දෝන කමලාවතී සිනමාවට

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගෙන් හෙළිදරව්වක්
දෙසැම්බර් 6, 2018

දශක ගණනක් පුරා මාධ්‍ය ක්ෂේත්‍රයේ නිතර නිතර කියැවෙන නමක් ලෙස ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ හැඳින්විය හැකියි. නිවේදනය, රංගනය මෙන්ම ලිවීමේ කලාව ද මනාව ස්පර්ශ කර ඇති මේ වන විට සමාජය වෙත කර ඇති සේවය ද අගය කළ යුතුය. හැමදාමත් අලුත් අලුත් දෑ සොය යන ඔහු පිළිබඳව, ඔහුගේ නවතම කලා හා මාධ්‍ය කටයුතු පිළිබඳ සරසවිය සමඟ යෙදුණු කතාබහකි මේ.

මොනවද ඔබේ අලුත්ම තොරතුරු?

මේ දිනවල අලුත් පොත් දෙකක් නිකුත් කරන්නට සැලැසුම් කරමින් සිටිනවා. ඒ වගේම චිත්‍ර ප්‍රදර්ශන දෙකක් පවත්වන්නටත් කටයුතු සූදානම්.

මොනවද මේ අලුත් පොත්?

එක් පොතක් චිත්‍ර පොතක්. එය නම් කොට තිබෙන්නේ 'සිරිමත් ගේ සිතුවම්' නමින්. අනෙක් පොත 'වීර අපදාන'. එයින් කතාබහට ලක් වෙන්නේ මෑත කාලයේ අපේ රටේ විරුවන් බවට පත් වූ ශ්‍රේෂ්ඨ චරිත ගැනයි. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි ඒ කාලේ යුද්ධයෙන් මිය ගිය යුද සමයේ අපේ රටට විශාල මෙහෙවරක් කළ යුද විරුවන් ගැන. මම වසර ගණනක් පුරා දිනමිණ, සිළුමිණ පුවත්පත්වලට මොවුන් ගැන ලිපි සැපයුවා. මා ලියන ලද ලිපි 25 ක් පමණ මේ කෘතියට අන්තර්ගත වෙනවා. මේ කෘති ද්විත්වය නොබෝ දිනක එළිදක්වන්නට මම සුදානම් වෙනවා.

ඔබ සිතුවම් අදින්නත් හපනෙක්?

මෙහෙමයි, චිත්‍ර කියන්නෙත් මගේ ජීවිතයේ කොටසක් වගේ. ඒ හැකියාව උරුමයෙන්ම මට ලැබුණු දෙයක්. මේ මස 11 වැනිදාට යෙදෙන මගේ උපන් දිනය නිමිතිකොට ගෙන චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්නට මම සූදානම් වෙනවා. එය බෙයාර් ෆුට් කලාගාරයේදී පැවැත්වෙනවා. ඒ වගේම දෙසැම්බර් 22 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

'කටහඬ' පාඨමාලාව මේ වන විට සාර්ථක වී තිබෙනවාද?

ඇත්තටම මේ වන විට 'කටහඬ' ට වසර විස්සක් සම්පූර්ණ වී තිබෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ ලංකාවේ ප්‍රථම නිවේදක පාඨමාලාව ලෙස මෙය නම් කරන්න පුළුවන්. අද වන විට අපෙන් උගත් දරුවන් ලංකාවේ සෑම මාධ්‍ය ආයතනයකම වගේ සේවය කරනවා. ඒ අතර දෙරණේ කලිදු කරුණාරත්න, විනිෂා වීබැද්ද, සිටි එෆ් එම් හි නිවේදිකාවක ලෙස කටයුතු කරනවා. ස්වාධීන රූපවාහිනියේ ඕෂධී සේනානායක වගේ ගොඩක් දෙනෙක් අද වන විට කටහඬ මාධ්‍ය කේන්ද්‍රය ඔස්සේ නිවේදන කලාවට අවතීර්ණ වී සිටීම මට සතුටට කරුණක් වෙනවා.

ඔබ ඉදිරිපත් කළ සවනට ගී මධු වැඩසටහන එකල ජනප්‍රිය වූවා නේද?

එයත් මේ රටේ ප්‍රේක්ෂක ජනතාව අතිශය ආදරයෙන් වැළඳ ගත් වැඩසටහනක් වුණා. විශේෂයෙන්ම ලංකාවේ නළු නිළි පරම්පරාවේ නිළියන් නිවේදිකාවන් බවට පත් කළේ මුල්වරට මේ වැඩ සටහන ඔස්සේයි. වසර දොළහක් පුරා ඊව්ඹ් රූපවාහිනී සේවයේ විශේෂාංගයක් ලෙස මෙය මම ඉදිරිපත් කළා. විශේෂයෙන්ම සංගීතා වීරරත්න, ඩිලානි අබේවර්ධන, සනෝජා බිබිලේ, ජානකී විජේරත්න, වසන්ති ගුණරත්න වගේ විශාල පිරිසක් මුල්වරට නිවේදන කටයුතුවලට මේ වැඩ සටහනෙන් සම්බන්ධ වූවා.

ඔබ පුවත්පත් කලාවේදියකු ලෙසත් දිගු කලක් කටයුතු කළා. ගෙවීගිය පුවත්පත් කලා දිවිය දැනෙන්නේ කෙලෙසද?

මම පුවත්පත් කලාවේදියෙක් ලෙස වසර ගණනක් කටයුතු කළා. ඒ අත්දැකීම අතිශය මිහිරියි. ඒ වගේම ආපසු හැරී බලත්දී පුදුම සහගත තෘප්තියක් දැනෙනවා. ජීවිතේට අමතක නොවන අත්දැකීම් සමුදායක් ලැබුවා. අද මම මෙතැනට ගෙන ඒමට පුවත්පත් කලාවේදියෙක් ලෙසට මා ලැබූ පන්නරය අතිශය ප්‍රයෝජනවත් වුණා. 1988 - 89 කාල වකවානුවේ ලේක්හවුස් ආයතනයේ දිනමිණ කර්තෘ මණ්ඩලයේ සිටි උප කර්තෘවරයකු ලෙස මම සුවිශේෂී අත්දැකීම් ලැබුවා. දිනමිණ, සිළුමිණ, තරුණී, යොවුන් ජනතා පුවත්පත්වලට විවිධ විශේෂාංග, ප්‍රවෘත්ති, ලිපි ලිව්වා. ඒ වගේම දිනමිණ හි 'වසන්ත තොටුපොළ' කවි පිටුවේ සංස්කාරක ලෙසත් කප්රුක අතිරේකයේ සංස්කාරක ලෙසත් මම කටයුතු කළා. කුවේට් යුද්ධය පැවැති වකවානුවේ පුවත්පතට මම කළ මෙහෙවර අදටත් මට අභිමානයක්. එහි ප්‍රවෘත්ති මම වාර්තා කළේ දිවා රෑ නොබලා ගුවන් තොටුපලේ රැඳී හිඳිමින්. යුද්ධයෙන් අනාථ වී ලංකාවට එන කාන්තාවන් ගැන වගේම භීෂණ යුගයේත් ප්‍රවෘත්ති මම වාර්තා කළා. ඒවා වාර්තාකරණයට ගොස් කඳුළු ගෑස් ප්‍රහාර, මැර ප්‍රහාර එල්ල වූ අවස්ථා එමට තිබුණා. අදටත් ඒ අතීතය ඉතාම රසවත්ව මා විඳිනවා.

වර්තමාන මාධ්‍ය කලාව, නිවේදක නිවේදිකාවන් ගැන ඔබේ අදහස කෙබඳුද?

මම හිතන දෙයක් තමයි මාධ්‍ය කලාවට නිවේදනයට අලුත් පරම්පරාවත් එකතු විය යුතුයි කියලා. ඒ අය ජාතික වගකීම කියන එකත් නිසි ලෙස අවබෝධ කරගෙන මේ ක්ෂේත්‍රයට එක් විය යුතුයි. වටිනා ගුවන් කාලය හිස් වදන් දොඩවමින් ගිරා පෝතකයන් බවට පත් නොවී බරසාර අර්ථවත් යමක් රසවත්ව ජනතාවට ලබාදීම ඔවුන්ගේ ජාතික යුතුකමක් ලෙස මම දකිනවා. අද වන විට සේල්ස් රෙප්ලා නිවේදක නිවේදිකාවන් ලෙස බිහි වී තිබෙනවා. ඒ නිසා මම හිතනවා අද මාධ්‍ය ආයතන පාලනය කරන විද්‍යුත් මාධ්‍ය ජනතාවගේ නිල අල්ලලා මොළ සූරා ගැනීමේ කලාව පැත්තකට විසි කරලා ජනතාවට වගකියන ජනතාවගේ රසඥතාව ඔසවා තබන ස්වභාවිත මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම යුගයේ අවශ්‍යතාවයක් කියලා. මිල මුදලට, තනතුරට, පෞද්ගලික ප්‍රතිලාභ අභියස තම ආත්මය, මාධ්‍ය ගරුත්වය පාවා නොදෙන සැබෑ පිට කොන්දක් ඇති මාධ්‍යවේදීන් රටට අද වැඩි වැඩියෙන් අවශ්‍යයි. ඒ නිසා ඒ තත්ත්වය ඇති කිරීමට 'කටහඬ' අලුත් පරම්පරාවක් බිහි කරනවා. ඒ වගේම පෙර පරම්පරාවට ගෞරව සම්මාන පුද කරන්නත් අපි කටයුතු කළා. ඒ අතර එච්. එම්. ගුණසේකර, ලලිත් එස්. මෛත්‍රිපාල, එරල් රාජපක්ෂ, පාලිත පෙරේරා, බර්ටි ගලහිටියාව, නිව්ටන් ගුණරත්න, ප්‍රභා රණතුංග, නන්දා ජයමාන්න, හඩ්සන් සමරසිංහ, ගැමුණු විජේසූරිය, ජේ. එච්. ජයවර්ධන, වසන්ත කුමාර, ආචාර්ය නන්දන කරුණානායක, සුමනා ජයතිලක, විජය කොරයා, සුමනා නෙල්ලම්පිටිය ඒ අතරින් කිහිප දෙනෙක්. මේ අය වෙනුවෙන් ප්‍රතිභා ප්‍රණාම සම්මාන ප්‍රදානය කිරීම ලබන වසරේ ජනවාරියේ පවත්වන්න නියමිතයි.

මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

බලාපොරොත්තු නම් කිහිපයක් තියෙනවා. ඒ අතරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුව තිබෙනවා. මගේ පියා වන ගුණදාස ලියනගේ මහතාගේ 'දෝන කමලාවතී' නවකතාව සිනමාවට ගෙන ඒමේ බලාපොරොත්තුව තමයි ඒ. එහි මූලික සාකච්ඡා මේ දිනවල කරගෙන යනවා. මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට ගිහින් දැනට කලකට පෙර අතරමඟ නතර වුණා. එය යළිත් සිනමාවට ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 'මෝෂා' නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්නට මම සූදානම් වෙනවා. ජයන්ත රාජරත්නගේ රචනයක් මගේ අධ්‍යක්ෂණයක් ලෙසට කරළියට ගෙන එනවා. ඒ වගේම 'පීලි පනින නහර වැල්', 'නිරුවත් ප්‍රේමය', 'නියඟලා මල්' මීට පෙර මම නිර්මාණය කළ වේදිකා නාට්‍ය. ඒ වගේම වසර විස්සක් පුරා 'කටහඬ' නිවේදක පාඨමාලාවෙන් බිහි වූ නිවේදක නිවේදිකාවන්ගේ ඡායාරූප විස්තර ඇතුළත් තෝම්බුවක් සමරු කලාපයක් ලෙසට ඉදරියේදී එළි දක්වන්නටත් කටයුතු කරනවා. එය 'කටහඬ පෙළහර' නමින් ඉදිරිපත් වෙනවා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.