‘බෆලෝ ට්‍රැවල්ස්’ සමඟ සිනමාවට එක්වන

නවීන් සෞම්‍ය
දෙසැම්බර් 27, 2018

වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය යන ත්‍රිත්ව මාධ්‍යන්හි දස්කම් පාන පොඩිත්තෝ දුලබයි. කලා හැකියාවන්ගෙන් පෝෂණය වූ අපේ මේ පුංචි කතා නායකයා ද මේ දිනවල ඉහත කී ත්‍රිවිධ මාධ්‍ය ඔස්සේම අප නෙතු ගැටෙයි. නවීන් සෞම්‍ය වීරරත්න. කලා ලොවට ආදරය කරන කවුරුත් ඔහු හොඳීන් හඳුනයි. නවීන් පුංචි පුතු ඔහුගේ කලා නිර්මාණ, හැකියාවන් ගැන අපිත් එක්ක කතාබහ කළේ මෙලෙසින්.

“මම නවීන් සෞම්‍ය වීරරත්න. මං ඉගෙන ගන්නේ කෑගල්ල පුවක්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ. දැනට ඉගෙනුමෙන් වගේම රංගනයෙනුත් මම මගේ හැකියාවන් දක්ෂතාවයන් ගොඩනගා ගෙන තිබෙනවා.”

නවීන් ඔහුගේ වතගොත ගැන මුලින්ම සඳහන් කළා.

“මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘පූරි’ ‍ටෙලි නාට්‍යයේ මර්තා චරිතය රඟදක්වන්නේ මම යි. ඊට අතරව විකාශය වීමට නියමිත ‘සක්කාරං’ ටෙලි නාට්‍යයේත් ‘ඒමි’, ‘බෝධි’, ‘උරුමයක අරගලය’ ටෙලි නාට්‍යවලත් මම රංගනයෙන් දායක වුණා.

සිනමාව පැත්තෙන් ගත්තම දමිත් ෆොන්සේකා මාමා අධ්‍යක්ෂණය කළ ‘බෆලෝ ට්‍රැවල්’ චිත්‍රපටයේ මම චරිත නිරූපණය කළා. එහි ප්‍රධාන චරිතයක් මං නිරූපණය කළා. ‘විශ්ම’, ‘ශ්‍රී වික්‍රම රාජසිංහ’ චිත්‍රපටවලට මම රංගනයෙන් දායක වී තිබෙනවා.”

පුංචි නවීන් කලාලොවට එක් වන්නේ, අහම්බයෙනි. ඒ ගැන ඔහු මෙලෙස පවසයි.

“මම ශිෂ්‍යත්වයට පෙනී සිටි කාලයේ මට ලකුණු මදි වුණා. මේ කාලයේ අම්මා පුවත්පතක දැන්වීමක් දැකලා තියෙනවා කුරුණෑගල අනුර වරාගොඩ සර් මෙහෙයවන රංග කලා ඇකඩමියක් තිබෙන බව. ඇය මාවත් එයට යොමු කළා. එතැනින් තමයි මගේ කලා හැකියාවන් ඔප් නැංවුණේ. පසුව ‘බෆලෝ ට්‍රැවල්ස්’ චිත්‍රපටයට මාව තේරුණා.” නවීන් පවසන්නේ සතුටිනි.

කලා ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් ගෙන් නිබඳවම ලැබෙන ගුරුහරුකම් මත තවතවත් තම රංගනය දියුණු කර ගන්නට තමාට හැකි වූ බව නිහතමානීව පවසන නවීන් ඔවුන්ගෙන් ලැබෙන උපකාර ගැන ස්තූතිවන්ත වන බව පවසයි. රංගනය නිසාම මගතොටේදී මෙන්ම පාසලේදී ගුරුවරුන් ගෙන් සහ මිතුරු මිතුරියන් ගෙන් ලැබෙන ප්‍රතිචාර විශාල බව ඔහු පවසන්නේ තමාට මෙතැනට පැමිණෙන්නට අතහිත දුන් ගුරුවරුන් ද කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ද ස්තූතිවන්ත වෙමිනි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.