අවුරුදු 25ක් දුෂ්කර දිවියක්

තිස්ස විජේකෝන්
දෙසැම්බර් 20, 2018

බොහෝ දුෂ්කර වනාන්තරවල තමයි මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කළේ. සතුන්ගෙන් සර්පයින් ගෙන් ගහන තැන්වල තමයි අපිට යන්නට එන්නට සිදුවුණේ. මොනතරම් දුෂ්කර වුණත් නිර්භීතව චිත්‍රපටය රූගත කිරීම් කරන්නට අපිට හැකි වුණා.

ටෙලිනාට්‍ය, චිත්‍රපට මෙන්ම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයකු, තිර නාටක රචකයකු මෙන්ම සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ද එමතු නොව කලා ලොවේ නිබඳ සැරිසරන්නකු සහ සොඳුරු නාට්‍ය හා රංග කලා ගුරුවරයෙකු ලෙස ද ඔහු කා අතරත් ජනප්‍රිය චරිතයකි. තිස්ස විජේකෝන් ලෙස කවුරුත් හඳුනන ඔහු ගේ කලා දිවියට සුවිශේෂි වසරකි මේ. තිස්ස ඔහුගේ නවතම කලාතොරතුරු වගේම ඔහුට මෙම වසරේ ඇති සුවිශේෂී බව පිළිබඳවත් කතා බහ කරන්නට පසුගිය දිනෙක සරසවියට ගොඩවැදුණි. මේ ඔහුගේ තොරතුරුයි.

ඔබට සුවිශේෂී වූ වසරක් තමයි නිමාවෙන්නට යන්නේ. ඒ ගැන මුලින්ම කතා බහ කරමු.

මම අධ්‍යක්ෂණයෙන් කලා ක්ෂේත්‍රයට එක්වෙලා දැන් වසර 25 ක් සම්පූර්ණ වෙනවා. 1987 දී තමයි මම කලා ක්ෂේත්‍රයට එක්කාසු වෙන්නේ. ඒ වේදිකාවට, ටෙලිනාට්‍ය කලාවට අත්පොත් තබමින් ඒ වෙනුවෙන් මම විශාල කැප කිරීම් සිදු කළා. මේ වන විට ටෙලිනාට්‍ය කලාවේ හා කලාලෝකයේ දුර ගමනක් මම පැමිණ තිබෙනවා. ඒ සඳහා මට හුඟ දෙනෙක් උදව් උපකාර කළා. ඒ වගේම මගෙන් ශිල්ප උගත් දරුවන් පිරිසක් ද සිටිනවා. මේ සියල්ලම පාදක කර ගනිමින් අවුරුදු 25 ක් සපිරීම උදෙසා කුරුණෑගල තරුණ සේවා සභාවේදී මේ මස 23 උදේ 9.30 ට වයඹ කලාකරුවන් සඳහා සම්මාන සහතික පිරිනැමීමේ උලෙළක් පැවැත්වෙනවා.

ඔබ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල අධ්‍යක්ෂවරයෙක්. ඒ කලා නිර්මාණ ගැනත් කතා කරමු?

මේ වනවිට මම ටෙලිනාට්‍ය බොහෝ ප්‍රමාණයක් ඒ කියන්නේ 20 කට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂකයාට තිළිණ කොට තිබෙනවා. ඒවා ඉතාම ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය කිව්වොත් නිවැරදියි. අධ්‍යක්ෂණයට ප්‍රථම මම ටෙලි නට්‍ය කිහිපයකටම සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණා. අවුරුදු 25 කට වැඩි කාලයක් ලංකාවේ ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් සමඟ ළඟින්ම හිදිමින් ඔවුන්ගේ නිර්මාණවලටත් දායක වෙමින් මගේම නිර්මාණ සඳහා මම යොමු වුණා. ඒ අනුව 1999 දී මම මගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය සිදු කරනවා.

ඒ 'කිණිහිරේ දෝංකාරය' නමින්. එතැන් පටන් සියලුම රූපවාහිනී නාලිකාවල මම අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍ය රැසක් විකාශනය වී තිබෙනවා. ඒ අතර 'විශ්මය', අනුත්තරා, දාදු කැට, සඳ නැති ලොව, හඳපාන, දණ්ඩා, සිහිනයකි ජීවිතේ, මුනි පිනි වරුසා වගේ තවත් බොහෝ ටෙලි නාට්‍ය ප්‍රමාණයක් තිබෙනවා.

ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ද වෙනවා?

ඔව්. මම 'අරගලය' චිත්‍රපටයේ සහාය නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළා. ඉන්පසු අභියෝගය චිත්‍රපටයේ සහාය කලා අධ්‍යක්ෂවරයා ලෙසත් දායක වුණා. ඒවගේ සුවඳ මලක් සුලිසුළගේ හි සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. මේ ආකාරයට වසර ගණනක සිටම සිනමාවට දායක වී ලැබූ අත්දැකීම් හා ඒ පන්නරය උපයෝගී කොටගෙන මගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණ 'ධවලච්ඡත්‍රය' නිර්මාණය වුණා. ඉදිරියේදී එය තිරගතවීමට නියමිතයි. මේ චිත්‍රපටය වයඹ ෆිල්ම් ක්‍රියේෂන්ස් ඉදිරිපත් කිරීමක්.

'ධවලච්ඡත්‍රය' ගැන දැනගන්න කැමැතියි.

මේ චිත්‍රපටය මම නම් කළේ 'හඳ රිද්මයේ දෝංකාරය - ධවලච්ඡත්‍රය' නමින්. මව්පිය සෙනෙහස අහිමි වූ දරුවෙකු ගේ සෙනෙහෙබර කතාන්දරයක් තමයි මෙය. මෙහි කතාව, දෙබස්, තිරරචනය සහ අධ්‍යක්ෂණය කියන සියල්ලම සිදු කළ් මම. මේ චිත්‍රපටයේ කතා තේමාව ගැන කතා කළොත් මෙය අවුරුදු 12 ක පමණ පිරිමි දරුවෙකු වටා ගෙතෙන කතාවක්. පාසලේ බාලදක්ෂ කඳවුරකට වනයට ගොස් සිටිත්දී ඔහුට මුහුණ පාන්නට සිදුවන ඛේදජනක සිදුවීමකින් අනතරුව ඔහුට අත්වන ඉරණම මේ කතාවට පාදක වෙනවා. එය ඉතා අපූර්වත්වයෙන් යුතු කතාවක්. මම හිතනවා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් ඉතාම ආදරයෙන් වැළඳගනීවි කියලා.

කවුරුන් ද මෙයට දායක වන ශිල්පීන්.

මෙයට කැමරා අධ්‍යක්ෂණයෙන් අනිල් මල්ලවාරච්චි, කලා අධ්‍යක්ෂණයෙන් චමින්ද කංකානම්ගේ, ප්‍රවීන් භවන්තක සංස්කරණයෙන් හසිත වීරසේකර සංගීතයෙන් සඳරුවන් බණ්ඩාර, ගීත රචනයෙන් උදය ප්‍රියන්ත කංකානම්ගේ දායක වෙනවා. රංගනයෙන් රිචඩ් වීරක්කොඩි, දමයන්ති ෆොන්සේකා, කුමාර රණපුර, සුගත් රංගන, උදිත් අබේරත්න, වසන්ත කුමාරසිරි, බිංදු බෝතලේගම, අයෝමි පෙරේරා, සමන්ති රාජපක්ෂ, ධනන්ජනී බණ්ඩාර, තරිඳු බණ්ඩාර මඩවල දායක වෙනවා.

ඔබ ගුරුවරයෙක් ලෙසත් කටයුතු කරනවා.

මගේ අත්දැකීම් එක්ක වයඹ පුරවරයේ නවක රංගන ශිල්පීන් වෙනුවෙන් රංගන පාසලක් මම ආරම්භ කළා. එහි බොහෝ සිසු දරුවන් පිරිසක් අධ්‍යාපනය ලබනවා. මේ වන විට එහි දරුවන් 100 ක් පමණ චිත්‍රපට හා ටෙලිනට්‍යවලට දායක වෙනවා.

'ධවලච්ඡත්‍රය' රූගත කිරීම් කළේ කොහෙද?

බොහෝ දුෂ්කර වනාන්තරවල තමයි මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කළේ. සතුන්ගෙන් සර්පයින් ගෙන් ගහන තැන්වල තමයි අපිට යන්නට එන්නට සිදුවුණේ. මොනතරම් දුෂ්කර වුණත් නිර්භීතව චිත්‍රපටය රූගත කිරීම් කරන්නට අපිට හැකි වුණා. ඒ ගැන මෙයට දායක වූ හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.

මොනවද ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු?

ඉදිරියේ හොඳ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දායක වෙන්නට කැමැති අවුරුදු 15 ත් 20 ත් අතර තරුණ තැණියන්ට අවස්ථාව ලබා දෙන්නට මම කැමැතියි. රංගනයට කැමැත්ත ඇති දක්ෂතාවය සහිත දරුවනට මම මෙයට ආරාධනා කරනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.