මගේ නොවුණු මගේ නම

මැයි 2, 2019

 

කුමාරි මැණිකේ අත්තනායක ලෙසට මම ඇයව හඳුන්වා දෙමි. ඇගේ නම ඔබ කියවද්දී තවත් කෙනෙකු නිතැතින්ම සිහියට නැගෙන්නට ඇති. ඒ වගේම කුමාරිගේ රුව නෙත ගැටෙද්දී 'මේ අහවලාගෙ කවුරු හරි වෙන්න ඕන' කියලා ඔබට හිතුණොත් ඒකත් පුදුමයක් නොවෙයි. ඇයයි කුමාරියි එකම වගේ. ඒ ඇය සහ කුමාරි සොහොයුරියන් නිසා. ඇය යනුවෙන් මා සඳහන් කළේ මැණිකේ අත්තනායක. කුමාරි, මැණිකේගේ බාල සොයුරිය. බොහෝ දෙනෙකු මේ කුමාරිව දැකලා තියෙනවා. ඒ ඇය රංගනයේ යෙදෙන හින්දා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ බහුතරයක් නාට්‍යවල කුමාරි අදටත් රංගනයෙන් දායක වෙනවා. එහෙත් කුමාරි ගැන කවුරුවත් කතාබහ කරන්නේ නැහැ. කුමාරි කෙනෙක් ඉන්නවද කියලවත් ඇතැම් පිරිස් දන්නේ නැහැ. ඒකට හේතුව මැණිකේ අත්තනායක කියලා ඇයට රැවටෙන නිසා. කුමාරි සරසවිය හා එක් වුණේ විශේෂයෙන්ම ඒ ගැන කියන්නයි.

 

කුමාරි ඔබට අවසර කතාව පටන් ගන්න.

කිව්වට විශ්වාස කරනවද වසර තිස් අටක් මං වේදිකා නාට්‍ය කරනවා. මුලින්ම මනමේ නාට්‍යයේ මනමේ කුමරියට හිටියේ අසූ එකේ අවුරුද්දේ. එක දිගට අවුරුදු දහයක් මනමේ කුමරිය විදිහට රඟපෑවා. මං ගොඩක් කළේ ඩොක්ටර් සරච්චන්ද්‍රගේ නාට්‍ය. දහයක විතර හිටියා. මහාසාර, කඳාවළලු, සිංහබාහු, පබාවතී, වෙල්ලවැහුම්, හස්තිකාන්ති මන්තරය, ලෝමහංස ඔය කිහිපයක්. කොච්චර නාට්‍යවල හිටියත් මේ මමය කියලා කවුරුවත් දන්නේ නැහැ. හැමෝම හිතල තියෙන්නේ ඒ හිටියේ අක්කා කියලා.

එක අතකින් ඔබට ලොකු අසාධාරණයක් වෙලා?

මං රඟපාපු නාට්‍ය අගය කරලා අක්කත් එක්ක කතා කරනවා සමහරු. තවත් සමහරු මාව දන්නෙම නැහැ. නාට්‍ය රඟපෑවට මට ශ්‍රී විභූති, කොලොම්තොට භූෂණ වගේ සම්මානත් ලැබුණා. සම්මාන දෙන අය පවා දැනගෙන හිටියේ නැහැ මාව.

ඔබට ටෙලි නාට්‍යවලට කතා කරලා නැහැ?

කුමාරි කියලා කෙනෙක් ඉන්නවද කියලා දන්නේ නැති නිසා මට කතා කළේ නැහැ. ඒකත් එක අතකින් අසාධාරණයක්. බොහෝ අවස්ථා මට මඟහැරුණා.

ඔබට ඔබ ගැන මාධ්‍ය ඔස්සේ හඳුන්වා දෙන්න තිබුණා නේද?

මං ප්‍රසිද්ධිය ගැන හිතුවේ නැහැනෙ. ආත්ම තෘප්තියට රඟපෑවේ. හැකියාව පෙන්විම තමයි අරමුණ විදිහට තිබුණේ. කමක් නැහැ. දැන් වුණත් පරක්කු නැහැ කියලා මට හිතෙනවා.

ඔබ වැඩිපුරම රඟපෑවේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල?

හරියට නාට්‍ය පාසලකට ගියා වගේ ඔහුත් එක්ක එක රිහසල් එකකට සහභාගිවීමම. එක අතකින් මං හරිම වාසනාවන්තයි. බොහෝ නිළියන්ට නොලැබෙන අවස්ථා මට ලැබුණා. මනමේ නාට්‍යයේ මනමේ කුමරිය, සිංහබාහු සුප්පා දේවි වගේ චරිත ලෙහෙසියෙන් කෙනෙකුට රඟපාන්න ලැබෙන්නේ නැහැනෙ. ආ . . . සක්විති රාවණ නාට්‍යය අමතක වුණානෙ. මං ඒකේ සීතා.

මනමේ නාට්‍යය රූපවාහිනී ගත කළා කියලා දැනගන්නට ලැබුණා?

ඔව්. මනමේ රූපගත කරලා දැන් ටිකක් දවස්. යූ ටියුබ් හරහා ඒක නරඹන්නත් පුළුවන්. මං සරල ගීයකුත් කළා විෂුවල් එකකුත් එක්ක. ඒකත් අන්තර්ජාලයෙන් රස විඳින්න පුළුවන් මගේ නම ටයිප් කරලා.

 

ප්‍රසාද් සමරතුංග

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.