දඩයමක් වූ දඩයම

දෙසැම්බර් 6, 2018

"බල්ලන්ට දඩාවතේ යන්න දෙන්න බැහැ""එක්කො උන්ව බැඳලා දාන්න ඕනා, නැත්නම් මරලා දාන්න ඕනා""මට පුලුවන් ඌව බැඳලා දාන්න විතරයි. ඒක හින්දා තමුසේ මාව අද බඳීන්න ඕනා"ලාංකේය සිනමාව තුලින් මතුවූ ප්‍රබලතම ⁣වදන් පෙල මෙය යයි මට සිතේ. ගැහැණියකගේ පසුතැවිල්ලේ අදෝනාවකට වඩා ⁣එයින් දිස්වූයේ වෛරයේ ගිණි පුපුරුය. ඒ වෛරය තමන් රැවටීම නිසාය.ජාකෝලිස් කැකුණවෙල, පාන් බක්කර හිමියෙකි. ඔහු තරමක් දරදඬු වූවා සේම ,විටෙක සංවේදි වන්නෙකි. ඔහුගේ බිරිඳ සියලු බර උසුලා සිටින කරුණාවන්ත, අවිහිංසක ස්ත්‍රියකි. ඔවුන් සල්ලිභාගය තිබෙන අය නොවුවද, පාන් බක්කරෙන් කිසිවකට අත නොපා තමන්ගේ වපසරිය තුළ ජීවත් වීමට හැකි විය. ඔවුනට උස් මහත් වූ දියණියන් දෙදෙනෙක් සිටියහ. මෙයින් බාල දියණිය, රත්මලී කැකුණවෙලය. ඇය රූමත්ය, දඟකාරය. එහෙත් අවිහිංසකය. අප කථා නායිකාවද ඇයය.වීරසිංහ ආරච්චිගේ ප්‍රියංක ජයනාත්, හැන්ඩියෙකි. නාගරීක පන්නයට හැඩ ගැසුණු මොහු සතු නවීන පන්නයේ කාර් රථයක් තිබෙන අතර, ඔහුගේ කඩවසම් පෙනුමට මෙම කාර් රථය මනාව ගැල⁣පුණි. ඔහු කලු පැහැති අව් කණ්නාඩිය දමා මෝටර් රථය එලවාගෙන යනවිට තරුණියන් සිතන්නේ සුරලොවෙන් පැමිණෙන සුර කුමාරයකු කියාය. දවසක් අහම්බයකින් රත්මලී කැකුණවෙල නම් ගැමි රූමත් තරුණියට වීරසිංහආරච්චිගේ ප්‍රියංක ජයනාත්ව මුණ ගැසේ.වසන්ත ඔබේසේකර තම සිනමා පටයට මුල්ම දඩයම කරන්නේ එලෙසය. ඒ රත්මලී හා ජයනාත්ගේ මුණගැහීම තුළින් ආකර්ශනයක් ඇති කරමිනි. ජයනාත් දඩයම්කරුවෙකු යැයි අපට මුලින් කිසිසේත් නොහැඟෙයි. අප දකින්නේ සුන්දර ප්‍රේමවන්තයෙකු ලෙසය. රත්මලී ජයනාත්ට ආකර්ශනය වන්නේ අර මුලින් කී 'සුර කුමාර කන්සෙප්ට්' එක හරහාය.රත්මලී ජයනාත්ට වශීවූයේ ඔහුගේ ආටෝපයටය. එහී දෙකක් නැත. එහෙත් ධනයෙන්ද, පෙනුමෙන්ද, වෘත්තියෙන්ද බලවත් ජයනාත් තමා සමඟ යහළු වුණේ තමාව විවාහ කරගෙන පවුල් පන්සල් වන්නට නොවේ යැයි සිතන්නට තරම් රත්මලීට උකුණු හිසක් තරමේ මොළයක් වත් නොතිබුණාද. නැත්නම් අර සම්ප්‍රදායානුකූලවූ 'හිත ගිය තැන ඉදිවෙන්නේ රජ මාලිගාව' යැයි අපට සිතන්නට ඉඩ හැරියාද?රත්මලීගේ හා ජයනාත්ගේ ප්‍රේමය මුල් අදියර නම් මාර රොමැන්ටික්ය. ජයනාත් රත්මලීට තම කාර් එකේ ඩ්‍රයිවින් පවා උගන්වයි. ජයනාත් රත්මලීව වෙනමම ලෝකයකට රැගෙන ගොස්, ආදරයේ චමත්කාරයෙන් ඇයව මත් කළේය.අවසානයේදී ඇය හැසිරුණේ ජයනාත් හැරෙන්නට තවත් කිසිවෙක් තමාගේ ජීවිතේ නැති ලෙසටය.ඇඩ්ලින් විතාරනගේ ජීවිත කථාව යැයි කීවද, ඇඩ්ලිනුත්, ජයලාල් ආනන්දගොඩත් මේ තරම්ම ආදරෙන් බැඳුනාදැයි සිතා ගැන්මට නොහැකිය. එහෙත් සිනමාව තුල එය තිව්ර කල යුතුය. වසන්ත ඔබේසේකර අනුගමනය කළේ ඒ සිනමා රීතියයි. එහෙයින් ඇඩ්ලින්ටත්, ආනන්දටත් වඩා රත්මලී හා ජයනාත් බඩ බැඳගෙන ආදරය කළෝය.ජයනාත්ට රත්මලීව අවශ්‍ය වනුයේ 'රෙස්ට් හවුස්' එකට යන තෙක් පමණි. එහෙත් රත්මලීට, රෙස්ට් හවුස් එකටත්, ඉන්පසු රෙස්ට් හවුස් එකෙන් ඔබ්බට පවුල් ජීවිතයකුත් අවශ්‍ය විය. නමුත් ජයනාත් තුළ තිබුයේ රත්මලී ලා වැන්නවුන් රෙස්ට් හවුස් ජීවිතයට පමණක් සීමා කර , ඉන් ඔබ්බට ප්‍රභූ පවුලක තරුණියක් විවාහ කරගෙන, ප්‍රභූවරයෙක් ලෙස ජීවත් වීමටය. ඔහු ඒවාට නිසි සැලසුම් යොදා ගෙන තිබුනි.එහෙත් රත්මලීට තිබුණේ ජයනාත් ගැන දැඩි විශ්වාසයකි. ජයනාත් හා තමාගේ සමාජීය තත්ත්වය, මුදල් තත්ත්වය, අහසට පොළව මෙන් පරතරයක තිබුනද, ඔහු ඒ සියල්ලම ගණනකට නොගෙන පාන් බක්කරයක් අයිති ජාකෝලිස්ගේ දියණිය විවාහ කරගනීවී යන මෝඩ,ආකල්පයක රත්මලී සිටියේ හරියට සාලිය රාජ කුමරා විසින් රොඩි කෙල්ලක් වූ අසෝක මාලා වෙනුවෙන් රජකම හැරදා පැමිණී කථාන්තරය, ඇතැම් විට ජාකෝලිස් විසින් රත්මලී කුඩා කල කියා දීමෙන් ඇතිවූ හැගීම නිසා වන්නට ඇත. එහෙත් සාලිය කුමරුට පිස්සු වුණාට, ජයනාත්ට රත්මලී වෙනුවෙන් සියලු දෙය අතහැර එන්නට පිස්සුවක් නැත.ජයනාත්, රත්මලී දූෂණය කළේ නැත. රත්මලී ජයනාත් එක්ක රෙස්ට් හවුස් ගොස් රෙදි ගැලවූවේ කැමැත්තෙන්ය. මේ යකා මාව කසාද බඳීයිද, නොබඳීයිද කියාවත් නොසිතා රෙදි ගැලවූයේ රත්මලීටත් 'සෙක්ස්' ඕනා නිසාය. එහෙයින් මේ වැරැද්ද ජයනාත්ට පමණක් පැවරිය නොහැකිය. රත්මලීද ඉල්ල ඉල්ලා කෑ කෑමකි මෙය.නමුත් වසන්ත ඔබේසේකර රත්මලීව සුද්ද කිරීමේ උත්සහයක යෙදුණු බවක් පැහැදිලිවම පෙනුණේ ඔහු , හැම සිදුවීමකදීම ජයනාත් කළු චරිතයක් කිරීමට යාමෙන්ය.රත්මලී රෙස්ට් හවුස් ගොස් ඇණ ගැනීමෙ සම්පූර්ණ වරද පැටවිය යුත්තේ රත්මලීටම මිස, ජයනාත්ට නොවේ. නමුත් චිත්‍රපටය තුළ වසන්ත ඔබේසේකර, ජයනාත් සම්පූර්ණයෙන්ම දුෂ්ඨ, අවලම්, අසික්කිත චරිතයක් කරන අතර, කසාද බඳීන්නටත් ප්‍රථම මිනිසුන් සමග රෙස්ට් හවුස් වල නිදි වදින්න ගිය රත්මලීව තොත්ත බබා කරවා ප්‍රේක්ෂකයාගේ පූර්ණ අනුකම්පාව දිනා ගැන්මට ඉඩ සැලසීය.වසන්ත ඔබේසේකර ඇඩ්ලින් විතාරනගේ සිදුවීම, තම චිත්‍රපටය වූ "දඩයම"ට යොදා ගත්තේ තේමාවක් ලෙස පමණී. ඒ තේමාව ගෙන ඔහු ඔහුට අවශ්‍ය ලෙස චරිත සංශෝධනය කළේය. චරිත අභ්‍යන්තරයන් තුළ විශ්වසනීයත්වය බැහැර වූ අවස්ථා අනේකවත් තිබුනද, වසන්ත "දඩයම" ඉදිරිපත් කළ ආකාරය මොන තරම් ප්‍රබල වූවාදැයි කිවහොත්, ඇඩ්ලින් විතාරනට මේ අයුරින්ම සිද්ධ වෙන්නට ඇතැයි ප්‍රේක්ෂකයෝ අනුමාන කළෝය.ඇඩ්ලින් විතාරනගේ කථාව කිසිදිනෙක ඇඩ්ලින්ගෙන් අපට අසන්නට ලැබුනේ නැත. එය ලැබුණේ ආනන්දගොඩ පොලීසියේදී කළ පාපොච්චාරනය හරහාය. ඒවා ආනන්ද විසින් පැවසූ සත්‍යම දේවල්දැයි, නොඑසේ නම් ඔහු ගෙතූ දේවල්දැයි හරියටම කීමට නොහැකිය. ඇතැම් ඒවා සත්‍ය දේ සේම ,ඇතැම් ඒවා ගෙතු දේවල්ද විය හැක. වසන්ත ඔබේසේකර 'දඩයම' තුලින් අපට පෙන්වූ බොහෝ දේ අතිශෝක්තියක් වූවද, ⁣එලෙසම බොහෝ දේ නිර්මාණයට අවශ්‍ය ලෙස වෙනස් කෙරුවද ,එය ප්‍රේක්ෂකයාට දැණුණේ ආනන්ද ගනේගොඩ අතින් ඇඩ්ලින් විතාරනට මේ අන්දමට සිද්ධ වෙන්නට ඇති කියාය. ඒ වසන්තගේ දක්ෂකමය.මෙතෙක් රොමෑන්තයක තිබූ කථාව, කලබගෑනියකට හැරවුණේ රත්මලීට දරුවෙක් ලැබෙන්නට වුණු පසුය. ගිනි ගත්තේ රත්මලීගේ නිවැසියන්ය. එසේම සාමාන්‍ය ලෙස හෝ වැදගත් අන්දමට ජීවත් වූ ජාකෝලිස් පිස්සු හැදී නිවසින් පළා ගියේ, රත්මලී හා රත්මලීගේ නිවැසියන්ගේ චින්තනයන් ගිනිබත් කරවමිනි. ඒ අතර, ජයනාත් තමා මඟහරින බවක් වැටහුණෙන් රත්මලී, ජයනාත් පසුපස හඹා යන්නට පටන් ගතී.'දඩයම' දඩයමක් වන්නට පටන් ගන්නේ මෙතැන් සිටය.වසන්ත ඔබේසේකර රත්මලීට ප්‍රේක්ෂකයන්ගේ අනුකම්පාව අරන් දීමට උත්සහා ගන්නේද මෙතැන් සිටය. අනිත් අතට ප්‍රේක්ෂකයන් ජයනාත්ට වෛර කිරීමට වසන්ත ඉඩ සලස්වන්නේද මෙතැන් සිටය.රත්මලී ජයනාත්ව ⁣සොයා ⁣ගෙන ඔහු උගන්වන පාසැලට යාමෙන්, ජයනාත් එක දෙයක් තේරුම් ගති. ඒ මෙම ගැහැනියගෙන් ගැලවී යාම ලේසි නැති බවකි. එහෙයින් මෙම ගැහැනියව මෙල්ල කළයුත්තේ චාටුවෙන් හා කපටි කමින් බව ජයනාත්ට තේරුම් යන්නට විය.රත්මලී විවාහ කරගන්නා බව පොරොන්දු දුන් ජයනාත් යළි ටික කලක් ඇය සමඟ ඇසුරු කළේය. පළමු දරුවා ලැබුණු පසු, රත්මලී තම විවාහය ඉක්මන් කරන්නට කිවු නිසා, ජයනාත් තම මව සහ නැගණියව රැගෙන රත්මලී ගේ නිවසට පැමිණීයේය. රත්මලී ගැටේකට අහුවූ බව දැන ගත්තේ, ජයනාත්ගේ අම්මා හා නංගී සමඟ ජයනාත්ගේ නිවසට යැයි කියන තැනකට ගිය පසුය.වසන්ත ඔබේසේකර, ජයනාත්, දුෂ්ඨ චරිතයක් පමණක් නොව, අවලමෙක්, සක්කිලියෙක් කළේ මේ ජවනිකාවෙනි. ඔහු තම මව කියා රත්මලීගේ නිවසට රැගෙන ගියේ ගණිකා නිවාසයක පාලිකාවක්ය. නැගණිය කියා රැගෙන ගියේ එම නිවාසයේ සිටි ගණිකාවක්ය. ජයනාත් තම මවගේ අශිර්වාදය මැද විවාහ වීමට ගිය රත්මලීට සිදුවූයේ ගණිකා මඩමක හිරවීමටය. එතනදී ඇයව දූෂණය වේ. එහෙත් ඇය එයින් පැන කෙසේ හෝ තම නිවසට පැමිණියාය.එම ජවනිකාව වසන්ත ඉතාමත් සංවේදීව ඉදිරිපත් කර තිබුණි. රත්මලිගේ මව කුඩා දරුවාත් හුරතල් කරමින් ගමේ ගැහැනුන් කීප දෙනෙකුට තම බෑනා හා ඔහුගේ මවගේ වරුණාව කියමින් සිටින අතරවාරයේය, රත්මලී තනියෙන් ඉමහත් කලකිරීමකින් පැමිණෙනුයේ. මෙතෙක් තම බෑණා ගැන ගමේ ගැහැණුන්ට පුරාජේරු කියවූ රත්මලීගේ මවට රත්මලී පැමිණි ආකාරයට කට උත්තර නැති විය.ජයනාත් කෙරෙහි රත්මලීට මෙතෙක් තිබුණේ අප්‍රසාදයක් පමණි. එහෙත් මෙතැන් සිට ඇයට ඔහු ගැන දැඩි වෛරයක් පිළිසිදුනි."දඩාවතේ යන බල්ලන්ව එක්කො බැඳලා දාන්න ඕනා, එහෙම නැත්නම් මරා දාන්න ඕනා. මට කරන්න පුළුවන් තමුසෙව බැඳලා දාන්න විතරයි. ඒක නිසා තමුසේ අදම මාව බඳීන්න ඕනා" කියා ඇය කීවේ ඒ නිසාය.ගැහැනිය ඇතැම් අවස්ථාවන් හී කෙතරම් ප්‍රබල වූවත්, බොහෝ අවස්ථාවල දියාරු වන බව, වසන්ත ප්‍රේක්ෂකයන්ට ඔප්පු කළේ රත්මලී නැවතත් ජයනාත්ට දාවා ගැබ් ගත් බවක් පෙන්වමිනි. වසන්ත , රත්මලීගේ චරිතය යළිත් පහතට වැට්ටීය. නමුත් ඒ තුළිනුත් පැහැදිලිව පෙනුනේ මේ තරම් විශාල ව්‍යසනයක් සිදුවුණිද රත්මලීට මුලීකව අවශ්‍යව තිබුණේ 'සෙක්ස්' බවය. එයත් ඇයට අවශ්‍ය වූයේ ජයනාත්ගෙන්ය.ජයනාත් රත්මලීට පොරොන්දුවූ ප්‍රකාර ඇය විවාහ රෙජිස්තර් කෙනෙක් ඉදිරියේ විවාහ කර ගති. ඔබේසේකර, ජයනාත්ව, දුෂ්ඨයෙක්, අවලමෙක්, කපටියෙක් පමණක් නොව, සක්කිලියෙක්, වංචාකාරයෙක් කළේ මෙතනදීය. ඒ මෙය හොර රෙජිස්තාර් කෙනෙක් ඉදිරියේ කළ විවාහයක් නිසාය. එයද ජයනාත්ගේ අසික්කිත සැලැස්මකි. එලෙසම ජයනාත් ප්‍රභූ පවුලකින් රේණුකා නම් තරුණියක් සමඟ විවාහ ගිවිස ගෙනද සිටියේය.වසන්ත ඔබේසේකර නැවතත් රත්මලීට ප්‍රේක්ෂකයන්ගෙන් අනුකම්පාව ලබා දුන් අතර, ජයනාත් වෙනුවෙන් දැඩි පිළිකුලක්, අප්‍රසන්න බවක් හා වෛරයක් ලබා දුනි.මෙවරද තමාව දැඩි රැවටීමකට අසු කර ඇති බව දැනගත් රත්මලී ආවේශ වූවාය. කාර් රථයේ සිටම ජයනාත්ගේ මුහුණ නියපොතු වලින් හීරුවේ දැන් තමාට සිටියත් එකයි, නැතත් එකයි යන සිතුවිල්ලෙනි. එයට මාරාවේශවූ ජයනාත් ධාවනය වන කාර් රථයෙන් ඇයව එළියට තල්ලු කළේය. නැවත රථය හරවාගෙන ආයේ ඇයව යට කිරීමටය, එහෙත් ඊට ප්‍රථම ඇය අතට අසුවුනු පොල්ලකින් ඇය හඹා එන ජයනාත්ගේ කාර් රථයේ ඉස්සරහා විදුරුව කුඩු වන්නට ගැසු අතර එම වීදුරු කැබලි ජයනාත්ගේ මුහුණ මත පතිත වන්නට විය. එයින් තවත් කෝපාවිශ්ඨ වූ ජයනාත් ඇය රථයෙන් හප්පවා බිම ඇද වැටුණු පසු යළි රථය හරවා පැමිණ, බිම වැටුණු ඇයගේ ඇඟ මතු පිටින් රථය වේගයෙන් ගෙන ගියේය. ඇය මිය ගිය බව හරි හැටි ප්‍රත්‍යක්ෂය කර ගත් පසු ඔහු තම රථය ඉදිරියට වේගයෙන් ධාවනය කර නොපෙනී ගියේය.වසන්ත ඔබේසේකර රත්මලීගේ සියලු කරදර එලෙස නිමා කළේය. නමුත් ඔහු ජයනාත් ගැන නිශ්චිත විසදුමක් ප්‍රේක්ෂකයාට ලබා දුන්නේ නැත. සත්‍ය සිදුවීමේදි ඇඩ්ලින් විතාරනගේ මිනිමැරුමට ආනන්දගොඩට නිතියෙන් මරණය දන්ඩනය හිමි විය. එහෙත් වසන්ත ඔබේසේකර, ජයනාත් රත්මලීව මරා දමා, තම කාර් රථයත් සමග නොපෙනී ගියේය. එතැනින් මනාව පැහැදිලි වනුයේ වසන්ත ඔබේසේකරට ගැහැණියගේ ඛේදවාචකය පෙන්වීමට උවමනා වූවා මිස , පිරිමියාගේ අවසානය පෙන්වීමට අවශ්‍යතාවයක් නොතිබූ බවය.චිත්‍රපටය පුරා දක්ෂ නළු නිළියන් කීප දෙනෙක් රඟපෑවෝය. ජාකොලිස් ලෙස සොමි රත්නායක, ජාකෝලිස්ගේ බිරිද ලෙස රත්නාවලි කැකුණවෙල, ජාකෝලිස් ගේ ලොකු දුව ලෙස රත්මලී ගුණසේකර, ගණිකා නිවාසයේ පාලිකාව ලෙස අයිරාංගනී සේරසිංහ, රේණුකා ලෙස ශිරානී කෞශල්‍යා, ගණිකාවක් ලෙස අනුෂි විජේගුණවර්ධන, රත්මලිගේ යෙහෙළියක් ලෙස අවන්ති අපෝන්සු , ඇමති ලෙස දයා අල්විස් හා පීටර් ලෙස ජේ.එච් ජයවර්ධන ප්‍රතිභාපූර්ණ ලෙස රඟපෑවද, ඒ සියල්ල යටපත් කර මුළු චිත්‍රපටය පුරාම ආධිපත්‍ය තම අතට ගත්තේ රත්මලී වූ ස්වර්ණා මල්ලවආරච්චි හා ජයනාත් වූ රවින්ද්‍ර රන්දෙණියය. ඔවුන්ගේ එකිනෙක පරයන ප්‍රබල රඟපෑම් මුලු සිනමා පටය පුරාම දෙදරවන්නට විය. ධාවනය වන රථයෙන් ජයනාත් විසින් රත්මලී යට කර මරා දැමූ අවසන් ජවනිකා ස්වර්ණා, හා රවින්ද්‍ර රඟපෑ අද්විතිය බව, ප්‍රබල බව, වෙනත් සිංහල සිනමා පටයක තිබුණා දැයි මතක නැත. එය ඒතරම් වේගවත්ය. මෙය නැරඹු ප්‍රේක්ෂකයන් තුළ අදත් ඒ දෙදරුම හදවත තුළින් දැනෙන්ට විය.වසන්ත ඔබේසේකර චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළද, 'දඩයම' ඔහුගේ අනන්‍යතාව විය. ඒ එය එතෙක් මෙතෙක් ලාංකේය සිනමාව තුළ සනිටහන් වූ ප්‍රබලම එමෙන්ම වේගවත්ම මානුෂීය ගැටුම වූ නිසාය.ශෝන් මැක්ස්මස් දිසානායක(ලබන සතියේ තවත් චිත්‍රපටයක්)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.