ප්‍රියශාන්තන් ආදරණීය සැමියෙක්

නිත්‍යවානි කන්දසාමි
දෙසැම්බර් 6, 2018

2003 වසරේ පැවැති එය සරසවිය සම්මාන උලෙළ ඉතිහාසය මඳකට වෙනස් කළ සම්මාන උලෙළක්ම විය. එවකට දස හැවිරිදි වියේ පසු වූ නිත්‍යවානි කන්දසාමි 2003 සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස අභිෂේක ලැබුවේ සරසවිය සම්මාන උලෙළ වාර්තා පොත අලුතින් ලියමිනි. ඒ අදට වසර 15 කට පෙරය. වසර 15 ක් ගතව තිබුණ ද ඒ වාර්තාව බිඳ හෙළන්නට කවරෙකු වුව ද අද දක්වාම සමත් වී නොමැත. කුඩා දැරිවියක ලෙස හොඳම නිළිය සම්මානය දිනා ගත් නිත්‍යවානි අදටත් පළමු ස්ථානයේ සිටින්නීය. නැවත ඒ සොඳුරු අතිතය මතක් කරන්නට මට සිදු වූයේ කාලය නැමැති සුන්දර මායාව නිත්‍යවානිගේ ජීවිතය යළිත් වරක් වෙනසක් කරන්නට සමත් වී ඇති නිසාය. ඒ කලා ලොවම සතුටට පත් කරමින් නිත්‍යවානි පසුගියදා පතිනියයක ලෙස පති කුලයට පිය නැඟූ නිසාය. සරසවියට විශේෂ ඇය මෙන්ම ඇයට විශේෂ සරසවිය නිත්‍යවානිගේ සොඳුරු කැදැල්ලේ අසිරිය ගැන කතබහ කළේ මෙලෙසයි.

 

ජීවිතේ අලුත් වෙනසක්. මොකද හිතෙන්නේ?

(නිත්‍යවානි සිනාසෙයි) සතුටුයි, ඉතින් හොඳයි. තවම විවාහ වෙලා මසයයි ගත වුණේ.

 

මුලින්ම ඔබ අතගත් ඔබේ ආදරණීය සැමියා ගැන දැනගන්න කැමැතියි?

මගේ මහත්තයා ප්‍රියදර්ශන් ත්‍යාගරාජා. ඔහු වෘත්තියෙන් බැංකු නිලධාරියෙක්. සම්පත් බැංකුවේ තමයි සේවය කරන්නේ.

කොහොමද ඔබ දෙදෙනාගේ හමුවීම සිදු වූයේ?

ඔහුව මට හමු වුණේ මගේ මිතුරියක නිසයි. මගේ මිතුරියගේ මිතුරෙක් තමයි ප්‍රියදර්ශන්. අපි දෙදෙනා මුල්වරට දුටුවේ බම්බලපිටියේ කෝවිලේදී. මම කෝවිලේ පූජාවට යන විට ඔහුත් ඇවිත් හිටියා. එතැනදී තමයි අපි පළමුවරට දුටුවේ. එදා ඇතිවුණු මිතු දම කලක් පැවතුණා. පසුව එය ආදරයකට හැරුණා. විවාහය දක්වාම ඒ ආදර කතාව ගලාගෙන ආවා.

 

කවුද ආදරෙයි කිව්වේ ඉස්සෙල්ලාම?

එයා තමයි (නිත්‍යවානි සිනාසෙයි). ඒ වෙන කොට මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා.

 

ප්‍රියදර්ශන්ගේ ගතිගුණ මොන වගේද?

එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි චරිතයක්. හැම දෙනා එක්කම කතාබහ කරනවා. මම තරමක් නිශ්ශබ්ද චරිතයක් වුණත් එයා එහෙම නැහැ. ඒ වගේම හරිම ආදරණීය සැමියෙක්.

 

මොනවද ඔහුට ඔබ වැඩියෙන්ම සකසා දෙන කෑම?

ප්‍රියදර්ශන්ට මම රොටී තමයි වැඩියෙන්ම හදලා දෙන්නේ. හැබැයි මම මොන දේ හදල දුන්නත් එයා ඉතාම ආසාවෙන් කනවා. අම්ම තමයි ඉතින් තවම මට කෑම හදන හැටි කියලා දෙන්නේ.

 

විවාහයත් එක්ක ඔබ කලාවෙන් දුරස් වෙලාද?

අපෝ නැහැ. මම නිතර දෙවේලේ සිංහල මාධ්‍යවල පෙනී නොසිටියත් රඟ නොපෑවත් නිවේදිකාවක ලෙස තවමත් දෙමළ රූපවාහිනී නාළිකාවල කටයුතු කරනවා. ප්‍රියදර්ශන් වුණත් නිතරම කියන්නේ මගේ කලා හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලයි. ඔහුත් මට උදව් කරන්න හැමවිටම සූදානම්. රංගනය අත හරින්න එපා කියලයි හැමවිටම කියන්නේ.

 

ඒ කියන්නේ නැවත චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක රඟපාන්න ආරාධනා ලැබුණොත් භාර ගන්නවා කියලද?

මෙහෙමයි. මට ගැළපෙන චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒ කලා නිර්මාණයට මම දායක වෙනවා. රඟපාන්න මම කැමැතියි.

 

ඔබ මේ වන විට වෛද්‍ය සිසුවියක් නේද?

මම උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. නමුත් මාව විශ්වවිද්‍යාලයට තේරුණේ ෆිසිකල් අංශයෙන්. මම පිටරටකට වෛද්‍ය විද්‍යාව හදාරන්න යන්න බලාපොරොත්තු වෙන කොට සයිටම් එක වෛද්‍ය උපාධිය පටන් ගත්තා. එනිසා එයට ඇතුළත් වුණා.

මේ වන විට මම කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්නවා. ලබන වසරේදී මගේ වෛද්‍ය උපාධිය ලැබේවි. වෛද්‍යවරියක ලෙස රටට සේවය කරන්නට මම බලාපොරොත්තු වෙනවා.

 

ඔබ සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස වාර්තාවක් තැබුවා. කැමැති ද ඒ අතීතය යළි මතක් කරන්න?

ඇයි නැත්තේ, මම සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළිය බවට පත් වුණේ පුංචි සුරංගනාවී චිත්‍රපටයෙන්. එහි මම චරිත නිරූපණය කළේ සත්‍යා කියන කුඩා දෙමළ දැරිය ලෙසයි. ඒ චරිතය නිරූපණය වෙනුවෙන් තමයි 2003 වසරේ හොඳම නිළිය ලෙස සරසවිය සම්මානය මට ලැබුණේ. ඒ ගැන මම හුඟක් සතුටු වෙනවා.

එදා කුඩා දැරියක ලෙස මම තැබූ වාර්තාව අදටත් බිඳ දමන්නට කවුරුවත් සමත් වෙලා නැහැ. ඒ වන විට මම 'සරෝජා' චිත්‍රපටයේ රඟපා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තිබුණා. සරෝජා චිත්‍රපටය රිලීස් වෙන කොට මට අවුරුදු 7 ක් විතර ඇති. 2003 දී හොඳම නිළිය සම්මානය ලබාගනිත්දී අවුරුදු 10 ක් විතර ඇති. දැන් අවුරුදු 15 ක් ගෙවී ගිහින්. අතීතය දෙස හැරී බලත්දී ලොකු සතුටක් දැනෙනවා.

 

මොනවද ඉදිරි බලාපොරොත්තු?

අපි දෙදෙනා විවාහ වෙලා තම මාසයයි. අපේ වෙඩින් එකට කලා ක්ෂේත්‍රයේ හුඟ දෙනෙක් සහභාගි වුණා. අපිට සුබපැතුවා. ඉතින් අපේ ඉදිරියත් සතුටින් අපි දෙදෙනා ගත කරන්න තමයි හිතාගෙන ඉන්නේ. අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරලා රටට සේවයක් කරන්නයි බලාගෙන ඉන්නේ.

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.