නැඟනිය මැරූ දාමරිකයන් සොයා යන සොහොයුරෙක්

- මරුකතර
අප්‍රේල් 8, 2021

 

දැඩි අසාධාරණයට ලක් වූ හැරී මේ මොහොතේ සිටියේ පළිගැනීමේ අරමුණ සහිතවය. ඔහුගේ සිත නිවන්නට කිසිවකු හෝ ඉදිරිපත් නොවුණු තැන තව තවත් වෛරයේ ගිනි සිළු හැරීගේ සිතෙහි උපදින. මේ මොහොතේ ඔහු සිටියේ තුවක්කුවක්ද අතැතිවය. තත්පර, විනාඩි, පැය ලෙස කාලය ගෙවී යද්දී හැරීට මොහොතක් සිය අතීතය සිහි විය. ගමේ තමන් ගත ගත කළ සොඳුරු ජීවිතය සිහියට නැඟින. ගොවිතැනක් බතක් කොට බඩ වියත සරි කරගත් හැරී කාටත් කරදරයක් නොවුණු චරිතයකි.

ඇගේ නැගණිය යසෝමාය. සුන්දර රූ සපුවකින් හෙබි ඇය දෙස කෙනකු දෙවරක් නොබැලුවොත් කලාතුරකිනි. හැරීගේ පවුලට කණකොකා හඬන්නට පටන් ගත්තේ යසෝමාගේ මේ රූ සපුව නිසාය. හැරි විවාහවන්නට සිටියේ සෝමා සමඟිනි. සෝමා සහ යසෝමා කුඩා සංධියේ සිට මිතුරියෝය. එය විටෙක සහෝදර බැඳීමකි. මේ අතර එක්තරා පිරිසක් යසෝමාට ඉව අල්ලමින් සිටියේ හොඳකට නම් නොවේ. ඒ අතර ගමේ දේශපාලඥයා, ඔහුගේ ප්‍රධාන ගෝලයා සහ ප්‍රභල පොලිස් නිලධාරියකු විය. ඔවුන් ඉව ඇල්ලූ සෑම අවස්ථාවකදීම යශෝමා නතු කර ගැනීමට ඔවුනට හැකියාව ලැබුණේ නැත. ගමේ අවුරුදු උත්සවයේ අවුරුදු කුමරියගේ තරගයට යසෝමා ඉදිරිපත් වන්නේ ඔයා අවස්ථාවේදීය. ගොදුරක් වෙත බලා සිටි මුරුග රැළක් එකතු වන්නාසේ මේ මොහොතේදී හෝ යසෝමා ඩැහැගන්නට බලාගෙන සිටි එකී පිරිසද එතැනට පැමිණ සිටියේය. අවසන යසෝමා ඒ තරඟයෙන් ජය ගත්තාය. තරඟයට අදාළ තෑග්ග ලබා දෙන බව පවසමින් දේශපාලනඥයා තුළ ඇතුළු පිරිස ඇය රවටා ගෙන වාහනයට නංවා ගත්තෝය. මේ රැගෙන යන්නේ තමන්ගේ අවසාන ගමන බව නොදත් යසෝමා සතුටු සිතින් වාහනයට නැඟේ තරගයෙන් ලද ජයග්‍රහණය උද්දාමයත් සමඟිනි. වාහනය හෝටලයක් ඉදිරියේ නතර විය. මේ සිදු වන්නේ කුමක්ද කියා ඉවෙන් මෙන් දැනගත් යසෝමා වාහනයෙන් බහින්නට අදිමදි කළාය. බලෙන් මෙන් වාහනයෙන් ඇද එළියට ගත් යසෝමා හෝටලයේ කාමරයක ඇඳක ඔසවා ලැබීමට එකී පිරිස උනන්දු වූයේ සිය ආශාවන් මුදා හැර ගැනීමේ අරමුණෙනි. මෙතෙක් කල් පණ මෙන් රැක සිටි පතිවත එදින රෑ අහිමිවන යසෝමා ගේ දිවිද අහිමි වන්නට ගතවූයේ සුළු මොහොතකි. මේ සියල්ල ආරංචි වන හැරී දණ්ඩෙන් පහර කන ලද සර්පයකු සේ කෝපාවිෂ්ට විය. එතැන් පටන් ඔහු ඇරඹුවේ පළිගැනීමේ ගමනකි. ඒ කථා පුවත ඇතුළත් වන්නේ මරුකතර සිනමාපටයටය ජනප්‍රිය රංගන ශිල්පී සරත් දික්කුඹුර කුලුඳුලේ නිර්මාණය කළ එම සිනමාපටය එළඹෙන මැයි මාසයේ දී තිරගත වීමට නියමිත වග වාර්තාවේ.

 

මරුකතරේ නළු නිළියෝ

රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, පාලිත සිල්වා, සරත් දික්කුඹුර, රුක්ෂානා දිසානායක, උදයන්ති කුලතුංග, නිමල් පල්ලේවත්ත, ශෙරීන් එදිරිසිංහ, රත්නා සුමනපාල, වින්ද්‍යා විජේසිංහ, තුෂාරි වෙීහැල්ල, අනුර බංඩාර රාජගුරු, ගාමිණී කුමාර, අජිත් ලොකුගේ, සුදත් විජේසේකර, මාක්ස් සැමිසන්, රංජිත් කිරුළපන, නයනා හේමන්ති, ජයතිස්ස අතුලසිරි, මංජුල කෝනාර, සදමාලි රුහුණගේ.

 

කැමරාව අධ්‍යක්ෂණය - ප්‍රියන්ත ප්‍රදීප්.

සහාය අධ්‍යක්ෂණය - එරංග ප්‍රදීප්.

කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ.

අංගරචනය - ගාමිණී කොස්තා.

නිෂ්පාදන කළමනාකරු - චමින්ද දැල.

සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම.

ගායනා - එච්. ආර්. ජෝතිපාල(ඔහු අවසන් වරට ගැයූ ගීතයක් මෙහි අන්තර්ගතව ඇත)

නිෂ්පාදනය - සරත් දික්කුඹුර.

සහාය නිෂ්පාදනය - දේශමාන්‍ය ඉන්දික විජේරත්න, වින්ද්‍යා විජේසිංහ, සඳමාලි රුහුණගේ, ශිරාජ් යාසින්.