නලින් ලුසේනා නොකියා හිටපු දෙයක් කියයි

ජුනි 20, 2019

පසුගියදා පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම කෙටි නාට්‍ය අතරට නලින් ලුසේනාගේ නවතම කෙටි නාට්‍යය වන ‘නොකියා හිටපු දෙයක්’ ද පැමිණිනි. මේ වන විටත් වේදිකාවේ සම්මාන රැසකට උරුමකම් කියන නලින් ලුසේනා මේ සැරසෙන්නේ නවතම කටයුත්තකට මුල පුරන්නට ය. ඒ මේ 22 වැනිදා කෙටි නාට්‍ය ත්‍රිත්වයක් වේදිකා ගත කිරීම සඳහායි. මේ කටයුත්ත පිළිබඳත්, නලින් ලුසේනාගේ ‘නොකියා හිටපු දෙයක්’ කෙටි නාට්‍යය පිළිබඳත් සරසවියට ඔහු මෙලෙස කතාබහක නිරත වෙයි.

මේ පැවැත්වෙන නාට්‍ය උලෙළ මොකක් ද?

2019 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම කෙටි නාට්‍ය තුනයි එදිනට බොරැල්ල නාමෙල් - මාලිනි පුංචි තියටර් එකේදි වේදිකා ගත වන්නේ. මගේ නාට්‍යය ‘නොකියා හිටපු දෙයක්’, ඉන්දික සඳරුවන්ගේ දෙවැනි ස්ථානය ගත්ත ‘ලෙටර්’ නාට්‍යයත්, සඳුන් රුක්ෂාන්ගේ ‘නයිට් ඩියුටි’ කියන නාට්‍යයත් ඒ අතර වෙනවා.

ඒ අතරින් ඔබගේ කෙටි නාට්‍යය ද හොඳම කෙටි නාට්‍යය බවට සම්මාන ලබන්නේ?

2019 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම කෙටි නාට්‍යය බවට පත් වන්නේ මගේ ‘නොකිය හිටපු දෙයක්’ නාට්‍යයයි. ඒකට සම්මාන හතක් ලැබෙනවා. හොඳම අධ්‍යක්ෂණය, හොඳම රචනය, හොඳම නාට්‍යය යන සම්මාන ත්‍රිත්වය ලැබෙන්නේත් මටයි. ඊට අමතරව හොඳම නිළිය ලෙස රෙබෙකා දිල්රුක්ෂිටත්, රංගනය සඳහා කුසලතා සම්මානයක් සුදර්ශන ක්‍රිශාන්ත හා චමත්මි අත්තනායකටත්, වේදිකා පසුතල සඳහා කුසලතා සම්මානයක් ඉසුරු උදානටත් හිමි වෙනවා.

ඒ වගේ ම මේ කෙටි නාට්‍යයම 2018 වසරේදිත් සම්මාන ලබනවා නේද?

ඒ යෞවන නාට්‍ය උලෙළෙට ඉදිරිපත් කළාට පසුවයි. එහිදි හොඳම නාට්‍යය නිෂ්පාදනය දෙවැනි ස්ථානයත්, හොඳම නළුවා සම්මානයත් මේ නාට්‍යයට හිමි වෙනවා.

මේ කෙටි නාට්‍යය මඟින් ඔබ නොකිය හිටපු දෙය කුමක් ද?

‘නොකිය හිටපු දෙයක්’ නාට්‍යයේ මූලික කතා තේමාව විදියට කතාබහ කරන්නේ මිනිස් සබඳතාවලදි තිබෙන මානුෂික සම්බන්ධතාවල ගොඩනැඟෙන විවිධත්වයයි. විශේෂයෙන්ම ආදර සම්බන්ධතාවලදි සහ විවාහයේදි කුටුම්භ ජීවිතයේ මිනිස්සු හැසිරෙද්දි ඒ මිනිස්සුන්ගේ තිබෙන අවංක හා අව්‍යාජ හැසිරීම් එක්ක ද ඔවුන් හැසිරෙන්නේ කියන කාරණය වගේ ම නැත්නම් කලින් පරම්පරා අපට පැවරූ වගකීම් ඉෂ්ට කිරීමට අප අපේ ජීවිත මඟින් උත්සාහ කරනවා ද කියන කාරණා මා මේ නාට්‍යය මඟින් ගැඹුරින් කතා කරනවා.

ඔබගේ විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ කුටුම්භයට ද?

ඔව්. කුටුම්භ ජීවිතයේදී අපට පැවැරෙන වගකීම් සමාජයක් විදියට සංස්කෘතිකමය විදියට අපේ සමාජය විසින් අපට පවරලා තිබෙන, රැගෙන යා යුතු යම් නීති හා රීති ආරක්ෂා කිරීමට ගිහින් අප අපේ ඇත්ත හැඟීම් එක්ක ද ඒ සඳහා මුහුණ දෙන්නේ කියන කාරණය මා මෙහිදී විශේෂයෙන්ම කතාබහට ලක් කරනවා. එවැන් තත්ත්වයක් ඇතුළේ මනුෂ්‍ය හැසිරීම්වල යම් වංචනික ස්වභාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ තමන්ට හා අනෙකාට බොරු කිරීම යන සරල කාරණයයි මා මෙහිදී කතා කරන්නේ. ඒ අනුව මේ නාට්‍යයේ චරිත තමන්ට හා අනෙකාට බොරු කරමින් මනුෂ්‍ය සම්බන්ධතා පවත්වා ගන්න හා ශක්තිමත් කරගන්නට දරන උත්සාහයයි දකින්නට ලැබෙන්නේ.

ඒ මනුෂ්‍ය සම්බන්ධතා ඔබ රැගෙන එන්නේ කුමන විදියට ද?

පවුලක් ඇතුළේ ස්වාමිපුරුෂයා සහ බිරිය, සැමියා වෙනත් ගැහැනු ළමයෙක් සමඟ පවත්වාගෙන යන සම්බන්ධයකුයි නාට්‍යය ඇතුළේ පෙළ ගැසී තිබෙන්නේ. එවන් සරල කතන්දරයක් මඟින් මනුෂ්‍යයා තමන්ට හා අනුන්ට බොරු කරන ආකාරය, වංචා කරන ආකාරය පිළිබඳයි මා මෙහිදී කතා කරන්නේ.

මේ කාරණා අදාළ වන්නේ අපේ සමාජයට පමණක් ද?

මට මේ නාට්‍යය ලියන වස්තු බීජ සැපයෙන්නේ මා ජීවත් වන සමාජයෙන්. ඒත් නාට්‍ය කියන්නේ විශ්වීය භාෂාවක්. ඒක එක් ජන සමාජයකට, සංස්කෘතියකට ලඝු කරන්න බැහැ. වෙනත් රටවල නිර්මාණ අප කියවනවා. ඒවා කොයිතරම් අපේ සමාජයට ගැළපෙනවා ද කියන කාරණය ගැන අප කතාබහට ලක් කරනවා. උදාහරණයක් විදියට මා පසුගිය දවස්වල ‘හොටෙල් මුම්බායි’ කියන චිත්‍රපටය නැරැඹුවා. ඉන් ලංකාවේ ජන සමාජය ගැන කතා නොකරත්, ඒ චිත්‍රපටය අපේ ජන සමාජයට කොයිතරම් අදාළ ද කියන කාරණයයි මට එහිදි මතකයට නැඟුණේ. ඒ නිසා නිර්මාණයක් ලඝු කිරීමට ලක් කරන්න බැහැ. මගේ නාට්‍යයට ප්‍රස්තුත කරගත්තේ මගේ ජන සමාජය බව ඇත්තයි. ඒත් මා සිතන්නේ අපේ වගේ ජන සමාජයක්, සංස්කෘතියක් පවතින විශේෂයෙන් ආසියානු සමාජය ඇතුළේ කතාබහට ලක් කරන්න හැකි නාට්‍යයක් ලෙසයි මා මේ නාට්‍යය දකින්නේ.

අපට අපේ ජීවිත කාලයේ බොරු නොකරමින් ජීවත් වීමට නොහැකි ද?

බොරු නොකරමින් ජීවත් වීමට අවශ්‍ය පරිසරය හා වටපිටාව අපේ සමාජයේ නිර්මාණය වී නැහැ. මනුෂ්‍යයකුට පහළ වන සත්‍ය හැඟීමක් අනෙකා සමඟ පවසමින් පවුලක් ගෙන යන එක කොයිතරම් ප්‍රායෝගික ද කියන කාරණය අපේ සංස්කෘතික බැඳීම්වලයි තිබෙන්නේ. යමක් දෙස බැලිය හැකි රාමුවක් අපට දීලා තිබෙනවා. ඒකෙන් පමණයි අපට බැලිය හැක්කේ. සමහර වෙලාවට ඒ ඇති වන හැඟීම අනෙකාට කිව්වට පස්සේ ඔහු නිර්වචනය කර ගන්න විදිය අනුවයි සැම දෙයක්ම වෙනස් වන්නේ. එහිදි එය එක්තරා මානුෂීය හැඟීමක් කියන අදහසේ සිටිමින් නිර්වචනය කරගන්නවා වෙනුවට වැරැද්දක් නේද කියන අදහස නම් ඒ හැඟීම්වලට මේ සමාජය විසින් ලබාදී තිබෙන්නේ, මිනිස්සු තමාට පහළ වන හැඟීම් ගැන ඇත්ත කියන්නේ නැහැ. මේ නිසා බොරුව කියන දේ ඉබේම වගේ පවුල ඇතුළට ඇවිත්. එහෙම නොවුණා නම් අපේ පවුල මීට වඩා ශක්තිමත්.

ඔබගේ නාට්‍ය ගමන ආරම්භ කරන්නේ?

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ ඇකඩමික් ප්ලේයර්ස් කියන නාට්‍ය කණ්ඩායමත් සමඟයි මා මුලින්ම නාට්‍ය කටයුතු ආරම්භ කරන්නේ. ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍ය ශිල්පියකු විදියට මා කටයුතු කිරීම ආරම්භ කරන්නේ රාජිත දිසානායකගේ නිර්මාණ මඟින්. ඔහුගේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයකු විදියට මේ දක්වා කටයුතු කරනවා. ඊට අමතරව මා නිර්මාණකරණයේ යෙදෙනවා. ඒවා සඳහා රාජ්‍ය හා යෞවන නාට්‍ය උලෙළවලදි විවිධ ඇගයීම් ලබාගෙන තිබෙනවා. මේ වනවිට මා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසංගික කලා අධ්‍යයන අංශයේ සහය කථිකාචාර්යවරයෙක් විදියට කටයුතු කරගෙන යනවා.

මේ වන විට ඔබ නාට්‍ය කිහිපයක්ම වේදිකා ගත කරලා තිබෙනවා?

මුලින්ම මම ‘සබන් පෙණ’ කියන කෙටි නාට්‍යයයි කරන්නේ. ඉන් පසුව ‘ආරාජිකයා මරා’ කියන දිගු නාට්‍යයත්, ‘ප්‍රේමවන්ත පිටස්තරයා’ දිගු නාට්‍යයත් නිර්මාණය කරනවා. නළුවකු විදියට ‘නැතුව බැරි මිනිහෙක්’, ‘බකමූණා වීදි බසී’ ඇතුළු නාට්‍ය රැසකටම රඟපෑමෙන් සහය වනවා. විජිත බණ්ඩාරගේ ‘වාදකයා වහල උඩ’ කියන නාට්‍යයේ 2011 වසරේ හොඳම නළුවා විදියට මා යෞවන සම්මාන උලෙළෙදි සම්මාන ලබනවා.

‘නොකිය හිටපු දෙයක්’ නාට්‍යයට රංගනයෙන් සහභාගි වන පිරිස කවුරුන් ද?

සුදර්ශන ක්‍රිශාන්ත, රෙබෙකා දිල්රුක්ෂි, චමත්මි අත්තනායක කියන අයයි ප්‍රධාන භූමිකා රඟපාන්නේ. අවසාන වශයෙන් අපට කියන්නට තිබෙන්නේ තරුණ නාට්‍යකරුවන් විදියට ප්‍රේක්ෂකයන් වෙතට අපේ නාට්‍ය ගෙන යෑමට තිබෙන ඉඩකඩ බොහොම අඩු බවයි. ඒවා සංවිධානය කරන්නට තියෙන අභියෝග බොහෝයි. ඒ අතර මේ විදියට නාට්‍යයක් සංවිධානය කළාට පස්සේ ඒ නාට්‍යය ඇවිත් නරඹන්න. අපේ මහන්සියට කරන ගෞරවයක් විදියටයි එය අප දකින්නේ. 22 හොඳ හැන්දෑවක් ගත කරන්න නාට්‍ය ශාලාවට එන්න කියලා ප්‍රේක්ෂකන්ට අප ආරාධනා කරනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.