විජය නිසා පිළුණු කෑම වේලක්

මාර්තු 25, 2021

පෙරළිකාරයෝ රූපගත කරන්නට ප්‍රමාද වූයේ විජය කුමාරතුංගයන් නැක්සලයිට් චෝදනා යටතේ සිරබත් කෑම නිසාය. එයින් නිදහස්වූ පසු විජය ඊළග අතුරු මැතිවරණයේ දී මහර ආසනය සඳහා නාමයෝජනා දුන්නේය. මේ වන විට පෙරළිකාරයෝ චිත්‍රපටය ද රූපගත කිරීම් අරඹා තිබිණ. විජය වෙනුවෙන් තවත් චිත්‍රපටයකි . එය යසපාලිත නානායක්කාරගේ චිත්‍රපටයකි. එය ගැන ලිවිම පසුවට කල්තබා පෙරළිකාරයෝ ගැන තවත් මතක සටහනක් ලියන්නේ එහි ඇති වූ අපූරු සිදුවීම් පෙළ නිසාමිය.

පෙරළිකාරයෝ නිෂ්පාදනය වන අවදියේ විජය ඉතා කාර්යබහුල විය. ඒ ඔහු මහර ආසනය සඳහා තරග වදින්නට මහජන පක්ෂය ඔස්සේ නාමයෝජනා දුන් බැවින්ය. පක්ෂ නායකයා කෘතහස්ත දේශපාලකයකු වූ ටී.බී. ඉලංගරත්න මහතා වුව ද පක්ෂයේ වැඩි බරක් ඉමසිලුවේ විජය කුමාරතුංගයන්ය. ඔහු මහර ආසනය සඳහා තරග වදිද්දී ඔහුගේ ප්‍රතිවාදි අපේක්ෂකයා ලෙස ඉදිරියෙන් සිටියේ කමල වර්ණ ජයකොඩි ය. කමල වර්ණ ජයකොඩි මහර ආසනය සඳහා තරග වැඳීමට නාමයෝජනා කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින්ය. ඒ එක් ඡන්දයකින් හෝ පරදවා විජය පාර්ලිමේන්තුවට නොආ යුතුය යවන අදිටන ඇතිවය. දෛවෝපගත කරුණ නම් විජය යොදා නිපදවන පෙරළිකාරයෝ චිත්‍රපටය ඉදිරිපත් කරන රාජ් රණසිංහ , කමලවර්ණ ජයකොඩිගේ බෑණනුවන් වීමය.

එබදු සමයක විජය යොදා චිත්‍රපටයේ ප්‍රධානම රූ ගැන්වීමක් සැලසුම් කර තිබිණ. ඒ විජය තනුජා හා විවාහ වී ගොවිපළට යන දිනයයි. එහි සහෝදරයන් හත් දෙනාට ද රාත්‍රි ආහාර පිළියෙළ කරන තනූජා සොහොයුරන් හා සැමියා සමග රාත්‍රි ආහාර ගත යුතුය. රාත්‍රි ආහාර පිළියෙළ කරනුයේ සහෝදරයන්ගේ අලුත් නෑණන්ඩීය වූ තනූජාය.

කෑම සුදානම් කළ සැණින් අයියාගේ අණ පරිදි එහි කඩා වදින සොහොයුරෝ පුරුදු පරිදි කෑමට පොර කෑ යුතුය. මේ චිත්‍රපටයේ ජවනිකාවකි. තමා ඉතා ඔීනෑ කමින් පිසූ ආහාර වන සතුන් සේ කා දමනු දකින අලුත් ගෙනා මනාලියට ඇතිවන්නේ ‌ශෝකයකි.

කෙසේ හෝ එදා විජයට කාර්යබහුල දවසකි. ඔහුට මහර ආසනයේ පමණක් නොව පක්ෂයේ නායකයා හැටියට සියලු අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප විය යුතුව තිබිණ. එබැවින් විජය දර්ශන තලයට එන්නට නියමිත තිබෙන්නේ රාත්‍රියේ ය. අද මෙන් එකල දුරකථන පහසුකම් ද නොවිණ. දුරකථන ඇමතුමක් ලබා දුන්නේ චිත්‍රපටයේ ප්‍රධාන දර්ශන තලය තිබූ ගම්පොළ ප්‍රදේශයේ කඩමණ්ඩියක තිබුණු කඩයකටය. දහවල් කෙරුණු අතිරේක රූප ගැන්වීමක් අතරතුර එහි ගිය චිත්‍රපටයේ ශබ්ද පරිපාලකයාව සිටි ජොර්ජ් මනතුංගට විජය රාත්‍රි දහය වන විට එන බව දන්වා පණිවිඩයක් ලැබී තිබිණ. විජය යනු සාමාන්‍යයෙන් නියමිත වේලාවට වැඩ කරන්නෙකි. එමෙන්ම බාර ගත් රාජකාරියක් කිසිවිටෙකත් පැහැර නොහරින්නෙකි. එබැවින් චිත්‍රපටයේ එන පරිදි රාත්‍රි භෝජන සංග්‍රහය කලා අධ්‍යක්ෂ එරල් කෙලීගේ උපදෙස් පරිදි සකසන ලදී. එය ඉතා සරුවට එමෙන්ම තරමක් වැඩිපුර වියදම් කොට සැදූ ආහාර වේලකි.

එහෙත් විජය රාත්‍රි දහය කොයි හැටි වෙතත් දොළහට ද පැමිණියේ නැත. .දුරකථන සබඳතා නැති නිසා කුමක් වේදැයි සිතා ගත ද නොහැකි විය. බොහෝ වේලාවක් ගෙවිණ. දැන් සියල්ලටම නිදිමතය. අවසානයේ දර්ශනය අවලංගු කරන්නට නියම විය. රාත්‍රි සාදය සඳහා සැකසූ ආහාර නැවත සැකසිය යුතු වුවත් ඒ සඳහා විශාල වියදමක් දැරිය යුතුව තිබිණ. එරල් යෝජනා කළේ මේ ආහාර සැකසීම හෙටටත් ආරක්ෂා සහිතව තැබිය හැකි අන්දමයි. පළාතේ පැවැති දැඩි ශීතල ආහාර ඉක්මනින් නරක් නොකරනු ඇතැයි තර්ක කළවුන් ද සිටියහ. කෙසේ හෝ වේවා මේ විශේෂ අුාහාර වේල පසුවදා වනතුරු ආරක්ෂා කරන්නට නියම විය.

පසුවදා විජය එනු ඇතැයි කාගේත් විශ්වාසය විය. ඒ විශ්වාසය තහවුරු කරම්න් විජය පැමිණියේය. ඒ ද රාත්‍රි දහයටයය. ඔහු පැමිණියේ සිදු වූ ප්‍රමාදය ගැන සමාව අයදමිනි. ඇත්තටම විජයට නොපැතූ කරදර රාශියකට මුහුණ පෑමට සිදුව තිබිණ. ඔහු කථා පැවැතවීමට නියමිත තිබුණු රාගම ජනරැලිය සදහා සකසා තිබුනු වේදිකාව විරුද්ධ පාක්ෂික මැරයන් විසින් කඩා බිද දමා ගිනි තබා තිබිණ. එපමණක් නොව එක් දිනක් ඇතුළත රැස්වීම් දොළහක අමතන්නට ද ඔහුට තිබිණ. ඇත්තටම එවර මැතිවරණයේ විජයට මුහුණ දෙන්නට වූයේ ඡන්දයකට නොව යුද්ධයකටය. විජයට පෙරදින දර්ශනයට සහභාගි වන්නට ඉඩ නොලැබුණේ ඒ හින්දාය. . දැන් විජය පැමිණ ඇත. කලින් දින සූදානම් කළ සියලු දෑ ඒ ආකාරයෙන්ම පිළියෙළ කෙරිණ.

දැන් සියල්ලෝම කෑමට ලෑස්තිය. චිත්‍රපටයේ හැටියට ලොකු අයිය පැමිණ කෑම දෙස බලා යා කියා කෑගස්ද්දී අන් සියල්ලෝම එකවර පැන සතුන් මෙන් කෑම ගත යුතුය. විජය කෑගෑවා පමණකි. සියල්ලෝම කෑමට කඩා වැදුණහ. වසා තිබුණ ආහාර ඇර බලයෙන් මෙන් ආහාර බෙදා ගන්නට සැරසිණ.

එකෙකු හෝ කෑම නොකෑ අතර හැම එකාම අනිකාට කෑම කැවිමේ උත්සාහයකය. ටෙනිසන් සියල්ල අතහැර හිස් පිඟාන කන්නට ගත්තේ කැමරා රූපයටය. ඒ සමඟ මහත් දුගඳක් හමමින් තිබිණ. මොකක්දෝ නස්පැත්තියක් වෙමින් තිබිණ. එහෙත් කිසිවෙක් හෝ ඒ ගැන තැකීමක් නොකර රංගනයේ යෙදුණහ. දර්ශනය අවසාන වත්ම තනූජා ඉකි ගසා හඩමින් දිවගියේ චිත්‍රපටයේ හැටියට මල්ලිලාගේ ක්‍රියාකාරකම් නිසා නොව ඉවසන්නට බැරි ආහාර පිළිණු ගඳ හෙයින්ය.

පුරා දවසක් තිස්සේ තිබුණු සියලු ආහාර නරක් වෙමින් තිබිණ. කාලගුණය හෝ වෙනත් කිසිවකට එය ආරක්ෂා කරදෙන්නට හැකියාවක් තිබුණේ නැත. චිත්‍රපට රූපයට දුඟද හමන ක්‍රමයක් ඒ වනවිට තිබුණා නම් දිනේෂ් ද එය සිනමාවට නඟනු ඇත. අවාසනාවට එහෙම තිබුණේ නැත. කිසිදු රංගන ශිල්පියෙකු එහෙම තත්ත්වයක් තිබෙනු රංගනයේ පෙන්වූයේ ද නැත.

කෙතරම් කාර්යබහුල වුවත් විජය සිය දරුවන්ට බෙහෙවින් ආදරය කළ පියෙකු හැටියට ප්‍රකටය. එක් දිනක් විජය රූප ගත කරද්දී ඔහුගේ මුහුණෙහි වෙනදා තිබුණු ප්‍රබෝධය තිබුණේ නැත. එහෙත් විජය ඒ ගැන කිසිත් පැවසුවේ නැත්තේ ඒ වන විට චිත්‍රපටය ද එක දිගට රුපගත කිරිමේ අදියරකට පැමැනි හෙයින්ය.

එහෙත් මේ අතරතුරු විජයගේ හැඟීම අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ ඇසුට යොමුවිය.

ඇයි විජය අයියා මේ ?

අද වීමුක්තිට පොඩි ඔපරේෂන් එකක්. මම ළඟ ඉන්නේ නැතුව බෑ

මෙතුවක් පපු කුහරෙහි රඳවා සිටි පිය සෙනහස එළියට ගලා ආවේය. චිත්‍රපටයේ දර්ශනය සම්පූර්ණ නොවුවත් විජය වහා කොළඹ යැවිය යුතු යැයි දිනේෂ් තීරණය කළේය. අදටත් ඒ දර්ශනය ගැන අධ්‍යක්ෂවරයා හැටියට දිනේෂ් තෘප්තිමත් නොවුණත් කළ කාර්යය ගැන තෘප්තිමත්ය.

චිත්‍රපටයේ වෙඩි පිපිරවීම් දර්ශන බාරව සිටියේ කරුණාදාස අතුරුගිරියයි. ඩයින්මයිට් ගිනි බෝම්බ සහ පෙට්‍රල් බෝම්බය සවිකොට ප්‍රදීපාගාරය පුපුරුවා හරින දර්ශනය සකස් කිරීමට පැය හතරකට වඩා ගතවිය. එය රූප ගත කිරිමට කැමරා දෙකක්ම යොදැ ගනිණ. එක් සුළු වැරැදදක්නි දර්ශන තලය පුපුරා ගියොත් එය නැවත සකස් කිරීම කල් යන වියදම් යන වැඩකි. එබැවින් එය ඉතා සැලසුම් සහගත ලෙස කළ යුත්තක් බැව් සියල්ලන්ගේ අදහස විය. නියමිත පරිදි කැමරා ක්‍රියාත්මක වුව ද දර්ශන තලයේ සැකසුණු ප්‍රදීපාගාරය පිපිරුණේ නැත. කැමරාව නතර කිරීම ද කළ නොහැකිය. ඒ අතරවාරයේ දර්ශන තලය පුරා ගියහොත් ගැටලුවකි. පැය ගණනක් මුළුල්ලේ ප්‍රදීපාගාරය පුපුපුරන්නේ නැතිදැයි සොයා ගත්තේ ටෙනිසන් කුෙර්ය. සුළු වැරැද්දකි. ඒ සඳහා සියලුම වයර් අමුනා ඇතත් බැටරිය සඳහා වයර් අමුණා තිබුණේ නැත.

පෙරළිකාරයෝ කථා මෙතකින් නමයි. ලබන සතියේ පැරණි චිත්‍රපටයක් ගැන අලුත් කථාවක්.