සී. ඩී. පටයෙන් සිනමාපටයට එක්වූ

ඒ. පාරිස්ටර්
පෙබරවාරි 7, 2019

චිත්‍රපට ශාලා අධිකාරිය බිඳ වැටුණේ චිත්‍රපට ගෙදරට ආ පසුය. ටෙලිවිෂනය හා වී. එච්. එස්. පටය හරහා ඇරඹි චිත්‍රපට ගෙදරට පැමිණීම වඩා පුළුල් වූයේ ඩී වී ඩී වෙළෙඳපොළට පැමිණි පසුය. කොටුවේ නීරෝ ඩී. වී. ඩී. ආයතනය සරසවිය පාඨකයන්ට නුපුරදු නමක් නොවේ. සතිපතා අපේ පාඨකයන්ට ඩී වී ඩී වලට වඩා ඉහළ ප්‍රමිතියෙන් යුත් බ්ලුරේ තෑති ලෙස ලබා දෙන්නේ ඔවුන්ය. එහි අධිපති ආරුමුගම් පාරිස්ටර්ය. ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙසද දේශීය කර්මාන්තතයට එක්ව සිටී. මේ වන විට රජා මමයි, නටන් නැතිව දින්නා නිෂ්පාදනය කරමින් ද සේයා සහ සරුංගල් චිත්‍රපටවල සම නිෂ්පාදක ද වන ඒ. පාරිස්ටර් සමඟ සරසවිය මෙලෙස පිළිසඳරට එක් විය.

ඔබ ඩී. වී. ඩී. ව්‍යාපාරයට පිවිසෙන්න හිතුවේ ඇයි?

මීට අවුරුදු විස්සකට විතර කලින් මම සී. ඩී. තැටි තුනක් (ඒ වන විට ඩී. වී. ඩී නොතිබිණි) දාන්න පුළුවන් සෙටප් එකක් ගත්තා.

මට හරි ප්‍රහේළිකාවක් වුණා කොහොමද මේ සී ඩී පටිගත කරන්නේ කියලා. එතැන් පටන් මම සී. ඩී. පටිගත කරන හැටි සොයන්න වුණා.

මට තේරුණා අනාගතයේදී සී. ඩී සඳහා හොඳ වෙළෙඳපොළක් ඇති වෙන බව. ඒ අනුව මම සී. ඩී. පට පටිගත කරන යන්ත්‍ර ලබාගෙන නීරෝ නමින් වෙළඳ ව්‍යාපාරය පටන් ගත්තා.

මේ වන විට මම ඩී. වී. ඩී. වගේම බ්ලුරේ තැටි නිෂ්පාදනයෙන් ද ඉහළම ප්‍රගතියක් ලබාගෙන තියෙනවා.

ඩී. වී. ඩී. වෙළෙඳපොලෙන් ඔබ කොහොමද නිර්මාණකරණයට පිවිසෙන්නේ?

මගේ ව්‍යාපාරය සමඟ හිතවත් කල්යාණ චන්ද්‍රසේකරගේ ඇරැයුම මත මම නීරෝ නමින් ප්‍රථම ඩී. වී ඩී. චිත්‍රපටය සිහිනයකි ජීවිතේ කියලා ඩී. වී. ඩී. චිත්‍රපටයක් කෙරුවා.

එහි සාර්ථකත්වය මත මම ඩී. වී. ඩී. චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කෙරුවා. ඒ අතර කල්යාණ ආයෙත් කිව්වා පාරිස්ටර් හැමදාම ඩී. වී. ඩී. ෆිල්ම්ම කරලා හරි යන්නේ නැහැ. නීරෝ දැන් සිංහල චිත්‍රපට නිෂ්පාදනයටත් අත තියන්න කියලා.

මම දෙමළ ජාතිකයෙක් වුණාට සිංහල චිත්‍රපටවලටත් හුඟක්ම කැමතියි. මම විවාහ වෙලා ඉන්නේ සිංහල කාන්තාවක් සමඟ.

මේ නිසා මම හිතුවා මමත් සිංහල සිනමාවට යමක් කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි රජා මමයි (කලින් මැද පොඩ්ඩක් පැත්තක් නෑ චිත්‍රපටය) චිත්‍රපටය නිෂ්පාදනය කෙරුවේ.

එහි සාර්ථකත්වය මත තමයි මම නටන් නැතිව දින්නා, සේයා සහ සරුංගල් නිෂ්පාදනයට එක් වුණේ.

ඔබේ මුල් චිත්‍රපට ලෝ බජට්’ කියලා ක්ෂේත්‍රයේ සමහර අය කිව්වා නේද?

ලෝ බජට් ද හයි බජට් ද කියලා පේ‍්‍රක්ෂකයන් බලන්නේ නැහැ. චිත්‍රපටයෙන් යම් වින්දනයක් ලැබෙනවා නම් එහි ආකර්ෂණයක් තියෙනවා නම් එතැනයි සාර්ථකත්වය තියෙන්නේ.

ඒ චිත්‍රපට ප්‍රේක්ෂකයෙනුත් වැළඳ ගත්තා.

නීරෝ චිත්‍රපට හදන්නේ ඩී. වී. ඩී. වෙළඳපළ බලාගෙන කියලා කතාවක් තියෙනවා නේද?

සමහරු එහෙම ඊර්ෂියාවට කියයි. ඒත් අද සමහර චිත්‍රපට තිරගත කරලා මාස දෙකක් යන්න කලින් ඩී. වී. ඩී. දානවා.

ඒත් මම රජා මමයි සහ නටන් නැතිව දින්නා ඩී. වී. ඩී. දැම්මේ හරියටම වසරකට පස්සෙයි.

එකෙන්ම තේරෙනවා ඇති මගේ පරමාර්ථය පාරිශුද්ධයි කියලා. මම සිංහල චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ සිංහල පික්චර්වලට තියෙන ආදරය හින්දා මිසක් තිරගත කරලා මාසෙන් දෙකෙන් ඩී. වී. ඩී. දාන්න නෙමෙයි.

ඔබේ නිෂ්පාදන වලින් වඩාත් කැමති නිර්මාණය මොකක්ද?

මම නිෂ්පාදනය කරපු හැම චිත්‍රපටයකටම මම කැමතියි. හැබැයි ඒ අතරින් කල්යාණ චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කරපු සේයා චිත්‍රපටයට මම හුඟක් කැමතියි.

සේයා කියන්නේ සිංහල සිනමාවේ කවුරුවත් අත ගැහුවේ නැති තේමාවක්. ප්‍රථම වරට නිළියන් විතරක් රඟපාපු සිංහල චිත්‍රපටය.

ඒ වගේම කුතුහලය පිරි හොඳ චිත්‍රපටයක් කියලා එය නරඹපු හුඟාක් අය මට කියලා තියෙනවා.

සිංහල සිනමාව අද කඩා වැටිලා කියලා නේද හුගක් අය කියන්නේ. මොකක්ද මේකට හේතුව?

අද හැම තැනකම ප්‍රශ්න තියෙනවා. නවීන තාක්ෂණයත් එක්ක මේ ප්‍රශ්නය හැම රටකටම බලපාලා තියෙනවා. ඒක අපිට විතරක් පොදු දෙයක් නෙමෙයි.

සිංහල චිත්‍රපට බෙදා හැරීමේ තියෙන ගැටළු විසඳලා සිංහල චිත්‍රපටවලට සාධාරණ ප්‍රදර්ශන කාලයක් ලබා දෙනවා නම් මේ හුඟක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්.

ඒ වගේම ඒ ඒ ප්‍රදර්ශක මණ්ඩලවල ඒ මණ්ඩලවලට අයත් චිත්‍රපට පමණක් තිරගත කරනවා නම් මේ හුඟක් ගැටළු විසඳන්න පුළුවන්.

එතකොට ප්‍රදර්ශක මණ්ඩල සහ රජය දැනගන්න ඕනේ සිනමාහල් නැති නගරවල සිනමාහල් අලුතෙන් ආරම්භ කරලා සෑම ප්‍රදර්ශක මණ්ඩලයකම සිනමාහල් ප්‍රමාණය වැඩි කරන්න.

සිංහල චිත්‍රපටවල ඩී. වී. ඩී පට නිකුත් විමත් සිංහල සිනමාවේ කඩා වැටීමට හේතුවක් නේද?

මම මුලිනුත් කිව්වා මම සිංහල චිත්‍රපට කරන්නේ ඩී. වී. ඩී. දාන්න බලාගෙන නෙමෙයි කියලා.

ඇත්තටම සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය අරම්භ කරලා අවුරුද දෙකක් වත් යනකම් ඩී. වී. ඩී. දැමීම නතර කරන්න චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙන්න ඕනෑ. ඒ නීතිය රූපවාහිනියටත් බල පවත්වන්න ඕනේ.

මම දන්නවා අද සමහර චිත්‍රපට තිරගත කිරීම ආරම්භ කරලා මාසෙන් දෙකෙන් ඩී. වී. ඩී වලට විකුණනවා.

මේ තත්ත්වය නතර කරනවා නම් ප්‍රේක්ෂකයන් සිනමාහල්වලට ඒවි. හැබැයි ඉතින් අද රටේ තියෙන ආර්ථිකයට සරිලන විදිහට සිනමාහල්වල ප්‍රවේශ පත්‍ර මිලත් අඩු වෙන්න ඕනේ. මිල අඩු කරලා වැඩි පිරිසක් සිනමාහල්වලට අද්දවා ගන්න එක තමයි කරන්න ඕනේ.

ඉන්දියාවේ සුපිරිම සිනමාහල්වල ප්‍රවේශ පත්‍රයක මිල ඉන්දීය රුපියල් එකසිය විස්සයි.

ඒ හින්දා ඉන්දිය ප්‍රේකෂකයෝ වැඩි වැඩියෙන් චිත්‍රපට බලනවා. ඒ තත්ත්වය අපේ රටෙත් ඇති කරගන්නවා නම් මේ ප්‍රශ්න විසඳේවි.

ඔබේ මීළඟ නිර්මාණය?

එය සංගීතමය කතාවක්. එය මාර්තුවල අරඹනවා. එය අධ්‍යක්ෂණය කරන්නෙත් කල්යාණ.

ඔබේ පවුලේ විස්තරත් කියමු බලන්න?

මම විවාහ වෙලා ඉන්නේ සිංහල කාන්තාවක්. ඇය සෝබනී. මගේ දුව ශ්‍රීමාලි ළඟදී විවාහ වුණා. නිරෝෂන් සහ තුසාන් මගේ පුතණුවන්.

මේ නිරෝෂන්ගේ නම තමයි ‘නීරෝ’ වුණේ.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.