙවන් අදහසකි.

’තරු විසුළ රැය’ නිර්මාණයට පසුබිම සැකසුණේ කෙසේද?

මම ඉපදුණේ ගමක. මගේ අම්මත් වියළි කලාපයේ. ගැමි සමාජය, ජීවන පැවැත්ම, මානව සම්බන්ධතා පිළිබඳ අත්දැකීම් මට තිබුණා. විවෘත ආර්ථිකයත් සමඟ මේ රටාවේ ලොකු වෙනසක් ඇති වුණා. අන්‍යෝන්‍ය ස්වයංපෝෂිත ක්‍රමය, අත්තම් ක්‍රමය, ගෘහ කර්මාන්ත, සාමකාමී ජීවන ක්‍රමය බිඳ වැටෙද්දි, කුලීකාරයන් බිහි වන්න පටන් ගත්තා. ගමට විශාල වෙළෙඳපොළක් ආවා. විවෘත ආර්ථිකයේ බලපැමක් ලෙසයි 89 ඇති වුණ කැරැල්ලත් මම දකින්නේ. එය මට හොඳට දැනුණා. එයින් මම කියන්නේ නැහැ විවෘත ආර්ථිකය නරකයි කියලා. ලෝකයට අප විවර විය යුතුයි. ඒත් ඒ විවර වීම සිදු වුණේ කෘත්‍රිමව, වෙනස් විදිහකට. ඒ කියලා ගම හොඳයි නගරය නරකයි කියන පටු තැනට එන්න බැහැ. ගැමි සබඳතාවල වුණත් ප්‍රතිගාමී තැන් තිබෙනවා. විවෘත ආර්ථිකයෙන් ඇති වුණු අර්බුදය තමයි 1989දි පුපුරා යන්නේ වෙනස් විදිහකට.

මෙහි ගුරුවරයා බොහෝ දේ නියෝජනය කරන චරිතයක් බවට පත් වෙනවා?

ඔහු ගමක පාසලකට එන්නේ තාත්තාගේ හැසිරීමට සහ අම්මාගේ දැඩි රැකවරණයට විරුද්ධව නිදහස වෙනුවෙන් කරන පෞද්ගලික කැරැල්ලක් ලෙස. දේශපාලන දැක්මක් ඔහුට නැතත් තාත්තා වාමාංශික නිසා එයට විරුද්ධව දක්ෂිණාංශික දේශපාලනය කළා. ඔහුගේ චරිතය ඔස්සේ මම උත්සාහ කරන්නේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනය සමඟ ගැබ්වුණු බලය පිළිබඳ ගමේ තරුණයන්ට තිබෙන විශාල ගැටුම හුවා දක්වන්න. ජන කලාවන් පිළිබඳ උපහාසය, කාන්තාවන් පිළිබඳ දක්වන බලය මේ සියල්ල ඒ ශාස්ත්‍රාලීයබව සමඟ මතුවන්නක්.

උපාලි අප සමාජයේ දේශපාලන ප්‍රවාහයන් සමඟ තරුණයන්ගේ අතරමංවීම දක්වන්න යොදාගත් චරිතයක් ලෙසයි මට පෙනෙන්නේ?

ඔව්. ඔහු ඒ අතරමංවීමට ලක්වනවා වගේම හමුදාවට යැම නිසා බොහෝ වෙනස් වන චරිතයක්. 89 වගේ යුගයක විශේෂයෙන් මිලිටරි සේවයේ යෙදෙන අයගේ ඒ දැඩි වෙනස්වීම් දක්නට ලැබුණා. ඔහු දේශපාලනයෙන් පවා ඉවත් වන්නේ අනෝමා නිසා. අවසානයේ අනෝමාගේ වෙනස් වීම ඔහු මේ තලයට රැගෙන එනවා.

ඔබ චරිත යොදා ගන්නේ පොදු සමාජ විග්‍රහයක් සඳහාද?

මට ඇත්තෙන්ම මගේ නව කතාවෙන් සමාජ විග්‍රහයක් කරන්න හෝ සංකේතවත් කරන්න ඕනෙ වුණේ නැහැ. ඒ පසුබිමේ කතාව ගොඩ නැඟුණත් මම විග්‍රහයකට යන්න කැමති නැහැ. සිංහල සාහිත්‍යයේ අපට ඉගැන්නුවේම සමාජ ප්‍රවාහය විග්‍රහ කරන්න. එයින් අවසානයේ මිනිසුන්ගේ අධ්‍යාත්මය අමතක වනතුරුම විග්‍රහය සිදුවන්න වුණා. ඒ නිස මට ඕනා වුණේ මානුෂීය විදිහට බලා ගුරුවරයාගේ සංකීර්ණ මනෝභාවයන් විග්‍රහ කරන්නයි. ඔහු සුදු කළු මිශ්‍ර වූ අළු චරිතයක් ජීවිතයේ නොලද දෙයක් සොයා යන කෙනකු ලෙසයි ගොඩ නැඟෙන්නේ. ඒ චරිතවල විග්‍රහයත් සමඟ 71 සිට 89 දක්වා සමාජීය බලපැම අමතක කරන්නත් බැහැ.

සම්මාන පිළිබඳ ඔබේ අදහස?

මම විශ්වාස කරන්නේ නැහැ ධාවන තරගයකදි වගේ සාහිත්‍ය නිර්මාණයක එක දෙක තුන තෝරන්න පුළුවන් කියලා. තරගවලට මම ඉදිරිපත් වන්නේ ඕනැම තීරණයකට එකඟවන සිතිවිල්ල මත. විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන්ගේ දෘෂ්ටිය අනුව තීරණ වෙනස් වෙනවා. ඒත් තරගයක් පැවැත්වීමෙන් පාඨකයන්ට හොඳම පොතම නොවුණත් හොඳ මට්ටමේ පොත් පිළිබඳ අවධානය යොමු කරන්න ලැබෙනවා.

විනිශ්චය මණ්ඩලවල අවධානයට ලක්වීමට විශේෂ වට්ටෝරුවක් තිබෙන බවට සමහරු චෝදනා කරනවා?

එහෙම වට්ටෝරුවක් තිබෙන්න පුළුවන්. කොහොමත් සම්මාන උලෙළක් සංවිධානය වන්නේම යම් අරමුණක් ඇතිව. විනිශ්චය මණ්ඩලය තෝරාගන්නෙම ඒ අරමුණ අනුව. ලෝකේ වුණත් සිනමා, සාහිත්‍ය සම්මානවලදි එවැනි වට්ටෝරු ඇතිවෙලා තිබෙනවා. එය වළක්වන්න බැහැ කියන එකයි මගේ අදහස. එයට අකමැති නම් ඉදිරිපත් නොවී සිටිය යුතුයි. හැබැයි ලේඛකයකු විදිහට මම හිතනවා ඒ වට්ටෝරුවලට අනුගත නොවීම තමන්ගේ වගකීමක් කියලා. එයින් සිදුවන්නේ කාගේ හරි උවමනාවකට අපි ලියන්න ගිහින් සාහිත්‍යය පටු වෙන එකයි. මම අත්දැකලත් තිබෙනවා ලංකාවේ සමහර ලේඛකයන් තමන්ගේ නිසර්ගයෙන් එන ශෛලීන් මරාගෙන, භාෂාව, ආකෘතිය වෙනස් කරගෙන සම්මාන උලෙළවල යම් යම් නිර්ණායකයන්ට නතුවනවා. එය මහ අභාග්‍යයක්.

ඔබ නව කතාවේදි ස්වයංවාරණයක යෙදුණාද කියා හිතෙනවා. වාරණය පිළිබඳ ඔබේ දැක්ම?

කලා කෘති වාරණයට මම කොන්දේසි විරහිතව විරුද්ධයි. කලාකරුවකුගේ නිර්මාණයක් වෙන කිසිම කෙනකුට වාරණය කරන්න බැහැ. ඒත් නියාමනයක්, වර්ග කිරීමක් මඟින් විවිධ ශානරවලට, වැඩිහිටි, ළමා, යොවුන් ආදී වර්ගීකරණයකට ලක් කිරීම ගැටලුවක් නොවේ. හුදෙක් සම්භාව්‍ය කලාවම පවතින්න ඕනා කියලා නීතියක් නැහැ. හැබැයි මේ දේවල් මතුපිටින් ගත්තාම සදාචාරය වගේ පෙනුණට අවසානයේ ඒ පිටුපස තිබෙන්නේ දේශපාලනය. මම මගේ කෘතියේ ස්වයංවාරණයක් කළේ නැහැ. යම් යම් දේ පිළිබඳ විස්තර කළේ මට ඕන වන තරමට පමණයි. කෘතිය විසින් ඉල්ලුවා නම් තව දුරටත් ඕනැම කරුණක් පිළිබඳ විග්‍රහ කරන්න මම පැකිලෙන්නේ නැහැ.

ඔබ පරිවර්තකයකු ලෙස වර්තමාන ලෝක සාහිත්‍යය සහ අපේ සාහිත්‍යයේ ගමන් මඟ පිළිබඳ ඔබ මොකද හිතන්නේ?

පාඨකයකු ලෙස තමයි මට මේ පිළිබඳ කියන්න වෙන්නේ. ඇත්තටම ලෝක සාහිත්‍යය සමඟ සසඳද්දි අපි බොහොම පහළින් ඉන්න බව තමයි දැනෙන්නේ. හැබැයි යම් යම් අයගේ උත්සාහන්, ප්‍රවණතාවන් දකින්න ලැබෙනවා. ඒත් විචාරකයන් ඒවා හඳුනාගන්නෙත් හරි අඩුවෙන් කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන් ගුරුකුල ප්‍රශ්නයකුත් තිබෙන බව පේනවා. එක්තරා ගුරුකුලයක් තමයි නිතරම ආධිපත්‍යය දරන්නේ. ඔවුන්ගේ මිනුම් දඬු, නිර්ණායක වුවත් තරමක් යල් පැන ගිය ඒවා හැටියටයි මට හිතෙන්නේ. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය හරහා එන ප්‍රවාහය අලුත්වෙන්න බලාපොරොත්තුවකුත් නැහැ. පාසල්වල සිංහල විෂයය ගත්තත් අප ඉන්නේ පරණ මතවාද හා මිනුම්දඬුවල. ඒවා අලුත් වෙන්න ඕනා. රටක නව සාහිත්‍යයක් බිහිවන්න හෝ සාහිත්‍යය අලුත් වන්න විචාර කලාව ඊට වඩා දියුණුවිය යුතුයිනේ. ලෝක ප්‍රවණතාවන් එක්ක අපේ සාහිත්‍යය මීට වඩා නිදහස් විය යුතුයි, විවෘත විය යුතුයි.

ඔබ නවකතාවට පිවිසෙන්නේ බොහෝ කල් ගොසින්?

ලියන්න කියන්න පටන්ගත්ත කාලේ ඉඳන් නව කතාවක් ලියන්න ආසාවක් තිබුණා. ඒත් පෙලඹුමක් ඇති වුණේ දැන් තමයි. මොකද මන්දා ඒ. හැබැයි පරිවර්තන නිසා මට බොහෝ පරිචයක් ලැබුණා. පරිවර්තනයකදි ඒ කතාව තුළට යමින් පොරබදන්න වෙනවානේ.

සම්මාන දිනූ ‘බැද්දේ කුලවමිය’ නව කතාවක්. වෙන කෙනකුගේ නව කතාවක් පිටපතක් බවට පෙරළද්දී ඔබ යොදන උපාය මොනවාද?

බැද්දේ කුලවමිය වගේම රළ බිඳෙන තැනත් ආනන්ද අබේනායක මහත්මයාගේ ආරාධනයෙන් ලියන ඒවා. මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන්නෙත් ඔහු නිසා. මේ නව කතාව ලියා තිබෙන්නේ රූපා ශ්‍රියානි ඒකනායක. ඇයගේ කතාවෙන් පිටපතක් සකස් කිරීමේදී අපට කිසිම බලපැමකක් කළේ නැහැ. ඒ නිදහස ලොකු හේතුවක් වුණා පිටපත සාර්ථක කරගන්න.

නව කතාව සහ තිරපිටපත කියන්නේ සම්පූර්ණ වෙනස් මාධ්‍ය දෙකකට සැදෙන ඒවා. නව කතාවේ සියල්ලම රූපමාධ්‍යයට ගෙන යන්නත් බැහැ. එවිට යම් යම් දේ එකතු කරන්න සිදුවෙනවා.

ඔබේ ඊළඟ නිර්මාණය ලෙස අපට දෙන්නේ කුමක්ද?

වෘත්තිය පිටපත් රචකයකු නිසා තිර පිටපත් කීපයක් ලියා තබෙනවා. ඒ සමහර ඒවා ටෙලි නාට්‍ය ලෙස ළඟදිම දකින්න පුළුවන් වෙයි. අලුත් නව කතාවකුත් සැලසුම් කරගෙන යනවා. ඉක්මනින්ම ඒවා පාඨක ප්‍රේක්ෂක සහෘදයන් අතට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.