උත්තර අභිනන්දී ස්වර්ණලතාව යනු මිරැන්ඩා හේමලතාය

දෙසැම්බර් 13, 2018

මෙරට සෞන්දර්ය කලාවෙහි විවධ භූමිකාවනට පණ පොවමින් එය නඟාසිටුවන්නට කටයුතු කළ දැවැන්ත චරිතයක් ලෙස ඇය හැඳීන්විය හැකිය. නර්තන ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ මිරැන්ඩා හේමලතා ප්‍රතිභාපූර්ණ ජේෂ්ඨ නර්තන ශිල්පිනිය , ගුරුතුමිය, මේ වන විට තම දිවි ගමනේ අසූ වැනි වියට එළැඹ සිටින්නීය. ඒ අරඹයා ඈ වෙනුවෙන් ඇගේ ජීවිත කතාව රැගත් "උත්තර අභිනන්දී ස්වර්ණලතාව'' ග්‍රන්ථය දොරට වැඩුම සහ ප්‍රසංගය මේ මස 16 වැනි ඉරු දින සවස 5.30ට කොළඹ 05 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය. මිරැන්ඩා හේමලතා නම් වු මේ අපුර්ව කලාකාරිණිය සමඟ යෙදෙණු කතාබහක් ඇසුරින් සැකසෙන මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ඔබ වෙනුවෙන් දියත් වන මේ උපහාර උළෙල ගැන කැමැතියි මුලින්ම කතාබහ කරන්නට. මම මිරැන්ඩාවන් සමඟ කතා බහට මුල පිරුවෙමි.

'මගේ අසූ වැනි උපන්දිනය වෙනුවෙන් මගෙන් ශිල්ප උගත් පරණම ආදි ශිෂ්‍යාවන් එකතු වෙලා මා වෙනුවෙන් ප්‍රසංගයක් සංවිධානය කර තිබෙනවා. මෙය මට හොර රහසේ තමයි ඔවුන් එක්කාසු වී සංවිධානය කර තිබෙන්නේ. ලංකාවේ වගේම පිටරට ඉන්න ශිෂ්‍යාවනුත් එකතුවෙලා මට සප්‍රයිස් එකක් දෙන්න තමයි ඔවුන් සූදානම් වෙලා තිබෙන්නේ. ටිකක් දවස් යන කොට ඔවුන්ට තේරිලා මට නොකියා මේ ප්‍රසංගය පවත්වන්නට අසීරු බව. ඒ සැරේ බොහො හෙමින් මං ගාවට ඇවිත් කියනවා 'අපි මෙහෙම දෙයක් කරන්නට සැලැසුම් කර තිබෙනවාය' කියලා. මම ඔවුන්ගෙන් පෙරළා ඇසුවේ 'කවුද මේවට අවසර දුන්නේ?' කියලයි. දැන් මැඩම්ට අවුරුදු අසූවක්නෙ. අපි හිතුව මෙහෙම දෙයක් කරන්න ඕන කියලා. ඒ නිසා තමයි මේ විදිහට ප්‍රසංගයක් අපි සංවිධානය කළේ කියලා.'' ඔවුන් මේ සඳහා නැටුම් එහෙමත් පුහුණු වෙලා. ඒ එක එක පන්සල්වල විවිධ තැන්වල. පස්සෙ මම කිව්වා එක එක තැන්වල පුහුණු වෙන්න ඕන නැහැ. මගේ ආයතනට ඇවිත් පුහුණු වෙන්න කියලා.' තම ශිෂ්‍යාවන්ගේ අහිංසක සතුට වෙනුවෙන් ඉඩ දුන් ඇය නිර්ව්‍යාජව තම අදහස් පළ කරයි. මම ඇගේ කතාවට මදක් භාධා කරමි. 'ඔබේ ජීවිත කලාව ඇතුළත් ග්‍රන්ථයක් ද මෙදින එළි දක්වනවා නේද?. ' ඔව්. එයත් අපූරු සිදුවිමක්' ඇය කියයි.

මොකක්ද ඒ

' මගේ දරුවෝ ප්‍රසංගයෙන් නොනැවතී ඔවුන් හිතලා තිබෙනවා මගේ ජීවමාන ප්‍රමාණයේ ලොකු සමරු ඵලකයක් මට එදාට තිළිණ කරන්නට. මගේ 60 වන උපන්දිනය දවසේත් ඔවුන් මට අඩි දෙකක් පමණ උස සමරු ඵලකයක් තිළිණ කළා. මේ බව දැනගෙන අනුර දහනායක මහත්තයා ඔවුන්ට කියලා තිබෙනවා මොකටද ඔය වගේ එකක් දෙන්නේ ඔය වගේ සම්මාන සමරු ළුලක වලින් ගෙදරම පුරවාගෙන ඉන්නවනේ කියලා. ඊට හොඳ නැද්ද ඇයගේ ජීවත කතාව ඇතුළත් පොතක් ලියලා ඇයට එය තිළිණ කරන එක කියලා. ඒ සැරේ මේ පොත කවුරුද ලියන්නේ කියලා ඇහුවම අනුර කිව්වලු මමයි ලියන්නේ කියලා. එතනින් තමයි මගේ ජීවිත කතාව ඇතුළත් පොතක් ලියන්නට පටන් ගත්තේ. කොහොම හරි පොත ලියනකොට මට කතා නොකරම බැහැනෙ. එනිසා මේ ගැන මා වත් දැනුම්වත් කරලා පොත ලියන්න පටන් ගත්තා. " ඔබ වැනි කෙනෙකුගේ ජීවිත කතාව ලියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි? මම පැණයක් නැගුවෙමි.

' ඔව්. සහතික ඇත්ත. මේ නිසා මට මගේ ජීවිතේ අවුරුද අසුවක ලිපිගොණු අවුස්සන්න වුණා. මොකද මගේ ජීවිතේ හරිම හැල හැප්පිලි සහිත ජීවිතයක්. කොන්ද කෙලින් තියෙන කෙනෙකුට මේ රටේ ජීවත් වෙන එක ලෙහෙසි නැහැ. ඒ නිසා මං ගැන වසර අසූවක් පුරා මම අත්විදපු දේවල් ලියන්න ලෙහෙසි නැහැ.'' මීට පෙරදීත් ඇය ගැන කෘතීන් රචනා කරන්න කටයුතු යෙදුණු බවත් එහෙත් ඒ වා අතර මඟ නතරවූ අන්දමත් මිරැන්ඩා හේමලතාවන් පවසන්නේ ඒ අතීතයද සිහිපත් කරමිනි.

'මා ගැන කෘතියක් රචනා කරන්නට අවශ්‍ය වුණේ 1998 දියි. එය ලියන්න මාධ්‍යවේදිනියක් ඉදිරිපත් වුණා. මේ රචනාවේ සංකීර්ණතාවය දුටු ඒ දරුවා අන්තිමේ දි මගේ ගීත නිර්මාණ පිළිබඳ කෘතියක් කළා 'ගී අසිරිය ' කියලා. මා ගැන කෘතියක් කරන්නට අවස්ථා ගණනාවකදී ම ආරම්භ කළත් සමහර නර්තන ශිල්පීන් ගිහිල්ලා ඒ ළමයට තර්ජනය කර තිබුණා.ලිව්වොත් මරනවා කියලා. මම මේ සිදුවීම සඳහන් කලේ මේ රටේ හැටි දැනගන්නයි. අන්තිමේ දි ඒ ළමයා මේ සියල්ල හැර දමා රට යන්න ගියා. ඒත් මෙවර මා ගැන කෘතියක් එළියට එනවා. මම හිතන්නැහැ එයින් ද මා ගැන සියයට විස්සක්වත් කතා ‍බහට ලක්වෙනවා කියලා. එතරම්ම පුළුල් සංකීර්ණ වපසරියක් මගේ ජීවතයේ කතා කළ යුතු තැන් තිබෙනවා.' ඔබ ගැන තවත් කතා කරනවා නම්? මම අසමි.

මම නර්තන ශිල්පිනියක්,නාට්‍ය, මුද්‍රා නාට්‍ය නිර්මාණ ගීල්පිනියක්, රංගන ශිල්පිනියක්, ගුරුවරියක සිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරියක දක්වා මම කටයුතු කළ කෙනෙක්, ගීත රචිකාවියක්. මේ වගේ විවිධ භූමිකා මා සතුව තිබෙනවා. මේ සියල්ල එක් පොතකට ගොනු කරන්න අපහසුයි. ' එය සැබෑවකි. ඇය මේ සමාජයට සිදු කර ඇති සහ සිදු කරමින් සිටින සේවය සුළුපටු නොවේ. ඔබේ කෘතියට යොදා ඇති නමත් අපූර්වත්වයෙන් යුතුයි. 'ඔව්'. මේ නම යෙදීමේදීත් අපුරු සිදුවීම් කිහිපයක් සිදු වුණා. 'උත්තර අභිනන්දී ස්වර්ණලතාව' කියන නම තැබුවේ පාලි ශාස්ත්‍රපති උපාධිය කළ වෛද්‍යවරයෙක්. මිරැන්ඩා කියන නම හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ දෙමළ නමක් කියලයි. මම 1965 දි ඉන්දියාවේදී අරංගේත්‍රම් කළා. ඒකට දේශනයට ආපු ප්‍රධාන කථිකයා වුණේ භරත නාට්‍යම් ගැන හුඟක් දේවල් දන්න කෙනෙක්. එතුමා එදා මගේ නමේ තේරුම කිව්වා. මිරැන්ඩාහේමලතා අයිති පැරැණිම සංස්කෘතීන් දෙකකට කිව්වා. හේමලතා අයිති සංස්කෘතයට, මිරැන්ඩා අයිති ලතින් වලට. ලතින්වලින් එහි තේරුම ඇඩ්මිරබල් කියන එකයි. හේමලතා කියන්නේ ගෝල්ඩන් ක්‍රීපර් කියන එකයි. එතැනින් පස්සේ ඇඩ්මිරබල් ගෝල්ඩන් ක්‍රීපර් ෆ්රොම් සෙලෝන් කියලා පුවත්පත්වල මා ගැන ලිපි පළ වෙන්නට පටන් ගත්තා. මට ඕන වුණා මෙහි සිංහල තේරුම පොතට යොදන්න. මේ සඳහා 'උත්තර අභිනන්දී ස්වර්ණලතාව' නම යෙදුවා. මේ කෘතිය සංස්කරණය කළේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ. මෙම උළෙලෙහි දෙසුම් පවත් වන්නේ මහාචාර්ය සරත් විජේසූරිය . '' ඇය පවසන්නේ සතුටිනි. මිරුන්ඩා හේමලතා වූකලී සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවද මනාව හැසිරිය හැකි ආචාර්යවරියකි. ඇගේ මේ දැනුමින් ඇය ලද ජයග්‍රහණද රැසකි. ' අපි ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනුම ලැබුවේ. එනිසා මගේ ඒ දැනුමෙන් සෞන්දර්ය කලාවට සේවයක් කරන්නට මට හැකි වුණා. උසස් පෙළින් සෞන්දර්යය ඉවත් කරන්න යෝජනාවක් ආවා.අපි එයට දැඩි සේ විරුද්ධ වුණා. එයට කොමිසමක් පත් කළා. අන්තිමට මම නැගිටලා ලෝකෙ හැමතැනම තිබෙන සෞන්දර්යය කලාවන් ගැනත් ඒහි අධ්‍යාපනික වටිනාකම් ගැනත් පහදලා මේ යෝජනාව ඉවත් කරන්න කටයුතු කළා. අදත් සෞන්දර්ය කියන විෂය මාලාව උසස් පෙළට තිබෙන්නේ එදා අපි ඒ ගැන කතා කළ නිසයි. ඒත් ඒ වෙනුවට එදා මට ලැබුණේ සම්මාන ගෞරව නෙමෙයි. මට විරුද්ධව විවිධ කුමන්ත්‍රණයි දියත් වුණේ. ඒත් මම සන්තෝෂවෙනවා මගේ සෞන්දර්යය පිළිබඳ තිබුණු දැනුමයි ඉංග්‍රීසි දැනුමයි නිසා මේ කාර්යය සාර්ථක කරගන්න එදා හැකිවීම ගැන.''

1963 දී ඉන්දියාවට ගොස් භරත නාට්‍යයම් හදාරන්නට හේමලාතාවන්ට හැකිවිණි. ඒ ගැන ඇය පවසන්නේ මෙලෙසයි. ''භරත නාට්‍යම්වලට ශිෂ්‍යත්වයකට දැන්වීම් පළකර තිබුණා. මමත් මෙයට ඉල්ලුම් කළා. වැඩිම සුදුසුකම් තිබුණේ මට. එනිසා එය මට හිමි වුණා. මේ ගැන පාර්ලිමේන්තුවෙත් ප්‍රශ්න කර තිබුණා. භරත නාටයම් ශිෂ්‍යත්වය දෙන්න ඕන දෙමළ කෙනෙකුට ඇයි සිංහල කෙනෙකුට මෙය දෙන්නේ? කියලා. එවකට සිටි අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පවසා තිබුණා මෙය කුල, මල ,ජාතිය ආගමට දෙන එකක් නෙමෙයි වැඩිම දක්ෂතා තිබෙන කෙනාට දෙන්න කියලා. මම ඒ ශිෂ්‍යත්වයට ගියේ මාස තුනක් පමණ පමා වෙලා. මම මදුරාසියේ එයාර්පෝට් එකට යන කොට කවුරුවත් මාව එක්කගෙන යන්න ඇවිත් හිටියේ නැහැ. ඒ ආයතනයට මාව ඔවුන් මගේ තනියට තවත් නෝනා කෙනෙක් ලබා දී රැගෙන ගියා. ඒ ආයතනයේ නැටුම් හදාරත්දිත් මට අසාධාරණකම් සිදුවුණා.මම ඒ ගැන එහි සෞන්දර්ය උපදේශකට ලියා යැවුවා. එවිට ඔහු මට ඉන්දියාවේ ඕනම දක්ෂ ගුරුවරයෙක් යටතේ භරත නර්තනය හදාරන්නට අවකාශ සලසා දුන්නා. ලංකාවෙන් එයට අවසර ලැබුණා. මේ විදිහට ලංකාවෙන් ඉන්දියාවට ගිහිල්ලා භරත නාට්‍යම් හදාරලා එවකට එහිම අරංගේත්‍රම් මංගල්‍යය පැවැත් වු එකම ලාංකික නර්තන ශිල්පිනිය වුණේ මමයි.

අවරුදු අසූවක් තම දිවියට සපිරෙන මොහොතක යළි ඒදෙස හැරී බලද්දී මිරැන්ඩාවන් මෙරටට කළ සේවය පිළිබඳ ලබන්නේ අපමණ සතුටකි. අද ඇය රටට තවත් අගනාම මෙහෙවරක් සිදු කරයි. ඇය මනස සෙමින් වැඩෙන දරුවන් උදෙසා 'දිරි දරු පියස 'නමින් ආයතනයක් කිදෙල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන්නීය. 'සෙමෙන් මනස වැඩෙන දරුවන් දියුණු කරන්න තමයි මම මේ ආයතනය පටන් ගත්තේ. අද මම එයින් ගුරුවරු දෙනෛක් හදලා පාසල්වලට යොමු කර තිබෙනවා. ඒ වගේම ට්‍රේලර්ලා, වඩුකාර්මිකයන් බිහිකර තිබෙනවා. මේ දරුවන්ට පාපිසි හදන්න, මල්හදන්න,මහන්න හොඳට පුළුවන්. ඒ වගේම ලබන වසරේ දරුවන් පස්දෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයට අරිනවා. මේ සියලු දේවල් මම කරන්නේ විශ්‍රාම වැටුප් මඟින් වගේම මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ උපකාරයෙන් සහ නිශ්ශබ්දව උදව් කරන ධානපතියන්ගේ උපකාරයෙන්. ඉන් මම විශාල සතුටක් ලබනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.