මගේ දෙවියෝ මේ ඉර හඳ ගහ කොළයි

මනෝහරී හේවාවසම්
ජූලි 18, 2019

සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තිරයෙන් පිටුපස වගකීම් වෙනුවෙන් කාන්තා නම් කියැවෙන්නේ අඩුවෙනි. විශේෂයෙන් නිෂ්පාදන කළමනාකරණය වැනි පිරිමින්ටම උරුම වූවා වැනි අංශවලට කාන්තාවන් යොමු නොවන්නේ එහි ඇති බරපතළකම, වගකීම මෙන්ම විශාල පිරිමින් සංඛ්‍යාවකට නායකත්වය දීමට සිදුවීම ආදි හේතු නිසාය. එය කොතරම් අපහසුජනකද ඒ තරමටම සුන්දර බව මම අත්දැකීමෙන් දනිමි. ඒ සුන්දරබව දන්නා තවත් කාන්තාවකි මනෝහරී හේවාවසම්.

මගේත් ඇගේත් මුල්ම හමුව සිදුවන්නේ සුපුරුදු පරිදි කලාකරුවන්ගේ තෝතැන්නක් බඳු ද වීඩියෝ ටීම් ආයතනයේදීය. එය මටත් වඩා නිවැරැදිව ඇයට මතක තිබීම මහත් ආස්වාදජනක විය. මම අසා සිටියෙමි.

'ටීවීටී එකේදිනේ නංගි මට මුලින්ම මුණ ගැහුණේ මතකද? 1998 කාලේ මම සෞඛ්‍ය අමාත්‍යංශයට ඒකාංගික විචිත්‍රාංගයක් අධ්‍යක්ෂණය කළා ඒඩ්ස් දිනය වෙනුවෙන්. එක නාට්‍යයක නම මතකයි කේතුමතියට නවාතැනක්. ඒවා සංස්කරණය කරන්න ආව එහෙ. ඒ තමයි මගේ මුල්ම අධ්‍යක්ෂණය.'

ඒ දක්වා ඇගේ ගමන අපූරු එකක් විය.

'මගේ තාත්තා කළු අග්ගල අම්මා නුවර. තාත්තට මගෙන් අපලයි කියලා මට අවුරුදු එකහමාරෙදි විතර අම්මලාගේ නුවර මහගෙදර නවත්තලා. මගේ කේන්දරේ හැටියට තාත්තට අභියෝග කරන පිරිමි ළමයකු හා සමාන කේන්දරයක්ලු තියෙන්නේ. එහෙම නැති අක්කලා දෙන්නයි නංගියි ගෙදර තියාගෙන. ඒත් මම හරි සතුටුයි ඒ පිටමං කිරීමට මොකද මම අද මෙතන ඉන්නේ ඒ පොඩි රාජධානියේ, සීයාගේ, පුංචිලාගේ, මාමලාගේ හුරතලය මැද ගස්කොලන් මැද පුදුම සතුටක් එක්ක හැමදෙනාගෙම ආදරය මට උපරිමයෙන් ලැබෙද්දි කුමාරිකාවක් වගේ හිටපු නිසා. අපේ මාමාට වෙසක් කාඩ් එනවා. මම බස් එකේ යද්දි ඒ වෙසක් කාඩ් වීදුරු ජනේලේ පේළියට තියලා කතා හදනවාලු. ඒවා වෙන්න ඇති මූලික ලක්ෂණ මේ ගමනේ. නුවර ඉස්කෝලෙකට යනවා බින්දුවේ පන්තියට. අවුරුදු 6වෙද්දි තාත්තලා මාව ළඟට ගන්නවා. ඒ ගෙදරත් යක්කල, අලුත්ගම බෝගමුව, ලස්සන කන්දක් උඩ වෙල් යාය, ගස්කොළන් පිරුණු පරිසරයක. එකේ පන්තියට එහෙ ඉස්කෝලෙකට යනවා. හැබැයි සීයා සිකුරාදා හවස ඇවිත් නුවර ගෙනියනවා. 6 පන්තියට වෙනකල් එහෙම ගියා. පස්සේ නිට්ටඹුව සංඝබෝධි මහාවිද්‍යාලයට ගියා. ඒ කාලෙ මාව හරි ප්‍රසිද්ධයි නවකතා පොත් ලියන්න. මගේ කතා අක්කලාගේ ඉස්කෝලවල සැරිසරනවා.

මම කළේ වාණිජ විෂයයන්. තාත්තා බලපැම් කළේ ඒ විෂය කරන්න කියලා. එක හේතුක් තාත්තා ගණකාධිකරණය සම්බන්ධ වෘත්තියක නිරත වීම, අනෙක අනාගත රැකියා වෙළෙඳපොළ ගැන හිතලා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තෙ.

අපේ අම්මා චිත්‍රපට පිස්සියක්. ඒ නිසා අපිවත් එක්කන් යනවා. ඒකෙන් ලබපු ආහ්ලාදය, සතුට, වින්දනය පුරුදු කළේ අම්මා. ඒ වගේම තාත්තා පොත් කියවන්න පුරුදු කළා. තාත්තා දිනමිණ පත්තරේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක්. පී.ඊ. හේවාවසම්. අපි චිත්‍රපට බලන්න එන්නේ ඉස්කෝලෙ ඇඳුම පිටින්. මම 201 බස්එකේ ගම්පහට එනවා නිට්ටඹුවෙන්. පොඩි අක්කා එයාගේ ඉස්කෝලෙන් එනවා. අම්මා නංගිත් එක්ක එනවා. ලොකු අක්කත් වෙනම එනවා. ශාලාවේ මැනේජර් අපිව දන්නවා චිත්‍රපට බලලාම. ඒ නිසා එහෙදි අපි ඇඳුම් මාරු කරගන්නවා. 1977 වෙද්දි ආණ්ඩු මාරුවෙන් අම්මට වැවිලි සංස්ථාවේ රැකියාවකට යනවා. ඒ වෙද්දි අපි අටේ නවයේ පන්තිවල නිසා අක්කලා නංගි වගේම යාළුවෝ එක්ක සෙට් වෙලා චිත්‍රපට බලන්න යනවා. අපි ඇල්පෙනෙත්ති එහෙම අරගෙන යන්නේ සමහරු ළඟින් ඉඳගෙන හේත්තුව දාන්න එනකොට අනින්න. ඒ කාලේ හෝල්වල ඒසී නැනේ. ෆැන් දාලා, සිගරට් බීගෙන දුම යනවා. අපි යන්නේ ඕඩීසී. චිත්‍රපටයේ හොඳම සින්දු ටික දාන්නේ චිත්‍රපටය පටන්ගන්න කලින්. මිනිස්සු විසිල් ගහනවා. ඒ ගතිය අද නැහැ තියටර් ඇතුළේ. ගඟ අද්දර එක හෝල් එකක, අනෙක් එකේ රක්තා අපි දෙකම බලලා එන්නේ. අපේ ලොකු මාමා සංචාරක ව්‍යාපාරයේ හිටියේ. එයා අපේ ගෙදර ආවාම අපට රුපියල් 25ක් 50ක් විතර දීලා යනවා. ඒ කාලේ ඒක ලොකූ ගාණක්. අපි ඒවායින් තමයි චිත්‍රපට බලන්නේ. චිත්‍රපට පිස්සුව එදා ඉඳන් අද දක්වාම වෙනස් වෙලා නැහැ.'

ඒලෙවල්ස්වලට පස්සේ? මම විමසීමි.

'ඕලෙවල් ඉවරවෙලා ඉද්දි අමතර සුදුසුකම්වට ඒ කාලේ තිබුණේ ටයිපින් ෂෝට් හැන්ඩ්. මම ඉංග්‍රිසියෙන් ඒක කරලා හොඳම ශිෂ්‍යයාව වුණා. උසස් පෙළ කරපු ගමන්ම ගම්පහ සුජාතා විද්‍යාලයේ ටයිපින් ෂෝට් හැන්ඩ් පන්තියක් කරන්න කෙනෙක් හොයනවා කියලා කීවාම මම ගියා. මට ළමයි හැත්තැවක් විතර හිටියා. ටයිප් රයිටර් සර්විස් කරගන්නවා ලයිට්බිල් වතුරබිල් හැරෙන්න ඔක්කොම සල්ලි මට ගන්න කියලා ඒ සර් මට කිව්වා. 85දි විතර එක ළමයෙක්ගෙන් 750ක් ගන්නවා. කම්පියුටර් නැති කාලේනේ. ඉල්ලුම හරි වැඩියි. මම ඒ සල්ලිවලින් ට්‍රිප් යනවා. චිත්‍රපටි බලනවා. අපේ ගෙදර සරසවිය කොහොමත් ගන්නවා. වරද්දන්නේ නැහැ. මම නිත්‍ය පාඨිකාවක්නේ සරසවියේ. තමන් බලපු චිත්‍රපටය ගැන ගුණදොස් ලියන්න පාඨකයන්ට ඉඩක් තිබුණා. මම 84 දඩයම බලලා ස්වර්ණා මල්ලවආරච්චි ගැන ලිව්වා. ඒක ස්වර්ණාක්කා කැමති ලිපි 10න් එකක් හැටියට පළ වුණා.

සිළුමිණත් අපේ ගෙදරට ගන්නවා. මම ඒකෙ ඇඩ්ලින් විතාරණ නඩුව ගැන ගිය කතාව කියවලා තිබුණා. මම හයේ පන්තිය වෙද්දිත් පොත් ගොඩාක් කියවපු කෙනෙක්. මළවුන්ගේ අවුරුදු දා, මනුතාපය, දේවතාපය වගේ ඒවා පවා. අල්ලපු පන්තියේ කලා විෂයය උගන්වන්නේ ඒ අක්කලාගෙන් මහගමසේකරගේ එහෙම පොත මොකක්ද අහලා කියවන්න ඉල්ලගත්තා. හැබැයි ඉස්කෝලෙ මම මාර දඩබ්බර ළමයෙක්. අපිව පනිෂ්මන්ට්වලට ටකරං හෝල් එකට දැම්මාම අපිකරන්නේ ආෆ්ටර් ස්කූල් ඉඳලා පොල් අතු එකතුකරලා, වියලා පොල්අතුවලින් වහන එක. එතකොට රස්නෙ නැහැනෙ. ප්‍රින්සිපල් මුකුත් කියන්නේ නැහැ. මට ගණන් බෑම බැ. මොකද අපේ ටීචර් නිදසුන බෝඩ් එකේ දාලා ඒ විදිහට අනෙක් ගණන් හදන්න කියනවා. මම ඉතින් ඒ පීරියඩ් එකේ පුස්තකාලෙට යනවා. ප්‍රින්සිපල් ගෙන්නලා අහනවා මොකද හේවාවසම් කියලා. මම වැරැද්දක් කරලා නැනේ. විස්තරේ කියනවා. පස්සේ අපට වෙන ගණන් ගුරුවරයෙක් ගෙන්නලා දුන්නා. ඊට පස්සේ මටත් ගණන් පුළුවන් වුණා. තාත්තා කොමියුනිස්ට්කාරයානේ. තාත්තත් හිතුවක්කාරයි. අම්මා හරි ආදරණියයි, ඒ වගේම හිතුවක්කාරයි. හැබැයි නරකට නෙවෙයි.

අද ඔය හොරු මංකොල්ලාකාරයෝ වෙලා ඉන්නේ ඒ දඩබ්බරකම් වැරදි පැත්තට යොමු වුණ මිනිස්සු වෙන්න ඇති. අපට වරදක් කියන්න බැහැ ඒ අය ගැන. සමහරවිට මම කොල්ලෙක් වුණා නම් අද කලාවට යොමු නොවී ඒ වගේ වෙන්න තිබුණද කවුද දන්නේ.

කොහොම හරි මගේ ඒ විචාරය සරසවියේ පළවෙලා කියලා යාළුවෙක් කිවාම අපි ඔක්කොටම හරි ලොකුයි ඉතින් ඒක. ඒකාලේ ස්වර්ණා මල්ලවආරච්චි කියන්නේ හිනි පෙත්තෙනෙ හිටියෙ. මම ආයෙත් එකක් ලියලා දැම්මා ඒකත් තෝරලා තිබුණා. ඔහොම අපේ මිත්‍රත්වයක් ගොඩ නැඟුණා. මගේ ලිපිනයට ලියුමක් ආවා ඔයාගේ අදහස්, අත්අකුරු හරි ලස්සනයි. මම ලංකාවේ කාටවත් ලියුම් ලියන්නේ නැහැ. ඒත් ඔයාට මම ලියනවා කියලා. එයා ටෙලිෆෝන් නොම්බරෙත් දාලා තිබුණා. මමත් කොච්චර නළු නිළියන්ට ආසා වුණත් ලියුම් ලියලා තිබුණේ නැහැ. ඒත් අපි දෙන්නා ලියුම් ගනුදෙනු කළා. අපේ තාත්තාගේ යාළුවෙක් ස්ටේෂන් මාස්ටර්. මම එයාට ගිහින් කීවා අනේ ස්වර්ණක්කා ලියුම් එවනවා එයාට කෝල් එකක් ගන්න ඕනේ කියලා. ඒක ස්ටේෂන් මාස්ටර්ටත් ලොකු දෙයක් මේ කොහෙවත් ඉන්න පොඩි කෙල්ලෙක් ස්වර්ණා මල්ලවආරච්චිට කතාකරනවා කියලා. එහෙමයි අපේ මිත්‍රත්වය ගොඩ නැඟුණේ.

ඒ වගේම 84 සරසවියේ දාලා තිබුණා එඩ්වින් ආරියදාස මහත්තයාගේ ප්‍රධානත්වයෙන් රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාවක් පටන් ගන්නවා කියලා. අපි ගම්පහ චිත්‍රපට ෂූට් කරනවා පොඩි කාලේ දැකලා තියෙනවා. ඒ වෙද්දි රූපවාහිනිය ඇවිත්. මට මේක හරි මැජික් එකක්. මම ඒකට ඉල්ලුම් කරනවා. ගැහැනු ළමයි අඩුයි ඒකේ. සුදත් මහදිවුල්වැව ඒකෙදි හමුවුණේ. අපට පරාක්‍රම නිරිඇල්ල, ධම්ම ජාගොඩ වගේ ප්‍රවීණයන් මුණගැහුණා. සිරිතුංග පෙරේරාගේ ටෙලි නාට්‍යයේ මේක්අප් කරන්න ජයලාල් රෝහණ ආවා. එයා කිව්වා සෝවියට් මිත්‍රත්ව මන්දිරේ දවස් 10ක වැඩමුළුවක් තියෙනවා කියලා. මම ඒකටත් ඉල්ලුම් කළා. එතනදි එච් ඒ පෙරේරා, ඩග්ලස් සිරිවර්ධන, වසන්නත විට්ටච්චි හමුවුණා. ඒ 87,88,89 කාලේ. මම ඒ කාලේ ජේවීපී එකටත් ටිකක් සම්බන්ධව කටයුතු කළා. වැඩමුළු ඇසුරෙන් අනික් අයගේ ඔළු සෝදන වැඩත් කළා. ඒක මටම හරියන රැඩිකල් වැඩක්. ඒත් පස්සේ මම ජේවීපි වැඩවලින් ඉවත් වුණා.

ඇත්තටම මගේ ජීවිතේ හරිම රස්තියාදුවක්. ඒකට මම හරිම කැමතියි. මම ගැහැනු ළමයෙක් හැටියට පුදුම නිදහසක් වින්දේ. තාත්තා දඬුවම් දීලා තියෙනවා තමයි, ඒත් බයිසිකල් පදින්න පුරුදු වුණාට පස්සේ මම ජීවිතේට දන්නේ නැති ගම් අස්සේ රිංගලා වරකා, කජුපුහුලම් කාලා, අඹගස්වලට පොලු ගහලා කෙල්ලො කොල්ලො කියලා නැහැ හිතුණ දිහාක ගියා. තාත්තා එන්න මොහොතකට කලින් ගෙදර එනවා. හරියට චිත්‍රපටයක වගේ.

ඩිප්ලෝමාවෙන් පස්සේ පරාක්‍රම අය්යා (නිරිඇල්ල) මට ශිෂ්‍යත්වයක් දුන්නා සසෙක්ස් එකේ හයමාසික සිනමා රූපවාහිනී පාඨමාලාවක්. පස්සේ මම ඕසීඅයිසී පාඨමාලාවත් කළා. 91 වෙද්දි මම අහඹු ලෙස පරාක්‍රම අය්යාගේ උත්තමාවී වේදිකා නාට්‍යයේ රඟපාන්න සම්බන්ධ වුණා. මම හීනෙකින්වත් නොහිතපු දෙයක් ඒක. මම හිටියේ නිෂ්පාදන සහායට වගේ. මට කේමදාස මාස්ටර් හමුවුණා එතනදි. මානසවිල ඔපෙරාවේ අයන්නේ ඉඳන් බලාගෙන හිටියා. වේදිකා පරිපාලනය කළා. නේපත්‍යාගාර පරිපාලනය කළා. මට ඕන වුණේ කොහොමද වේදිකාවට එනකල් නාට්‍යක් එලාගන්න අධ්‍යක්ෂවරයා කටයුතු කරන්නේ කියල ඉගෙන ගන්න.

ඒකෙන් පස්සේ තමයි උදයකාන්ත (වර්ණසූරිය) අය්යාගේ කොරටුවේ ගෙදර ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂිකාවක් විදිහට 91වසරේ කටයුතු කළේ. වජිර කස්තුරි තමයි මට එය සම්බන්ධ කරලා දුන්නේ. ෂාමිනී බොයිල් මට 92 හමුවුණා. කාන්තාවෝ 10ක් තෝරගෙන සිනමාවට සම්බන්ධ අංශ යටතේ පාඨමාලාවේ මගේ ප්‍රධාන විෂයය වුණේ කැමරාව. ලංකාවේ පළමුවතාවට කාන්තාවක් වාර්තා වැඩසටහනක් කැමරා කරලා තියෙන්නේ මනෝහරී තමයි. ඒ කාලේ අර දඩි කැමරා උස්සගෙන බස් අස්සේ රිංගගෙන පොදු ප්‍රවාහනයේ ලිංගික අඩම්තේට්ටම් ගැන මම ෂූට් කළා. අදනම් මට හිතන්නවත් බැහැ. ඒකේ අපට උගන්වපු ඇමරිකන් මහාචාර්යවරයා මට එහේ යන්නත් කතා කළා එයාගේ සහාය කැමරාකාරිනිය හැටියට. ඒ කාලේ අපිට ඒවා හිතන්නවත් බැරි දේවල්නේ. පස්සේ මම ෂාමිනී ළඟ අවුරුදු තුනක් විතර සහාය අධ්‍යක්ෂවරියක් විදිහට වැඩ කළා. ඇය වැනි ප්‍රවීණ වාර්තා වැඩසටහන් අධ්‍යක්ෂිකාවක් ඇසුරු කළ නිසා මට බොහෝ අත්දැකීම් ලැබුණා වගේම මගේ වාර්තා වැඩසටහන් අධ්‍යක්ෂණයේත් ඒ ආභාසය තියෙනවා. මම අම්මයි තාත්තයි එපා කියද්දි මේ ක්ෂේත්‍රයට ආවෙ. ඒ අයට ඕන වුණේ විදුලිබල මණ්ඩලේ ස්ටෙනෝ කෙනෙක් කරන්න මාව. මට ඒකෙ කිසි රසයක් නැහැ. ඒ ප්‍රශ්නය නිසා 97දි මම දෙමව්පියන් සමඟ තියෙන සම්බන්ධය අත්හරිනවා. ඊට පස්සේ තමයි අර අපි මුණගැහුණු ඩොකියුමන්ට්‍රි ටික කරන්නේ.

එදා මෙදාතුර අපේ මිතුදම එකලෙස පැවතින්නේය. ඇය බොහෝ වෙනස් වෙනස් දැ කරමින් ක්ෂේත්‍රයේ කරක්ගැවාය. මම ද බොහෝ වෙනස් දේ කළෙමි. එහෙත් ජාතික චිත්‍රපට සංස්ථාවේදී අපි යළිත් එකම දේකට හමු වුණෙමු. ඒ අර මුලින් කියූ නිෂ්පාදන කළමනාකරණ විෂයයහෙි සුන්දර අත්දැකීම ලබන කාන්තාවන් දෙදෙනකු ලෙසය. මම, ජයන්ත චන්ද්‍රසිරි සිනමාකරුවාගේ අග්නිදාහය වෙනුවෙනි. ඇය, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුදෝසුදු වෙනුවෙනි. එතෙක් ඇය කළ දේ ආවර්ජනය කළේ මෙසේය.

'ඔය අතරේ මට රේණු අක්කාව (රේණුකා බාලසූරිය) හම්බෙනවා ටෙලිස්ටාර් එකේදි එයාලා ඉටිපහන් කරනවා, මම යුගවිලක්කුව කරනවා. එයා මට සරෝජා එකේ නිෂ්පාදන කළමනාකරණයට කතා කරනවා. එතකොට මම ලක්ෂ්මන් (විජේසේකර) අය්යා එක්ක රන්පත් රටා කියලා ස්වර්ණවාහිනියට වැඩසටහනක් කරමින් හිටියේ. මට ආර්ථික වශයෙනුත් වාසියි ඒක. ඒත් යුගවිලක්කුවෙන් ගත් අත්දැකීම් සහ සම්බන්ධතා නිසා රේණු අක්කට මාව කොහොමහරි ඕනමයි කීවා. ඒ මගේ පළමුවෙනි චිත්‍රපට නිෂ්පාදන කළමනාකරණය. ඒ රෙකමදාරුව එක්ක මහාචාර්ය සුනිල් ආරියරත්න චිත්‍රපට සංස්ථාවේ ණය අරමුදල් ක්‍රමය යටතේ සුදු සෙවණැලි කරද්දිනේ අපි එකට හම්බුණේ. ඒ වෙලාවෙ තමයි මහණ වෙලා හිටිය අපේ තාත්තා නැති වුණේ. ගෙදර ඕනැම දේකදි මේ දඩබ්බර මද්දුට තමයි පවුලේ කට්ටිය කතා කරන්නේ. තාත්තගේ බොඩි එක පන්සලේ තියෙද්දි තමයි මම වැඩ කළේ. මාව ඒ තරම් ශක්තිමත්ව, තමන්ට කන්න නැතත් අනෙක් එකාගේ බඩගින්නට බත් එක දෙන්න කියලා පුරුදු කළේ තාත්තා. සීයා තමයි මට ගහට කොළට සතා සීපාවාට ආදරය කරන්න පුරුදු කළේ. රදළකම තිබුණත් ඒ නිසාම පීඩිත මිනිසුන්ට අනුකම්පාව දක්වන්න පාඩම අනෙක් අතට කියා දුන්නේ අම්මා.

2001දී සිරසට සුළං කපොල්ල සංවාදශීලී ආන්දෝලනාත්මක කතා කළා. නිමල් ලක්ෂපතිආරච්චි තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නේ. ගබ්සාව සහ ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිබඳ කතාකළේ. ගෘහස්ථ හා ලිංගික හිංසන ගැන කතා කරද්දි ලංකාවේ ප්‍රභූවරයෙක් එහෙම තැනක ඉඳලා අපට ප්‍රශ්න ඇවිත් 4 වැනි තට්ටුවට යන්න වුණ වෙලාවෙත් නිමල් අය්යා මා වෙනුවෙන් ඒකට මුහුණ දුන්නා. හැබැයි මම කවදාවත් ආයතනගත වුණේ නැහැ.

මම ඒ වෙද්දි දිනකර පත්තරේ කරු පරණවිතාන යටතේ මම, සී දොඩාවත්ත වගේ පිරිසක් වැඩ කළා. මම විශේෂාංග කර්තෘ. මම ඒත් හිතවත්කමට නිෂ්පාදන කටයුතුවල යෙදුණා. 2004දි මට විමුක්ති ජයසුන්දර කතා කළා එයාගේ පළමුවෙනි චිත්‍රපටය සුළඟ එනු පිණිස නිෂ්පාදන කළමනාකරණයට. ඒකත් මගේ ජීවිතේ අතිශය දුෂ්කර අභියෝගයක්. ඒ අතර ලියපු සත්පත්තිනි ටෙලි නාට්‍යය ඒ ශ්‍රේණියේ කතාවක් ලෙස තේරිලා 2005 ඒක අධ්‍යක්ෂණය කරනවා. 2006 මව්බිම පත්තරේ විශේෂාංග කර්තෘ වෙනවා. ඒක අදට වඩා වෙනස්. බට්ටිත් එක්ක ලංකාවට මෙගා එන්න ගත්තට පස්සේ මම ටෙලි නාට්‍ය කිරීම අතහැරියා. පස්සේ පත්තිනි, අලිකතාව, යශෝධරා ආදියේ නිෂ්පාදන කළමනාකරණය කරන අතර මට පෞද්ගලිකව ලැබුණු වාර්තා වැඩසටහන් කළා. හරිම තෘප්තිමත්. එකම එක පොතක් විතරයි මගේ ජීවිතයට අතෘප්තිය ගෙනාවේ.

ඉතින් මොනවද මේ දවස්වල කටයුතු?

නවකතාවක් ලියමින් ඉන්නේ. නව ලිබරල් ආර්ථිකයට ගමෙන් එන ගෑනු ළමයෙක් කොහොමද මුහුණ දෙන්නේ කියන දේ තමයි මූලික. මේ කතාව තරමක් ආන්දෝලනාත්මක වෙයි කියලා හිතෙනවා මොකද මම ඒ ගැන කතා කරපු හැම කෙනාම වගේ කීවේ එහෙම. ඒ කතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා හොඳීන් හදාරන්න වුණා. මේ යුගයේ අපට හැදැරීමකින් තොරව නනවකතාවක් ලියන්නත් බැහැ. මනුස්සයෙක්ව එතෙන්ට ගේන්නත් බැහැ. මොකද දේශපාලනය කියන දේට මේ කාර්තුවේදී සැම ජීවියෙකුටම මුහුණ දෙන්න වන නිසා. ඇහැළමලී, පෙම්බරා නවකතා දෙකටත් මම තෘප්තිමත්.

මිරර් ආට්ස් 2009 ලංකාවේ පළමුවෙන්ම පටන්ගත් කලා වෙබ් අඩවිය. 2012දී මට රිදී සම්මානය හම්බුණා. රන් සම්මානයක් තිබුණේ නැහැ. හොඳම වින්දනාත්මක වෙබ් අඩවිය ලෙසයි ලැබුණේ.

නිෂ්පාදන කළමනාකරණ වෘත්තිය ඔබ දකින්නේ කොහොමද?

මේ ක්ෂේත්‍රය තුළ ගැහැනියකට හෝ මිනිසකුට ලැබිය හැකි විශාලම වගකීමක්. එය සහාය අධ්‍යක්ෂවරයාටවත්, කැමරා හෝ කලා අධ්‍යක්ෂටවත් තේරුම් ගන්න බැහැ. මොකද අර සියල්ල නිෂ්පාදනයේ පේන්න තිබුණට නිෂ්පාදන කළමනාකරණය නිෂ්පාදනයේ කොතැනකවත් පේන්න නැහැ. ඒත් නිර්මාණය පුරාම තිබෙන්නේත් ඒක. ඉතින් නිෂ්පාදනය නැවක් නම් කැප්ටන් තමයි නිෂ්පාදන කළමනාකරු. අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශනය එළිදක්වන්න අවශ්‍යකරන සියලුම අමුද්‍රව්‍ය සපයා හැසිරවීම ඇතුළු ඒවා ඉලක්කම් අතරට ගෙනත් යථාර්ථයක් බවට පත් කරන්නේ නිෂ්පාදන කළමනාකරු.

අක්කාගේ මෙතෙක් ගමන, ජීවිතය ගැන මොකද හිතන්නෙ?

අපි එන්නේ හිස්වනේ. ඊටපස්සේ එය පුරවා ගන්නවා එක එක දෙයින්. එහිදී විවිධ ශාරීරික, මානසික පීඩා, ඒ සමඟ ලබපු පනිෂ්මන්ට්, මිනිසුන්ගේ වෘත්තිමය සහ විවිධාකාර රැවටීම්වලට හසුවීම්, ප්‍රේම සම්බන්ධතාවලදි මට බොරු කරපුවා ඒ සියල්ලට මම කැමතියි. මම මුල්ම ප්‍රේම සම්බන්ධය වයසින් බාල කෙනකුගේ. ඔහු විශ්වවිද්‍යාලයේ ගිහින් එද්දි මම නාට්‍ය කරද්දි අපේ නොගැළපීම් නිසා මම ඔහුට යන්න කිව්වා. පස්සෙ මම හැම තිස්සේම ප්‍රේමය සෙව්වේ මට වඩා වයසින් වැඩි අයගෙන්. මම ජීවිතේ කවදාවත් බූට් එකක් කාලා නැහැ. බොරුකරද්දි මම ඉවත්වෙනවා. ප්‍රේමයේදි ශාරීරිකව හෝ මානසිකව මාව පාවිච්චි කරන්න දෙන්නෙ නැහැ. මගේ දෙවියෝ මේ ඉරහඳ ගහකොළ සොබාදහම. මට බොරුවක් කරනකොට මගේ ඒ දෙවියො කියනවා උඹ ඔතනින් ඉවත් වෙයන් කියලා. මම ඒ දේ අහනවා. මම කවදාවත් මානසිකව වැටිලා නැහැ. මට එහෙම වැටෙන්න බැරි හේතුවක් තියෙනවා. ඒ මා දිහා බලාගෙන මාව ආදර්ශයට ගත් පිරිසක් ඉන්නවා. අපේ ජීවිත කතාව ලියැවෙන්නේ ෆේස්බුක් එක ඇතුළෙනේ. යමක් ලියපුවාම ඒ අය ප්‍රතිචාර දක්වනවා. මම කාටවත් වැරැද්දක් කරලා නැහැ. සියලු දෙනාට යහපතක් කරන්නයි උත්සාහ කරන්නේ. මගේ ප්‍රාර්ථනය සියලු සත්ත්වයෝ නිදුක්වෙත්වා කියලා. එහෙම කරන මට අතෘප්තියක් වෙන්න හේතුවක් නැහැ. ඉතින් මම මං ගැන තෘප්තිමත්. මාව වට්ටන්න බැහැ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.