දරුවකු යහමඟට ගත් අපේ කාලයේ දිසාපාමොක්

- අග්නි
අප්‍රේල් 1, 2021

එනවා... එනවා... ළඟදීම එනවා

 

සංඛ මෙලොව එළිය දුටුවේ දිළිඳුකම උපන් වත්කමක් සේ දෝත දරා ගනිමිනි. අගහිඟකම් මැද එලෙස ඔහු හැදී වැඩුණද සංඛ ඉගැනීමට හපන් කොලුගැටයෙක් වූයේය. සංඛගේ පියාවූ මිල්ටන් මතට ඇබ්බැහි වූයේ ඒ පුංචි පවුල තවත් අගාධයට හෙළමිනි. සංඛ කබලෙන් ළිපට වැටුණා සේය. මේ තත්ත්වය උසුලා ගන්නට බැරි තැන ඔහුගේ මව නගරයේ හෝටලයේ රැකියාවකට යන්නීය. ලැබෙන සොච්චම් මුදලින් පවුල නඩත්තු කිරීමට ඇය මහත් වෙහෙසක් ගත්තීය. තම බිරියගේ අතේ මුදල් ගැවසෙන බව දැනගත් මිල්ටන් ඒවා බලෙන් මෙන් ගනිමින් දිගින් දිගටම මත්ද්‍රව්‍යවලින් මත්වෙමින් ජීවත් වූයේය. සංඛගේ අධ්‍යාපනය අඩාල වන්නේද ඔය තත්ත්වය මතය. මේ අතර ඔහුගේ පාසලට අලුතින් පත්වීම ලද ගුරුවරයෙකු පැමිණෙයි. ඔහුගේ නම ජයනාත්ය. ජයනාත් කඩිසර කඩවසම් තරුණයෙකි. පාසලේ සේවය කරන සහේලි නැමැති තවත් ගුරුවරියකි. ඇය හා ජයනාත් පාසැලේ ළමුන්ගේ අධ්‍යාපන කටයුතු හොඳීන් කරගෙන යාමට සිය ශ්‍රම දායකත්වය සපයති. තමන්ගේ පන්තියේ දක්ෂතම දරුවෙකු වූ සංඛගේ හදිසි පාසල් නොපැමිණීම ගැන සලකා බලා ජයනාත් ඔහුගේ නිවෙසට යන්නට උනන්දු වෙයි. සංඛ පාසල් නොඑන කාරණය හරියටම දැනගත් ජයනාත් සංඛට ප්‍රථම ඔහුගේ පියා වූ මිල්ටන් හරි මාර්ගයට ගැනීමට අසාර්ථක උත්සාහයක නියැළෙයි. මිල්ටන්ගේ මතට ඇබ්බැහි වීමේ මූලාශ්‍රය සොයා ගන්නා ජයනාත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පිළිබඳ දැන ගන්නට ලැබේ. වැඩිදුර විස්තර සොයා යන ඔහුට ඒ ගමේ වැඩ කරමින් ගල් ලෙනක ජීවිතය ගෙවන තවත් ළමයින් පිරිසක් පිළිබඳ දැනගන්නට ලැබෙයි. මේ සියල්ල කෙරෙහි ජයනාත් විරෝධය පායි. අවසන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ජයනාත්ගෙන් පළි ගන්නට සූදානම් වේ. එතැන් පටන් ඇති වන්නේ මහත් ගැටුමකි. අවසන යුක්තිය ජය ගනීද?

ප්‍රශ්නාර්ථ තබමින් අප මේ සටහන් කළේ අග්නි සිනමාපටයේ කතා සාරාංශයි. එම සිනමාපටය සමගින් තවත් නවක අධ්‍යක්ෂවරයකු සිංහල සිනමාවට සපැමිණෙනු ඇත. ඒ රන්දික නදීශාන් විජේමාන්නයි.

 

අග්නි සිනමාපටයේ නළු නිළියෝ.

ක්ලීටස් මෙන්ඩිස්, සංගීත් සතරසිංහ,

රොෂාන් පිලපිටිය, නර්මදා ජයමහ, කුමාරි සේනාරත්න,

අසංග පෙරේරා, අනුර වරාගොඩ, කුලසිරි මල්ලිකාරච්චි,

සුදර්ශන වික්‍රමරත්න, ප්‍රසන්න ප්‍රභාත්.

ළමා චරිත රඟන නළු නිළියෝ.

ටෂීන් මධුක විජේසිංහ, සසිඳු දුල්මිණ වරාගොඩ,

වෙනුජ මාක්, ඉනේෂ් මාක්, සසිඳු කොට්ටචි,

නවීන් තේමිය කොට්ටචි, යසාල වත්සල

 

කලා අධ්‍යක්ෂණය - අශෝක චමින්ද වාස්

අංග රචනය - ආනන්ද පොල්ගහවෙල

ගී පද රචනා - අජිත් මෙන්ඩිස්

ගීත ගායනය - සමීර වීරසිංහ, සෙනුත් ලක්වින්,

ආයුක පෙරේරා, ශිරන්ද නිර්වාන්

සංගීත අධ්‍යක්ෂණය - සමීර වීරසිංහ

නිෂ්පාදන සම්බන්ධීකරණය - දිමුතු ප්‍රදීප්

සහාය අධ්‍යක්ෂණය - අනුර වරාගොඩ

තිර රචනය - අජිත් මෙන්ඩිස්

අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය -

රන්දික නදීශාන් විජේමාන්න

නිෂ්පාදනය - ටයාන් ලංකා ස්ටීල්