මම කළේ වෘත්තිය නිෂ්පාදකවරයකුගේ කාර්යය

කලම්බු සමඟ නිෂ්පාදකවරයකු වන අනූෂ සංජීව එදිරිමුණි
මාර්තු 25, 2021

මම කළේ වෘත්තිය නිෂ්පාදකවරයකුගේ කාර්යය කලම්බු සමඟ නිෂ්පාදකවරයකු වන අනූෂ සංජීව එදිරිමුණි1999 වසරේදී ස්වර්ණවාහිනී මාධ්‍යය නාළිකාවේ සහකාර නිෂ්පාදකවරයෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ අනූෂ සංජීව එදිරිමුණි පසු කාලයේදී එම නාළිකාවේම නිෂ්පාදකවරයෙකු, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කළේය. 2009 වසරේදී ඉන්දියාවේ පූනෛහි ඇති ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ඇකඩමියෙන් ශිල්පය ප්‍රගුණ කරයි. ලංකාවේ බිහිවූ දැවැන්ත සිනමාපට සඳහා පූර්ව ප්‍රචාරක පට සෑදෙන්නේ ඔහු අතිනි. නිෂ්පාදකවරයෙකුගේ භූමීකාවට සැබෑම අර්ථය ගෙන එමින් අනූෂගේ නවතම නිෂ්පාදනය වන ' කොළම්ඹෝ' මේ දිනවල තිරගත වේ. කොරෝනා නිසා සියයට විසිපහකට සීමා වුණ ශාලාවල වුණත් කොරෝනා වලන් පසු වැඩිම ආදයම් වාර්තා තබමින් ඉදිරියට ඇදෙන මේ සිනමා සිත්තම පිළිබඳ අනූෂ එක්ක සරසවිය අපි කතා කරන්නට හිතුවා.

 

මේක අසමගේ කුලුදුල් නිර්මාණය. අසම වගේ ළා බාල, අද්දැකීම් අඩු තරුණයෙක් එක්ක වැඩ කරන්න මුදල් මුදල් යොදවන එක මේ දේවල් කිරීමෙන් ඔබට අවාසියක් වේ යැයි සිතුණේ නැද්ද? මොකද බොහෝ නිෂ්පාදකවරුන් පරිස්සම් වෙනවා මුදල් ආයෝජනය කරන විට.

මම අසම එක්ක මේ චිත්‍රපටය පිළිබඳ සාකච්ඡාවට කිහිපයක් තිබ්බා. ඒ තුළ මට අසමව තේරුම් ගන්න පුළුවන් වුණා. අසම කියන්නේ අහිංසක වගේම අවංක ළමයෙක්. ඔහුට තිබුණ එකම ආසාව මේ නිර්මාණය හරියට කිරීම. ඒ වෙනුවෙන් ඔහුට හැකි උපරිමය ඔහු කළා. අද්දැකීම් මදිකම හේතුවෙන් අඩුපාඩු තියෙන්න පුළුවන්. එතැනදී මා ලත් අද්දැකීම හා පන්නරය තුළ අසම මේ ගැන හිතනවට වඩා තැනකට මෙය ඔසවා තබන්න මට හැකි වුණා.

ඒ වගේම ඔහු සමඟ කළ මූලික සාකඡාවේදීම මම තීරණය කළා මේ නිර්මාණය කිරීමේදී අප අතර තිබෙන අන්‍යෝන්‍ය අවබෝධය ඉතාම වැදගත් කියලා. මම ඒක අසමට කිව්වා. මේ නිර්මාණයට හා එහි නිෂ්පාදන ක්‍රියාවලියටයි මම වග කියන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනයේදී ඒ අදාළ කාර්යයන් කරන ආකාරය පිළිබඳ අපි දෙන්නටම හොඳ අවබෝධයක් තිබුණා. ඔහුගේ ආධුනිකත්වය පිළිබඳ මම තුන්වෙනි තැනටයි හිතුවේ. මම හිතුවේ මේ නිර්මාණය කිරීමට ඔහුට ඇති අවංක අදහස. එළියට එන්න බැරුව හිරවෙලා ඉන්න තරුණ දක්ෂයෝ ඕන තරම් ඉන්නවා. මේ නිර්මාණය මම මාකට් කරන්න උපරිම ශක්‍යතාවයක් මට තිබුණා පෙර අද්දැකීම් එක්ක. ඒ පිළිබඳ මට තිබුණ විශ්වාසය හා අසමගේ නිර්මාණය පිළිබඳ මට තිබුණ අවංක අදහස එක්ක මම මේ වැඩේට අත තිබ්බා. ඒ තුළ ඔහුගේ ආධුනිකභාවය මම සැලකුවේ නෑ. මොකද මම හිතනවා ඕනම දෙයක් අලුත් වෙන්න නම් අලුත් මිනිස්සු ඕන. මම හිතුවේ මට මගේ ජීවීතේ නොලැබුණ අවස්ථාවක් දුන්නම එයා හොඳ ගමනක් ගියොත් ඒක තමයි මගේ සතුට.

ඒ කියන්නේ මේ චිත්‍රපට වෙනුවෙන් ඔබ නිෂ්පාදන කාර්යයෙනුත් එහාට ගියා?

නිෂ්පාදකයව ලංකාවේ හඳුන්වාදීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. නිර්මාණයට මුදල් යොදවන්නා නිෂ්පාදක කියලයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ. නමුත් අපි මාධ්‍ය නාළිකාවල වැඩ කරන විට අපිට අධ්‍යක්ෂ කියලා නෙවෙයි කියන්නේ. නිෂ්පාදක කියන තනතුර තමයි තියෙන්නේ. එතකොට ඒ අදාළ නාළිකාව තමයි මුදල් යොදවන්නේ. නිෂ්පාදන කාර්යයේ සම්පූර්ණ භාරකාරත්වය තියෙන්නේ නිෂ්පාදකට. මා කරන්නෙත් එයමයි. මෙහිදී මුදල් යෙදවීම කියන දේ මම කළා වගේම වෘත්තීය නිෂ්පාදකවරයා කියන දේ ස්ථාවර කිරීමයි මා සිදු කළේ. අසමට මම කිව්වෙත් ඔහුට අධ්‍යක්ෂවරයා විදිහට ලැබෙන ගෞරවය සියයට දෙසීයක් මම අරන් දෙනවා. මම ඔහුට අධ්‍යක්ෂණය කරන්න දීලා පිටුපස සිට සියල්ල කළමණාකරණය කළා.

 

වෘත්තීයමය නිෂ්පාදකවරයාගේ භූමීකාව ඔබ කොහොමද මේ නිර්මාණයට යොදා ගත්තේ?

අසම මේ චිත්‍රපටයේ භාගයක් පමණ රූ ගත කිරීමෙන් පසුව තමයි මට මුණ ගැහෙන්නේ. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ අජිත් කුමාරසිරි නිසා. මම ඔවුන් කරලා තිබුණ ටික බැලුවා මම කිව්වා මේක මේ මට්ටමෙන් ඉදිරිපත් කරන්න බෑ. මේ නිර්මාණය යම්කිසි තලයකට ගෙන ආ යුතුයි කියලා. සම්පූර්ණයෙන්ම මේ නිර්මාණයේ අයිතිය මා යටතට ගෙන ඔවුන්ගේ එකඟතාවය මත සම්පූර්ණ නිර්මාණයම පරිපූර්ණ කරනවා. ලෝකයේ චිත්‍රපට හැදුවම ඤඪපඥජබධප ජභබ එක වෙනම තියෙනවා. නමුත් අපි බලන්නේ නපධඤභජඥප ජභබ එක. අද ඔයගොල්ල දකින චිත්‍රපටය ඒ ආකාරයට මම කළ නිෂ්පාදනයයි.

ඒ වගේම මේ කර්මාන්තය තුළ වැඩ කරලා මට තිබුණ අද්දැකීම තමයි සමහර චිත්‍රපට ඉතාම හොඳයි නමුත් ප්‍රවර්ධන‍ය වෙලා නෑ. චිත්‍රපටයට මුදල් යොදවනවා. චිත්‍රපටයයේ ප්‍රචාරණයට මුදල් වෙන් කරන්නේ නෑ. චිත්‍රපටය ප්‍රචාරණය වෙන්නේ නැතුව කොහොමද මිනිස්සු දැනගන්නේ. මේකට මම වෙනම පූර්ව ප්‍රචාරණ පට නිර්මාණය කළා. සතියක් තුළ ලක්ෂයක් ඒ ට්‍රේලර් එක බලලා තිබුණා.

 

පිටපත,නළු නිළියන් තෝරාගැනීම, අධ්‍යක්ෂණය ‍යන කාරණාවලදී අසම සමත් කියලා ඔබ හිතනවද?

ඔව්. ඔහු ඉහළින්ම සමත්. මම හැම වෙලේම ඒ ගැන කතා කරනවා මම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන තීරණය කළෙත් ඒ නිසා.ඇත්තටම අසමගේ ඇති ඒ අසමසම කුසලතාවය අගය කරන්න ඕන. හේමාල් රණසිංහ සහ ධර්මප්‍රිය ඩයස්ගේ රංගනය ඉතාම ඉහළයි. හේමාල් ජනප්‍රියම නළුවා බව කවුරුත් දන්නවනේ. නමුත් ඔහු දක්ෂතම නළුවා යන්න්ට මේ රංගනය හොඳ නිදසුනක්. කුමාර තිරිමාදුර, රුක්මල් ඉරෝෂ් සහ නවන නළු නිළියනුත් මේ චිත්‍රපටය අසම යොදාගෙන තිබුණා. මේ සියල්ල දැක්කම මට හිතුණා මේක අනිවාර්යයෙන් මිනිසුන් අතරට යනවා කියලා.

 

චිත්‍රපටයේ එන ගීතය ගැනත් කියමු. මේ වනවිට එයත් ඉතාම ජනප්‍රියයි?

මේකේ මුළින් සින්දුවක් තිබුණේ නෑ. නමුත් මම හිතුවා මේකට සින්දුවක් ඕන කියලා. මේ ගැන මගේ මිත්‍ර ජෝර්ජ් සැමුවෙල් එක්ක කතා කළා. මේ චිත්‍රපටයේ තේමාව මම ඔහුට පැහැදිලි කළා. පැයක් යන්න කලින් ඔහු මට සිංදුවක් ලියලා එව්වා. ඒ වචන ටික දකිනකොටම මට හිතුණා මේක තමයි ගීතය කියලා. මේක කොහොමද කරන්නේ කියලා ඉන්නවිට මට අහම්බෙන් හම්බුණා ශේන් සිංව. ශේන්ට මම මේ වචන ටික පෙන්නුවම ඔහු මට කිව්වා මේ වච්න ටික මරු මම මේකට සින්දුවක් හදන්නම් මම ආසයි මේක කියන්න කියලා. මම කිව්වා හරි ඔයා හදන්න හැබැයි ශේන් මට සෑහීමකට පත්වෙන්න බැරි වුණොත් මම මේක අතාරිනවා කියලා. ඇත්තටම ශේන් ඒක හොඳටම කළා. මම ඒකට කැමති වුණා. ඒ ගීතය තමයි මේ චිත්‍රපටයට යොදා ගත්තේ.

 

ඔබ මේ චිත්‍රපටය තිරගත කරන්න තීරණය කරන්නේ පවතින වසංගත තත්ත්වය එක්ක. ඒ වෙනකොටත් දවසට ප්‍රේක්ෂකයන් පනහක් හැටක් වගේ පිරිසක් තමයි චිත්‍රපට නරඹන්නේ. මේ අභියෝගය මැද ඔබ කොළම්බෝ තිරගත කරන්න තීරණය කරනවා.

මේ චිත්‍රපටය මම දැක්කා. මේ වැඩේ අලුත්. මෙහි යම් වෙනසක් තිබුණා. ඒ දැක්ක නිසයි මේ තියෙන වසංගත තත්වයේ වුණත් මම මේ නිර්මාණය මුදාහැරීමේ අභියෝගය භාර ගත්තේ. කවුරුත් චිත්‍රපට හෝල් වලට චිත්‍රපට නොදෙන කාලෙක මට විශ්වාසයක් තිබුණා මේ නිර්මාණය මිනිසුන් වැලදගන්නා බවට. ඒ වගේම මට හිතුණ දෙයක් තමයි මිනිස්සු චිත්‍රපට හෝල් වලට එන්නේ නැත්තේ චිත්‍රපටවල තියෙන ප්‍රශ්නයකට මිසක් මිනිසුන්ගේ තියෙන ප්‍රශ්නයකට නෙවෙයි. ඒකට හොඳම උදාහරණය පසුගිය දවස්වල තිරගත වුණ මාස්ටර් චිත්‍රපටය. මිනිසුන්ට හොඳ දේ දුන්නොත් මිනිස්සු බලනවා. ඒක වසංගත තත්වයේ වුණත් එහෙම තමයි.

 

ඔබ අභියෝගය ජය අරන්. කියන්නකො අපිට ඔබට දැනෙන හැගීම

ඔව් ආදායම් වාර්තා බිඳ දමමින් මුල් සතියේ පමණක් මේ වසංගත කාලයෙන් පසුව තිරගත වූ සිංහල චිත්‍රපටයකට වැඩිම ප්‍රේක්ෂකයින් පිරිසක් එකතු වූ චිත්‍රපටය තමයි කළම්බෝ. මුල් දින කිහිපයේ පමණක් රුපියල් මිලියන දෙක ඉක්මවා යන්න අපිට පුළුවන් වුණා. ලොකු සතුටක් තියෙනවා. ආරාධනා කරනවා හැමෝටම කොළම්බෝ බලන්න එන්න කියලා