කලාවෙන් මුදල් උපයන්න අදහසක් නැහැ : බුද්ධික හසිත

මියුසික් වීඩියෝ ගැන අලුත් කතාබහක්
ජූලි 18, 2019

බුද්ධික හසිත නවරත්න කලා ක්ෂේත්‍රයට ආගන්තුකයෙක් නොවේ. රංගනයට පිවිසීමේ අපේක්ෂාවෙන් කලා ක්ෂේත්‍රයට පිවිසි ඔහු විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් කෙටි චිත්‍රපට ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කර කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් දිරි ගැන්වීමට කැප වී කටයුතු කළ අයෙකි. ඒ වෙනුවෙන් සල රූ සහ සිනෙත්වින් නමින් කෙටි චිත්‍රපට උලෙළ සංවිධානය කළ ඔහු මේ වන විට මෙරට ගීත රූප රචනා ක්ෂේත්‍රය වෙනුවෙන් තවත් විශේෂ වැඩපිළිවෙළක නිරත වී සිටියි.

 

මෙරට කෙටි චිත්‍රපට ක්ෂේත්‍රය වෙනුවෙන් ඔබේ දායකත්වය සුවිශේෂයි?

2012- 2013 පමණ කාලයේ මෙරට කෙටි චිත්‍රපටවලට විශේෂ තැනක් තිබුණේ නැහැ. මේ කාලයේ නිර්මාණ වුණේ කෙටි චිත්‍රපට 50ක් වගේ ප්‍රමාණයක්. 2017 පමණ වන විටදී කෙටි චිත්‍රපටවලට ඉතා හොඳ ප්‍රවණතාවයක් ලැබී තියෙනවා. මේ වන විට කෙටි චිත්‍රපට උලෙළ ඉලක්ක කර ගනිමින් හෝ නොගෙන වසරකට කෙටි චිත්‍රපට 200ක් පමණ නිර්මාණය කරනවා. මම ස්වේච්ඡාවෙන් කළ කෙටි චිත්‍රපට උලෙළවලට අමතරව තවත් විවිධ ආයතන පවා කෙටි චිත්‍රපට උලෙළ සංවිධානය කළා. දෙවැනි වරට 2017 - 2018 මම සිනෙත්වින් කෙටි චිත්‍රපට උලෙළ සංවිධානය කළේ සල රූ කෙටි චිත්‍රපට උලෙළේ දිගුවක් ලෙසින්. ඒ වන විට මෙරට කෙටි චිත්‍රපට ක්ෂේත්‍රයේ සාර්ථක වර්ධනයක් සිදුවෙලා තිබුණා.

මේ වන විට ඔබේ අවධානය වෙනත් අංශයකට යොමු වෙලා?

මෙවර අවධානය යොමු වුණේ මියුසික් වීඩියෝ කලාව පිළිබඳවයි.

ලංකාව් කෙටි චිත්‍රපට කලාව යම් තැනකට ස්ථානගත කිරීමට යම් දායකත්වයක් ලබාදීමට අදහසක් ඇති වුණා. ඒ සමඟින් ලංකාවේ මියුසික් වීඩියෝ කලාව කොතැනද යන තේමාව කතිකා කර ගනිමින් යමක් ඉටු කිරීමට වැඩපිළිවෙළක් සංවිධානය කළා.

මියුසික් වීඩියෝ නිර්මාණය මේ වෙනුවෙන් තෝරා ගන්න විශේෂ හේතුවක් ඇති?

ලංකාවේ මියුසික් වීඩියෝ විශාල සංඛ්‍යාවක් නිර්මාණය කෙරෙනවා. නමුත් ඒවා බොහොමයකට නිසි අවධානයක් යොමු වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් කරන්නන් වාලේ ඒවා නිර්මාණය කළාට ජන ආකර්ෂණය ඇති වන අයුරින් කෙරෙන නිර්මාණ අඩුයි. ඒ නිසා මෙරට නිර්මාණය කෙරෙන මියුසික් වීඩියෝවල ගුණාත්මක බව නැංවීමට පුංචි හෝ දායකත්වයක් දෙන්න අදහසක් ඇති වුණා. ඒ කටයුත්ත ආරම්භ කෙරුණේ අප කණ්ඩායමක් එකතුව නිර්මාණය කළ යුද්ධය නම් මියුසික් වීඩියෝව සමඟින්.

එහි විශේෂත්වය ගැනත් සඳහන් කරමු?

යුද්ධය මියුසික් වීඩියෝව ලංකාවේ මෙතෙක් නිර්මාණය කෙරුණු අනෙකුත් මියුසික් වීඩියෝවලට වඩා බොහෝ සෙයින් වෙනස් නිර්මාණයක් වුණා. ඒ වගේ වෙනස් නිර්මාණයක් සමඟින් අපි මේ කතාබහ ආරම්භ කළේ. සාමාන්‍ය මියුසික් වීඩියෝවලින් බැහැරව ගොස් එය කතා කරන්නේ සමාජ, දේශපාලන සංස්කෘතිය පිළිබඳවයි. ජිනිඳු ප්‍රවීන්, ලක්ෂිත ප්‍රසාද් තමයි එය නිර්මාණය කළේ. යුද්ධය මියුසික් වීඩියෝව ජනගත කිරීම සමඟින් මියුසික් වීඩියෝ ගැන ලංකාවේ කතිකාවක් ඇති කරවීම අපේ අරමුණ බවට පත් වුණා. මම මේ වෙනුවෙන් විස්තර කරන්නෙකු ලෙසින් සම්බන්ධ වුණා. ලංකාවේ මියුසික් වීඩියෝ කලාව සම්බන්ධයෙන් සංවාදය අදටත් අන්තර්ජාලයේ විවෘතයි. මියුසික් වීඩියෝ නිර්මාණකරුවන් වගේම මේ පිළිබඳ උනන්දුවක් දක්වන අය අදහස් බෙදා ගන්න සම්බන්ධ වෙනවා. අන්තර්ජාලයේ යුද්ධය මියුසික් වීඩියෝව ඔස්සේ ඕනෑම කෙනෙකුට මේ අදහස් දැක්වීම සමඟ සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.

ලංකාවේ මියුසික් වීඩියෝ කලාව සම්බන්ධයෙන් කතාබහේ සාර්ථකත්වය කොහොමද?

මේ වෙනුවෙන් අපි භාවිත කළේ අන්තර්ජාලය යි. විශාල වශයෙන් මාධ්‍ය සහයෝගය නොලැබුණු නිසා අපි එය ආරම්භ කළේ යූ ටියුබ් හරහායි. නවරත්න ගමගේ, නදීක ගුරුගේ, ප්‍රසන්නජිත් අබේසූරිය, කෞශල්‍යා ප්‍රනාන්දු, මියුසික් විඩීයෝ කලාවේ ප්‍රමුඛයෙක් වන නිලාන් කුරේ වැනි අයගේ සහයෝගය මෙයට ලැබුණා. මියුසික් වීඩියෝ කලාව කුමන අතට යා යුතු ද? යන්නට අදහස් දක්වමින් ඔවුන් නව නිර්මාණ කරන්න යොවුන් පරපුරට ආරාධනා කළා. මේ ඔස්සේ තවත් දක්ෂ නිර්මාණකරුවන් රැසක් හඳුනා ගන්න අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ අදහස් සමඟ කළ නිර්මාණ බොහොමයක් එළිදක්වා තිබුණා. ඒකාකාරී ප්‍රේමය - විරහව මාතෘකාවලින් බැහැරව විවිධ තේමා ප්‍රධානකොට ගත් නිර්මාණ ඒ ඔස්සේ දැක ගන්න ලැබුණා. හොඳ ප්‍රතිචාර වගේම ඇතැම් අය ගෙන් දොස් අහන්නත් ලැබුණා. ඕනෑම කටයුත්තකදී එය සාමාන්‍ය දෙයක්. අපටත් එහෙමයි. නමුත් කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මේ කටයුත්තට ලබා දුන් යහපත් ප්‍රතිචාර අප දිරිමත් කළා.

ඉදිරියේදී මියුසික් වීඩියෝ සම්බන්ධයෙන් ඇගයීමක් කරන්නත් අදහසක් ඇති?

කෙටි චිත්‍රපට උලෙළවලදී අපි ඒවා ඇගයීමට ලක් කළත් ලංකාවේ මියුසික් වීඩියෝ වෙනුවෙන් එවැනි ඇගයීමක් කරන්න අපහසුයි. විශාල සංඛ්‍යාවක් නිර්මාණය කෙරෙන නිසා ඒ සම්බන්ධයෙන් එවැනි ඇගයීමක් කිරීම ප්‍රායෝගිකව අපහසු කටයුත්තක්. නමුත් මියුසික් වීඩියෝවට යම් අගයක් දෙන ආකාරයේ දැනුම්වත් කිරීම් ඔස්සේ සාරවත් නිර්මාණ අපට දැක ගන්න අවස්ථාව ලැබීම ගොඩක් වටිනවා.

ඔබ කලාවට දායක වෙනවාට වඩා කලාව වෙනුවෙන් ඉටු කරන දේ බොහොමයි?

වෘත්තියෙන් මම ව්‍යාපාරිකයෙක්. ඊට පෙර මම පෞද්ගලික ආයතන කිහිපයකත් සේවය කරලා තියෙනවා. රංගනයට මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා. කාලයක් මම රංගන ශිල්පියෙක් විදියට නිර්මාණ රැසකට සම්බන්ධ වුණා. ආසාවට රඟපාන්න ආවට කලා ක්ෂේත්‍රයට මීට වඩා යමක් කළ හැකි බව ටික කාලයක් ගියාම තේරුණා. මෑතකදී අමුතු රසිකයා ටෙලි නිර්මාණයට රංගනයෙන් දායක වුණා. තවත් ටෙලි නිර්මාණ රැසකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. කෙටි චිත්‍රපට වෙනුවෙන් යමක් කරන්න රත්නපුරේ යූ ටියුබ් චැනල් එකකින් ආරාධනාවක් කළා. ඒ සමඟ අංකුර නමින් වැඩසටහනකුත් කළා. එහිදි ලංකාව පුරා කෙටි චිත්‍රපටකරුවන් එක් කරලා සංවාද සාකච්ඡා පැවැත්වූවා. මේ වගේ දේවල් කළ යුතු බව මම තීරණය කළේ කලා ක්ෂේත්‍රයේදී ආධුනිකයන් මුහුණ දෙන ඇතැම් සිදුවීම් දැකලා තමයි. මොකද මමත් ක්ෂේත්‍රයේ ආධුනිකයෙක් විදියට පැමිණි මුල් කාලයේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන් කෙනෙක්. එදා මම අත්විඳී ඒ අත්දැකීම් අදටත් පැමිණෙන ආධුනිකයන් අත්විඳීනවා මම දැකලා තියෙනවා.

කෙටි චිත්‍රපටයක් හෝ මියුසික් වීඩියෝ එකක් නිර්මාණය කරන්න අදහසක් නැතිද?

කලාවෙන් මුදල් උපයන්න අදහසක් නම් නැහැ. මම කෙටි චිත්‍රපට උලෙළ සංවිධානය කළත් මියුසික් වීඩියෝ ගැන කතිකාව ඉදිරියට ගෙන ආවත් නිවේදනය කළත් මට දැනෙන දේ රංගනයයි. ඊබට් විජේසිංහ නම් ප්‍රවීණ අංග රචනා ශිල්පියා යටතේ අංග රචනය පිළිබඳ පාඨමාලාවකුත් හැදෑරුවා. එහිදී මට ඒ ශ්‍රේණියේ අංගරචනා ශිල්පියෙක් විදියට සුදුසුකම් ලබා ගන්නත් හැකි වුණා. නමුත් රංගන ක්ෂේත්‍රයට වැඩි දායකත්වයක් දෙන්න කැමැතියි. ඉදිරියේදී අත්දැකීම් අනුව අධ්‍යක්ෂණයට පිවිසෙන්න පුංචි අදහසක් තියෙනවා. ඒවගේම අංග රචනා ශිල්පීන්, සහය අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් වගේම සටන් ශීල්පීන් වෙනුවෙන් ඇගයීමක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ලබන වසරේදී යළිත් කෙටි චිත්‍රපට උලෙළක් පවත්වන්නත් සූදානම් වෙනවා. 

 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.