රෝස නමුත් රහසක්..

මාර්තු 4, 2021

රෝස රහස

මේක ආදර කතාවක්. ඒ වුණත් සම්ප්‍රදායික රටාවේ එකක් නොවේ. ත්‍රාසයෙන් මෙන්ම කුතුහලයෙන් සපිරි ආදර අන්දරයක් කිව්වොත් වැරැදි නැහැ. චිත්‍රපටයේ නම secret of the rose. ඒ කියන්නේ රෝස රහස. නටලි තමයි මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය. ඇය විවාහක තරුණියක්. නටලිට ඉන්නවා අවුරුදු හයක් විතර වන දියණියක්. ඇගේ නම නටාෂා. මේ දෙදෙනා හදිස්සියේම සුන්දර කඳුරටට පැමිණෙනවා. එහිදී මේ දෙදෙනා නවාතැන් ගන්නේ අති විශාල බංගලාවක.

මේක අවුරුදු සියයක් පමණ පැරණි තැනක්. පිටත ස්වරූපයෙන් මහත්වූ අද්භූත නවාතැන්පොළක් වගේ පෙනෙන්නේ. වසර සියගණනක රහස් මේ බංගලාවේ නිදන් ගතවෙලා තියෙනවා. මේ බව නටලි සහ නටාෂා දන්නේ නැහැ. මේ මව සහ දියණිය මේ බංගලාවට නවාතැන් ගන්න එන්නේද සියල්ලන්ටම අදහසක් ඉතිරි කරමින්. එම ප්‍රදේශයේ ජීවත් වෙනවා තරුණ හාදයෙක්. නමින් ඔහු නෝමන්. නෝමන්ගේ රස්සාව අශ්වයින් රැකබලා ගැනීම. ඔහු ඒ පිළිබඳ හසළ අත්දැකීම් ඇති අයෙක්. නෝමන් එක්තරා අන්දමක අද්භූතජනක පුද්ගලයෙක්. ස්වරූපයෙන්ද ඔහු හරි ගුප්ත බවක් උසුලනවා. නෝමන් මානසික රෝගයකින් ද පීඩා විඳීනවා. හදිසියේම නටලි නෙත ගැටෙන නෝමන් තිගැස්සෙන්නේ ඇගේ රූ සපුවට වසඟ වීමෙන්. නෝමන් ඇයට රහසින් ආදරේ කරනවා. ඔය අතරේ ඒ අඳුරේ ගිලෙමින් තිබූ රැයක රහස් රැසක් හෙළිදරව්වට වීමට පටන් ගන්නවා. රෝස රහස සිනමා පටය ප්‍රේක්ෂකයින් කුතුහලයට පත් කරන්නේ එතැන් සිට. රෝස රහස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ඉරාන් ගොඩමුන්න. ගොඩමුන්න නාමය සිනමාවට යම් සම්බන්ධකමක් දන්වනවා. පෙර කලෙක හෙළ ළඟ නමින් සිනමාපටයක් තැනුව ධම්මි ගොඩමුන්න ඉරාන්ගේ මව. ඇය තමයි රෝස රහස සිනමාපටය නිෂ්පාදනය කරලා පුතු ඉරාන්ට සිනමාකරුවෙකු වෙන්න මඟ පාදලා දුන්නේ. ඉරාන් මීට ප්‍රථම කෙටි චිත්‍රපට පහක් නිර්මාණය කළ නිර්මාණකරුවෙක් ද වනවා.

 

රෝස රහස සිනමාපටයේ නළු නිළියෝ

රොෂාන් රවීන්ද්‍ර, රොෂාන් රණවන, රිචාඩ් වීරක්කොඩි, වින්දි මැදපාත (හඳුන්වා දෙන) මිලින්ද පෙරේරා, ගයනා සුදර්ශනී, ශේනේලී සමරදිවාකර.

කතාව, නිෂ්පාදන සැලසුම - ඉරාන් ගොඩමුන්න

තිර රචනය - ඉරාන් ගොඩමුන්න සමඟ චන්ද්‍රරත්න මාපිටිගම

කැමරා අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප්

සංගීත අධ්‍යක්ෂණය - භාගෙශ්‍රී ෆොන්සේකා

ඉදිරිපත් කිරීම - ඉන්ටල් මූවි