අධ්‍යාපනය ප්‍රශ්න කරන විධි විරෝධියා සමඟ තුමිඳු දොඩන්තැන්න

නොවැම්බර් 1, 2018

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ අවසන් වසර සිසුන්ගේ නාට්‍යයක් ටවර් රඟහලේ පෙන්වනවාය කියලා මටත් නිශ්ශංකටත් යන්න කීවේ අපේ කර්තෘ අරුණ ගුණරත්න. මාධ්‍යවලට කියලා වෙන් කරලා තිබුණ ඉදිරි පෙළ අසුනකට බර වෙලා ටවර් හෝල් රඟහලේ අතීත සැමරුම් සිහිකරමින් ඉද්දි එක පාරටම ඇහුණු වයලීන හඬකින් මගේ අතීතාවර්ජනා පලා ගියා. ඒ එක්කම මතක් වුණේ තාත්තාත් මේ වගේම නාට්‍යවල සංගීත අදියුරු ලෙස වාද්‍ය වෘන්දයට අයිති වේදිකාව ඉදිරියේ සරපිනාව එහෙම තියාගෙන හිටි අපූරුව. තාත්තලා නම් තුන්වැනි සීනුව නාද වෙලා කර්ටන් කෝල් එකට සංගීතය සපයන කල් මීයට පිම්බා වගේ සද්ද නැතුව තමයි ඉන්නේ. තහවුරු කර ගැනීමක් ඕනෙ නම් ඒක හරිම හිමීට රහසින් වගේ වයලීනය ප්ලක් කරලා තමයි වාදනය කර බලන්නේ. ඒ බව මතක් කළේ මුලින්ම අඩුපාඩුවක් කියන්න නෙවෙයි. පළමුවැනි වරට මහජන ප්‍රදර්ශනයකට ආ මේ සරසවි සිසුන්ගේ ඊළඟ ඉදිරිපත් කිරීමේ ගුණාත්මකබව වැඩි දියුණු කරන්න මේ කතාව රුකුලක් වෙයි කියලා හිතාගෙන.

ඉතින් ඔන්න තුන්වැනි සීනුවත් වැදුණා. තිරය ඇරුණා. කැම්පස් තරුණයන්ගේ බෝඩිමක් වේදිකාව මත. එළකිරි ඇඳේ නිදි, බූතයා කොම්පියුටරයකට ඔරවාගෙන බරටම වැඩ. දෙබස් කැම්පස් ආරෙට. මුලින් දැනෙන්නේ උන් උන් ගැනම කතා කරගන්නවා වගේ. හැබැයි ටික වේලාවකින් තමයි තේරෙන්නෙ මේ කියන්නේ අපි අද අත්විඳීන දේවල්ම නේද කියලා. කතාව පටන් ගත්තෙම නිවේදනයක් මඟින් ප්‍රේක්ෂකයන්ට පොඩි විස්තරයක් කියලා.

කතාවේ සාරාංශයක් වගේ කීවොත් පවතින විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ ඒකාකාරීබව, ආචාර්යවරුන් කටපාඩමින් දෙන සටහන් එලෙසම ලියාගෙන, අකුරක් නැර කටපාඩමින් යළි විභාග ප්‍රශ්න පත්‍රයේදී පිටපත් කරන ක්‍රමවේදය අප්‍රසන්න වූ එක් සිසුවෙක් ආචාර්යවරුන්ගේ නිවෙස්වලට රාත්‍රියේ හොරෙන් පැන ගෙදර බඩු මූට්ටු, ඔරලෝසුවේ වේලාව ආදිය වෙනස් කිරීම නිසා ආචාර්යවරුන්ගේ පවුල්වල මෙන්ම දේශනවල පවා ඇති වන වෙනස සහ ඒ වෙනස සිදු කරන සිසුවා පිටුපස හොරෙන් පැමිණෙන තවත් සිසුවකු ඒ වෙනස් කිරීම් සිදු නොවී තබා ගැනීමට දරන උත්සාහයත්, අවසානයේ වෙනස ඇති කරන්නට උත්සාහ කරන සිසුවාට සමාජය පිළිගන්නේ කෙසේද යන්නත් පිළිබඳව කියැවෙන අපූරු කතාවක්. නම 'විධි විරෝධියා'.

'The Anarchist' ලෙස ඉංග්‍රීසියෙන් සඳහන් වන 'විධි විරෝධියා' පිටපත ලියා තිබෙන්නේ අපේ පරපුරේ ප්‍රවීණ රංගන ශිල්පියකු වන කථිකාචාර්ය තුමිඳු දොඩන්තැන්න.

නාට්‍යය නරඹා අවසානයේ අපි තුමිඳු සමඟ ඔහුගේ ගෝලබාලයින් පිරිසගේ අපූරු කටයුත්ත පිළිබඳ මඳක් කතා කළා.

මේ වස්තුබීජය ඔබට හසු වුණේ කොහොමද?

අපි මේ නාට්‍යයට පාදක කරගත්තේ මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ 'නොනිදන අවදිය' කෙටි කතාව. සාමාන්‍යයෙන් අපේ අවසන් වසර සිසු සිසුවියන්ගේ නාට්‍ය නිර්මාණයට වෘත්තීය පිටපත් රචකයකුගේ පිටපතක් සැම අවුරුද්දෙම ලබා දෙනවා. පසුගිය වසරවල අපි බර්ටොල්ට් බ්‍රෙෂ්ට්, රෙජිනෝල්ඩ් රෝස, ඇන්ටන් චෙකෝෆ් වගේ ලෝකප්‍රකට නාට්‍යකරුවන්ගේ පිටපත් අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව ලබා දුන්නා, මේ සිසුන්ගේ ශාස්ත්‍රීය කටයුත්තක් ලෙස. මේ වර මම හිතුවා ලංකාවේ ලේඛකයකුගේ පිටපතක් ලබා දෙන්න ස්වතන්ත්‍ර නාට්‍ය අත්දැකීම සඳහා. ඒ අරමුණින් තමයි 'විධි විරෝධියා' මා අතින් රචනා වෙන්නේ.

ඔබ සිතන ආකාරයට මේ නාට්‍යයෙන් කියැවෙන්නේ කුමක්ද?

මෙය ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍ර වන්නේ විශ්වවිද්‍යාලයේ තරුණ ජීවිත මුල් කරගෙන. ඒ තරුණයන්ට තිබෙන ප්‍රශ්නය අධ්‍යාපනය පමණක් නොවේ. ඔවුන් විවිධ ප්‍රශ්නවල හිර වෙනවා. ප්‍රධාන වශයෙන් ජීවත් විමේ නැත්නම් ආර්ථික ප්‍රශ්නය. ඔවුන් යැපෙන්නන් ලෙස අප හඳුනාගත්තත් වැඩිහරියක් සිසුන්ගේ පවුල් යප්පන්නේ මොවුන්. මේ විශ්වවිද්‍යාල තරුණයාගේ ජීවිතය ඊට අමතරව ප්‍රේම සබඳතා ආදි වූ තරුණයකුට සාමාන්‍යයෙන් ඇතිවන වෙනත් සාම්ප්‍රදායික හා සමාජීය ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. මේ කරුණ වස්තු විෂයය කරගත්තට පස්සේ අපට ගොඩක් පැතිකඩ හමුවෙන්න ගත්තා. ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනය ඔවුන්ගේ ජීවිතය තුළ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ නාට්‍යය ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය නැවත ප්‍රශ්න කරන නාට්‍යයක්. නෝට්ස් ලියාගන්න කැම්පස් එන, ඒ නෝට්ස් යළි කටපාඩම් කරලා ලියන, ඒ නෝට්ස්වලින්ම ප්‍රශ්න හදන, ඒවාටම ලකුණු ලැබෙන ක්‍රමවේදය මෙහි ප්‍රශ්න කරනවා. ඒ වගේම ක්‍රමය සහ ක්‍රමය වෙනස් කිරීම කියන කාරණයත් නැවත ප්‍රශ්න කරන නාට්‍යයක්.

ඔබටත් මේ අත්දැකීම තිබෙනවා?

ඔව්. තරුණයන් ලෙස අපි ලංකාවේ දේශපාලනය වෙනස් කළ යුතු යම් යම් ක්‍රමවේද පිළිබඳ කතා කරනවා. ඒත් ක්‍රමය වෙනස් කිරීම කියන දේ කතාකරන තරම් පහසු දෙයක් නොවේ. එය ගැට ගැසී තිබෙනවා රටේ සමාජ දේශපාලනික සාමාජීය ආර්ථික කරුණු සියල්ල සමඟ. අපි රටේ දේශපාලනය වෙනස් කළොත් සමාජයේ සංස්කෘතික, සාමාජීය, ආර්ථික අධ්‍යාපනික පරිසරය වෙනස් වෙනවා. ඒ වගේමයි ආර්ථිකය වෙනස් කළොත් අනෙක් සාධක වෙනස් වෙන්නේ. මේ එකිනෙකට බැඳුණු ජාලයේ දැති රෝදයේ දැති බවට අපි හැමෝම පත් වී තිබෙනවා. මේ කාරණය කියන විට සංකීර්ණ වුවත් නාටකීය වස්තු විෂයයක් ලෙස ගේන්න තමයි අප මෙහිදී උත්සාහ කළේ.

මෙය කෙටි කතාවකින් නාට්‍ය පෙළක් බවට පත් කිරීමේදී මොන වගේ වෙනසක්ද ඔබ කළේ?

අපි ලෝකේ නාට්‍ය ගත්තොත් ඒවා විවිධ වස්තු විෂයයන් මුල් කරගෙන සකසා තිබෙනවා. කවි, කෙටි කතා, නව කතා, චිත්‍රපට, ජාතක කතා, ගැමි කතා, සුරංගනා කතා ආදී වෙනත් ඕනැම මාධ්‍යයක විෂයයක් නාට්‍ය බවට පත් වී ඇති ආකාරය හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා නාට්‍යය කියන විෂයය අන් විෂ්‍යයන්ගෙන් පෝෂණය වනවා සේම අන් විෂයයන් නාට්‍ය මඟින් පෝෂණය වනවා. මෙයත් එකිනෙක බැඳුණු ක්‍රියාවලියක් නිසා. ඉතින් කෙටි කතාවක් නාට්‍යයක් බවට පත් කිරීම ලෝක පූජිත ඇන්ටන් චෙකෝව් පවා තමන්ගේ කෘතිවලින්මත් කර තිබෙනවා. මෙහිදී මම විධි විරෝධියා රචනයට ගත් නොනිදන අවදිය කෙටි කතාව එක තරුණයකු හා ඒ තරුණයා විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ ජීවිතය වෙනස් කිරීම පිළිබඳ ලියැවී තිබුණත් මම එය එතැනින් එහාට ගෙන යමින් මේ තරුණයාගේ ජීවිතය කොයි ආකාරයෙන්ද වෙනස් වන්නේ සහ එය සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික කරුණු සමඟ බැඳී තිබෙන්නේ කොහොමද කියන කරුණු ජාලයක් මේ සමඟ කතා කරන්න. ඇත්තටම හොඳ පදනමක් තිබුණු මේ කෙටි කතාව විශාල සහයෝගයක් ලබා දුන්නා මේ නාට්‍යය රචනා කිරීම සඳහා.

ඔබේ සහ අමරකීර්තිගේ රචනා ශෛලීන්වල වෙනස සමනය කර ගත්තේ කොහොමද?

ඇත්තෙන්ම මම ලියනගේ අමරකීර්තිගේ රචනා ශෛලිය ඇතුළට ගිහින් ඔහුගේ ශෛලිය තුළ ඉඳන් තමයි නාට්‍යය රචනා කළේ. එමඟින් නාට්‍යය සහ කෙටි කතාව අතර ලොකු පරස්පරතාවක් පේන්නේ නැතිව මේ දෙකම එකම සාහිත්‍ය රටාවක් තුළ තබාගන්න උත්සාහ කළා.

මේ නාට්‍යයේ අර්ථය ප්‍රේක්ෂකයාට ළං කිරීම සඳහා විවිධ රංග විධික්‍රම යොදා ගෙන තිබුණා?

මේ නාට්‍යය අපට යථාර්ථවාදී ධාරාව (පඥචතඪඵබඪජ ටධපථ) ඇතුළේ තිබෙන බව පෙනුණත් ඇත්තටම එය පවතින්නේ ආඛ්‍යාන කථා රටාව (දචපපචබඪමඥ ටධපථ) තුළයි. ඒ කියන්නේ මෙය කථා කියන නාට්‍යයක්. එකවිට ප්‍රේක්ෂකයාට පවතින තත්ත්වය කියන අතර පවතින තත්ත්වය පෙන්වනවා. ඒ කියන්නේ කලින් වුණු සිදුවීමක් නැවත අපි රඟදක්වලා පෙන්වනවා. එසේ කරන අතර අප අවශ්‍ය දේවල් පමණක් පෙන්වන්නත්, පෙන්වීමට අනවශ්‍ය දේ කථකයින් මඟින් පවසමින් ඉදිරිපත් කරන්නත් ක්‍රම භාවිත කරනවා. හරියට අතීත කතාවක් රඟ දක්වා පෙන්වමින් කියනවා වගේ. ඇත්තටම මෙය තරමක් අලුත් අත්හදා බැලීමක් අපේ වේදිකාවට. අපි උත්සාහ කර බැලුවේ පර්යේෂණාත්මක අත්හදාබැලීමක් කරන්න ආඛ්‍යාන රටාව කොහොමද වේදිකාවට ගේන්න පුළුවන් වන්නේ කියලා.

මෙහි වේදිකාවට එන සියලුදෙනා අලුත්. කොහොමද ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් මුවහත් කළේ?

මම වැඩකළ ශිෂ්‍ය කණ්ඩායම 18 දෙනකුගෙන් සමන්විතයි. මේ නාට්‍යයේ මම කටයුතු කළේ ශාස්ත්‍රීය උපදේශක ලෙසයි. මේ 18න් 17ක්ම රඟපැවා. එක් ශිෂ්‍යයකු පමණක් අධ්‍යක්ෂවරයා වුණා. ශිෂ්‍ය කණ්ඩායමේ බාහිර කිසිවෙක් රඟපැම් කළේ නැහැ. මේ තරුණයින් තවම ආධුනික නළු නිළියන් වුවත් ඔවුන්ගේ උපරිමය වේදිකාවට ගේන්න උත්සාහ කළා. අනෙක මෙය තරමක් අමාරු නාට්‍ය ශෛලියක්. හේතුව ග්‍රීක නාට්‍යයක් හෝ ගීත නාට්‍යයක් හෝ අතිශයෝක්තිගත නැත්නම් ඕවර් ඇක්ටින් කරන්න පුළුවන් ශෛලියක් නොවේ මෙය. මෙහි තමන්ගේ චරිතයම තමයි නළුවාට යළි රඟපාන්න වන්නේ. සාමාන්‍යයෙන් අපි කියනවා තමන්ගේ චරිතය රඟපැම අමාරු වැඩක් කියලා. ඒ අමාරු කාර්යය තමයි මේ නළු නිළියන්ට කරන්න සිදු වුණේ. හැබැයි මම හිතනවා ඔවුන් ඔවුන්ගේ උපරිමයෙන් ඒ චරිතවලට ප්‍රවේශ වුණා කියලා.

සංගීතය ආදි අනුශාංග? නිෂ්පාදනය?

ඒ සියල්ල කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්. සමස්ත නිෂ්පාදනයම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ කියන්න පුළුවන්. මේ නාට්‍යය නිෂ්පාදනය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයෙන්. මේ සඳහා අනුග්‍රහය කොළඹ විශ්වවිද්‍යාලය මඟින් දැක්වූවා. ඒ වගේම ශිෂ්‍යයන් අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගන්නවා. ආචාර්ය කුමුදිනී මද්දුමගේ තමයි මේ නාට්‍යයට අනුග්‍රහය දක්වන්න මූලික වෙලා කටයුතු කළේ. ඒ වගේම නලීන් ලුසේනා සහකාර කථිකාචාර්යවරයා වගේම නාට්‍ය කණ්ඩායම, රංගාලෝකය සැපයූ රජිත එල්ලාවල, ප්‍රචාරක ව්‍යාපාරය සඳහා නිර්මාණාත්මක කටයුතු කළ සමීර යාපා කියන තරුණයන් අපේ විශ්වවිද්‍යාලයේම මැතකාලීන ආදි ශිෂ්‍යයන්. විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව හැදැරූ අයත්, හදාරමින් ඉන්න අයත්, ආචාර්ය මණ්ඩලයත් එක්ව කළ නිෂ්පාදනයක් ලෙස මේ 'විධි විරෝධියා' නාට්‍යය හඳුන්වන්න පුළුවන්.

මෙය පොදු ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි වන්නේ කොහොමද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මේ වනවිට ආරාධනයක් කර තිබෙනවා නාට්‍යය දර්ශනයක් සඳහා. එහෙම වුණොත් මෙහි කෙටි කතා රචක මහාචාර්ය ලියනගේ අමරකීර්තිටත් නාට්‍යය නරඹන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තවත් දර්ශන වාර සංවිධානය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මම කැමතියි මෙය අවස්ථාවක් කර ගන්න මේ නාට්‍යය සංවිධානය කරන්න කැමති අය ඉන්නවා නම් ඔවුන්ට ආරාධනා කරන්න විශ්වවිද්‍යාල මට්ටමෙන් හෝ ප්‍රාදේශීය මට්ටමෙන් මේ නාට්‍යය සංවිධානය කරන්න කියලා.

වේදිකා නාට්‍ය පිළිබඳ විවිධ මතවාද පවතින මේ යුගයේ නාට්‍ය හා රංග කලාව විෂයය හදාරමින් අංකුර ශිල්පීන් ලෙස කරළිය ජය ගන්නට අදිටන් කරගත් මේ තරුණ සිසු සිසුවියන්ගේ කුසලතා වර්ධනය වන්නේ ඔවුන්ට වේදිකාව මත වැඩි වාර ගණනක් සිය අභ්‍යාසයේ යෙදීමට අවස්ථාව ලැබීමෙනි. ඒ සඳහා ඔවුන්ට ශක්තියක් වීම වැඩිහිටි පරපුරේත් වේදිකාවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගේත් වගකීම බව අපේ අදහසයි. තරුණයන්ගේ අඩුපාඩු සෙවීමට වඩා ඒවා නිවැරැදි කරගැනීමට අවස්ථාව උදාකර දීම සැම ක්ෂේත්‍රයකම අභිවෘද්ධියට හේතු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සරසවිය අප යෝජනා කරන්නේ එවැනි හැකියාවක් ඇති ඔබට රටේ අනාගත නාට්‍ය කලාවේ දියුණුව වෙනුවෙන් මෙවැනි නාට්‍යවලට අතහිත දීම යුගයේ අවශ්‍යතාවක් ඉටු කිරීමේ මහඟු කර්තව්‍යයට අතගැසීමක් නොවන්නේද කියා සිතන්නටය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.