එක පැත්තක ඩී.එස් අනෙක් පැත්තේ විජේවීර

Lakshman Mendis
ඔක්තෝබර් 25, 2018

නිදහසේ පියා- ච්ඉ සිනමා ශාලා වෙත නිදහස් වුණේ ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇති කරමිනි. ඒ චිත්‍රපට පෝලිම් පැනීම සම්බන්ධවයි. ඊටත් වඩා ආන්දෝලනාත්මක කරුණ වූයේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක හෙවත් එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘවරයාගේ චරිතය නිරූපණයට ලංකා සම සමාජ පක්ෂයේ හිටපු ප්‍රබලයකු වන රෙජී මෙන්ඩිස්ගේ පුතා ලක්ෂ්මන් මෙන්ඩිස් ඉදිරිපත් වීමයි. චිත්‍රපට පෝලිම, දේශපාලන මතවාදය සහ රංගන ශිල්පියකුගේ භූමිකාව පිළිබඳ අපි ප්‍රවීණ ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස්ගෙන් මෙසේ විමසුවෙමු.

කොහොමද ච්ඉ මහත්තයාට ප්‍රතිචාර?

ඉතාම ඉහළයි. බලපු හැම දෙනාම හොයාගෙන ඇවිත් සුබ පතලා යන්නේ. මංගල දර්ශනය දවසෙත්, මාධ්‍යවේදීන්ට චිත්‍රපටය පෙන්වූ දවසේත් ඒ වගේම ඉහළ ප්‍රතිචාර ලැබුණා. හුඟක් දෙනා කියනවා මම තමයි මේකට සුදුසුම කියලා. ප්‍රේක්ෂකයන්ට බාරයි ඉතින් ඒ තීරණය.

යාපනයේ ප්‍රතිචාර කොහොමද?

මට යන්න වුණේ නැහැ. හෙලිකොප්ටර් ප්‍රශ්නයක් නිසා. උදේහි එහෙත් සවස කොළඹත් ඒමේ ගමන් මහන්සිය මට දරා ගන්න බැරි නිසා නොගියට ඩී.එස් යුගයේ දෙමළ දේශපාලනඥයන්ගේ පසු පරම්පරාවල අය මෙයට බොහෝ හොඳ ප්‍රතිචාර දැක්වූ බව ආරංචියි.

ඒ අනුන්ගේ ප්‍රතිචාරනේ. මහාමාණ්‍ය ඩී.එස් සේනානායක චරිතය කරන්න කියල ආරාධනා කළ වෙලාවේ තමන්ගේ හිතෙන්ම මුලින්ම ආ ප්‍රතිචාරය මොකක්ද?

ඒක ලොකුම අහම්බයක්. ජීවිතේ කවදාවත් හිතාගෙන හිටිය දෙයක් නෙවෙයිනෙ. ඔහු දේශපාලනයට ප්‍රබලව සම්බන්ධ පුද්ගලයෙක්, මමත් උත්පත්තියෙන්ම ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වූ රෙජී මෙන්ඩිස්ගේ පුතා. තාත්තලාට විරුද්ධව කටයුතු කළ නායකයකුගේ චරිතය තමයි කරන්න වුණේ. නළුවෙක් හැටියට චරිතය බාරගන්න තමයි ආසාව. ඒත් දේශපාලනය අනුව එක පාර තීරණයක් දෙන්න බැහැ. ඒ නිසා මම සතියක් කල් ඉල්ලුවා. ඒ වෙද්දි පති අයියා, අපි ආදරේට එහෙම කීවට ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජයන්, ජීවතුන් අතර ඉන්නවා. මම ගිහින් ඇහුවා මෙහෙම දෙයක් තියෙනවා මොකද කරන්නේ කියලා. “කරපං” කීවා. තවත් දවස් දෙකක් විතර යද්දි ජයසිරි අයියා, (ඩබ්ලිව්. ජයසිරි) හම්බුණ වෙලේ “මචං මෙහෙම එකක් තියෙනවා” කීවාම, “කරපං යකෝ මරුනේ” කීවා. එහෙම තමයි හිතේ ප්‍රතිචාරය ලබා ගත්තේ.

මේ චරිතයට ආරාධනා ලැබුණේ කොහොමද?

අපි ටවර් රඟහලේ ජයලත් මනෝරත්නගේ ‘හඬ නිහඬ’ වේදිකා නාට්‍යයේ රඟපාමින් හිටියේ. නාට්‍යය අවසන් වුණාට පස්සේ සුනෙත් මාලිංග සහ නිෂ්පාදන අංශයේ හතරපස් දෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා. ඒ වෙලාවෙම උත්තරයක් දුන්නේ නැහැ. විටින් විට අහද්දි තමයි අර විදිහට තීරණය කළේ.

ඒ වෙද්දි අශ්වයො පදින්න දැනගෙන හිටියද?

අපෝ නැහැ. පුංචි කාලේ ගෝල්ෆේස් එකේ පෝනියෝ පිටේ ගියා විතරයි. නිෂ්පාදන කණ්ඩායම තමයි මට සියලු පහසුකම් සපයමින් අශ්වයන් පැදීමේ කඩුල්ලත් ජයගන්න පුහුණු වන්න අවස්ථාව දුන්නේ. මීට අවුරුදු දෙකකට කලින්. ඒ වෙද්දි මට අවුරුදු 61යි. ඒත් අභියෝගය අතහැරියේ නැ. මම ඒ රංගනයටත් සාධාරණය ඉෂ්ට කළා කියලා හිතනවා.

ඒ කිව්වේ?

ඩීඑස් මහත්තයාගේ ඇඳුමේ බඳ පටියක් තිබෙනවා හමුදා අ ැඳුමක වගේ. ලොකු හම්පටියේ යකඩ ගාංචුව කලා දෙපාර්තමේන්තුවෙන් හදලා තිබුණේ මටසිලුටුවට නෙවෙයි. කොන් හතර හරිම තියුණුයි. ෂූට් එකේදි මම අශ්වයා පිටින් බහින්නේ ඉගෙන ගත් නියමිත ක්‍රමයට, අත් දෙක සැදලයේ මොල්ලිය වගේ තැනට තියලා. හැබැයි මට තේරුණා අතේ මහපටැඟල්ල ගාව චුරුස් ගාලා කැපුණා කියලා. ඒත් මම මූණෙන් කිසිම වේදනාවක් නොපෙන්වා දර්ශනය ඉවර වන ඕකිඩ් මල් කඩේ දයාදේව ගාවටම ගියා. කට් කීවාට පස්සේ තමයි ‘මචාං’ කියලා පෙන්නුවේ. පස්සේ දවස් දෙකක් විතර ෂූටින් නතර කරලා බෙහෙත් කළා.

තාත්තාගේ දේශපාලන ඉතිහාසය ඩී. එස්. රංගනයට බලපෑවේ කොහොමද?

තාත්තාගේ සටහන් ලියා තිබීම මට මේ ඉතිහාසය ඉතා හොඳීන් අවබෝධ කරගන්න ලේසි කළා. උදාහරණයක් හැටියට 1940 අවුරුද්ද විතරක් ගත්තත් මේ චිත්‍රපටයේ පෙන්වනවා මුල් ඔය සටන. වතු කම්කරුවන් ස්ට්‍රයික් කරන්නේ ජෙගනාදන් කියලා ගුරුවරයෙක් වෙනත් ප්‍රදේශයකට මාරු කළා කියලා. මාරු කරන්න ඇත්ත හේතුව මනුස්සයා ලංකා සම සමාජ පක්ෂයට සාමාජිකයන්, දෙමළ සහෝදරවරුන් බඳවා ගන්න එක සුද්දන්ට ලොකු ප්‍රශ්නයක් වීම. මොකද සම සමාජ පක්ෂය දිගින් දිගටම විප්ලවවාදී පක්ෂයක්. ඒ අයගේ මුල්ම ව්‍යවස්ථාවෙත් පළමුවෙන්ම තිබෙන්නේ කම්කරු ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. අදත් ඒ ව්‍යවස්ථාව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඒ කම්කරු පන්තියේ ආඥාදායකත්වය පිහිටුවීමට දෙමළ ජනතාවත් එක්කාසු කරගෙන කටයුතු කළ නිසා සුදු අධිරාජ්‍යවාදීන් තරමක් හෙල්ලිලා හිටියේ, පක්ෂයත් සෑහෙන බලවත්. ඇන්ඇම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන වගේ ප්‍රබලයින් හිටියේ. ඔවුන් හිරබාරයටත් ගන්නවා. තාත්තාත් වයස විසි ගාණක ක්‍රියාකාරී තරුණයෙක් ඒ වෙද්දි. තාත්තාවත් දුටු තැන වෙඩි තියනු කියලයි ඉංග්‍රීසි රාජාණ්ඩුවෙන් කියලා තිබුණේ. එක්සත් ජාතික පක්ෂය එන්නේ ජාතික සංගමය හරහානේ. ඒත් 1935 හේ 35 දෙනකුගෙන් තමයි ලංකා සමසමාජය පටන් ගන්නේ. 1936 තමයි සමසමාජ පක්ෂෙ දෙන්නෙක් පාර්ලිමේන්තුවට යන්නේ. ඒ වෙද්දි සෝවියට් සමූහාණ්ඩුව එහෙම හරිම ප්‍රබලයි. ලෝකයේ හැම තැනම සමූහාණ්ඩු එකතු වෙමින් මතය ප්‍රසාරණය වෙමින් යනවා. පකිස්තානයේ බෝඩරයටමත් රතු හමුදාව ඇවිත් ඉන්දියාවට ගහන්න වගේ තිබුණේ. එත් ඉන්දියාවේ ධනපති පන්තිය එංගලන්තේ ධනපතියන්ටත් තර්ජනයක් වන තරමට හරි ශක්තිමත්, කම්කරුවන් කොපමණ හිටියත්. ඒ නිසා ඔවුන්ට පුළුවන් වුණා අහිංසාවාදය කියමින් මහත්මා ගාන්ධි එළියට දාලා මහා පෙළපාලියක් වගේ කල්කටාවෙන් ලොකුවට ගෙනත් ජනතාවගේ නැගී ඒම කපටි ලෙස සමතුලිත කරන්න. ඒවා අපිත් හිතන්න ඕනා. මොකද නිදහස අරගෙන අවුරුදු 70ක් වෙද්දි අපි පස්ස හැරිලා බැලුවොත් මොනවාද කරලා තියෙන්නේ? ඩී එස් ලා හදපු පක්ෂය, ඒගොල්ලන්ගෙන් කැඩිලා ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එයිනුත් වර්තමානයේ කැඩිලා ගිය පොහොට්ටු පක්ෂය මේ ඔක්කොම මොනවද අපේ රටට කළේ කියලා බුද්ධිමත්ව බලන්න වෙනවා ජනතාවට. අපට වඩා දුර්වල රටවල් ඉතාමත් දියුණු වෙලා ඉද්දි අපි පස්සට ගිහින්. එජාපය බලාපොරොත්තු වුණේ මොනවාද? ඩීඑස් බලාපොරොත්තු වුණේ මොනවාද කියන දේත් චිත්‍රපටය හරහා කියන්න වෙනවා. මොකද එජාපය ගැන කතාකරන්න ඩීඑස් නැතුව බෑ. ඒක හරියට රුසියාවේ බෝල්ෂෙවික් පක්ෂය ගැන කතාකරන්න ලියොන් ට්‍රොට්ස්කි හෝ වීඅයි ලෙනින් නැතුව බෑ වගේ තමයි.

අධ්‍යක්ෂවරයා ගැන තිබූ විශ්වාසය?

සුනෙත් මාලිංග ලොකුහේවා කියන්නේ අලුත් දෙයක්, අමුතු දෙයක් කරන්න හිතාගෙන ඉන්න තරුණ විය ඉක්මවන්න සූදානම් කෙනෙක්. ලෝකේ ඒබ්‍රහම් ලින්කන්, මාර්ග්‍රට් තැචර්, මහත්මා ගාන්ධි, ඉන්දිරා ගාන්ධි වැනි චරිත සිනමාවට නඟා තියෙද්දි ලංකාවේ මීට පෙර ඩීඑස් චරිත කෙරී නැති නිසා ඔහුට අවශ්‍ය වුණා එවැන්නක් කරන්න. මෙය කොතරම් සාර්ථකද කියලා තව ටික කලක් යද්දි අපට බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි කවුරු කොහොම කීවත් මෙය දේශපාලන අරමුණක් ඇතිව කළ දෙයක් නෙවෙයි. ඒ බව නම් මම හොඳටම දන්නවා.

ඔබ චරිත තෝරා ගැනීමක් කරන බව පේනවා?

ඔව් මම පහුගිය කාලේ බොහෝ චරිත කරන්න බැහැ කියලා තිබෙනවා. පස්සේ ඒවා දැකලා අඩේ මම කළා නම් මේක මීට වඩා හොඳට කරන්න තිබුණානේ කියලත් හිතිච්ච වෙලාවල් තියෙනවා. එකක් නම් මට වඩා හොඳට ජයසිරි අයියා, කරලා තිබුණා. හඳගමට මම බෑ කියූ හාමුදුරුවන්ගේ චරිතය. මහාචාර්ය සුචරිත ගම්ලත් කියලා තිබුණා දැක්ක හොඳම හාමුදුරු චරිතය ඩබ්ලිව් ජයසිරි කළ ඒ රංගනය කියලා. දිඹුලාගල හාමුදුරුවන් වගේ චරිතයක් නිසා පති අයියා මට බැන්නා ඇයි උඹ බැහැයි කිව්වේ කියලත්.

නිතරම ධර්මසේන පතිරාජයන් හමු වී තීරණ ගන්නේ ඇයි?

තාත්තාගෙන් පස්සේ පති අයියා, තමයි මට ගුරුහරුකම් දෙන්න හිටිය ලොකුම දැනමුත්තා. මට එන ඕනම බැ රෑරුම් දෙයකදි ඉස්සල්ලාම අහන්නෙත් ඔහුගෙන් තමයි මම. අපේ ගෙදර නිතරම එන යන කෙනෙක්. මට ඉස්-ඉස්සෙල්ලාම චලන කැමරාවක් ඉදිරියේ මෙහෙම කරපන් අරහෙම කරපන් කියලා අණ දුන්නෙත් එයා.

ඔබ නළුවෙකු ලෙස රංගනය ගැන හිතන්නේ කොහොමද?

වැඩක් බාර ගත්තොත් අනිවාර්යයෙන්ම අධ්‍යක්ෂට අවශ්‍ය දේ අපි අපේ රංගනයෙන් දිය යුතුයි. අධ්‍යක්ෂ කොයි විදිහට හිතුවත්, මම කොයි විදිහට හිතුවත් ඒ අධ්‍යක්ෂ කියන දේ ඒ රංග භූමියේදී මම කරන්න ඕනා. පිටපතට සාධාරණය ඉෂ්ට කරන්න ඕනා.

මේ චිත්‍රපටයේ පිටපතට සාධාරණය ඉටු කරද්දි දේශපාලන පක්ෂයට, පවුලේ දේශපාලනයට සාධාරණයක් ඉල්ලුවේ නැද්ද?

ඔව්, ඔව්, ඉල්ලුවා. පවුලේ අය නම් නෙවේ. සමසමාජ පක්ෂයේ දුර දිග බලන්න පුළුවන් පිරිසක් මම මේ චරිතය කළාට සතුටු වුණා. ඒත් සමහර උදවිය සම්මන්ත්‍රණවලදි “කෝ මෙතන ලක්ෂ්මන් මෙන්ඩිස් ඉන්නවාද දන්නේ නෑ. ඉන්නවා නම් මම අහන්න හිටියේ තමන් කොහොමද ඩීඑස් ගේ චරිතය රඟපාන්නේ කියලා. එයා දන්නවාද රෙජී මෙන්ඩිස් කියන්නේ කවුද කියලා” වගේ ප්‍රකාශ කරලා තිබුණා.

මේ කෘතියට ඔබේ පියාගේ චරිතය ඇතුළත් වී නැහැ?

ඔව්. ඒත් පති අය්යා කළා ටෙලි නාට්‍යයක් ‘නාඳුනන පුත්තු’ කියලා. එකේ මට තාත්තාගේ චරිතය නොදී නිෂ්පාදන කළමනාකරණය තමයි ඔහු දුන්නේ. මොකද පක්ෂ කාර්යාලය ප්‍රති නිර්මාණය කිරීම ආදි දේවලට සියල්ල දන්න කෙනෙක් වෙන්න ඕනා. උදාහරණයකට ඒ ඊ ගුණසිංහගේ කාර්යාලයට යද්දි එකේ තියෙන්නේ රජ්ජුරුවන්ගෙයි රැජිනගෙයි පින්තූරු දෙක. ලංකා සමසමාජ පක්ෂ කාර්යාලයට යද්දි තියෙන්නේ කාර්ල් මාක්ස්ගෙයි එංගල්ස්ගෙයි ට්‍රොට්ස්කිගෙයි පින්තූරු තුන. ඒවා පිළිබඳ නොදැන හිටියොත් කෘතියම අපරාදේ. හැබැයි ඉතින් මමත් සියල්ලම දන්නේ නෑ. සුළු සුළු වැරදීම් වෙන්න ඇති. ඒත් සමස්තයක් ලෙස අවබෝධයක් තිබිය යුතු නිසා තමයි මට “උඹ මේ දේ කරපං” කියලා ඒ වැඩේ බාර දුන්නේ. අනෙක සම සමාජ පක්ෂෙ ඉතිහාසය කරන්න යද්දි මම ඉතිං රෙජි අය්යගේ පුතා විධියට පක්ෂ කාර්යාලයට යන්නේ. අනුමැතිය ගන්න, පරණ පින්තූර ඉල්ලගන්න ලේසියි. ඒ අය කැමැත්තෙන් මට ඒ දේවල් වගේම සහයෝගය දුන්නේ.

ඊළඟට සුදත් මහදිවුල්වැව කළා ‘දණ්ඩේ ලූ ගිනි’ ඒත් මට තාත්තාගේ චරිතය දුන්නේ නෑ. හැබැයි මම සතුටු වෙනවා සමස්ත ද්‍රවිඩ ජනතාවම නියෝජනය වන මලයාලි කම්කරුවකුගේ දිගු චරිතයකට මාව යොදා ගැනීම ගැන.

නාඳුනන පුත්තුවලට ඔබේ පියා සම්බන්ධ කාර්යාලවලින් සහාය දුන්නා වගේ නිදහසේ පියාගේ ඉතිහාසය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ කාර්යාලයෙන් සහාය ලැබෙන්න ඇති?

මෙහෙමයි. මේ චිත්‍රපටය කළේ පක්ෂයෙන් නෙවෙයිනේ. උදාහරණයක් හැටියට අපි ගියා රන්මිහිතැන්නේ ෂූටින්වලට. එතනදි එක්සත් ජාතික පක්ෂයෙන්ම මෙය කළා නම් තව සෙනඟ යොදලා පුරවන්න තිබුණා කියලත් හිතෙනවා, අවංකවම කීවොත්. මේ චිත්‍රපටයේ සමහර තැන්වල මටත් ඒවගේ අඩුපාඩු පේනවා. ඇත්තටම කීවොත් කවුරු චිත්‍රපටය කළත්, පක්ෂය දැනගන්න ඕනා තමන්ගේ පක්ෂයේ නිර්මාතෘවරයාගේ චරිත කතාව කරද්දි උදව් කරන්න. අඩු ගානේ හරියට කෙරෙනවාද කියලාවත් සොයා බලන්න. ඒ බව හොඳටම දැනුණේ බෝගම්බර හිරගෙදරදි. අපි එක පැත්තක ෂූටින් කරනවා ඩීඑස්. ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පැත්තේ ෂූටින් කරනවා විජේවීර. ඒ අය සම්පූර්ණයෙන් පක්ෂයේ අනුමැතිය එක්ක ඒවා හොයලා බලලා, බෝගම්බර පැත්තේ ඉන්න උද්වේගකර පාක්ෂිකයන් සියලු දෙනා එතැන රොක්වෙලා පාරවල සෙනඟ පාලනය කරනවා, වාහන නවත්වනවා හරි උනන්දුවක් තිබුණා. අපි නිකං ගිහින් පිටස්තරයෝ ටිකක් වගේ මොකෙක්වත් නැතුව ඔහේ හිරගෙදර අස්සේ අපිට අපි විතරයි හරි අසරණයි. අපි ඒවා දැක්ක නිසා තමයි කියන්නේ මේකට කාගේ වත් පිහිටක් තිබුණේ නැහැ කියලා.

එත් මෙහි ප්‍රධාන නිෂ්පාදකයා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා?

ඔව්. පුරවැසි බලයේ අපි ඉන්න කාලේ අපේ දැඩි විවේචනයට ලක් වුණා එතුමා. අගමැතිතුමා එක අවස්ථාවක තීරණය කළා එතුමාව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්න. පස්සේ අපට ආරංචි වුණා ජනාධිපතිතුමා විසින් එතුමාව යළි පත් කළා කියලා. සංස්කෘතික ඇමතිවරයා ලෙස පත් වීම චිත්‍රපටයට තවත් පහසුවක් වුණා කියලා මම අවංකව හිතනවා. ඒ ගැන චෝදනාවකුත් ආවා.

සුනෙත් මාලිංග මා සමඟම සරසවියට කළ සාකච්ඡාවකදී කීවා ඇමතිවරයාගේ අස්සනින් එක තුණ්ඩු කෑල්ලක් හරි පෙන්නුවොත් චිත්‍රපටය ඉවත් කර ගන්නවා කියලා?

ඇමතිවරයාගේ අස්සනින් මුකුත් ඕනේ නෑනේ. එතුමා එතන ඉන්නවා කියලා දැන ගත්තාම ඇතිනේ. ඒකයි මම පහසුවක් වුණා කියලා කියන්නේ.

ඔබ මොකක්ද කියන්න හදන්නේ?

මේකයි, පාලකයෝ දැන ගන්න ඕනා චෝදනාව එන්නේ පෝලිම පැන්නා කියලා නම් මෙතැන ඉඳලාවත් මේ ප්‍රශ්නය විසඳන්න. තරුණ පිරිසක් ඉන්නවා හතළිස් දෙනකුගේ විතර චිත්‍රපට කරලා පෙන්න ගන්න බැරුව. මමත් ඒවායේ හතරක පහකම රඟපාලත් තිබෙනවා. ඉතාම විශිෂ්ට නිර්මාණත් කීපයක් තිබෙනවා ඒ අතර, මෑත කාලේ අද්විතීය අධ්‍යක්ෂවරුන් ලෙස සලකන අයගේ නිර්මාණවලටත් වඩා ප්‍රශස්ත ලෙස කෙරුණු. ඔවුන්ට දැන් අවස්ථාවක් දෙන්න ඕනා. මොකද තරුණ ප්‍රශ්න කියන දේවල් ලංකාවේ හරි භයානකයි.

ඔබ සරසවිය සම්මාන ලාභියෙක්?

දෙමෝදර පාලම 1996 නැඟී එන නළුවා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ මාත් එක්කම මැණික් බිස්නස් කළ මගේ සමීපතම මිතුරෙක් විනිල්. අපි දෙන්නා එකම ගලට ලංසු තියනවා. එයා චිත්‍රපටයක් කරනවා කීවාම මමත් කීවා එහෙනම් මමත් එකක් කරනවා කියලා. අපි රණ්ඩු වෙන්නේ හරියට පොඩි ළමයි වගේ. මම හිටියේ බුංගිරි කන්ද කියලා ලස්සන තැනක. 89 ජවිපෙ කලබල කාලේ අපේ අල්ලපු ගෙදර මහත්තයාගෙ බෙල්ල කපලා මැරුවා කවුද පිරිසක්. ඒ වෙද්දි මමත් ඒ වෙලාවෙ ජවිපෙ කියාගෙන ආ කොටස් එක්ක කතා බහ කරලා විමසමින් හිටියේ විජේ අය්යව (විජය කුමාරණතුංග) මැරුවේ ඇයි වගේ ඒවා. මට තේරුණා මේ එන්නේ හොඳ පොටකට නෙවෙයි කියලා තියෙන අඩුම කුඩුම ටිකත් අරගෙන පැන්නා කොළඹට. මගේ පාසල් වේදිකාවේ ඉඳන් පුහුණු කළ රංගන කාර්යයන් පති අයියාගේ සිනේ වීඩියෝ එක්ක කරගෙන ගියා. විනිල්ගේ චිත්‍රපටයත් මුහුරතින් පස්සේ කල් යමින් තිබුණේ. මට ඇවිත් කීවා මචං මේක අපි කරමු කියලා. මම පොරොන්දුවක් පිට ඒක බාරගත්තා. පොරොන්දුව මේ චිත්‍රපටයෙන් පස්සේ පතිරාජට චිත්‍රපටයක් දෙන්න ඕන කියලා. හා කීවට අද වෙනකල් ඒක වුණේ නෑ. ඒකෙන් යාළු කමට මුකුත් වුණෙත් නෑ.

 

කොහොමද අත්දැකීම?

ඒකේ රඟපාන්න තිබුණේ මහා නළු ගාමිණී ෆොන්සේකා සමඟ. මම චිත්‍රපටයේ නිෂ්පාදන සම්බන්ධීකරණ නිලධාරියා. පළමු දවසේ හෝටලේ ලොබි එකේ ගාමිණි අයියා පිටපත බලනවා බැනියමයි කලිසමයි පිටින්. මම ෆුල් සූට් එකෙන් හිටියේ. මම නිකං පිටිපස්සෙන් එබිලා කීවා ඔකේ බ්‍රයන් කියන චරිතෙ කරන්නේ මම කියලා. ගාමිණි අය්යා හැරිලා ඇස්බැම උස්සලා බැලුවා. “ආ.. හොඳයි” කීවා. ඔක්කොම ඉවරවෙලා සම්මානෙත් හම්බෙලා දවස් තුන හතරකින් මට ලියුමක් එනවා උතුරු - නැඟෙනහිර ආණ්ඩුකාරවරයාගෙන්. ‘සරසවිය සම්මානය ලැබීම පිළිබඳ මගේ සුබාශිංසනය. ඒ වගේම හෙළ සිනමාවේ අනාගතයේදී තවතවත් වර්ණවත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. මීට ගාමිණි ෆොන්සේකා’ කියලා. එය ඔහුගේ විශිෂ්ට ගුණයක්.

 

ඔබ රංගනයට ප්‍රවේශ වන්නේ?

පාසල් වේදිකාවෙන්. අපෙ මහ ගෙවල් මේ පොල්හේන්ගොඩනේ. ඒ දවස්වල කොලු කාලේ අපි ක්‍රිකට් ගහන්නේ ඔය හැරෙන තැන පිට්ටනියේ. එතනින් විජය කුමාරතුංග පයින් යනවා එයාගෙත් නැඟීගෙන එන කාලේ, පීබී ඉලංගසිංහගේ කාමරේ කලාකරුවන් එක්රොක් වන ප්‍රසිද්ධ තැන ඉඳන් මාලනී අක්කා (ෆොන්සේකා) ඉන්න දිහාට. කොල්ලො රංචුවම විජේගේ පස්සෙන් දුවනවා. මමත් බලන් ඉන්නවා මේ මොකද යකෝ මේ කියලා. මම ඉතින් රාජකීය විද්‍යාලයේ නාට්‍ය තරගත් දිනලා නිසා ආසාවකුත් තියෙනවා මේ තරම් නළුවකුට ජනප්‍රියත්වයක් එන්නේ කොහොමද කියලත්. ඉස්කෝලෙන් පස්සේ රස්සාවකට යනකල් රස්තියාදු ගහන කාලෙ තමයි ඔය. ඒ අතර මමත් එතැනට සෙට් වෙලා ධර්මසේන පතිරාජලාත් එක්ක දැඩි මිතුරුකමකුත් ඇති වුණා. අවුරුදු ගාණක් චිත්‍රපටත් කර ගන්න බැරුව ඉද්දි සිනෙවීඩියෝ පටන් අරන් කළ මුල්ම ටෙලි නාට්‍යය ගඟුලෙන් එගොඩට. ඕක ගැන කතා කර කර ඉද්දි පති අය්යා එක පාරටම කීවා අඩේ උඹ හොඳයි සිරිසේනගේ චරිතෙට කියලා. එහෙම තමයි පීබීගේ කාමරෙන් මම ටෙලි නාට්‍යවලට ආවේ. හැබැයි මම ක්ෂේත්‍රයට ආවේ ටිකක් ප්‍රමාද වෙලා. අවුරුදු 29න් විතර. අද වෙද්දි ටෙලි නාට්‍ය 70ක්, චිත්‍රපට 20ක් වේදිකා නාට්‍ය 20ක් විතර ඒ වගේම ගුවන්විදුලි නාට්‍යත් තාම කරනව

ඔබ වඩාත් කැමති?

සමහර විට මගේ රැකියාවන් නිසා මඟ හැරුණත්, සමහරවිට ටෙලි නාට්‍ය රැසකට දායක වුණ නිසා නිසි විදිහට යෙදෙන්න බැරි වුණත් මට හිතෙනවා මගෙන් වේදිකාවට වුණු සේවය මදි කියලා. ඒ නිසා මේ දිනවල හඬ නිහඬ වේදිකා නාට්‍යයට සහ අකිරා කුරසෝවාගේ රෂොමොන් ඇසුරෙන් ජයලත් මනෝරත්න කරන ඉතාම බැරෑරුම් වූ රෂොමොන් වේදිකා නාට්‍යයත් කරනවා.

අලුත් චිත්‍රපටවලටත් සම්බන්ධ වුණාද?

චිත්‍රපට නම් 6ක් පමණ කළා. ඒ අතරින් මම හිතන්නේ අග්නිදිග ආසියාවේ පළමුවැනි වතාවට ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස කැලණිය සරසවිය තමන්ගේ පාඨමාලාවක අවසන් පැවරුම ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට චිත්‍රපටයක් සඳහා මුදල් ලබා දෙනවා. එයට තවත් අයගේ මූල්‍ය සහායත් ලබාගෙන චිත්‍රපටයක් හදනවා. එය දැන් හඬ කවලත් ඉවරයි. එය ශාලාවට ගෙන ඒම දැන් චිත්‍රපට සංස්ථාවේ පාලනාධිකාරියට සහ ජ්‍යෙෂ්ඨයන්ට බාරයි. මම මුලින් කීවා වගේ මේ දේ බෙදා හැරීම් කාර්යය ඔවුන්ට කර අරින්න බෑ. තරුණයින්ගේ සිත් පාරන්න හොඳ නෑ. අපට පේනවා මේ තරුණයින් වැටී ඇති අසරණ බව. මිථ්‍යාවට එරෙහිව දේශනා කළ බුදු රජාණන් වහන්සේ පවා අන්ධකාරයට, අවිද්‍යාවට එරෙහිව එය පරාජය කළා. ඒ වගේ සිනමාවේ මේ අන්ධකාරයට එරෙහිව කටයුතු කරන්නම ඕනා. ඒ ගැන කතා කරන්නමත් ඕනා. නැත්නම් අපට කවදා හරි ඔවුන් ශාප කරාවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.