නම් දෙකක් එකම චිත්‍රපටයක්

වස්සානේ සිහිනය හෙවත් සෙනෙහසක සිහිනය නිෂ්පාදක
-නිහාල් සංජය
අප්‍රේල් 1, 2021

 

සිනමාවේ එදා මෙදා තුර බිහි වූ අමරණීය යුග පුරුෂයන් දෙදෙනා, ගාමිණී හා විජය සමඟ ඔහු සිය ප්‍රථම රංඟනය ගෙන එන්නේ 'ශක්ති' සිනමාපටය ඔස්සේය. 1998 වසරේ දී බූඩී කීර්තීසේනයන්ගේ පළමු නිර්මාණයේ නිෂ්පාදන කළමණාකරු ලෙස ඔහු කටයුතු කරයි. ඔහු හඳුන්වාදෙනු ලබන්නේ කමල් අද්දරආරච්චි විසිනි. ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ 'සප්තකන්‍යා' චිත්‍රපටයේ නිෂ්පාදන කළමණාකරු ලෙස කටයුතු කරන ඔහු එතැන් පටන් ප්‍රේමරත්නයන් මිය යන තෙක්ම ඔහුගේ නිර්මාණයන් හී නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කරයි. ආචාර්ය සෝමා එදිරිසිංහගේ මුණගැසීම ඔහුගේ ජීවීතයේ හැරවුම් ලක්ෂ්‍ය වූ බව ඔහු පවසයි. ඇයගේ මුණගැසීමත් සමඟ කලා ලොවේ විවිධ ඉසව්වලට ළඟා වෙන ඔහු 1995 වසරේදී එහි නව මාවතක් විවෘත කර ගනිමින් ජාත්‍යන්තර ශිල්පීන්ගේ ප්‍රසංග සංවිධානය ආරම්භ කරයි. සිනමාව දෙස සිනමාව තුළ සිටම වෙනස් ඇසකින් බලා හෙටට ගැළපෙන සිනමාවක් බිහි කරන්නට වැර දරන ඔහු, චිත්‍රපට නිෂ්පාදක නිහාල් සංජයයි. මෑතක දී තිරගත වූ 'සෙනහසක සිහිනය' නොහොත් ' වස්සානේ සිහිනය' පිළිබඳ සරසවිය අපි ඔහු සමඟ කතා කරන්නට සිතුවෙමු.

 

කොහොමද මේ චිත්‍රපටය නිර්මාණයට මූලීක අඩිතාලම වැටෙන්නේ?

2003 වසරෙදි දිවංගත සෝමා එදිරිසිංහ මහත්මියගේ චිත්‍රපටයක් ඉන්දියානු ශිල්පීන් සම්බන්ධ කරගනිමින් නිර්මාණය කළා. චිත්‍රපටයේ විධායක නිෂ්පාදනයට අමතරව මේ ඉන්දීය ශිල්පීන් සම්බන්ධීකරණය කළෙත් මමයි. ඔය කාලේදී මගේ මම මගේම නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළා 'කිසල් ආර්ට්ස්' නමින්. මගේ නිවෙස ළඟ යාළුවෙක් ඉන්නවා ඉර්ෆාන් සෙනුදීන් කියලා. ඔහු ව්‍ය්‍යාපාරිකයෙක්. දිනක් ඔහු මා සමඟ කතා කරනවිට මට කිව්වා ඔහුටත් චිත්‍රපටයක් නිර්මාණයට දායක වීමේ අදහසක් තියෙනවා කියලා. ඇන්ටන් කිංස්ලි කියන මගේ යාළුවට මේ ගැන කිව්වම ඔහු මට කිව්වා හොඳ කතාවක් තියෙනවා මම පිටපත ලියන්නම්. අපි මේ නිර්මාණය කරමු කියලා.

මේ චිත්‍රපටය රූ ගත කිරීම් මෙහෙ වන විට මං බොහෝ වෙලාවට හිටියේ චීනයේ. ව්‍යාපාරික කටයුතු සඳහා ගිහින්. මෙහෙ ඉදගෙන රූ ගත කිරීම් සියල්ල කරේ ඇන්ටන් කිංස්ලි කියන චිත්‍රපටයේ සම අධ්‍යක්ෂකවරයා. ඉන්පසු චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු සියල්ල ඉන්දියාවේ සිදු කළා.

මෙය 35mm  ප්‍රමාණයේ චිත්‍රපටයක් නිසා ලංකාවට ගෙන එනවා. මගේ අධික කාර්යබහුලත්වය හා වෙනත් චිත්‍රපටවලට සම්බන්ධව වැඩ කළ නිසා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට ගෙන ඒම දිනෙන් දින පස්සට ගියා.

මෙහෙම ඉන්නකොට තාක්ෂණය ‍යාවත්කාලීන වීමත් සමඟ සිනමාපටවල තාක්ෂණයද බැහැර වුණා. ඊට පස්සේ මම මේ චිත්‍රපටය රැගෙන ආපහු ඉන්දියාවට ගොස් සති දෙකක පමණ කාලයක් එහි රූප රාමුවෙන් රාමුව 2K තාක්ෂණයට scan  කරලා ආපහු digital පිටපතක් හැදුවා. ඒ digital පිටපත තමයි මේ තිරගත වෙන්නේ. මෙයට මගේ කාලය හා ශ්‍රමය බොහෝ සෙයින් වියදම් වුණා.

මුල් නිෂ්පාදක ඉර්ෆාන් වුණාට මෙහි විධායක නිෂ්පාදක ඔබ කියලයි භාවිත වෙන්නේ?

මුල් නිෂ්පාදනය කළ ඉර්ෆාන්ට ආර්ථික ප්‍රශ්න ඇවිත් මේ චිත්‍රපටයේ සම්පූර්ණ නිෂ්පාදන අයිතිය මට විකුණුවා. ඒ නිසා මීට අවුරුදු දොළහකට කළින් මම මේ චිත්‍රපටයේ සියලුම අයිතිය මා සතු කර ගත්තා.

 

එතකොට චිත්‍රපටයේ හරි නම 'සෙනෙහසක සිහිනය' ද, 'වස්සානේ සිහිනය'ද?

අලෙවිකරණ හා ප්‍රවර්ධන කටයුතුවලදී 'සෙනෙහසක සිහිනය' කියන නම පරණ නමක් කියලා අපිට තේරුණා. ඒ අනූව අපි 'වස්සානේ සිහිනය' කියලා නම වෙනස් කළා. නමුත් චිත්‍රපටය තිරගත කරනවිට ඒ නම එක්ක තිරගත කරන්න නොහැකි වුණා. මොකද ප්‍රශ්නයක් ආවා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් චිත්‍රපටයට අනුමත කරලා තියෙන්නේ 'සෙනෙහසක සිහිනය' නමින් ඒ නිසා එය තිරගත කළ යුත්තේත් ඒ නමින්මයි කියලා.

 

වසර දොළොහක කාලයකට පසුවයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. ඔබට හිතෙන්නේ නැද්ද මේ චිත්‍රපටය දැන් කල් ඉකුත්වෙලා කියලා?

මුලදි මටත් එවැනි හැඟීමක් තිබුණා. මේ කතාවේ කල් ඉකුත්වීමක් තියෙනවා කියලා. චිත්‍රපටය තිරගත කිරීමට පෙර මෙහි පූර්ව දර්ශනයක් මගේ හිතවත් කිහිපදෙනෙකුට පෙන්නුවා. ඒ බලපු හැමෝගෙම අදහස වුණේ මෙය මුල සිට අගට ගලායන ආදර්ශමත් පවුලේ සැමට නැරඹිය හැකි කතාවක් කියලයි.

ඉන්පසු මෙහි විශේෂ දර්ශනය මෙයට සම්බන්ධ ශිල්පීන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 25 වෙනිදා පැවැත්වුවා. එතැනට ආ හැමෝගෙම අදහස වුණෙත් මෙහි අන්තර්ගතය ඉතාමත් හරවත් ආදර්ශමත්ය යන්නයි. නැරඹූ අයගේ දිරිගැන්වීම එක්ක කොහොම හරි මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතට පත් කරනවා යන්න මා හිතා ගත්තා.

 

පවතින වසංගත තත්ත්වය හමුවේ සිනමාශාලාවලට ප්‍රේක්ෂකයා ගෙන්වා ගැනීම අසීරු කටයුත්තක් වෙලා තියෙන අවස්ථාවක මේ චිත්‍රපටය තිරගත කරන්න හිතුවේ ඇයි?

නිර්මාණයක් කරලා ඒ නිර්මාණය සදාකාලිකව හංගලා තියෙනවට වඩා මොන ආකාරයකින් හෝ එය ප්‍රේක්ෂකයා අතරට ගෙන යා යුතුයි. මම හිතුවේ මේ නිර්මාණය මට ලැබෙන අවසාන සිනමාශාලාවේ හෝ පෙන්වන්න. තව මාස පහ හයකින් පෙන්වන්න හිටියනම් මේකට අවස්ථාව ලැබෙන්නේ නෑ. මේ වන විටත් තිරගත නොවූ චිත්‍රපට 150 කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. මේ චිත්‍රපට පේ‍්‍රක්ෂකයා අතරට ගෙනහිල්ලා ඉවර කරන්න ඕන ඕන කියන හැඟීමයි මට තිබුණේ. මට මෙහෙම අවස්ථාවක් හෝ ලැබුණා. මෙවැනි අවස්ථාවක් හෝ නොලැබෙන විශාල මුදල් ප්‍රමාණයක් යට කරලා නිර්මාණය කළ චිත්‍රපට කොයිතරම් තියෙනවාද? එහෙම බලද්දි සිනමා නිෂ්පාදකයෙකුට ලැබෙන අවසාන අවස්ථාව මෙය යැයි සිතා මම මේක තිරගත කරන්න තීරණය කළා.

 

ඔබ ගාව ඉතා විශාල චිත්‍රපට එකතුවක් තියෙනවා කියලා ආරංචියි?

ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨ චිත්‍රපට, හොලිවුඩ් ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට, ජපානයේ අකිරා කුරොසාවා වැනි අයගේ චිත්‍රපට, ඉන්දියාවේ සත්‍යජිත් රායී වැනි අයගේ චිත්‍රපට වගේ ලංකාවේ කිසිම කෙනෙක් ළඟ නැති 2Kk 4K තාක්ෂණයෙන් යුත් සිංහල භාෂාවේ නිවැරදි වචන යෙදූ උපසිරැසි යොදා සකස් කරන ලද චිත්‍රපට පන් හය දාහක එකතුවක් මං ළඟ තියෙනවා. මම දවසට එක චිත්‍රපටයක් හෝ නරඹන්න පුරුදු වෙලා ඉන්නවා. මේවායෙන් අපේ චිත්‍රපටවල හා එම චිත්‍රපටවල වෙනස උගෙන ඒ අද්දැකීම එක්ක අලුත් නිර්මාණ රසවිඳින්න ලාංකේය ප්‍රේක්ෂකයාට ලබා දිය යුතුයි.

 

සිනමාවට අඩිය තියන නවකයන්ට, නොදන්නා බොහෝ දේ දැනගන්න ඔබ අලුත් වැඩක් පටන්ගෙනලු නේද?

සිනමාවට එන නවක නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන්ට මේ ක්ෂේත්‍රයේ තියෙන ලොකුම ප්‍රශ්නය චිත්‍රපටයක් නිම කළ පසු එය තිරගත කරන්නේ කොහොමද කියන කාරණය සහ එයට අවස්ථාව ලබා ගැනීම. මේ වන විට ලංකාවේ තිරගත නොවූ චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මම පහුගිය කාලයේ ආරම්භ කළා මේ ක්‍රියාවලිය නොදන්නා අයට එම ක්‍රියාවලිය පෙන්නලා දීලා චිත්‍රපටය තිරගත කිරීමට අවස්ථාව ලබා දීමට. එහිදී ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම, චිත්‍රපටයට අවශ්‍ය Digital පිටපත් සැකසීම, ප්‍රචාරණය සඳහා අවශ්‍ය පෝස්ටර් කටවුට් සැකසීම, මාධ්‍ය සම්බන්ධීකරණය හා ප්‍රවර්ධනය, අදී වශයෙන් කටයුතු රාශියක් ඉටු කරනවා. මෙය ප්‍රදර්ශන මෙහෙයුම ලෙසයි මා හඳුන්වන්නේ.