සත්‍යය සුන්දරය සිංහල ලේ ගැන ප්‍රශ්න කරන්නයි

චන්ද්‍රරත්න මාපිටිගම
පෙබරවාරි 7, 2019

චන්ද්‍රරත්න මාපිටිගම නම ඇසූ පමණින් ඔබට මතක් වනු ඇත්තේ ටෙලි නාට්‍ය හා චිත්‍රපට බව නිසැකය. එහෙත් අප අද ඔහු සමඟ මේ පිළිසඳරේ යෙදෙන්නේ තිර රචනය පිළිබඳ නොවේ, නවකතා රචනය පිළිබඳවයි. නිර්මාණකරුවකු ලෙස ඔහු නවකතාකරණයට පිවිසෙන්නේ 2018 වසරේදීය. ඒ ‘සත්‍යය සුන්දරය’ යනුවෙන් ඔහු ලියූ කුලුඳුල් නවකතාව සමඟිනි. මේ නව ප්‍රවිෂ්ටය සහ ඔහුගේ ක්ෂේත්‍ර ගණනාව පිළිබඳවම අපි කෙටියෙන් විමසුවෙමු.

ඔබ ලිවීමටම ඇබ්බැහි වූවෙක් ලෙස නවකතාවක් රචනයට මේ තරම් ප්‍රමාද වුණේ ඇයි?

ඇත්තටම පොඩි කාලෙ ඉඳන්ම මම ලියන්න හරි දක්ෂයි. මම අවුරුදු 16දී තමයි පෙම්බර අම්මේ කියන පොඩි කතාව ලීවේ. ඒ තාත්තා කියපු හින්දා. ලේඛන හැකියාව ඉස්සර ඉඳන්ම තිබුණත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලට කාලය යොමුවද්දි නවකතාවක් ලියන්න තිබුණ ආසාව එහෙම්මම යටපත් වුණා. මොකද එයට සැහෙන කාලයක් යොමු කරන්නත් ඕනා. මේ වෙද්දි මම ටෙලි නාට්‍ය 70ක් සහ චිත්‍රපට 10ක් කර තිබෙනවා. තිර නාටකය ලියලා, ෂූටින් කරලා, සංස්කරණය කරලා සියල්ලටම සම්බන්ධ වෙද්දි ආසාව තිබුණත් විවේකයක් ඇත්තටම තිබුණේ නැහැ.

ඔබේ මේ නවකතාවත් චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය පිටපතක ආකෘතියක් ලෙසයි මට දැනෙන්නෙ?

ඇත්තටම මේ කතාව මම හිතාගෙන හිටියේ චිත්‍රපටයක් කරන්න. ඒත් මොන හේතුවකින් හරි කල් ගියා. අනෙක නිෂ්පාදකයෙක් සොයා ගැනීමත් ලේසි නැනේ. ඒ අයත් ඉන්නේ වෙන වෙන අදහස්වල. ඒ අය අහන්නේ අපි කොමඩියක් කරමුද, ඇක්ෂන් එකක් කරමුද කියලා. මේ වගේ මාතෘකාවකට යොමු වන්නේ කලාතුරකින්. ඉතින් මට හිතුණා මේ වස්තුබීජය මා එක්කම නැතිවෙලා යයි කියලා. ඒ නිසා නවකතාවක් ලෙස ඉක්මනින් එළි දැක්වූවේ. පසු කාලීනව මෙය චිත්‍රපටයක් ලෙස කරන්න වුණත් දැන පුළුවන්.

සංවාද මූලික ආකෘතියක් ලෙස දර්ශනයෙන් දර්ශනයට මේ කතාව දිගහැරෙන්නෙත් ඔය චිත්‍රපට සිතිවිල්ල නිසයි.

ඔබේ කතාවේ හරය පාඨකයාට සැහැල්ලුවෙන් කියවිය හැකි ලෙස ලබා දීමට මුල සිටම සිතුවාද?

සම්භාව්‍ය නවකතාවල චරිත විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වෙනවා. පසුබිම විස්තර කරනවා. ඒත් මට එහෙම බරපතළ දෙයක් කරන්න ඕන වුණේ නැහැ. පාඨකයා අද සමාජයේ තිබෙන ප්‍රශ්නය අවබෝධ කර ගන්නවා නම් මට ඒ ඇති. මට මේ කතාව රචනා කිරීමට දැක්මක් තිබෙනවා. ඒ නිසාමයි මම කල් නොඇර මෙය එළි දැක්වූවේ. මම මෙය නොකරා නම් මගේ යුතුකම ඉෂ්ට නොකළා කියන හැඟීම මට ඇති වෙන්න පුළුවන්. වසර තිහක යුද්ධය දිනුවා කියලා අපට සාමය උදා වුණේ නැහැ. උතුරේ අන්තගාමීන් සහ දකුණේ අන්තගාමීන් 80 දශකයේ වගේම හැසිරෙනවා. එකම දේ යුදමය පසුබිමක් නැති එක විතරයි. ඉතින් ඒ මතවාදය තිබෙනකල් ජාතීන් අතර එකමුතුවක් ඇතිවෙලා මේ රට දියුණු වන්නේ නැහැ. අපට ආසන්න රටවල් විශේෂයෙන්ම සිංගප්පූරුව බලද්දි 1950 ගණන්වල ලී ක්වැන් යූ කියන නායකයා කීවේ අපි සිලෝන් වගේ රටක් විය යුතුයි කියලයි. මොකද අපි හිටියේ ජපානයට පමණක් දෙවැනි තැන. ඒත් අද ඒ අය අප වගේ දහගුණයකටත් වඩා දියුණු මට්ටමක ඉන්නවා. මේ සියල්ලට හේතුව දේශපාලනය. විශේෂයෙන් ජාතික ප්‍රශ්නයට අත ගැසූ නායකයන් එය හරියට කළේ නැහැ. සිංගප්පූරුව ගෙනා ආදර්ශ පාඨය තමයි වන් සිංගප්පෝ වන් කන්ට්‍රි. ඉන්දියාවත් එහෙමයි. මොන ප්‍රශ්න තිබුණත් ඉන්දියාව ඒ එකමුතුබව එයින් තේරෙනවානේ. අපට කිසිම දේකට කිසිම ජාතික පතිපත්තියක් නැති රටක් මේක. ඒ නිසා ප්‍රධාන ප්‍රශ්නය විසඳන්නේ නැතිව මොනවා කළත් වැඩක් නැහැ.

ඔබ මෙය රචනා කළේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්ද?

සත්‍ය සිදුවීමක කොටස් මේ කතාව තුළ තිබෙනවා. උදාහරණයක් ලෙස දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයා අසූතුනේදි මෝටර් රථයක් තුළදී ඝාතනය කිරීම සත්‍ය සිදුවීමක්. ඒත් සමස්ත කතාව ගත්තාම එය මගේ පරිකල්පනයක්. ප්‍රබන්ධයක්. ඒ තුළ මම උත්සාහ කරන්නේ අපි කොහොමද අපි සිංහල ලේ කියලා ඔප්පු කරන්නේ කියන දේ ප්‍රශ්න කිරීමට. කොතනද අපට තිබෙන සාධකය. අපට අසනීපවෙලා ලේ දුන්නොත් ඒ කාගෙ ලේද කියා අපි දන්නවාද? තරුණ පුවත්පත් කලාවේදියා සම්පූර්ණයෙන්ම ජාතිවාදි පුවත්පතකට සම්බන්ධව ඒ පුවත් ඔස්සේ ජනතාව උසිගන්වන පුද්ගලයෙක්. අපේ ඇතැම් මාධ්‍ය පිළිබඳ මෙවැනි විවේචන තිබෙනවා. ඇත්තෙන්ම සිංහල ලේ කියන සංකල්පය ඉතාම ප්‍රාථමික, ගෝත්‍රික, ග්‍රාම්‍ය දෙයක්. ඒ පස්සේ දුවන පිරිසක් ඉන්නවා. අපි හැමෝටම තිබෙන්නේ මිනිස් ලේ. ඒ වෙනුවෙන් ගහ මරාගෙන, තාප්ප ගහගෙන වෙන්කරගෙන ඉන්න ගියාමයි මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ. මට ඇත්තටම අවශ්‍ය අපේ ලේ ඇත්තෙන්ම සිංහලද නැත්නම් කාට හරි කලවම් වෙලාද කියන සැකය ජනතාව තුළ ඇති කිරීමටයි. මොකද එතකොට තමයි මනුස්සයෙක් හිතන්නේ අපි ඔක්කොම එකට ඉන්න ඕනා කියලා.

ඔබ කියන සුන්දරත්වය සැබැ සත්‍යයේ තිබෙනවාද?

පොතේ අවසානයේ අපට දැනගන්න ලැබෙනවා සත්‍යය කොතරම් සුන්දරද කියලා. මොකද බොහෝ අය හිතනවා ඇත්ත තිත්තයි කියලා. ඒත් ඇත්තම කිව්වොත් ඇත්ත ඉතාම මිහිරියි. හේතුව අපි තේරුම් ගන්නවා අපි වැරැදි තැනක හිටියේ කියලා. අපි ශ්‍රී ලාංකිකයන් කියන ඇත්ත දැනගත්තාම සුන්දරයි.

මම කැමතියි ඔබෙන් අහන්න, අපි මේ සියල්ල කිව යුත්තේ සිංහල ජනතාවට පමණද? ඔය කතාවේ අනෙක් පැත්ත දෙමළ, මුස්ලිම් ජනතාවට අදාළ වන අයුරින් කිවයුතු නැද්ද?

අනිවාර්යයෙන්ම කිව යුතුයි. මගේ ආසාවක් තිබෙනවා මේ පොත කවුරු හරි දෙමළ බසට පරිවර්තනය කරනවා නම් කියලා. මගේ ඔළුවේ ඒ සඳහා අදහසක් තිබෙනවා. මම අපේ කෝණයෙන් මේ ගැන කතා කළාට, අනෙක් පැත්තෙත් මේ දේ සිදු වෙනවා. ඒ නිසා දක්ෂ පරිවර්තකයකු මම සොයමින් ඉන්නේ.

ඔබ අපේ රටේ නවකතා කලාව, සාහිත්‍ය සම්මාන උලෙළ පිළිබඳ හිතන්නේ කෙසේද?

මට ඉස්සර කියවපු තරම් පසුගිය කාලේ කියවන්න ඉඩහසරක් ලැබුණේ නැහැ. ඒත් මම හොඳයි කියලා නම් කෙරුණු කතා ටික කියෙව්වා. ඇත්තෙන්ම හොඳ මට්ටමේ නවකතා බිහිවන බව පේනවා. මට හිතෙනවා ප්‍රබල දෘශ්‍ය මාධ්‍ය මඟින් අද හරසුන් ටෙලි නාට්‍ය වගේ දේවල් පෙන්වන අතර හොඳ නවකතා බිහිවීම කොතරම් වටිනවාද කියලා. මම සාහිත්‍යකරණයට වැඩිපුර යොමු නොවුණ නිසා සාහිත්‍ය සම්මාන ආදියේ පසුබිම මම සෙව්වේ නැහැ.

අද බොහෝ විදෙස් ටෙලි නාට්‍ය ආදිය නාළිකාවල ප්‍රදර්ශනය වනවා? ඔබ ටෙලිනිර්මාණකරුවකු ලෙස එය දකින්නේ කෙසේද?

ඇත්තෙන්ම ලංකාවේ හොඳ ටෙලිනාට්‍ය බිහි වුණා. ඒත් ප්‍රශ්නය එක් නාළිකාවක් ආකර්ෂණීය ටෙලි නාට්‍ය ගෙනාවට පස්සේ අනෙක් පෞද්ගලික නාළිකාත් ඒ පස්සෙ ගියා. මේ උත්සාහය හොඳ දෙයක් දෙන්නම නෙවෙයි. ඇතුළෙ කතන්දරය තියෙන්නේ ලාබෙට ගන්න නාට්‍ය කොපිවලට වියදම යන්නේ හඬ කවන්න විතරයි. ඒක වෙළෙඳ වාසියට කරන දෙයක්. ලොකුම ප්‍රශ්නය ඒක නෙවෙයි. ඒවා පෙන්නලා ඒ අය දේශීය නිර්මාණකරුවන්ගෙන් ඉල්ලනවා ඒ කොලිටියේ නිෂ්පාදන අඩුවියදමකින් කරන්න කියලා. ඒක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒක කොලේ වහල ගැහිල්ලක්.

චිත්‍රපටකරුවකු ලෙස ඔබ වත්මන් සිනමාව දකින්නේ කෙසේද?

අද නිෂ්පාදකයන් අවදානමක් ගන්න කැමති නැහැ. ඒ නිසා හොඳ තිරරචනා තිබුණත් ඒවාට අවස්ථාව නැහැ. දකුණු ඉන්දියානු චිත්‍රපට අරගෙන බලන්න කොච්චර අලුත් තේමාවන් පර්යේෂණාත්මක චිත්‍රපට ඔවුන් හදනවාද? ඒත් එක්කම අපේ ප්‍රේක්ෂකාගාරය සීමා සහිත වීමත් චිත්‍රපට කර්මාන්තයට අද අත්ව තිබෙන ඉරණම තීරණය වන්න හේතුවක්. අද අපේ නිෂ්පාදකයන් ආයෝජනය කරන්නේ එක්කො ජාතක කතාවලට. නැත්නම් ඓතිහාසික කතාවට. මොකද ඒවාට ප්‍රේක්ෂකාගාරයක් තිබෙන නිසා.

ඔබ ඉදිරියටත් සාහිත්‍යකරණයේ යෙදෙනවාද?

ඔව්. තව නවකතාවක් ලියමින් ඉන්නේ. ඒකත් මේ ජාතික ප්‍රශ්නය පිළිබඳවම වෙනම කෝණයකින් ලියන්නක්. එහි නම එක අහස යට.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.